
- 96 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩා වෛද්‍යවරයා
- හොඳ කරන්න බෑ කී තෙන්ඩුල්කාර්ගෙ කොන්දෙ අමාරුව සුව කළා
- 1991දී ප්‍රධාන ක්‍රීඩා වෛද්‍ය නිලධාරියකු ලෙස පාපන්දු ලෝක කුසලානය නියෝජනය කළ එකම ‘ඕස්ට්‍රේලියානු’ වෛද්‍යවරයා
- මුරලිට ඕස්ට්‍රේලියාවෙන් ප්‍රශ්නය ආපු වෙලාවෙ මුලින්ම ඔහු පරීක්ෂා කරලා චෝදනාවෙන් නිදොස් කළා...
මහාචාර්ය සිරි කන්නන්ගර නම් ඔහු උපන් රට වන ලංකාවේත් වාසය කරන රටවන ඕස්ට්‍රේලියාවේත් පමණක් නොව, මුළු ලෝකයේම ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකි. උපන් දේශයට ආඩම්බරයක් වූ ඔහු ලංකාවේ ක්‍රිකට් වංශ කතාවේද නිතර ඇසෙන නිතර දකින චරිතයක් බව නොකියාම බැරිය. ශ්‍රී ලංකාවට තවමත් නුපුරුදු ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ කෙළ පැමිණියකු වන මහාචාර්ය සිරි, මූලික අධ්‍යාපනය ලබන්නේ බණ්ඩාරගම රඹුක්කන විද්‍යාර්ථ විදුහලෙනි; ද්විතීයික අධ්‍යාපනය කොළඹ රාජකීයයෙනි. ඉන් අනතුරුව වෛද්‍ය අධ්‍යාපනයට යොමු වන හෙතෙම 1971 වසරේ සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තම පදිංචියට තෝරාගත්තේය. සති කිහිපයක නිවාඩුවකට මවුරටට පැමිණි අතරවාරයේ අප ඔහු මුණගැසුණේ කොළඹ හෝටලයකදීය.
“කොහොමද පුතා...?” මින් පෙර කිසිදා හමුවී නොතිබුණු අයකු වුවද ඔහුගේ පිළිගැනීම අතිශය උණුසුම් විය. එහෙත් කතාව පටන්ගත්තේ වාරණයකිනි. “මේ දවස්වල ක්‍රිකට් ගැන නම් මාත් එක්ක කතාකරන්නෙපා! මම දැන් ක්‍රිකට් බලන්නෙත් නෑ,” ඔහු කීවේ තිර, එහෙත් මිත්‍රශීලි ස්වරයකිනි.
ඉන් අනතුරුව අපේ කතාබහ යොමු වුණේ 90 දශකයේ මැද භාගයටය; නොඑසේ නම් ලංකාවේ ක්‍රිකට් කතාවේ ස්වර්ණමය පරිච්ඡේදයකටය. සනත්, කළූ, අර්ජුන, අරවින්ද, මුරලි, මහානාම, වාස් අතරේ අපේ කතාබහ ගලායන්නට විය.
“මම ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමත් එක්ක නිල වශයෙන් වැඩ කරන්න ගත්තේ ආනා පුංචිහේවා ක්‍රිකට් සභාපති වෙලා ඉන්දැද්දියි. ඊට කලිනුත් නිල නොවන මට්ටමින් ක්‍රීඩකයන් එක්ක වැඩ කළා.”
ඔහු ආනා පුංචිහේවා පෞද්ගලික මට්ටමින් දැන සිටියේ නැත. ආනාද එසේමය. කුසලානයක් දිනීමේ හැකියාවක් ඇති කොල්ලන් පිරිසක් තමා සතු බව දැන සිටි ආනා, දිනක් මහාචාර්ය සිරිට දුරකතන ඇමතුමක් දුන්නේය. තමා හඳුන්වාදුන් හෙතෙම අවශ්‍යතාවට කෙටියෙන් පැහැදිලි කළේය.
“ආනා මට කතා කළේ චමින්ද වාස්ගේ ප්‍රශ්නයකටයි. ‘කැන් යූ ෆික්ස් චමින්ද?’ (ඔබට චමින්ද හොඳ කරලා දෙන්න පුළුවන්ද?) ආනා මගෙන් ඇහුවෙ එච්චරයි. මම කිව්වා ‘හරි එවන්න, මම ඒක කරලා දෙන්නම්,’ කියලා.”
බොහෝ දෙනකුට අනුව මහාචාර්ය සිරි යනු ක්‍රීඩකයකුට හමු වන හොඳම කැඩුම්-බිඳුම් වෛද්‍යවරයෙකි. ඇතැම් වෛද්‍යවරුන් සුව කළ නොහැකියැයි අතහැර දමන ක්‍රීඩකයන් පවා සති කිහිපයකින් සම්පූර්ණයෙන් සුවකිරීමේ දක්ෂතාවක් ඔහු සතුය.
වසර කිහිපයකට ඉහත පැවති මහාචාර්ය සිරිගේ උපහාර උත්සවයකදී අර්ජුන රසවත් කතාවක් කළේය: “අපිට කිසිම ප්‍රසිද්ධියක් නැති කාලෙ, සල්ලි නැති කාලෙ ඩොක්ටර් සිරි අපිව බලාගත්තා.” ඔහු ඒ වචන ටික කීවේ ඉතා හැඟුම්බරවය. අර්ජුන සහ අරවින්ද යනු මහාචාර්ය සිරි සමඟ නිරන්තරයෙන් අදහස් බෙදාහදාගත් දෙපළකි. අර්ජුන සහ අරවින්ද ගැන කියන්නට බොහෝ දේ මහාචාර්යවරයාටද තිබෙන බවට සැක නැත.
“දවසක් අර්ජුනයි අරවින්දයි මා ගාවට ආවා. ඒ දෙන්නටම මොකක්හරි ඉන්ජෙක්ෂන් එකක් දෙන්න අවශ්‍ය වෙලා තිබුණා. ඔය ඇවිල්ලා ලෝක කුසලානෙකට කලින්. එතකොට ඒ දෙන්නා තමයි ටීම්එකේ හිටපු පොඩිම කොල්ලො දෙන්නා. ඉතින් මම පරීක්ෂා කරලා බලලා අර්ජුනට ඉන්ජෙක්ෂන්එකක් ගැහුවා. ඒක දැකපු අරවින්ද ක්ලාන්ත වෙලා ඇදගෙන වැටුණා!” ඔහු කීවේ හිනැහෙමිනි.
පසුව දැනගත් ආකාරයට කුඩා කල පටන්ම අරවින්දට ඉන්ජෙක්ෂන් අරහංය.
“අරවින්ද මට පස්සෙ දවසක හම්බවෙලා කියනවා, ‘ඩොක්ටර්, එකසිය අනූවට බෝලයක් දාන්න කියන්න, කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉන්ජෙක්ෂන් ගැන නම් කතාකරන්නෙපා!’ කියලා.”
අපේ මුරලි යනු ලෝකයේ හොඳම පන්දු යවන්නා බවට සැකයක් නැත. ඔහු ලංකාවට කඩුලු උල්පතක් වූවා පමණක් නොව; සිංහල දෙමළ කලකෝලාහලයක් රට තුළ පවතිනවායැයි විවිධ පිරිස් මුරගාන මොහොතක සිංහල-දෙමළ සහෝදරත්වයේ සැබෑ කැඩපතද වූයේය. එවන් වටිනා චරිතයක් රැකගැනීමට මහාචාර්ය සිරිගෙන් ඉටු වූ මෙහෙයද සුළු-පටු නැත.
“මුරලිගේ පන්දුව දමා ගසන බවට රොස් එමර්සන් ඇතුළු විනිසුරුවන් කිහිපදෙනෙකුගේ චෝදනා එල්ල වෙච්ච වෙලාවෙ මමයි එයාව මුලින්ම පරීක්ෂා කළේ. එයාව සිඩ්නිවලදි මම චෙක් කරලා බලලා අයිසීසීයටයි ලංකාවේ ක්‍රිකට් බෝඩ්එකටයි යැව්වා. එයාට අත් දිගහැරීමේ ප්‍රශ්නයක් තියෙන බව මුලින්ම ලෝකෙට කිව්වෙ ඒ වෙලාවෙයි.”
එතැන් පටන් මුරලි සහ මහාචාර්ය සිරි අතර ඇතිවුණේද ළෙන්ගතු බැඳීමකි. ඕස්ට්‍රේලියාවට පැමිණෙන සෑම විටෙකදීම මහාචාර්ය සිරි හමු වී උපදෙස් ගැනීමට මුරලි අමතක කළේ නැත.
“මාව කොහෙන් හරි හොයාගෙන ඇවිත්, ‘අංකල් අතන රිදෙනවා, මෙතන රිදෙනවා’ කියනවා!” ඔහු මුරලි ගැන වචන අමුණන්නේ තම දරුවකු කෙරෙහි වූ සෙනෙහෙවන්තකමක් බඳු හැඟීමකින් බවට සැකයක් නැත.
මුරලිට ඕස්ට්‍රේලියානුවන්ගෙන් හොඳ පිළිගැනීමක් නොලැබුණු බවට සාමාන්‍ය මතයක් තිබේ. ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වෝන් සහ මුරලි අතර ලොව හොඳම පන්දු යවන්නා වීමට තිබුණු සීතල යුද්ධයත්, මුරලි පන්දුව දමාගසන බවට එල්ල වූ අභූත චෝදනාත් ඊට හේතු වන්නට ඇත. එහෙත් මහාචාර්ය සිරිට ඇත්තේ ඒ ගැන වෙනස් මතයකි.
“ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ගුවන්විදුලි නිවේදකයෙක් හිටියා ඇලන් ජෝන්ස් කියලා. එයා එක දවසක් ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා මැච්එකක් ඉවර වෙලා ඇවිත් මාව හම්බ වුණා. ඩොක්ටර් එක්කෙනෙක්ගෙ, දෙන්නෙක්ගේ හැසිරීමෙන් ඕස්ට්‍රේලියාව මනින්න එපා. අපි මුරලිට ආදරෙයි කියලා ඇලන් මට කිව්වා.”
මහාචාර්ය සිරිගේ සේවාව ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මහා ශක්තියක් වූවා සේම අසල්වැසි ඉන්දියාවටද මහත් ආශීර්වාදයක් වූ බව නොකියාම බැරිය. වරක් සචින් තෙන්ඩුල්කාර් කොන්දේ ආබාධයකින් පෙළෙන්නට වූ අතර ඉන්දියාවේ සිටි ඉහළම වෛද්‍යවරුන්ගේ උපදේශය වූයේ එය සුව කළ නොහැක්කක් බවය. සුව කළද, ඔහුට ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සිදු වනු ඇතැයි යන්න ඔහුට ලැබුණු උපදේශය විය. ලංකාවේ චමින්ද වාස්ගෙන් මහාචාර්ය සිරි ගැන ටෙන්ඩුල්කාර් දැනගන්නේ මේ මොහොතේදී ය.
“වාස්ගේ ප්‍රශ්නෙ මම හොඳ කරලා දුන්නාට පස්සෙ, වාස්ගෙන් මං ගැන දැනගෙන සචින් තෙන්ඩුල්කාර්ත් මාව මුණගැහෙන්න ආවා. තෙන්ඩුල්කාර් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්.”
“1996” යි කී සැණින් අප සිතට නැඟෙන්නේ එකම සතුටක් බවට සැකයක් නැත. ලෝකයේ ඈත කෙළවර රටවල් “ශ්‍රී ලංකාව” කියා රටක් ලොව තිබෙතැයි නොහඳුනන කාලයක ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝකයම දිනාගන්නට ලංකාව සමත් වූ ඒ වර්ෂය සදානුස්මරණීය වනු නිසැකය. ලෝක කුසලාන කාලසීමාව මහාචාර්ය සිරිගේ මතක පොතේද නොමැකෙන ලෙස සටහන්ව තිබේ.
“ලෝක කුසලානෙ අන්තිම මහා තරගෙ දවසේ අපේ කොල්ලො ටික මට විහිළු කර-කර හිටියෙ. සනත් තමයි මට හැම තිස්සෙම විහිළු කළේ. ෆයිනල්එකට අපිත් එනවා, ඩොක්ටර්ලත් එනවා. අන්තිමට ඩොක්ටර්ලට ගහලා අපි කප්එක උස්සනවා කියලා සනත් හැමවෙලේම මාව අවුස්සන්න විහිළු කරනවා.”
ඒ දිනවලදී ඕස්ට්‍රේලියානු පිලේ ඇතැම් ක්‍රීඩකයෝ ලංකාවේ ක්‍රීඩකයන්ට “කල්ලන්” යැයි පරිභව කළ ආකාරයත්, ඊට සනත් වැනි තරුණ ක්‍රීඩකයන් කිපුණු ආකාරයත් මහාචාර්ය සිරි සිහියට නඟන්නේ සිනා සෙමිනි.
මේ අතර සුසන්තිකා ඔලිම්පික් රිදී පදක්කමකින් උපන්බිමට කීර්තියක් ගෙනාවේද මහාචාර්ය සිරි ජීවත්වන සිඩ්නි නගරයේදීය. ඒ 2000 සිඩ්නි ඔලිම්පික් උලෙළයි.
“සුසී ඇවිල්ලා ‘අනේ ඩොක්ටර්...’ කියාගෙන කරට අත දාගෙන කතා කරද්දි මගේ වයිෆ්ට නම් ටිකක් නැඟලා හිටියේ! මං අපේ වයිෆ්ට කිව්වේ ‘ඔලිම්පික් පදක්කමක් දිනන්න නම් ඔය වගේ නහරයක් දෙකක් තියෙන කෙල්ලෙක් වෙන්න ඕනෑ!’ කියලයි. කිව්ව වගේම සුසී සිල්වර් මෙඩ්ල්එක දිනුවා.”
සුසන්තිකා සහ මහාචාර්ය සිරි වරක් සිඩ්නි නුවරදී හමු වුණු මොහොතක අවන්හලකට ගොඩ වුණේ තේකක් බීමටය. තේ පෝච්චිය මේසය මතට පැමිණි පසු තේ කෝප්පය සාදාගත් සුසන්තිකා ඊට සීනි හැඳි හයක් එක් කළාය! මහාචාර්යවරයා එදෙස බලා සිටියේ පුදුමයෙනි...
“අයියෝ බය වෙන්නෙපා. ඩොක්ටර්ලා වගේ නෙවී. අපි සීනි පුච්චනවනෙ” ඈ කීවේ මහහඬින් සිනාසෙමිනි.
ලංකාවේ තරුණයන් ලෝකය ජය ගත් ප්‍රධානම ක්‍රීඩාව ක්‍රිකට් වීම නිසා මහාචාර්ය සිරි හා ක්‍රිකට් අතර ලොකු සම්බන්ධයක් නිර්මාණය වුවද, ක්‍රීඩා වෛද්‍ය ක්ෂේත්‍රයේ ඔහුගේ පරාසය ක්‍රිකට්වලට පමණක් ලඝු වූවක් නොවේ. ඔහු 1991 වසරේ ප්‍රධාන ක්‍රීඩා වෛද්‍ය නිලධාරියකු ලෙස පාපන්දු ලෝක කුසලානයද නියෝජනය කළේ ඒ අවස්ථාව ලද එකම ඕස්ට්‍රේලියානු වෛද්‍යවරයා වෙමිනි. ක්‍රිකට්වලට අමතරව පාපන්දු, හොකී, දැල්පන්දු ආදි ක්‍රීඩා රැසකටම ඔහු තම දායකත්වය දක්වා ඇත.
“ශ්‍රී ලංකාවේ සැම ක්‍රීඩාවකදීම ක්‍රීඩකයන්ගේ කැප වීම අත්‍යවශ්‍යයි. ඒ වගේම එයාලට හොඳ සහායක් පරිපාලනය පැත්තෙන් ලැබෙන්න ඕනෑ. ඒ විතරක් නොවෙයි, ක්‍රීඩා වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුවත් අවශ්‍යයි.”
සමුගන්නා මොහොතේදී ඔහුට කීමට තිබුණේ එවැන්නකි.