ජීවන බර සමඟ බදු බරත් අඩුවෙයි | සිළුමිණ

ජීවන බර සමඟ බදු බරත් අඩුවෙයි

  • ජීවන වියදම් අඩු කරන්න අලුත් රජයෙන් සහන රැසක්
  • ගොවියන් හා වී මෝල් හිමියන් ගත් ණය පොළිය කපයි
  • පරිප්පු - සීනි දුරකථන බදු අඩුවෙයි
  • වී වගාවට රුපියල් 500 ට පොහොර
  • අනෙක් සියලු පොහොර 1500 යි
  • ආනයනික රෙදිපිළි වැට් බද්ද ඉවතට
  • බැංකු පොලී රඳවා ගැනීමේ බද්ද අහෝසියි

පසුගිය සමයේ ජනතාව විදින ජීවන බර අඩු කිරීම අරමුණු කරගෙන මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක ආහාර මිල හා බදු රැසක් අඩු කළේය.

ඒ අනුව පෙට්‍රල් මිල 10 කින් ඩීසල් මිල රුපියල් 7 කින් අඩුවිය. මීට අමතරව වගාව සඳහා ගැනෙන පොහොර මිල රුපියල් 500 දක්වා අඩු කර ඇත. ඊට අමතරව මෙරට විහාරස්ථානවල හා මරණාධාර සමිතිවල ගිණුම්වලින් පවා අය කරනු ලැබූ බැංකු පොලී රඳවා ගැනීමේ බද්ද අහෝසිකර ඇත. රට රැකියා ඉපැයුම් බද්දෙන් නිදහස් කර ඇති අතර දුරකථන බද්ද සියයට 10 කින් අඩුකර තිබේ. ආනයනික රෙදි පිළි බද්ද ඉවතට දමා ඇති අතර සමෘද්ධි ණය අත්තිකාරම රුපියල් දස දහසකින් නංවා තිබේ.

මීට අමතරව පරිප්පු බද්ද රුපියල් 5 කින් සීනි බද්ද රුපියල් 10 කින් අඩුකර තිබේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල අඩු කරමින් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය අනුව මේ සහන විස්තර කර ඇත.

පසුගිය වසර 3 ක කාලය තුළ අඩු වර්ධන වේගය සහ ඉහළ යන ජීවන වියදම තුළින් පිළිබිඹු වූ පරිදි ආර්ථිකයේ දැඩි බිඳ වැටීම කෙරෙහි ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ අවධානය යොමු වී ඇත. මෙම තත්ත්වය උද්ගත වූයේ රටේ පවතින තත්ත්වයන්ට නොගැළපෙන්නා වූ සහ දේශීය ව්‍යවසායකයන් සහ කර්මාන්තවලට අහිතකර වූ පෙර පැවති රජයේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙසින් බව අග්‍රාමාත්‍යතුමාගේ විශ්වාසයයි.

රටපුරා ඉතා හිතකර කාලගුණ තත්ත්වයක් සමඟ 2018/19 මහ කන්නය ආරම්භ වී ඇති අතර ජල විදුලි බල උත්පාදනය, පානීය ජල සැපයුම සහ වගාවන් සඳහා ප්‍රමාණවත් වන පරිදි ජලාශ සහ වාරිමාර්ග ක්‍රම උප‍රිම ධාරිතාවයට ළඟාවීම තුළින් නව ජවයකින් යුතුව ආර්ථිකය ගොඩනැගීමට අවස්ථාව උදාවී ඇත. කෘෂි නිෂ්පාදන තුළින් උපරිම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා රට සූදානම් කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව රජයේ විශ්වාසයයි. ඒ සමඟම අධික ජීවන වියදම මඟින් පාරිභෝගිකයා මත විශාල බරක් පැටවී ඇත. මෙම පසුබිම තුළ ගරු අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා විසින් ආර්ථිකය සවි ගැන්වීම සඳහා පහත සඳහන් මූලාරම්භයන් ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත. දේශීය ගොවීන් ආරක්ෂා කරන අතරතුර ඉහළ ජීවන වියදම හේතුවෙන් ඇතිවී ඇති පීඩනය සමනය කිරීමට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද, පරිප්පු සඳහා කිලෝග්‍රෑමයකට රු. 5 කින් ද, කඩල සඳහා කිලෝග්‍රෑමයකට රු. 5 කින් ද, උඳු සඳහා කිලෝග්‍රෑමයකට රු. 25 කින්ද, අඩු කෙරේ. තිරිඟු ඇට සඳහා පැවති කිලෝග්‍රෑමයකට රු. 6 ක් වූ තීරු බදු සහනය රු. 9 දක්වා වැඩි කෙරේ. සීනි සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අදාළ කෙරෙන අතර එය කිලෝග්‍රෑමයකට රු. 10 කින් අඩු කෙරේ. ඒ අනුව අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල වහාම අඩු කෙරේ.

විශේෂයෙන් ප්‍රවාහන, කෘෂි කාර්මික හා ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් ඇතුළුව සමාජයේ සියලුම ස්ථරවල පුද්ගලයන්ට බලපාන අධික ඉන්ධන මිල සැලකිල්ලට ගෙන පෙට්‍රල් (ඔක්ටේන් 92) ලීටරයක මිල රුපියල් 10 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් හා ත්‍රිරෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත්‍ර සඳහා යොදා ගැනෙන 2T ලිහිසි තෙල් ද ඇතුළුව ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10 කින් ද අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ. ඒ සමඟම ඉන්ධන මිල ගණන් තීරණය කිරීම සඳහා මාසික ඉන්ධන මිල සූත්‍රය වෙනුවට පිරිවැය මත පදනම්වූ ප්‍රායෝගික මිල ක්‍රමවේදයකින් ක්‍රියාත්මක කෙරේ.

දේශීය ගොවීන් විසින් නිෂ්පාදනය කරන වී, ළූණු සහ අල සඳහා සහතික මිල ක්‍රමවේදයක් හඳුන්වා දේ. ඒ අනුව වාසිදායක සහතික මිලක් හරහා දේශීය ගොවීන් ආරක්ෂා කිරීමට අස්වනු නෙලන සමයේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නංවනු ඇත. ලොකු ළූණු සහ අල අස්වැන්න වෙළෙඳපොළට ලැබෙමින් පවතින බැවින් ඒ මත අයවන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 40 ක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.

පැවැති අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ ගොවීන්ට සහ කුඩා වී මෝල් හිමියන්ට තම ජීවිකා වෘත්තිය කරගෙන යාමට නොහැකි වීමෙන් විශාල වශයෙන් ණය වීමට සිදුවූ අතර පසුගිය වසර 03 ක කාලය තුළ වාණිජ බැංකු මඟින් ලබාදුන් රුපියල් මිලියන 50 ක උපරිමයක් දක්වා වන ණය මුදලක් සඳහා වූ පොලී සහ දඩ මුදල් සම්පූර්ණයෙන් ම කපා හැරෙන අතර එම පිරිවැය රජය විසින් දරනු ඇත.

සමෘද්ධි ප්‍රතිලාභීන්ට සමෘද්ධි බැංකු මඟින් එදිනෙදා කටයුතු සඳහා දෙනු ලබන ණය අත්තිකාරම් උපරිම සීමාව රුපියල් 10,000 කින් වැඩි කෙරේ.

වී වගාව සඳහා දෙනු ලබන කිලෝග්‍රෑම් 50 ක පොහොර බෑගයක මිල රුපියල් 500 ක් ලෙස පවත්වාගෙන යන අතර අනෙකුත් බෝග සඳහා කිලෝග්‍රෑම් 50 ක පොහොර බෑගයක සහන මිල රුපියල් 1,500 යේ සිට රුපියල් 1,000 දක්වා අඩු කෙරේ. 14% ක සහනදායි ආදායම් බදු අනුපාතය වර්තමානයේදී අදාළ වන්නේ කෘෂි කාර්මික කටයුතුවල නිරත සමාගම්වලට පමණි. කෘෂිකාර්මික ව්‍යාපාරවල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට 14% දක්වා අඩු කෙ‍රේ.

මේ වනවිට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන කාණ්ඩය යටතේ 14% ක සහනදායි ආදායම් බදු අනුපාතය අදාළ වන්නේ සමාගම් සඳහා පමණි. මෙම අනුපාතය වෘත්තීය සේවා සපයන්නන්ද ඇතුළුව සියලු තැනැත්තන්ට අදාළ කෙරේ. ඒ අනුව වෘත්තීය සේවා සඳහා වන උපරිම බදු අනුපාතය 24% සිට 14% දක්වා අඩු කෙරේ.

මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොලිය රඳවා ගැනීමේ බදුවලින් නිදහස් කෙරේ.

ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට ප්‍රේෂණය කිරීම දිරිගැන්වීම සඳහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් ප්‍රේෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.

එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැඟීමේ බදු සරල කිරීම මඟින් අධික ලෙස පනවා ඇති වක්‍ර බදු නිසා ජනතාවට ඇති වී ඇති පීඩනය සමනය කෙරේ. වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රු. මිලියන 12 සිට රු. මිලියන 24 දක්වා වැඩි කෙරේ.

කුඩා පරිමාණ වෙළෙඳ ව්‍යාපාරිකයන් සඳහා සහන සලසාලමින් තොග සහ සිල්ලර වෙළෙඳ අංශය වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව ද වර්ෂයකට රු. මිලියන 50 සිට රු. මිලියන 100 දක්වා වැඩි කෙරේ.

දේශීය ඉදිකිරීම් කර්මාන්තයට සහායවීම සඳහා ඉරූ දැව ආනයනය මත වැට් බදු අනුපාතය 15% සිට 5% දක්වා අඩු කෙරේ.

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා ආනයනික රෙදිපිළි මත වැට් බද්ද ඉවත් කෙරේ. දුරකථන සේවාවන් සඳහා පනවා ඇති ඉහළ බදු සැලකිල්ලට ගෙන 25% ක් වන විදුලි සංදේශ බද්ද 15% දක්වා අඩු කෙරේ.

මෙම මූලාරම්භ‍යන්ගේ මූලික පරමාර්ථය නිෂ්පාදන දිරිගැන්වීම සහ බදු ක්‍රමය සරල කිරීම වේ. එය නිසැකවම අමතර ආදායමක් ඉතිරි කරමින් ගෘහස්ථ ආර්ථිකයට සහයක් වනු ඇත. බදු ක්‍රමය සඳහා යෝජිත ‍සංශෝධන මගින් මෙරටට කෙරෙන ප්‍රේෂණය සහ ඉතිරි කිරීම් දිරිගැන්වෙනු ඇත.

තවද අඩු අමාත්‍යාංශ සංඛ්‍යාවක් තුළ කැබිනට් අමාත්‍ය ධූර අඩු කිරීමෙන් සහ ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘති යළි සුපරීක්ෂණය මගින් රජයේ වියදම් අඩු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව 2018 වර්ෂය සඳහා ඉලක්ක කරන ලද ද.දේ.නි.යෙන් 1.8% ක ප්‍රාථමික අතිරික්තයක් සහ අයවැය හිඟය ද.දේ.නි. යෙන් 4.9% කට ආසන්න අගයක පවත්වාගෙන යමින් ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය තවදුරටත් ළඟාකර ගත හැකි බව රජයේ දැඩි විශ්වාසයයි. මේ අතරම දැඩි අවශ්‍යතාවක් වන විනිමය අනුපාතය ස්ථාවරව පවත්වාගැනීම සඳහා මෙන් ම විදේශ වෙළෙඳාම සහ විදේශ වෙළෙඳ ගනුදෙනු තවදුරටත් ඒකාග්‍ර කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ද සලකා බලමින් පවතී.

ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉහත ප්‍රතිපත්තිමය කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදී ඇත. ඒ අනුව ඉහත කී බදු සංශෝධන යෝජනාවලට අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇති අතර, අවශ්‍ය බදු නීති සංශෝධන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂිතය. මේ ක්‍රියාවලිය නිසා දස ලක්ෂ 20 ක් වූ ජනතාවට ඉහළම ප්‍රතිලාභ සැලසෙයි. මෑත ඉතිහාසයේ මෙතරම් එක්වරම සහන ලැබුණු වකවානුවක් නැති තරම් ය.

මේ සහන අනුව ඉදිරියේදී ප්‍රවාහන වියදම බස් ගාස්තු අඩුවීමට හේතු වනු ඇත. ජීවන බර අඩුවී රටටම නව සහනයක් ලැබෙනු ඇත.

 

Comments