
මෙරට ප්‍රධානතම රාජ්‍ය බැංකු ලෙස පිළිගැනෙන ලංකා බැංකුව හා මහජන බැංකුව පුද්ගලීකරණය කිරීමට රජය පිඹුරුපත් සකස් කර ඇති බවට පසුගිය කාලය පුරා විවිධ පිරිස් වෙතින් චෝදනා එල්ල විය. දැන් යළිත් එ් කතාබහ කරළියට පැමිණ ඇති අතර මෙකී රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගත කරන මුවාවෙන් පුද්ගලීකරණයට රජය සූදානම් වන බවට සමහරක් වෘත්තිය සමිති හා විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් රජයට ඇඟිල්ල දිගු කරමින් සිටි.
ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍ය බැංකුව වන 1939 වසරේ දී ඇරඹුණු ලංකා බැංකුවත්, ටී. බී ඉලංගරත්න මහතා විසින් බිහි කළ 1961 වසරේ දී ඇරඹුණු මහජන බැංකුවත් මේ වන විට මෙරට බැංකු සේවා අත්විඳින සියලු තරාතිරමේ ජනතාවගේ ළෙන්ගතුම බැංකු මිතුරන් ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. මෙරට බැංකු ක්ෂේත්‍රය තුළ මෙම ප්‍රධාන රාජ්‍ය බැංකු තමන්ට ම අනන්‍ය වූ සුවිශේෂ සලකුණු ඉස්මතු කරමින් සිය ගනුදෙනුකරුවන්ගේ ප්‍රසාදය හා ප්‍රණාමය දිනා ගෙන ඇති අතර ගමේ හා නගරයේ ගිනි පොලී කරුවන්ට නතුව සිටි සාමාන්‍ය ජනතාවට සහන පොලී ණය ලබාදී ආකර්ෂණීය කඩිනම් බැංකු සේවා අත් විඳීමට සලස්වා ඉතිරිකිරීමේ යහ ගුණය පුරුදු පුහුණු කරන ලද්දේද මේ ලංකා බැංකුව හා මහජන බැංකුව යන රාජ්‍ය බැංකු වීම විශේෂයෙන් ම සඳහන් කළ යුතු කාරණා වේ.
රජයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වුවද අනෙක් තරගකාරී පෞද්ගලික බැංකු ද අබිබවා බැංකු ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන්නට මේ රාජ්‍ය බැංකු වෙත හැකියාව ලැබී තිබේ. බැංකුවකට පැමිණෙන ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වන විවිධ ඉතිරිකිරීමේ ගිණුම්, උකස් සේවා, නිවාස ණය ව්‍යාපාර ණය, අධ්‍යාපන ණය, පෞද්ගලික ණය, ස්වයං රැකියා ණය, කර්මාන්ත ණය ආදී ණය පහසුකම් වැනි සියලු බැංකු සේවා ඉතා තරගකාරී ලෙස හා ආකර්ෂණීය ලෙස මේ රාජ්‍ය බැංකු විසින් ඉටුකරනු ලබන අතර ඔවුන් මෙරට පමණක් නොව අන්තර්ජාතික තලයේ ද ප්‍රසාදය දිනා ගනිමින් අන්තර්ජාතික සම්මාන පවා හිමිකර ගැනීමට සමත්කම් දක්වා තිබේ.
එසේම බැංකු ක්ෂේත්‍රය තුළ දිවයින පුරාම විහිදුණු වැඩිම ශාඛා ජාලයකට හා වැඩි ම ඒ ටී එම් ප්‍රමාණයකට හිමිකම් කියනුයේ ද මේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක වේ. ඊට අමතරව වැඩිම ගනුදෙනුකරුවන් පිරිස හා සේවක පිරිසට ද හිමිකම් කියන මේ රාජ්‍ය බැංකු දෙක විසින් පසුගිය කාලය පුරා රුපියල් බිලියන ගණනින් සිය ගනුදෙනුකරුවන් වෙත බැංකු සේවා සපයා දී ඇත.
මෙලෙස මෙරට ජන ජීවිතය හා බැඳුණු ජනතාවගේ සුහද බැංකු මිතුරන් වූ ලංකා බැංකුව හා මහජන බැංකුව පුද්ගලීකරණය සඳහා කටයුතු යොදන බව ට චෝදනා එල්ල වූයේ අද ඊයේ නොවේ. හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ පාලන සමය තුළ මෙන් ම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වූ 2001- 2004 කාලයේ ද විටින් විට මේ චෝදනාව කරළියට ආවේය. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ කටයුතු කළ වසර නවයක කාලය ඇතුළත ද මේ රාජ්‍ය බැංකු පුද්ගලීකරණය සඳහා කැසපොට ගසන බවට ඔහු ඇතුළු ආණ්ඩුවට ඇගිලි දික් වුණු අතර, දිගු නිහැඬියාවකට පසු ඒ චෝදනාව දැන් මෛත්‍රී-රනිල් ආණ්ඩුව වෙත ද එල්ල වෙමින් පවතී.
රටේ ආර්ථික වටපිටාව ගොඩනැංවීම සඳහා පුද්ගලික අංශයේ ආයෝජන කෙරෙහි වැඩි විශ්වාසයක් තබා කටයුතු කිරීම හේතුවෙන් වත්මන් රජය සැබෑවට ම ලංකා බැංකුව හා මහජන බැංකුව පුද්ගලීකරණය කිරීමට මාන බලන බවට කවුරුන් හෝ සිතනවා නම් ඒ සිතුවිල්ලේ අරුමයක් ද නැත. එහෙත් සැබෑව එයම ද? ලංකා බැංකුව හ මහජන බැංකුව විකුණා දැමීමට රජය කටයුතු කරනවාද ?
මේ සම්බන්ධයෙන් සිළුමිණ කළ විමසුමක දී අදහස් දැක් වූ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා සඳහන් කර සිටියේ ලංකා බැංකුව හා මහජන බැංකුව පුද්ගලීකරණය කිරීමට රජය සූදානම් බවට පසුගිය සති කිහිපය පුරා විවිධ ප්‍රවෘත්ති ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බවයි. අදාළ බැංකුවල සියයට 20%ක කොටස් කොටස් වෙළෙඳපොළ හරහා පුද්ගලික අංශයට පැවරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවට ඉතා මෑතකදී ප්‍රවෘත්ති වාර්තා වුණු බව ද කී ඔහු, ජනමාධ්‍ය වාර්තා කළ ඒ ප්‍රවෘත්ති වැරදි නම් ඒවා නිවැරදි කිරීමට රජයට අවස්ථාව තිබුණු බව ද පෙන්වා දුන්නේ ය. එහෙත් එය එසේ නොවුණු බවත් රාජ්‍ය බැංකු පුද්ගලීකරණය සඳහා රජය කටයුතු කරන බවට ජනතාව විශ්වාස කරන බවත් යම් හෙයකින් අදාළ බැංකු පුද්ගලීකරණය සඳහා රජය කටයුතු කරන්නේ නම් එය වැළැක්වීම සදහා ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක් ම ගන්නා බව ද අවධාරණය කළේ ය.
රාජ්‍ය බැංකු පුද්ගලීකරණය සඳහා වත්මන් රජය යම්කිසි තීන්දුවක් ගෙන තිබේ නම් හා සමහරක් ජනමාධ්‍ය හා ලංකා බැංකු සේවක සංගමය වැනි ඇතැම් වෘත්තීය සමිති පවසන අන්දමට ඒ සඳහා කැබිනට් තීන්දුවක් ද ගෙන තිබේ නම් ඒ ගැන දන්නා හා ඒ සම්බන්ධ ව දේශපාලන කෝණයකින් තොරව රටට ම පැහැදිලි කළ හැකි හොඳ ම පුද්ගලයා වන්නේ මේ රාජ්‍ය බැංකු විෂය පථයට නතු වූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර ප්‍රදේශ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ම වේ. අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පක්ෂ, විපක්ෂ කිසිවකුට යටත් නොවී පවතින යථාර්ථය වඩාත් නිවැරදි ලෙස ඔහුට විග්‍රහ කළ හැකි අතර ඒ නිසා ම අදාළ චෝදනාවේ සත්‍ය අසත්‍යතාව කුමක්දැයි අපි ඒ අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ගෙන් විමසීම් කළෙමු.
එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා මෙම චෝදනා තරයේම ප්‍රතික්ෂේප කළ අතර කිසිදු රාජ්‍ය බැංකුවක් පුද්ගලීකරණය කිරීමට මොනම හෝ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර හෝ නැති බව ද පැහැදිලි කළේ ය. ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ එකඟතාවෙන් අදාළ රාජ්‍ය බැංකු සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමේ කටයුත්ත පමණක් මේ දිනවල සිදුවන බව කී ඔහු ජනතාවට අවශ්‍ය සියලු බැංකු සේවා කිසිදු ප්‍රමාදයකින් තොරව අඛණ්ඩ ව ඉටු කිරීම සඳහා ලංකා බැංකුව හා මහජන බැංකුව ඉදිරියේ දීත් ඇප කැප වන බවට වගකීමෙන් යුක්තව ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය.