
තරුණයාණන් පිළිබඳව කතාබහටය. එය කොතරම්ම දුර දිග ගියේ ද යත් එය අවසන “දැන් ඉතින් ඔබ අපට අමුත්තෙක් නොවේ. ඔබ මෙරටේ සිටින තුරු අවස්ථාව ලැබෙන පරිද්දෙන් මාළිගයේ අප හා සමීප සම්බන්ධතා ඇති කරගන්නට මම ඔබට අවස්ථාව සලසනවා” යයි ද රජතුමා කීවේ එතැන සිටි විද්වතුන් මවිතයට පත් කරමිනි. එසේ වැඩි දෙනකු මවිත වූයේ මින් පෙර කිසිම දිනක එවන් වදනක්
මහරජතුමාගෙන් මෙහි වූ
විද්වතුනට නොලැබුණ බැවිනි
සෝමසිරි කස්තුරිආරච්චි
ආචාර්ය ගුණපාල පියසේන මලලසේකර තරුණයාට ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබන්නට ඉඩහසර සැලසුණේ පූරුවේ වාසනාවකට මෙනි. එකල එවැනි ඒරොප්පේ රටක අධ්‍යාපනය ලැබීම සීමාවී තිබුණේ යහමින් සල්ලිය බාගෙ තිබුණු පැළැන්තියකට පමණි. සිංහල භාෂාවේ වදන් හරඹ දැන කියා ගත්දා සිට පෙර පින් ඇතියකු ලෙස හපන්කම් දැක්වූ මලලසේකර දරුවාට පියවරෙන් පියවර ඉහළ යන්නට ඉඩ සැලසුණේ සමහරුන් විස්මයට පත් කරවන අයුරිනි.
කවදත් කොතැන ගියත් තම නිසග දක්ෂතා අනුව අලුත් යමක් කරන්නට සැරසෙන මලලසේකර තරුණයා එදා එසේ ලන්ඩන් ගිය ගමන්ම කළ ප්‍රධාන කටයුත්තක් වූයේ එහි විද්වතුන් සමඟ සමීප ඇසුරක් ඇතිකර ගැනීමය. ඉක්මණින්ම එහි ප්‍රතිඵලයක් ද ඔහු වෙත ලැබිණ. ඒ එවකට බ්‍රිතාන්‍ය අධිරාජයාවූ පස්වැනි ජෝර්ජ් රජතුමා සමඟ වූ විද්වතුන්ගේ සැඳෑ සාදයකට ඇරැයුම් ලැබීමය. මෙය මලලසේකර තරුණ ශාස්ත්‍රධරයා ලද අනගි අවස්ථාවක් ද විය.
මේ අනුව තමනට ‘රජ දැක්මකටද’ අවසර ලැබෙන මේ ඇරැයුම් පත ලැබුණු මොහොතේම මලලසේකර තරුණයා තමන් සිය රට සිට ගෙන ආ ජ්‍යෝතිෂ පොත් අනුව සොයා විමසා බැලුවේ එයට යා යුතු සුභ නැකතක් ද තිබෙනවා දැයි කියාය. වාසනාවකට මෙන් එදිනම සවස් වේලාවට පෙර අතිශයින්ම සුබ ග්‍රහ යෝගයක් තම නැකතට ද අනුව යෙදී තිබෙන බව දුටු ඔහු අතිශයින්ම සතුටට පත් විය.
ඒ සමඟම එම කාඩ්පතේ පහළින් සඳහන් කර තිබුණේ මෙම සැඳෑ සාදය උදෙසා සහභාගිවන්නන් සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසී ආ යුතු බවය. එය ද මලලසේකරයන්ට එතරම් ප්‍රශ්නයක් නුවූයේ ඔහු ද මේ වනවිට ද යුරෝපීය ඇඳුම අඳින්නකු ද වූ හෙයිනි. එහෙත් තමන් ගිය ගිය තැන අලුත් යමක් කරන්නට කවදත් කොතැනත් පෙළැඹී තිබුණු නිසා එසේ යන ගමන තම ඇඳුමින් ද වෙනසක් කර ගත යුතු යැයි සිතාගත් ඔහු කළේ තමනට එසේ ආරාධනය කළ විද්වතාණන්ට ලිපියක් ලිවීමය.
“ඔබතුමා මා වෙත කළ ආරාධනය ගැන බෙහෙවින්ම ස්තුතියි. මා දැනට ද අඳින්නේ යුරෝපීය ඇඳුම් කට්ටලය නිසා එහි ද ප්‍රශ්නයක් නැත. එහෙත් මේ සමඟ තිබෙන මා මගේ රටේ දී අඳින සුදු ආරියසිංහල ඇඳුම් කට්ටලය ඇඳගෙන ඔබේ සැඳෑ සාදයට සහභාගි වන්නට අවසරයක් ලැබුණොත් එය මට කරන ලද විශේෂ ගෞරවයක් ලෙස සලකාවි” යනුවෙන් වූ ලිපිය තම ඡායාරූපයත් සමඟ එම විද්වතා වෙත තැපැල් කළ මලලසේකර තරුණයා ඉන් කවරක් වුව ද කම් නැතැයි ද සලකා ගත්තේය.
එම ලිපිය ලද විට දී එම ආරාධනය කළ විද්වතා පත්වූයේ බරපතළ ප්‍රශ්නයකට ය. මෙයට තමන්ට තනියෙන් තීරණයක් ගත නොහැකි බව තේරුම් ගත් එතුමන් කළේ එම ලිපිය සමඟ මලලසේකර ඡායාරූපය මහරජතුමා වෙත පෙන්වා සිටීමය. සුදු ඇඳුමින් සැරසුණු තරුණ ශාස්ත්‍රධරයාගේ රුව දුටු එතුමෝ එයට සිය අනුමැතිය දී සිටියහ.
හැරෙන තැපෑලෙන් ම ලද අනුමැතියෙන් තමන්ගේ අදහස ඉටුවී තිබෙන බව දුටු මලලසේකරයෝ අතිශයින් ම සතුටට පත්වූහ. මෙසේ තමන්ගේ ජීවිතයේ පළමුවරට ‘රජ දැක්මකට’ පියවර තැබීම මෙසේ තමන් විසින් ම සදාගත් සුබ නැකත අනුව ඉදිරියට තැබූ එතුමෝ නියමිත දින නියමිත වේලාවට බකිංහැම් මාළිගයට සම්ප්‍රාප්ත වූහ.
මෙහිදී ආරාධනය කළ විද්වතා මලලසේකර ශාස්ත්‍රධරයා මහාධිරාජයාණන්ට විශේෂයෙන් ම හඳුන්වා දෙන ලද්දේය. එතුමෝ ද මේ ප්‍රියමනාප පෙනුමින් යුතු තරුණයකවූ ශාස්ත්‍රධරයා පිළිගත්තේ කලකින් හමුවූ හිතවතකු පරිද්දෙනි. ඔහු සමඟ වචන කිහිපයක් කතා කිරීමෙන් අනතුරුව ඔහු මනා ලෙස ඉංග්‍රීසි වදන් හසුරන විද්වතකු බව ද, කථෝපකථනයට මනා සුදුසුකම් ලද්දකු බව ද හෙළි විණ. ඉන්පසුව රජතුමා කළේ අසල සිටි තමන්ගේ බිසොව වූ මේරි රැජින ද මේ තරුණයාට විශේෂයෙන්ම හඳුන්වා දීම ය. ඉන්පසුව ඇතිවූ කතාබහේදී කියැවුණු වචන කිහිපයකින් රජතුමාට තවත් අදහසක් ද ඇතිවූ බව පෙනිණි.
“කොහොමද ඔබේ රෙට් ඉතිහාසගත තොරතුරු?” යි රජතුමන් ඇසුවේ එහෙයිනි.
වර්ෂ දෙදහස් ගණනක ඉතිහාසය ගැනත් එකල අපේ රටේ රජවරුන්, යෝධයන් සිදුකළ වෙහෙර, විහාර, වාරිමාර්ග ගැන අදත් පුදුම එළවන කටයුතු ගැනත් කී එතුමෝ සංස්කෘතිකමය වශයෙන් තම රට ලෝකයේ මුල් තැනක් ගෙන තිබෙන බවත් කියා සිටියහ.
මෙහිදී රජතුමාට තවත් අදහසක් ඇති වූවා සේ ය.
“මෙය සාමාන්‍ය සුහද හමුවක්. සහභාගිවන්නේ විද්වත් පිරිසක් නිසා මේ පිරිසට ඔබේ රෙට් ඉතිහාසය ගැන කෙටියෙන් විනාඩි දහයක පමණ කතාවක් කරන්නට මම ඔබට අවසර දෙනවා” යි ඉන් පසුව රජතුමෝ කීහ.
මලලසේකර තරුණ ශාස්ත්‍රධරයාට මෙය කියලාවත් කරගන්න බැරි තරමේ අවස්ථාවකි. එහෙයින් ඔහු එතුමාගේ එම ආරාධනය අනුව ලංකාවේ ඉතිහාසය ගැන තොරතුරු සැකෙවින් විස්තර කළහ. එක්දහස් හයසිය ගණන්වල අගභාගයේ ලංකාවේ සිරකරුවකු ලෙස සිටි රොබට් නොක්ස් විසින් ලියන ලද ‘ලංකා විත්තිය’ ගැන ද, වර්ෂ 1836 දී ලංකාවේ දිසාපතිවරයකු ලෙස සිටි ජෝර්ජ් ටර්නර් මහතා පාලි ඉගෙන ගෙන පාලි භාෂාවෙන් පුස්කොළ පොත්වල ලියා තිබූ ලංකාවේ ඉතිහාසය ඇතුළත් ‘මහාවංශය’ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලයේ මුද්‍රණය කර ප්‍රකාශයට පත් කළ අයුරු ද කියා සිටියේ ය.
ඉන් අනතුරුව එම ග්‍රන්ථවලින් පිබිදුණු එංගලන්ත විශ්වවිද්‍යාලවල ඉහළට ඉගෙන ගත් වැඩි පිරිසක් යටත් විජිත ලේකම් වෙතින් ලංකාවේ රාජ්‍ය සේවයට ඉල්ලුම්කර ‘සිලෝන්’ රටට ගිය විත්තිය ද එතුමෝ පිරිස හමුවේ කියා පෑහ. එයින් සිදුවූයේ විවේක අවස්ථාවල හා රාජකාරි අවස්ථාවල ද ලංකාවේ ඉතිහාස තොරතුරු උපුටාගෙන ඉන් ග්‍රන්ථ පළකර ලංකාවේ ඉපැරැණි අගය ලෝකයා වෙත කියාපෑමය. එයින් තම රටට ඉමහත් කීර්තියක් අත්වූ බව ද එතුමෝ එහිදී පළ කළහ.
මෙවන් වූ විද්වත් දේශනයකින් පසුව එහි සිටි විද්වත්හු මලලසේකර තරුණයාට අතට අත දෙමින් යළි යළිත් බුද්ධිමත් සංවාදවලදී හමුවිය යුතු බව තීරණය කරගත්හ.
එම සැඳෑ සාදයෙන් වැඩිකොටසක් වෙන්වූයේ මලලසේකර විද්වත් තරුණයාණන් පිළිබඳව කතාබහට ය. එය කොතරම්ම දුර දිග ගියේ ද යත් එය අවසන “දැන් ඉතින් ඔබ අපට අමුත්තෙක් නොවේ. ඔබ මෙරටේ සිටින තුරු අවස්ථාව ලැබෙන පරිද්දෙන් මාළිගයේ අප හා සමීප සම්බන්ධතා ඇති කරගන්නට මම ඔබට අවස්ථාව සලසනවා” යයි ද රජතුමා කීවේ එතැන සිටි විද්වතුන් මවිතයට පත් කරමිනි. එසේ වැඩි දෙනකු මවිත වූයේ මින් පෙර කිසිම දිනක එවන් වදනක් මහරජතුමාගෙන් මෙහි වූ විද්වතුනට නොලැබුණ බැවිනි.
මෙසේ වූ විද්වත් රජදැක්මේ හමුවෙන් පසුව මලලසේකර ශාස්ත්‍රධරයාණෝ ලන්ඩන් විද්වත් සමාජය හමුවේ අතිශයින්ම ගෞරව සම්මානයට ලක්වූහ.
මලලසේකර තරුණයා ලන්ඩනයට සැපත්වූ අවස්ථාවේ සිට එතුමෝ ප්‍රධාන වශයෙන් ම ඇසුරු කළේ ආචාර්ය රිස් ඩේවිස් මහතාගේ බිරිය වූ ආචාර්ය කැරොලයින් රිස් ඩේවිස් මැතිනියය. ඉන්පසුව ලන්ඩනයේ ප්‍රකට පඬිවරයකු වූ හැරී වෙස්ට්බ්‍රෑක්, ආචාර්ය ආර්.ඇල්. ටර්නර්, ආචාර්ය එල්.බී. බාර්නට්, ආචාර්ය ඩබ්ලිව්. ස්ටීව් වැනි පඬිවරුන්ගේ ද සමීපාශ්‍රය ද එතුමනට ලැබිණ. ඔවුනගේ ඇසුරින් මලලසේකරයන්ට මෙන් ම ඔවුනට ද විවිධ විෂයන් අතර මහා දැනුමක් ලබාගන්නට අවස්ථාව ලැබුණේ නව ඇසකින් ප්‍රශ්න දෙස බැලීමේ බුද්ධි ප්‍රභාවකින් යුතුව සිටි මලලසේකර චින්තනය නිසා ය.
හැරී වෙස්ට්බ්‍රෑක් පඬිවරයාගේ දියණියක වූ මාර්ග්‍රට් රසල් වෙස්ට්බ්‍රෑක් මෙණෙවිය සිලෝන් රටින් මෙහි පැමිණි මේ විද්වත් කළු තරුණයා සමඟ ‘එක බැල්මෙන්ම’ පෙමින් බැඳුණේ ද මේ හා සමාසන්න කාලයේදීය. පෙර අපර දෙදිග මේ ප්‍රේම කතාව බකින්හැම් මාළිගය කරා ද අපූරු ඕපාදූපයක් බවට පත්වී පැතිර යන්නට ද වැඩි කලක් ගතවූයේ ද නැත. එහෙත් ඒ ගැන වපර ඇසකින් නොබැලූ මාළිගයේ රාජකීයන් අතර ද “අපේ මේ සුදු කෙල්ලට මලලසේකර වැනි බුද්ධිමත් කළු කොල්ලෙක් ගැළපෙනවා” යැයි කියන්නට තරම් එඩිතරවූ බව ද පසුව ප්‍රකට විය.
මලලසේකරයනට ලන්ඩන් විශ්වවිද්‍යාලයේදී අධ්‍යයනය කරන්නට ලැබුණේ පාලි, සංස්කෘත භාෂා සමඟ වාග් විද්‍යාව මුල් කරගෙනය. එයින් ඇම්.ඒ. උපාධිය සමත්වීම එතුමන්ගේ අදහස විය. ලන්ඩන් කෞතුකාගාරයේ තිබුණු පාලි භාෂාවෙන් ලියැවුණු පුස්කොළ පොත් සහ ග්‍රන්ථ ද සහාය කරගෙන “ලංකාවේ පාලි සාහිත්‍යය” නිබන්ධනය ඉහළින් ම ලියැවිණ. මේ අතර බාහිර ශිෂ්‍යයකු ලෙස පී.එච්.ඩී. විභාගය ලිවීමට ද කටයුතු කළ හැකි බව වටහා ගත් මලලසේකරයෝ එය එසේ කළහ. ඇම්.ඒ. උපාධිය ලැබී දින ගණනාවකට පසුව එතුමාට පී.එච්.ඩී. උපාධිය ද ලැබිණ. මෙතෙක් මේ විභාග දෙකම එකවරටම ලබාගත් කෙනෙකු නොවූ හෙයින් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පාලකයෝ මෙයින් උපාධි ලාභ වෙතැයි බියට පත්ව මින් පසුව ඇම්.ඒ., පී.එච්.ඩී. උපාධි දෙකම එකටම ගත නොහැකි ලෙස නීති සම්පාදනය කළහ.
මේ අනුව මෙසේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඇම්.ඒ., පී.එච්.ඩී. උපාධි දෙකම මහ ඉහළින් සමත්වූ ලංකාවේ මලලසේකර විද්වතා පිළිබඳව යශෝරාවය දෙස් විදෙස්හි පතළව ලංකාවට ද ආරංචි වූයේය. එතෙක් ආනන්දයේ කටයුතු කළ මලලසේකරයන්ට යළිත් සිය රට පැමිණි විට ආනන්දයේ අතිරේක විදුහලක් ලෙස නිර්මාණය කර තිබුණු නාලන්දා විදුහලේ විදුහල්පතිකම පිරිනමන බව ද අදහස් පළවිණ.
ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉහළින් ම සමත්ව යළි සියරට පැමිණි මලලසේකර විද්වතාණන්ට මෙසේ නාලන්දාවේ විදුහල්පතිකම පිරිනැමිණ. මේ අතර එතුමන් බෞද්ධාගමික මාසික සඟරාවක් ලෙස ‘ශ්‍රී ධර්ම ශ්‍රී’ සඟරාව නමින් සංග්‍රහයක් ද පළකරවමින් සිටියහ. එකල එය පැවිදි ගිහි බුද්ධිමතුන් අතර මහත් වූ විමසිල්ලකට ද ලක් වූ සාර සංග්‍රහයක් ද විය.
‘ශ්‍රී ධර්ම ශ්‍රී’ සඟරාව ප්‍රකාශයට පත් කළේ කොළඹ වේල්ලවීදියේ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතා විසිනි. එතුමන් සමඟ මලලසේකර මහතාණන් කී කතාවක් එතුමාගේ වියෝවින් ද පසු දශක ගණනාවකට අනතුරුව දිනයක සිරිවර්ධන මහතා අප සමඟ කීවේ “සිරිවර්ධන මහත්මයා” මම එදා එංගලන්තයේ දී සාදාගත් සුබ නැකත නිසා එදා රාජ වරප්‍රසාද ලබන්නට ද හේතු වුණා කියලා මම හිතනවා. එය මගේ මුළු ජීවිතයටම බලපානවා කියලා” යනුවෙනි.
ඉන් දශක ගණනාවකට පසුව මලලසේකර මහතාණන් තානාපති, මහකොමසාරිස්, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත, ලෝක බෞද්ධ සම්මේලනයේ සභාපති ආදී විවිධ කටයුතුවල පමණක් ද නොව ලෝකයේම ගරු සම්මානයට පාත්‍රවන තනතුරු දැරුවේද, රජවරුන් රාජ්‍ය නායකයන්ගේ විද්වතුන්ගේ පඬිවරුන්ගේ ගෞරව සම්මානයට පාත්‍ර වුණේ ද එතුමන් එදා තමන් විසින් ම ලන්ඩනයේදී සාදාගන්නා ලද විශිෂ්ට සුබ නැකත නිසා යැයි ද සිරිවර්ධන මහතා අප සමඟ කීවේ එවන් නැකතකින් තම ජීවිතයටම ගරු සම්මාන ලබාගත් වෙනත් කෙනකු ගැන කියන්නට නැති බව ද සඳහන් කරමිනි.
මලලසේකර මහත්මා සිය රට පැමිණ නාලන්දාවේ විදුහල්පති කම දරද්දී එංගලන්තයේ දී ‘එක බැල්මෙන්ම’ මේ කළු තරුණයාගේ හදවත පැහැරගත් සුදු මෙණෙවිය මාර්ගට් රසල් වෙස්ට්බ්‍රෑක් පෙම්වතිය සත් සමුදුරු තරණය කර ලංකාවට පැමිණ සිය පෙම්වතා බැහැ දුටුවාය. ඇගේ ස්ථිර ප්‍රේමය ගැන ගෞරව දැක්වූ මලලසේකර විදුහල්පතිතුමන් කළේ ප්‍රථමයෙන් ම එතුමිය ආනන්ද බාළිකා විදුහලේ ආචාර්ය මණ්ඩලයට ඇතුළත් කර බෞද්ධ අධ්‍යාපනය පිළිබඳව ද ප්‍රභූ බෞද්ධ කාන්තාවන් පිරිසක් හමුවට යොදා සිංහල ගති පැවතුම් පිළිබඳව ද මනා අධ්‍යයනයක් ලබාදීම ය. ඉන්පසු එතුමෝ ඇය තම මැතිනිය බවට පත් කරගත්හ.
නියම සිංහල බෞද්ධ ලලනාවක මෙන් මලලසේකර මහතාට පතිනියක වූ එතුමිය වර්ෂ තුනකට පසුව චිත්‍රා නම් වූ දුවක ප්‍රසූත කර ඉන්පසු ඇතිවූ ආබාධයකින් රෝගෝපගතව පස් මසකට පසුව අභාවයට පත්වූවා ය. සිඟිති චිත්‍රා දියණිය ද සමඟ තනිවූ මලලසේකර තුමන් යළි දෙවැනි විවාහයක් කරගත්තේ තම දියණියට වසර තුන හමාරක් ගතවූ පසුවය. පානදුරේ වලානේ ලයිලි විජේවර්ධන මෙණෙවිය විවාහ කරගත් එතුමන්ට ඇයගෙන් දූවරුන් දෙදෙනකු ද පුතුන් තුන් දෙනකු ද ලැබිණ.පසු කලක සිය මාතාව මෙන් සංගීතයට දස්කම් දැක්වූ චිත්‍රා දියණිය ලංකා ගුවන් විදුලියේ සංගීත පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරියක ලෙස සේවය කරමින් සිට විශ්‍රාම ලබා පසු කලකදී අභාවයට පත්වූවා ය.
මහාචාර්ය මලලසේකර මහතාණන් ලෝකයේ හැම තැනකදීම සිය කීර්තිය බබළවන්නට බුද්ධි බලයෙන් කටයුතු කළේ නිසඟ දක්ෂතා දක්වමින් බව සමකාලීන විද්වතුහු පවසන්නේ නොමද විශ්මයෙන් ද යුතුවය.
1899 අවුරුද්ද යුරෝපාකරයේ පැතිරගියේ ලෝකය විනාශයට පත්වන වසරක් හැටියට ය. එහෙයින් එහි සමහර අය සිය දේපළ විකුණමින් පවා සුඛෝපභෝගීව ගත කරමින් මේ අවසන් දින කිහිපය විඳ ගත්හ. එහෙත් ලෝකයට කිසිත් ම කරදරයක් නැතිව 1900 වසර ලබද්දී ඔවුහු අන්දමන්ද වූහ.
මෙසේ 1899 අවුරුද්ද ලොව විනාශ වන වසර ලෙස හැඳින්වීමේ අදහස ලංකාවට ද පැමිණි නමුත් අපේ ඇත්තන් ඒ ගැන කලබලයට පත්වූයේ ද නැත. අපේ ඇත්තනට වැවිලි කර්මාන්ත වලින් ද ඛණිජ ද්‍රව්‍යවලින් ද අතිශය ඉහළ ආදායමක් ලබන්නට ද ඒ යුගය බලපෑ හෙයින් ඔවුහු තවතවත් එම කටයුතුවල යෙදුණහ.
කොළඹ මෝදර එළිහවුස් මන්දිරයේදී මහ මුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායක තුමන්ගේ තුන් වැනි දරුවා වශයෙන් 1899 ජනවාරි 08 වැනිදා සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක දරුවා උපන්නේ ය. ඒ සමඟම එක්වාදහස් අටසිය අනූනවයේ නොවැම්බර් 09 වැනිදා පාණදුරේ මාලමුල්ලේ ජීවක වෙදමහත්තයා යැයි ප්‍රකට කීර්තියකින් යුතු වූ සියදෝරිස් පීරිස් මලලසේකර වෙදආරච්චි රාලහාමිගේ දෙවැනි දරුවා වශයෙන් ජෝර්ජ් පීරිස් මලලසේකර දරුවා උපන්නේ ය. පසුකලෙක ලොකු මහත් වී ඉගෙන මේ දෙදෙනාම එක හා සමාසන්න කාලයකදීම එංගලන්තයේ ඔක්ස්පර්ඩ් හා ලන්ඩන් විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය ලබන්නට හේතු වාසනා ලද්දේ දෛවයේ එක්තරා අන්දමක හාස්කමකින් ද යුතුවය. එසේම එකම යුගයකදි මේ දෙදෙනාටම රාජතාන්ත්‍රික වශයෙන් ද එකට එකතු වී කටයුතු කරන්න අවස්ථාවක් ද සැලසිණ.
බණ්ඩාරනායක අගමැතිතුමා වාමාංශික රටවල් සමඟ තානාපති සබඳතා කරගනිද්දී රුසියාවේ ලංකාවේ තානාපති ලෙස යැව්වේ අපේ ගුණපාල මලලසේකර මහත්මාය. ඉන් පසුව එතුමෝ රටවල් කිහිපයකම තානාපති, කොන්සල්ජනරාල් ආදී ධූර මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තනතුරද දරමින් තවත් කීර්තිධරව ලංකාවට ද කීර්තියක් අත්කර දුන්හ.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයා ලෙස ද, සමස්ත ලෝක බෞද්ධ සම්මේලනයේ ආරම්භක සභාපතිවරයා ලෙස ද සුවිශේෂ සේවාවක් කළ එතුමෝ වර්ෂ 1959 දී සිදුවූ බණ්ඩාරනායක අගමැතිතුමාගේ අභාවයෙන් පසුව අසරණ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් තැන ගෙන රටට සේවය කරන්නට එක්වන්නැයි බණ්ඩාරනායක මැතිතුමිය කළ සුවිශේෂ ආරාධනය කාරුණිකව ප්‍රතික්ෂේප කළහ. එසේ නොකර එතුමන් මෙහි පැමිණ එසේ දේශපාලනයට පිවිසියා නම් නොවැරැදිවම වර්ෂ 1960 මාර්තු මැතිවරණයේදී මලලසේකර මහත්මාට ලංකාවේ 6 වැනි අග්‍රාමාත්‍යවරයා වීමේ අවස්ථාව ලබාගන්නට ද තිබිණ.
නමුත් එම උත්තරීතර අවස්ථාව එතුමා ප්‍රතික්ෂේප කළේ ‘අප සිටින්නේ බුද්ධිමය දායාදය දෙන්නට මිසක දේශපාලනය කරන්නට නොවේය’ යනුවෙන් පවසමිනි.
වර්ෂ 1973 අප්‍රේල් 23 වැනිදා එතුමෝ අභාවප්‍රාප්ත වූයේ තමන් උපන් රටේ වගකීම මැනැවින් ඉටු කරන ලද සුවිශේෂ පුද්ගලයකු වශයෙනි. එතුමාගේ ගුණ සමුදාය - මෙතරම් කලක් ඉකුත්ව ගිය ද වැඩි දෙනකුට අමතක නොවන්නේ එවන් උතුමකුගේ උත්පත්තිය ද ජාතියකට දුර්ලභ කාරණයක් ද වූ බැවිනි.