
- සුළු වරදකත් නොයෙදීම
- පිටසක්වල ජීවීන්ටත් මෙත
- උඬගු බව බිඳීම
අද අපි සාකච්ඡා කරන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන 'සල්ලහුකවුත්තී' සැහැල්ලු පැවැතුම් ඇත්තකු වීමයි. එහි අදහස බොහෝ බඩු බාහිරාදිය ගොඩ ගහන්නේ නැතුව තමන්ට අවශ්‍ය දේ විතරක් පරිහරණය කිරීමෙන් බොහෝම සැහැල්ලුවෙන් පහසුවෙන් ජීවත් වීමට පුරුදු වෙන්න ඕනෑ. ඊළඟ කරුණ වන්නේ සන්තින්ද්‍රියෝච සාන්ත ඉඳුරන් ඇති කෙනෙක් වීමයි. ඇස, කන, නාසය, දිව, මනස කියන හයයි. මේ ඉන්ද්‍රිය හය ශාන්ත කරගන්න ඕන. අපි ඇස ශාන්ත වන හැටි බලමු. 'රූපන්දිත්වා සතී මුක්තා' රූපයක් දැකපු ගමන් අපිට මොකද වෙන්නේ. ලස්සන රූපයක් දෙස ඔබ බැලූ වෙලාවට මුලින් ම ඒ කෙනා පිළිබඳ ව අපි හිතනවා; ශරීර ලස්සන පිළිබඳව; මේ රූපය ගැන හිතනවා. එහෙම හිතන කොට 'චාරත්ත සාරත්ථ චිත්තේහි වේදේතී 'ඇලුණු සිතින් විඳිනවා; අර රූපයට ඇති කැමැත්ත නිසා වේදනාවක් හට ගන්නවා; තමන්ට ආස්වාදයක් ලැබෙනවා. ඉන් පසුව ඒ රූපය ඇතුළට ගිහින් අර රූපය හිත ඇතුළට කාවද්දගෙන ජීවත් වීමයි. එහෙම හිතන කොට 'පස්ස වඩ්ඩන්තී අනේකා රූප සම්භවා' ඔහුට රූපය මුල් වෙලා නොයෙක් වේදනා වැඩෙනවා; නොයෙක් ආස්වාද දැනෙවනවා. 'අභිජාච විභේඡාච චිත්ත මස්සු පහන්යෙති' අධික ආසාවයි, වෙහෙසයි ඔහුගේ හිතට පීඩා ඇති කරනවා. නමුත් අධික ලෙස කාම සැපයට නැඹුරු අයට මෙය පීඩාවක් ලෙස වැටහෙන්නේ නැහැ. රූප නිසා හටගන්නා අධික වෙහෙස හට ගන්නේ සංසාරයෙන් එතෙර වෙන්න මහන්සි ගන්න අයට. දැන් බලන්න රූපයක් බලලා අපේ හිත කොච්චර කලබල වුණාද කියලා. ප්‍රිය රූප සිහි කරන්න පටන් ගත්තා; ඇලුණු සිතින් වින්දා. ඒ අරමුණ බලවත් ව අරගෙන ඒ අරමුණ තුළ සිටියා. එහෙම ඉන්න විට අධික ආසාවයි වෙහෙසයි හිතට වද දුන්නා. මේ ඔක්කෝම තුළ දුක රැස් වෙනවා; දුක ගොඩ ගැසෙනවා; සංසාරය හැදෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කළා, මෙසේ දුක් රැස් කරන කෙනාට නිවන දුරයි කියලා. රූප බලලා හිත අශාන්ත කර ගත්තත් ශබ්ද අහලා සිත අසංවර කරගත්තත් සුවඳ ආඝ්‍රාණය කරලා රස විදලා පහස ලබලා සිත අසංවර කරගත්තත් සිතුවිලි සිතලා හිත අසංවර කරගත්තත් සංසාරය දික් වෙනවාමයි; නිවනින් අපිව ඈත්වෙනවාමයි. ඒ නිසා නිවන් මඟේ යන කෙනා ශාන්ත ඉන්ද්‍රිය ඇති කෙනෙක් වෙන්න ඕන.
අපි දැන් බලමු සන්තින්ද්‍රිෙයා්ච ඉන්ද්‍රිය සංවර කරගන්නේ කොහොමද කියලා. රූපයක් දකින කොටම රූපය මුල්වී තරහවක් හෝ මුලාවක් හෝ හට ගන්නවා. එසේ හට ගැනීමේදී එය නැති කරගැනීමට ක්‍රමවේදයක් බුද්ධ දේශනාවේදී සදහන් වෙනවා. දිට්ඨේ දිට්ඨ මත්තං දැක්කොත් දැක්කා පමණක් විය යුතුයි. රූපයක් පේනවා නම් රූපයක් කියලා හිතන්න; නැත්තම් පේනවා පේනවා හිතන්න. ඒ බැලීම තුළ තියෙන්නේ පෙනීම කියන ක්‍රියාව විතරයි කියලා අපිට වැටහෙනවා. පෙනීමක් ඇර ඒ තුළ පුද්ගලයෙක් ආත්මයක් නැහැ; එහි සාරයක් නැහැ; කියන අවබෝධයක් කාලයක් යනවිට අපිට අැති වෙනවා. ගඳ සුවඳ පහස සිතුවිලි යන සියලු දේ ම මේ ආකාරයට සිතන්න. මේ සියල්ල ඉන්ද්‍රියත් සමඟ සිතන්න. මෙයින් ඔබේ ඉන්ද්‍රිය සංවරය ඇතිවෙනවා. දොරවල් හයක් ඇති ගෙදරක ඒ දොරවල් හය ම වහලා දැම්මොත් කාටවත් ඇතුළට එන්න බැහැ. අන්න ඒ වගේ ඉන්ද්‍රිය හයම සංවර කරගත්තම අපේ හිතට කෙලෙස් ඇතුළු වීම අඩුවෙනවා. අනිත් ගුණය 'නිපකෝ'. නිපකෝ කියන්නෙ නුවණයි; ප්‍රඥාවයි. නිවන් මඟ යන කෙනකුට සිල් ආරක්ෂාව කරගැනීමේ ප්‍රඥාව තියෙන්න ඕන. එය නැති වුවහොත් පන්සිල්වත් රකින්නට බැරිව යනවා. අද බොහෝ විට අටසිල් ගන්න උදවිය ගෙදරදී පන්සිල් රකින්නේවත් නැහැ. සමහරුන් සතුන් මරන්නේ සොරකම් කරන්නේ නැහැ; කාමයේ වරදවා යෙදෙන්නේ නැහැ; එහෙත් බොරුකියනවා. ඒ ඇයි සිල් රැකිමේ ප්‍රඥාව නැති නිසායි. සිල් කාටවත් රක්කවන්න බැහැ; අවබෝධයෙන් තමන් විසින් ම ප්‍රඥාව දියුණු කරලා කරන්නට අවශ්‍යයි. ඒ වගේම ඇඳුම් පැලඳුම් ධාර්මිකව උපයා ගත යුතුයි. මෙතනදි මතක් කරන්න ඕන, ඇඳුම් පැලඳුම් ගැන. එය කළ යුතු වන්නේ ධාර්මිකව. අැඳුම් අඳින්නට ඕන ධාර්මිකව; අග පසඟ ප්‍රදර්ශනය වන අාකාරයට ඇඳිය යුතු නැහැ. සිතින් දූෂණය වෙලා; අන් අයට කෙලෙස් ඇතිවන ආකාරයට ඇඳුම් ඇඳීම නොකළ යුතුයි. අසංවර ඇඳුම් අඳින්නේ මෝහය අැති අයයි. ඒ අය දිහා බලලා අවවාද කරන්න එපා; එ්ක ඒ අයගේ දෙමවුපියන්ටවත් කරන්නට හැකි දෙයක් නොවෙයි. එය තමා විසින්ම තේරුම් ගතයුතු දෙයක්.
මේ නිෙවස මට ගැළපෙනවා ද? මට හොඳ මොන වගේ ආහාර ද මට වැඩිපුර ම වැඩිය යුතු වන්නේ කුමන භාවනාවක් ද කුමන ඉරියව්වක් ද ආදිය වශයෙන් මෙනෙහි කළ යුතුයි. මේ වගේ දේවල් ගැනත් ප්‍රඥාවක් තියෙන්නට ඕන. මේ වගේ දේවල්වලට ඇති ප්‍රඥාවයි නිපකෝ කියන්නේ. ඊළඟ ගුණය අප්ප ගබ්භෝ ඒ කියන්නේ කයින් වචනයෙන් ප්‍රගල්බ නොවීමයි. ප්‍රගල්බ කියන්නේ උඩගු බවයි. වැඩිහිටියන් දුටු විට හුනස්නෙන් නැඟී සිටිය යුතුයි. ඉදිරියට යා යුතු කෙනාට ඉදිරියට යෑමට ඉඩ දීම; අසුන දිය යුතු අයට අසුන දීම; මේ වගේ උසස් ක්‍රියාවන්වලින් උඩඟු බව නැති වෙනවා. ඊළඟ ක්‍රියාව කුලේසු අනනුගිද්ධෝ කුල කියලා කිව්වේ මිනිසුන් එක්ක ඇලී ගැලී වාසය කිරීම; සමහර කෙනෙක් ලාභ සත්කාර ලබා ගැනීමේ තණ්හාවෙන් මිනිසුන් සමඟ ඇලී ගැලී ඉන්නවා. තව සමහර කෙනෙක් පුරුද්දකට වගේ ඇලී ගැලී වසනවා. තව සමහර කෙනෙක් තවකෙනෙක් දුක් වෙනකොට දුක් වෙනවා. තව සමහරු තමන් දුක් වෙනකොට දුක් වෙනවා, සහනන්දී කියන්නේ තමන් සතුටු වෙනකොට ඔවුනුත් සතුටුවෙනවා, සැපවත් වූ විට ඔවුන්ටත් එය සතුටක්. ඔවුන් දුක්වෙනකොට තමන්ටත් දුකක් විදිහටයි දැනෙන්නේ. නිවන පිණිස සිත මෙහෙයන කෙනා ඔවුන්ගේ ඒ ස්භාවය අත්හළ යුතුයි.
නචඛුද්දං සමාචරේ කිංචියේන විඤ්ඤු පරේ උපවදේයුං නුවණින් විමසා කටයුතු කරන බුද්ධිමත් කෙනෙක් දොස් කියන කුඩා වරදක හෝ නොයෙදිය යුතුයි. මේ විදහට කරණිය ධර්ම දාහතරක් සහ අකරණීය ධර්ම දාහතරක් නොකළ යුතු එක කාරණාවක් දේශනා කළා.
ඊළඟට මෛත්‍රි භාවනාව දේශනා කළා. සුඛිනෝවා ඛේමිනො හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යනුවෙන් සුඛිනෝවා කියන්නේ සැපයෙන් යුක්ත වේවා කියන අදහසයි. ඛෙමිනෝ යනු භය නැත්තො වෙත්වා යන අදහසයි. උපද්‍රව නැත්තෝ වෙත්වා සබ්බේ සත්තා භවත්තු සුඛිතත්තා; සැපවත් වු සිත් ඇත්තො වෙත්වා මානසික සැපයෙන් සැපවත් වීම සුඛිතත්තා යනුවෙන් සඳහන් වෙනවා. මේ පාඨ වලින් කියන්නේ මෛත්‍රි භාවනාව කළයුතු ආකාරයයි. අපි මේ වචන ටික සිංහලෙන් පෙළ ගස්වා බලමු.
සියලු සත්ත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා! භය උවදුරු නැත්තෝ වෙත්වා! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා! දැන් ඒ විදිහට පුළුවන් ඒ විදිහට සිතමින් කෙටියෙන් මෛත්‍රිය වඩන්න සියලු සත්ත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා! භය උවදුරු නැත්තො වෙත්වා සුවපත් වෙත්වා ! යනුවෙන් මෙය නැවත සිතීමට කෙටියෙන් කියනවා; මෛත්‍රිය වැඩීම කියලා. කෙටි මෛත්‍රී වැඩීම දේශනා කරලා තියෙන්නේ සංවර වූ සිතක් ඇති අයට. අසංවර වූ සිතක් ඇත්තකුට කෙටි මෛත්‍රි භාවනාව හරියන්නේ නැහැ. අපි ගොඩක් දෙනා කැමති කෙටියෙන් දෙයක් කරන්නයි එහෙත් භවනාවේදි නම් කෙටියෙන් මෛත්‍රීය වැඩීම අපිට නෙමෙයි දේශනා කරලා තියෙන්නේ. එය දේශනා කරලා තියෙන්නේ ශාන්ත හිතක් ඇති පින්වතුන්ටයි. ඒසේ වුවත් කෙටියෙන් මෛත්‍රි වඩන්න පුළුවන් නම් එයත් ඉතා වටිනවා.
ඊළඟට දේශනා කරලා තියෙනවා, දීර්ඝ ලෙස ධර්මය දේශනා කරන හැටි. ඒ තමයි මෛත්‍රි භාවනාවට අදාළ සත්වයන් පෙන්වා දුන්නා. එනම් 'යේ කේචි' යම් කිසි පාන ආස්වාස ප්‍රස්වාස හා බැඳී පවතින සත්ත්වයෝ; භූතා කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත කරන භූතයෝ නෙමෙයි. භූතා කියන වචනයේ හට ගැනීම කියන තේරුම තියෙනවා හේතුන්ගෙන් හට ගත්ත නිසා පංච උපාදනස්කන්‍දයටත් භූත කියලා කියනවා. එක සත්ත්වයෙක් එක පංච උපාදනස්කන්ධයක්; එහෙනම් මේ සුත්‍රයේ හැම සත්ත්වයෙක් ම හඳුන්වන්න ගත්ත පොදු නමක්. එහෙනම් ප්‍රාණින්, භූතයන් කියන සත්ත්වයන් හඳුන්වලා දීලා තියනවා. ඉන්පසු යුගල මඟින් සත්ත්වයන් කොටස් කරලා හඳුන්වා දීලා තිබුණා. තසාවා කියන්නේ තණ්හාව සහිත සත්තු කියන අදහසයි. ඒ කියන්නේ කෙලෙස් ඇති අයයි. ථාවරාවා කියන්නේ තණ්හාව බය ප්‍රහීන කරන ලද රහතන් වහන්සේලා; එසේ නම් ථාවරාවා කියන්නේ කෙලෙස් නැති රහතන් වහන්සේ ලාට. අනවසේසා කියන්නේ සියලු සත්ත්වයෝ. සමහර කෙනෙක් කියනවා, මේ වචනවල තේරුම කෙලෙස් නැති සත්ත්වයන් ද හැර තව සත්ත්වයෝ නැහැ යන්නයි. අනවසේසා කියන වචනයේ තේරුම සියලු සත්ත්වයෝ කියන එකයි. දීඝාවා කියන්නේ දීර්ඝ ශරීර ඇති අයයි; නාග තලගොයි වැනි සතුන් මාළු වැනි සතුන්. මහන්තාවා කියන්නේ මහත්වූ සත්ත්වයන්. ජලයේ සිටින මෝරු තල්මසුන් වැනි සතුනුත් ගොඩ බිම සිටින අලි ඇතුන් ගවයන් සහා සිව්පාව්න් වැනි අය මහත්වු ශරීර ඇති කොටසට වැටෙනවා. ඒ වගේම මජ්ජිමා මධ්‍යම ශරිර ඇති සතුන් කියන්නේ බල්ලන් එළුවන් මිනිසුන් වැනි සතුන්ටයි. අපට නොපෙනෙන මධ්‍යම ප්‍රමාණයේ ශරීර ඇති අමනුස්සයනුත් ඉන්නවා. රස්සක කියන්නේ කුඩා ප්‍රමාණයේ සතුනුත්ටයි. මෙහි රස්සක කියන මධ්‍යම සතුන් අතරත් මිටි කුඩා සතුන් ඉන්නවා; කුඩා සතුන් ඉන්නවා. මේ අයට කුරුමිටි කියන නමත් භාවිත වෙනවා. ඔවුන් රස්සක කියල හඳුන්වනවා. අනුකා කියන්නේ අපගේ පියවි ඇසට නොපෙනෙන දිවැසැට පෙනෙන කුඩා සතුන්. ඔවුන් ජලයේ ආදියෙහි උපත ලබනවා. 'තූලා' කියන්නේ වට වු ශරීර ඇති සතුන් කියන අදහසයි. කැස්බෑවන්, ඉබ්බන් වැනි සතුන් මේ ලෙසින් හඳුන්වනවා.
ඊළඟ දිට්ඨාවා යේවඅද්දිට්ඨා... යන සම්පූර්ණ ගාථාවේ තේරුම සලකා බලමු. තමාගේ ඇසින් දැකලා ඇති සතුන් 'දිට්ඨා' කියල හඳුන්වනවා. 'අද්ට්ඨා' කියන්නේ ඇසින් දැකලා නැති සතුන්ටයි. 'යේචදුරේ වසන්ති අවිදූරේ' යන්නෙන් ළඟ වසන සත්ත්වයෝ ද මේ යුගලයන්ගෙන් දුර වාසය කරන සත්ත්වයෝ සහ ළඟ වාසය කරන සත්ත්වයන් ගැන දේශනා කළා. දුර ළඟ වාසය කරන සත්ත්වයන් කොටස් කිහිපයකට බෙදෙනවා; අපාදක- පාද නැති, ද්වි පාදක- පාද දෙකක් ඇති. චතුත්පද - පාද හතරක් ඇති, බහුප්පද- බොහෝ පා ඇති යන අදහසයි. පණුවන් වැනි සතුන් පාද නැති ගණයටත්, වෙන අයගේ ශරීරවල වසන සතුන්, දුර වසන සතුන් වනවා; තමා ළඟ වාසය කරන සතුන්, ළඟ වසන සතුන් වෙනවා. තම ගමේ කොට්ඨාසයේ දිස්ත්‍රික්කයේ තම පළාතේ, තම දිවයිනේ සක්වළේ වාසය කරන සතුන් ද පිටසක්වළ වාසය කරන සත්ත්වයන් දුර වසන සත්ත්වයන් වශයෙනුත් හැඳින්වෙනවා. දුර ළඟ වසන සතුන් ආකාර කිහිපයකට විස්තර කරන බව ඔබට පැහැදිලි වනවා. ඊළඟට භූත කියලා කියන්නේ උපන්නා වූ සත්ත්වයකු නැවත නොඑන්නේ නම් නූපදී නම් භූත කියල හඳුන්වනවා. ඒ වචනය භාවිත කළේ තේරුම් දෙකකින්. උපන් සත්ත්වයන්ටත්, රහතන් වහන්සේටත් භූත කියන වචනය පාලියෙහි සඳහන් වෙලා තියනවා. සම්භවේසි කියලා කියන්නේ නැවත උපතකට එන සත්ත්වයන්ට. ඒ වචනයට සියලු පෘථග්නයන් හැඳින්වීමටයි යොදලා තියෙන්නේ. උපදින්නට සිටින සතුන් සම්භවේසි කියලා හඳුන්වන්නේ සත්ත්වයන් උපදින්නේ ක්‍රම හතරකට.
අණ්ඩජ, ජලාභුජ, සංසේජක, ඕපපාතික යනුයි. ඕපපාතික කියලා සමහරුන් කියනවා; ඉබේ පහළ වෙනවා කියලා. සතුන් ඉබේ පහළ වෙන්නෙෙ නැහැ. ඕපපාතික කියන්නේ කර්මානුරූපිව අංග සම්පූර්ණ ශරීර ඇතිව උපදින අයටයි.
දෙවිවරු නිරයේ පහළ වන සත්ත්වයෝ පහළ වන්නේ ඔපපාතිකව.
මේ කියන ආකාරවලින් උපදින සතුන් අතරින්; බිත්තරවලින් උපදින අණ්ඩජ කියලා කියන සත්ත්වයෝත්, මවුකුසින් උපදින ජලාභුජ සත්ත්වයෝත්, අණ්ඩජ කෝෂය බිඳ දමන කල් සම්භවේසි කියලා හඳුන්වයි. මේ අණ්ඩ කෝෂය බිඳ එළියට ඒමෙන් පසු භූතා කියලා හඳුන්වනවා; මවුකුසේ උපදින අයටත් එලෙස භූතා කියල හඳුන්නවා.
මේ විදිහට තථාගතයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් මෛත්‍රී වඩන හැටි දේශනා කොට තිබෙනවා.
මෙහි දී මෛත්‍රී වඩන ආකාරය පිළිබඳව අපි පසුගිය ලිපි මාලාවේදී කතා කර හෙයින් මෙහිදි ඒ පිළිබඳ ව නැවත කතා කිරීම අවශ්‍ය වන්නේ නැහැ.