
දැඩි වර්ෂාව කාටත් බාධාවකි. වැස්සේ බාධාවටත් වඩා ඇතැම් තැන්වල කළුපාට මඩ වතුරේ කෙරෙන ව්‍යාපාර දුටු විට හිතට ඇති වන්නේ අපුලකි.
“ආං බලන්නකෝ... එළවුළු, කොළ ජාති බිම දාගෙන විකුණන හැටි!” උදෑසනට බසයෙන් කොළඹ එන විට දකින සුලබ දසුනක් පෙන්වමින් මිතුරියක පවසන්නේ වෙළෙඳුන් ගැන අප්‍රසාදයෙනි. සැබැවින්ම මේ දසුන් දකින විට වෙළෙඳුන් පිළිබඳ සිතේ ඇති වන්නේ නොපහන් හැඟීමකි.
“ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ...?”
කොළඹ කැලෑ පොළ දකින වාරයක් පාසා හිතේ මතු වන ප්‍රශ්නයට පිළිතුරක් සොයන්න සිත් විය. මා පමණක් නොව, කොළඹ යන-එන බොහෝ දෙනා මේ දසුන දැක ඇතුවාට සැක නැත.
ධාරානිපාත වැස්ස ඇද හැළෙන මහ රෑ අපි කොළඹ ආවෙමු. වේලාව එනමුදු පරිසරයේ ඇත්තේ දැඩි සීතලකි. ටෙක්නිකල් හන්දිය පසු කර පැමිණි අප පාවෙන වෙළෙඳපොළ කෙළවරට වන්නට ඇති කැලෑ පොළට ගොඩ වීමු. ගැහැනු පිරිමි භේදයක් නැත. ලයිට් එළිය යට වෙළෙඳාමේ නිරත වන ඔවුන්ට බාහිර සමාජයේ සිදු වන්නේ කුමක්ද යන්න ගැන ගානක් වත් නැත. කොටින්ම ඉඳ-හිට වැටෙන වැහිපොද ගැන වත් ඔවුන්ට වගක් නැත.
“මොනවද ඕනෑ?”
වෙළෙන්දෙක් අපට ළං වෙමින් ඇසීය.
“අපි පත්තරෙන්, ඔයගොල්ලන්ගේ සංගමයක් එහෙම තියෙනවද?”
අප විමසූ විට ඔහු යන්නට ගියේය. ගත වූයේ මොහොතකි.
“මේ ඉන්නේ ලේකම් මහත්තයා...”
කොළඹ පිටකොටුවේ සීමාසහිත කැලෑ පොළ වෙළෙඳ සංගමයේ ලේකම් හේවාලගේ ගාමිණි අපට හමු වූයේ එලෙසිනි.
“අපි මේ ඉන්නේ 8 වැනි තැන! 1993 ඉඳලා මම වෙළෙඳාම් කරන්නේ. අපට වෙළෙඳාම් කරන්න කවදාවත් ස්ථිර තැනක් තිබුණේ නැහැ. නගර සංවර්ධන කටයුතු කරන කොට අපි ඉන්න තැන්වලින් වෙන තැන්වලට යන්න වුණා. අන්තිමට තමයි අපට මෙතැනට එන්න සිදු වුණේ. රෑ හතේ ඉඳලා උදේ දහය වන තුරු අපි මෙතැන වෙළෙඳාම් කරනවා. අපි කාට වත් මුදල් ගෙවන්නේ නැහැ. ඒත් අපි මේ හැම වෙළෙන්දෙකුගෙන්ම දවසට රුපියල් විස්ස ගානේ එකතු කරනවා. එහෙම එකතු කරන්නේ මෙතැන සුද්ද-පවිත්‍ර කරන අයට ගෙවන්න. ඒ හැරුණාම මෙහෙ කප්පම් ගන්න අය නැහැ. මෙතැන වෙළෙන්දෝ 750ක් විතර ඉන්නවා...”
කැලෑ පොළ වෙළෙඳ සංගමයේ ලේකම් ගාමිණි අප හා එලෙස පැවැසුවේය.
කැලෑ පොළේ ඇත්තන්ගේ ජීවිත පුදුමාකාරය! ඇතැමෙක් කොළඹ අවටය. ඇතැමෙක් කොළඹින් බොහෝ දුර-බැහැරය. මැසි-මදුරු උවදුරුවලට ලක් වෙමින්, වැස්සට තෙමෙමින්, පින්නට හසු වෙමින් ඔවුහු විවිධ දුක්ගැහැට විඳිති. ඒ හැම ගැහැටක්ම විඳින්නේ ජීවිත ගණනක් ජීවත් කරවීමටය.
‘කැලෑ පොළ’ යැයි මෙතැන නම් ලද්දේ කුමක් නිසාදැයි කියන්නට කිසිවකු දන්නේ නැත. එහෙත් බොහෝ වෙළෙඳුන්ගේ අදහස වන්නේ මේ පොළේ ගම්-ගොඩින් හොයාගන්නා ගඩාගෙඩි, කැලෑකොළ ආදිය ඇති නිසා මෙතැන ‘කැලෑ පොළ’ යනුවෙන් කම් කරන්නට ඇති බවය. කොහොම වුවත් කැලෑ පොළේ නැති දෙයක් නැත. කැරට් අලයේ, ලූනු ගෙඩියේ සිට පලා කොළ මැල්ලුම, කොච්චි කරලේ සිට බුලත්-පුවක්, හුනු-දුංකොළ මෙන්ම කීර-පලා වර්ගද කොස්-පොළොස්, අල-බතල ආදි සෑම සියලු දේම විකුණන්නට ඇත.
මෙසේ කැලෑ පොළට එන වෙළෙඳුන් අතර දවස ගානේ එන වෙළෙන්දන් හැරුණු විට දුරින් පැමිණ කොළඹ සතියක්ම ගත කර යන වෙළෙන්දෝද වෙති.
“අපි හවස හත විතර වෙනකොට මෙතැනට එනවා. අවුරුදු ගානක් තිස්සේ මම එකම තැන වෙළෙඳාම් කරන්නේ. මහා ලොකු ලාබ ගන්න බැහැ. මම ගමේ ඇවිදලා පේර ජම්බු ඇඹරැල්ලා ආදිය එතකු කරගෙන එනවා. ඒ පැතිවල ඉඳලා එන ලොරි තියෙනවා. ඒවාට බඩු පටවලා මම බස්එකේ එන්නේ. යන කොටත් බස්එකක නැඟලා ගෙදර යනවා...”
අම්මා කෙනකු පවසන්නේ තමා ජීවත් වීමට ගන්නා උත්සාහයයි.
ගිරිඋල්ලේ සිට පැමිණෙන ඉන්ද්‍රානි අක්කා වෙළෙඳාම සඳහා ගෙන එන්නේ කොළ වර්ගය.
“සුදු හඳුන්, කීර පලා වර්ග තමයි මම එදා ඉඳලාම ගේන්නේ. වැස්ස දවස්වලට කොළ විකිණෙනවා අඩුයි. විකුණාගන්න බැරි වුණොත් පාඩු ලබන්න වුණත් කොළ ටික වීසි කරලා ලැබුණ ගාන අරන් ගෙදර යනවා. මොකද, කොළ කියන එක දවස-දෙක තියාගෙන විකුණන්න බැහැ. උදේ හය-හත වෙනකොට අපි යන්න යනවා...”
තම පවුල් ජීවත් කරවීම සහා පිරිමින් හා කරට කර වෙළෙඳාම් කරන ගැහැනුන්ගේ අරුමය දැකීමට නම් රාත්‍රියේ කැලෑ පොළේ රවුමක් යා යුතුය.
කහතුඩුවේ සිට පැමිණෙන යාපා කැලෑ පොළට එන්නට පටන් ගෙන දැන් අවුරුදු විස්සකි. ඔහුද කොළ වෙළෙන්දෙකි. සාමාන්‍යයෙන් කැලෑ පොළ පටන් ගන්නේ රාත්‍රී 10ට පමණය. එය අවසන් වන්නේ උදෑසන 10ටය. එනමුදු දහය වන විට එම භූමිය පිරිසුදු කර භාර දිය යුතුය. මන්ද: එතැන උදෑසන දහයේ සිට වාහන නැවතුම් පොළක් බැවිනි.
‘කැලෑ පොළ’ කොළඹ මැනිං මාර්කට්-එකට වඩා වෙනස්ය. හේතුව: මෙහි සිටින්නේ ගම්වලින් පැමිණෙන පුංචි වෙළෙන්දන් බැවිනි. සොයාගැනීමට අපහසු ඖෂධ වර්ග මෙන්ම ගමේ එළවුළු පලා වර්ග මෙහි ඇත. එමෙන්ම මහා පරිමාණ වෙළෙන්දෝ දකින්නට නැත. දැන් දැන් කැලෑ පොළේ ඇත්තන් කප්පම්කරුවන්ගෙන් ගැලවී නිදහසේ වෙළෙඳාම් කරගෙන ගියද; ඔවුන් කප්පම්කරුවන්ට බියෙන් වෙළෙඳාම් කළ යුගයක්ද තිබිණි.
එකල කප්පම්කරුවෝ මේ අහිංසක වෙළෙදුන්ගෙන් රුපියල් පන්දාහ-දහදාහ වැනි මුදල් බලෙන් ලබාගත්හ. එහෙත් දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.
“අපි ඒ තත්ත්වය වෙනස් කළා. වෙළෙන්දන්ට තමන්ගේ නිදහස වෙනුවෙන් කතා කරන්න ඉඩ තියෙනවා. දැන් මෙහෙ කප්පම්කාරයෝ නැහැ. අපි හැම දේම සාධාරණව සිදු වන විදිහට වැඩ කරලා තියෙන්නේ. අපි හැමදාමත් බලධාරීන්ගෙන් ඉල්ලන්නේ අපට ස්ථිර තැනක් දෙන්න කියලා. වැස්සාම අපට නොතෙමී ඉන්න විදිහක් නැහැ; අයින් වෙන්න තැනක් නැහැ. කුඩයක් ඉහලාගෙන මේ තැන්වලම ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. වෙළෙන්දෝ හත්සිය පනහක් විතර හිටියට; මේ කැලෑ පොළ නිසා තුන්දාහක් විතර පිරිසක් ජීවත් වෙනවා. ලංකාවේ හතරදිග්බාගෙන්ම එන වෙළෙන්දෝ මෙතැන ඉන්නවා...”
ඒ අඩ අඳුරේ වෙළෙන්දන්ගේත්, පාරිභෝගිකයන්ගේත් ඇඟේ හැප්පෙමින් වැහි වතුර පාගමින් අප හා කැලෑ පොළේ එහෙට-මෙහෙට යමින් තම වෙළෙඳ ප්‍රජාවට සිදුව ඇති අසාධාරණය ගැන කතා කරන අතරේ ගාමිණි පවසන්නට වූයේය.
වසර ගානක් තිස්සේ පොළේ බුලත් විකුණන චන්ද්‍රසේන හා ඔහුගේ බිරිය අප හා කතාවට එක් වූහ. “මම වෙළෙඳාමට ඇවිල්ලා අවුරුදු හතළිස්පහක් විතර වෙනවා. මුලින්ම මගේ තාත්තා තමයි වෙළෙඳාමේ ආවේ. එතකොට මට අවුරුදු දාහතක් විතර ඇති. මමත් තාත්තා එක්ක ආවා. එදා ඉඳලාම බුලත් තමයි ගෙනාවේ. දැන් නම් බුලත් දාහක් රුපියල් හාරදාහක් වෙනවා. ඒ කාලෙ නම් බුලත් දාහක් රුපියල් පනහක් වගේ මිලකට තිබුණේ. මම පාන්දර 3 විතර වෙන කොට නෝනත් එක්ක මෙතැනට එනවා. අපි ගමේ ඇවිදලා බුලත් කොටුවලින් බුලත් එකතු කරගන්නවා. ඒ වගේම අපිට බුලත් ගෙනැල්ලා දෙන අයත් ඉන්නවා...”
බුලත් පමණක් නොව, මෙහි පුවක්ද විකිණීමට ඇත. සුජිත් කුමාර ඒ උදෑසන තෝරමින් සිටියේ වෙරළු ගෝණියකි. “දැන් වෙරළු කිලෝ එක රුපියල් 150ක් වෙනවා. අද මගෙ ළඟ තියෙන්නේ වෙරළුයි, හුළංකීරිය අලයි. මේවා විකුණගන්න පුළුවන්...”
සුජිත් තම කාර්යය කරන අතරේම අප හා පවසන්නට විය. කිරිඳිවැල සිට පැමිණෙන කල්‍යාණි කැලෑ පොළට එන්නේ රාත්‍රී 7 පමණ වන විටය.
“මුලින්ම මගේ නැන්දම්මා තමයි පොළේ ආවේ. මම එයත් එක්ක එන්න පුරුදු වුණා. දැන් මම පොළේ එන්න ඇවිල්ලා අවුරුදු විස්සක් වෙනවා. අපි රැයින් මෙතැනට එන්නේ ප්‍රමාද වෙලා ආවොත් බඩු දාගන්න තැනක් නැහැ. පෝය දවසට පොළ නැහැ. සතියේ අනිත් හැම දවසම අපි මෙහෙ එනවා. රෑ තිස්සේ නිදි වරාගෙන ගෙවන ජීවිතය දුකක් තමයි. රෑට නිඳාගත්ත දවසක් මතක නැහැ. එත් අපි වෙන කොහොමද ජීවත් වෙන්නේ...?”
කල්‍යාණි අක්කා මදුරුවකුට තට්ටුවක් දමමින් පවසන්නීය. මෙය පොළක් වුවද වෙළෙන්දන්ගේ කෑකෝගැසීම් නැත. පාරිභෝගිකයෝ පැමිණෙති; ඔවුන්ට ඕනෑ දේ තෝරාගෙන යන්නට යති. තැනෙක වතුර මුට්ටියක් ගොජ දමමින් උතුරයි. ඒ තේ කඩකාරයාගේ වෙළෙඳාමය. ඔහු කිරි තේ මෙන්ම කහටද සාදන්නට සූදානම් වේ. ඒ අතර කොස් කපන්නියෝද, පොළොස් කපන්නෝද වෙති. මේ සියල්ල අඩු විදුලි එළිය යටතේය. ‘අනේ මේ මිනිසුන් ජීවත් වීමට විඳින දුකක්...’ එසේ සිතෙන්නට වූයේ යළිත් වැහිපොද වැටෙන්න වූ විටය. මෙහි දුටු එකම අඩුපාඩුව නම් දකින දකින වාරයක් පාසා හිතට වද දෙයි. එනම් සියල්ල බිම දමා විකිණීමය.
“ඇයි තට්ටු උඩ දාලා මේ වෙළෙඳාම කරන්න බැරි?” අප එසේ ඇසුවේ ගාමිණිගෙන්.
“ඒකට හේතුවක් තියෙනවා. මෙතැන අපි උදේ දහය වෙනකොට පිරිසුදු කරලා දෙන්න ඕන. මෙතන තට්ටු දාලා වෙළෙඳාම් කරන්න බැහැ. තට්ටු දැම්මොත් අපි කොහෙද ඒවා දාලා යන්නේ? අනික, තට්ටු දැම්මොත් ගොඩක් වෙළෙඳුන්ට වෙළෙඳාම් කරන්න බැහැ; ඉඩ මදි. ඒ නිසයි රෙට්ටුව දාලා බඩු දාන්නේ. අපි වගේ අහිංසක වෙළෙඳුන්ට වගකිව යුත්තන්ගේ අවධානය යොමු වනවා නම් මීට වඩා අපට හොඳක් වෙනවා. ඒත් කවුරුවත් අපි ගැන හිතන්නේ නැහැ...” ගාමිණි කැලෑ පොළේ සියලු වෙළෙන්දන් ගැන උපන් අනුකම්පාවෙන් පවසන්නේය.
ඇඹිලිපිටියේ සිට කැලෑ පොළට පැමිණෙන චන්ද්‍රාවතී යුවළගේ කතාව මීට හාත්පසින්ම වෙනස්ය.
“මම අවුරුද 16ක් තිස්සේ කැලෑ පොළට එනවා. අපි බඩු හොයාගෙන වාහනයක් හයර් කරගෙන එනවා. සිකුරාදාට අවිල්ලා වාහනය යවනවා.
වාහනයට පාළොස්දාහක් ගෙවනවා. කෙසෙල්, මඤ්ඤොක්කා තමයි අරගෙන එන්නේ. විකුණාගන්න බැරි වුණොත් ඔය බඩු ටික අයිනකින් තියාගෙන දවල් දවස කොහෙට හරි වෙලා ඉන්නවා. ගමට යන්නේ සතියකට වතාවක්. කඩෙන් කාලා, පොදු වැසිකිළියට ගිහිල්ලා, රෑ තිස්සේ ඇහැරිලා ඉඳලා, කොහොම හරි බඩු ටික විකුණාගෙන තමයි ගමට යන්නේ. වෙලාවකට හිතෙනවා දැන් මේ එන ගමන තේරුමක් නැහැ කියලා.”
ඇය ජීවිතය සමඟ එසේ ගැටෙන විට හලාවත සරස්වතී අම්මාද දිනපතා හලාවත සිට කොටුවට පැමිණෙන්නියකි.
“මම අවුරුදු 30ක් තිස්සේ එනවා. මට ජීවත් වෙන්න රස්සාවක් තිබුණේ නැහැ. රාජා කියලා අපේ ගමේ අයියා කෙනෙක් හිටියා. ඒ අයියා තමයි මාව මෙහෙ එක්කගෙන ආවේ. මට දරුවෙක් ඉන්නවා. මහත්තයා නැහැ. මම කොළ අරගෙන ආවා. ලොරියට බඩු දාලා, බස්එකේ එනවා. බොහෝම සුළු ලාභයක් තියෙන්නේ. දවසට ලාභය රුපියල් 1500ක් විතර වෙනවා. කොළ විකුණාගන්න බැරි වුණාම කුණුගොඩට වීසි කරලා යනවා...”
සරස්වතී අම්මලා වැනි වයසක ඇත්තන් සමඟ තරුණ කාන්තාවෝද කැලෑ පොළේ වෙළෙඳාමේ යෙදී සිටිති.
සොයාගැනීමට අසීරු ඖෂධ වර්ග - එනම්: ගොනිකා කොළ, හීන් බෝවිටියා, සුදුහඳුන් කොළ ආදි බොහෝ දේ - මෙහි ඇත.
ගමෙන් කොළඹට ගෙනැවිත් කැලෑ පොළෙන් යළිත් ගමටම යන මේ බිමෙහි බිස්නස් රටාව අපූරුය! එහි අපූරු බවකුත් තිබේයැයි අප කීවද, මේ ගැහැනුන් මිනිසුන් විඳින දුක දන්නේ එහි ගිය අයකුම පමණි. රාත්‍රි නින්ද නාඳුනන කැලෑ පොළේ වෙළෙන්දෝ නොනිඳන කොළඹ නගරයේ තවත් එක් දුක් විඳින්නෝ කොටසකි.
ඔවුන්ගෙන් සමු ගෙන, ඒ චුරු-චුරු වැස්සේම අපි එන්නට පිටත් වීමු. පහව යන අඳුරත් සමඟ නගරය ක්‍රමයෙන් කලබලකාරි වෙමින් තිබේ.