
ඇහැල/ එරබොදු/ බටකිරිල්ල /තෝර/ ගැටතුඹ
කුඩා ළමුන්ට සුලභව වැළඳෙතැයි විශ්වාස කරන පණුරෝග කිසිදු බේදයකින් තොරව වැඩිහිටියන්ටද වැළඳෙන්නට පුළුවන. එසේම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වැළඳෙන පණුරෝග ස්ත්‍රීන්ට වැළඳීමේදී වැඩි අවදානම් තත්වයක්ද මතුවිය හැකිය.
අපිරිසිදු ආහාර ගැනීම නිසා පණුරෝග වැළදෙන්නේ යැයි විශ්වාස කළද, කෙතරම් පිරිසිදු ආහාරපාන ලබාගත්තද, කල්යත්ම පණු රෝග මතුවීම ස්වභාවික තත්වයකි.
“ඉස්සර කාලේ අපේ රටේ මිනිස්සු අවුරුද්දකට සැරයක් කුස විරේක කළා… තැඹිලි විරේකය, සෙනෙහෙ කොළ විරේකය, අරළු විරේකය, ලුණු විරේකය වගේ විරේක ගැන තවමත් අපේ ගම්වල වැඩිහිටියෝ දන්නවා… දැන් අලුත් පරම්පරාව මේ විරේක සිදුකරන එක අත්හැරගෙන තියෙනවා…”
විරේචන කර්මය ආයුර්වේදයේද, හෙළ වෙදකමේද ශරීරයට ලබාදිය යුතු අනිවාර්ය ප්‍රතිකාරයක් ලෙස විස්තර කර තිබුණද, වත්මන් සමාජයේ බොහෝ දෙනා ඒ වෙනුවෙන් උනන්දු නොවේ. මේ නිසා පණුරෝග හටගැනීමේ තත්වයන් වැඩි වැඩියෙන් දැකිය හැකිය.
“ආහාරමය හේතු විශේෂයෙන් බලපානවා. කෑම අජීර්ණයක් තිබිය දී නැවත ඒ එක්කම ආහාර ගත්තොත්, එය පණු රෝගය හැදෙන්න බලපාන්න පුළුවන්. විශේෂයෙන් ම උඳු පිටි කෑම, පිටි කැවිලි, ඇඹුල් අධික දේ, ලුණු රස අධික කෑම උක් සකුරු, පලා වර්ග, තල, සලාදවලට ගන්න කොළ, මාළු, මුදවපු කිරි, ද්‍රව සහිත දේ වැඩිපුර ගත්තොත්, මේ රෝගයට අත වැනීමක් වෙනවා.
සමහර ආහාර වර්ග තිබෙනවා එකවර කෑවහම අගුණ වෙන ඒවා. ඒත් ඒවායේ අගුණ බව ඒ මොහොතේම පෙන්නුම් නොකළත්, කාලයක් ගත වුණාට පස්සෙ රෝගී තත්ත්වයක් පෙන්නුම් කරනවා. බල මාළු සහ මී කිරි කියන්නෙ ඒ වගේ විරුද්ධ ආහාරයක්. ඒවා නිතර නිතර එකවර අනුභව කිරීමෙන් මේ රෝගය හට ගන්න පුළුවන්.
මේ ආහාරපානවලින් වෙන්නෙ කුසගින්න අඩුවෙලා, සෙම වැඩිවන එකයි. එය පණුවන් හැදෙන්න හොඳ මාධ්‍යයක් වෙනවා. ඒ නිසා විවිධ පණු රෝග හැදෙනවා. පණු බිත්තර ශරීරගතවී තිබුණොත්, මේ රෝගය පහසුවෙන් ම හැදෙන්න පුළුවන්.”
අපිරිසිදු ආහාර මෙන්ම වැරදි ආහාර විහරණයන්ද, පුරුදු සහ ආකල්පද, දිළිඳුබව, සාමාජික හා සංස්කෘතික පුරුදු ද පණු රෝග හට ගැනීම සඳහා බලපෑම් ඇති කරයි. දහවල් කාලයේ නින්ද මඟින් ඇතිවන සෙම කෝප වීම පණු රෝගය ඇතිවීමට හේතු වේ. ව්‍යායාම නොකර සිටින්නන් මෙන් ම, වර්ෂා කාලයේදී ගංවතුර පානය කරන්නන්ද පණුරෝග සඳහා ඉක්මනින්ම ගොදුරු වේ.
පණුරෝග වර්ග කිහිපයකි. කිරිපණු රෝගය, වටපණු රෝගය, කස පණු රෝගය, පටි පණු රෝගය සහ කොකු පණු රෝගය ඒ අතරින් ප්‍රධානය. මේ අතරින් සුලභව දැකිය හැක්කේ කිරි පණු රෝගයයි.
මෙම රෝගවලදී සමාජ අපහසුතා මතුවීමත්, නොසන්සුන්තා ඇතිවීමත්, මානසික අසහනය ඇතිවීමත් සිදුවිය හැකිය. කෙට්ටු වීම, ශරිර ශක්තිය හීන වීම, බඩ පුරවා දැමීම, නාභිය වටේ කැක්කුම් ගැනීම, මලබද්ධය, රුධිර පීඩන වෙනස්කම් ආදියද පණුරෝග හඳුනාගත හැකි ලක්ෂණයන්ය. වෛද්‍යවරයෙකු ඉදිරියේ ප්‍රකාශ කිරීමට පවා මැළිවන මෙම පණු රෝග වලදී ගුද මාර්ගය හරයා යෝනි මාර්ගයට පණුවන් සංක්‍රමණය විය හැකි නිසා කාන්තා පාර්ශවයේ පිරිස් වෙත මෙම රෝගයේදී වැඩි අවදානමක් පවතී.
මෙම පණු රෝග වළක්වා ගැනීම සඳහා ප්‍රතිකාර ක්‍රම සේම ආහාර පුරුදුද පවත්වා ගැනීමට දේශීය ගැමි ව්‍යවහාරයේදී උත්සාහ දරා ඇත. අද ලිපියෙන් අප සාකච්ඡා කරන්නට උත්සාහ දරන්නේ නවීන සමාජයෙන් වියැකී යන එම ආහාර පුරුදු ගැනය.
වසරකට වරක්වත් භාවිතා කළ යුතු පණුරෝග ප්‍රතිකාරයක් ලෙස කුඹුරු ඇට අට කෂාය දැක්විය හැකිය. ගොටුකොළ වළගසහල් කෂායද පණුරෝග සඳහා සුදුසුවේ. මෙම ඖෂධ වල ක්‍රිමි රෝග නැසීමේ ගුණ පැවැතියද, විරේචන ගුණ නොමැති නිසා එම ඖෂධ ගැනීමෙන් දෙදිනකට පමණ පසු කුස විරේක කරවන ප්‍රතිකාරයක් ලබාගත යුතුමය. එහෙත් මෙම ලිපියේ මතු සඳහන් වන ආහාර වර්ග භාවිතයේදී පණුවන් නැසීම සහ විරේචනයහ යන කාර්යයන් දෙකම නිසි ලෙස සිදුකරන නිසා, අමුතුවෙන් ඔසු පානය කිරීම අවශ්‍ය නොවේ.
ඇත්තෝර සහ පැණි තෝර මෙරට බොහෝ ප්‍රදේශ වල ඉබේ වැවෙන ශාකයන්ය. ඇත්තෝර තරමක් විශාල ගසක් වන අතර පැණි තෝර කුඩා පැළැටියකි. ඇත්තෝර බොහෝ විට වැවෙනුයේ ජලාශ්‍රිත කුඹුරු, වගුරු වැනි භූමීන් ආශ්‍රිතවය. Cassia alata යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඇත්තෝර ළපටි දළු මැල්ලුම් ආහාරයට ගැනීම මඟින් කිරිපණු රෝග සුවවන අතර ආමාශයේ සිටින පණුවන් ඉවත්කිරීමද සිදුවේ.
ඇත්තෝර දළු තනිකර යොදා නොගෙන කලවම් මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීමට සමහර පිරිස් පුරුදු වී සිටී. ඒ ඇත්තෝර දළු තනිකර ආහාරයට ගැනීමෙන් සිදුවන විරේචන තත්වය වළක්වා ගන්නටය.
දේශිය භාවිතයේදී පණුරෝග වලට අමතරව සමේ ඇතිවන ආසාදන තත්වයන්හිදී ප්‍රතිකාරයක් ලෙසද ඇත්තෝර යොදාගනී. වර්තමානයේ සමේ ආලේපනය කිරීම සඳහා අපරදිග රටවල නිෂ්පාදනය කෙරෙන තෙල් සහ ක්‍රීම් වර්ග වලද ඇත්තෝර සාරය අඩංගුය. ආමාශගත විෂ නැසීමට ඇත් තෝර භාවිතා කළ හැක.
ඇත්තෝර මැල්ලුම පණු රෝග වලට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන්නේ මෙලෙසිනි. සවසට කඩා ගන්නා පිරිසිදු ඇත්තෝර දළු මිටක් වරක් මිරිකූ පොල් සහ, ලුණු මිරිස් සමඟ මුසුකොට රාත්‍රියට ආහාරයට ගනී. ඉන්පසු පසුදා උදෑසන වැසිකිලි යාමේදී මත්වූ පණුවන් මළපහ සමඟ පිටවේ.
පැණි තෝර (Senna occidentalis) දළු සහ කොල මැල්ලුම ද පණු රෝග සඳහා ගුණදායකය. එහෙත් එහි රසය ප්‍රියජනක නොවන නිසා තනිව ආහාරයට ගැනීම වෙනුවට වෙනත් පලා වර්ග සමඟ මිශ්‍රව මැල්ලුම් සකස් කර ගනී. සමහර ප්‍රදේශ වල පැණි තෝර වලට හිවල් තෝර යැයි කියනු ලැබේ. පණු රෝග නැසීමට අමතරව පැණි තෝර වලින් ශරීරයේ නීරක්තියද දුරු කරණු ලබයි. නමුත් මෙහි ඇති ගර්භාෂ ශෝධන තත්වයන් නිසා ගැබිණි මව්වරුන්ට සුදුසු නොවේ.
නමුත් නිරක්තිය දුරු කරන නිසා කිරි දෙන මව්වරුන්ට පැණි තෝර මැල්ලුම මිශ්‍රව යොදා ගැනීම යෝග්‍ය වේ. මැල්ලුම් කෑමට අකැමැති කුඩා දරුවන්ට පැණි තෝර කොළවල ඇති පණුනාශකාදි ගුණ ලබා දීමට අවශ්‍ය නිසා පැරැන්නන් , ඒවා රසවත් වැලිකොස් ඇට තැම්බුමට දමා කෑමට දෙනු ලැබේ. මෙහිදී වැලි කොස් ඇට කෑමට ගැනීම නිසා ඇතිවන බඩ පිපීමේ තත්වයන් මඟහැරීම සිදුවේ. දත්මුල් දියවීමට සහ දත් කැක්කුමට පිළියම් ලෙස පැණිතෝර කොළ සහ මුල් තම්බා කට සේදීමට ලබාදීමද අතීත ප්‍රතිකාරයකි.
තෝර කුලයට අයත් පෙති තෝරද පණු අමාරුව සඳහා යෝග්‍ය ඔසුවකි. එය පැණි තෝර වලට වඩා රසවත් මැල්ලුමක් නිසා බොහෝ දෙනා අතර ජනප්‍රියය. පණු රෝග නැසීමට අමතරව, වා,පිත්, සෙම සමනයද, ආහාර ජීර්ණය පහසු කිරිමද, ඇදුම සහ ඉක්කාව සුව කිරීමද පෙති තෝර වලින් ලැබෙන ගුණයන් වේ.
අවුරුදු සමයට මල් පිපෙන එරබොදු ශාකයේ දළුද පණු රෝග සඳහා සුදුසුය. ලංකාවේ එරබොදු වර්ග කිහිපයක් පවතින අතර ඒවා එරබොදු, කටු එරබොදු, යක් එරබොදු සහ එරමුදු ලෙස හැදින්වේ. Erithrika Varigehata යන විශේෂයේ උප විශේෂ ලෙස පවතින මේ ඕනෑම වර්ගයක එරබොදු කොල මැල්ලුම් ලෙස ආහාරයට ගැනීමෙන් පණු රෝගයෙන් වැළකී සිටිය හැකිවන අතර, ආමාශයේ රැඳී සිටින පණුවන් ඉවත්වීමද සිදුකරයි.
ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපයේත් අතරමැදි කලාපයේත්, තෙත් කලාපයේත් දක්නට ලැබුණු එරබදු ගැමි නිවෙස්හි වැටට සිටුවන ශාකයක් ලෙස ප්‍රසිද්ධය. නමුත් අද වනවිට නිවෙස් වටා වැටක් වෙනුවට තාප්පයක් ඉදිවීම නිසා එරබදු ගස ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වඳවෙමින් යයි. එරබදු කොළ මැල්ලුම මිනිස් සිරුරට වද දෙන කිරි පණු රෝගය නසන බැවින් සංස්කෘත බසින් මෙය කෘමිස්න, කෘමිශත්‍රං යන නම්වලින් ද හැඳින් වේ. එරබදු ගසෙහි කඳෙහි හා අතුවල උල්කටු පිරී පවතී.
එරබොදු ශාකයේ ඇට චූර්ණ සාදා දීමෙන් දරුවන්ගේ ලෙඩ සුව වීමට කදිම ඔසුවෙකි. තවද එරබදු කොළ හා පොතු අඹරා ලිප තබා කකාරා ගෑමෙන් තුවාල හා ඉදිමුම සුවවේ. එමෙන්ම මධුමේහ රෝගීන් එරබදු කොළ යුෂ පානයේත් ඉක්මන් සුවය ලැබීමට හැකිවේ. එරබදු කොළ හා දලු සකස් කර කෑමෙන් වාතය මෙන්ම සෙම් අමාරු සමනය වීමට හේතු වේ. එරබොදු කොල ආහාරයට ගැනීමෙන් ශරිරයේ අධික තරබාරුව මඟහරවාගත හැක. නින්ද නොයාමේ රෝගයෙන් පෙළෙන රෝගීන්ටද එරබොදු ගුණදායකය. සමේ රෝග සඳහාද, බඹර දෙබර විෂට ප්‍රතිකාර සඳහාද එරබොදු කොල යොදාගනී. සමහර ප්‍රදේශ වල කැඳ සැකසීම සඳහාද එරබොදු කොල මිශ්‍රව යොදාගනී.
ඇහැල (Casia Pistula) යනු ඇසළ සමයේදී කහ පැහැති මල් පොකුරු පිපෙන ශාකයකි. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ හොඳින් වැවෙන මෙම ශාකය ඉන්දියාව, මලයාසියාව, චීනය, ජාවා සහ පිලිපීනය යන රටවලද දැකිය හැකියි. ඇහැල ගසේ දළු වලින් සකසා ගන්නා මැල්ලුමද පණු රෝග නසන ඖෂධයකි. නමුත් බොහෝ දෙනා ඇහැළ දළු කෑමට ගන්නා බවක්වත් නොදනී. ඇහැල දළු ආහාරයට ගත් විට වරක් හෝ දෙවරක් වැසිකිලි යන්නට අවශ්‍ය වන අතර බඩ වැල් වල සිටින පණුවන් මලපහ සමඟ ඉවත් කිරීම සිදුවේ.ඊට අමතරව අක්මාවේ අර්බුද පවතින රෝගීන්ට ඇහැළ දලු මැල්ලුම සුදුසුවේ.
ගැටතුඹ යනු රටේ බොහෝ තැන් වල වැවෙන කුඩා පැළෑටියකි. පණු රෝග වලට සේම උදරය ආශ්‍රිත රෝග වන ග්‍රහණි මාන්දම් සඳහාද ගැටතුඹ ගුණදායකය. ගැටතුඹ සහමුලින්ම තම්බා බීමට දීමත්, ඉස්ම මිරිකා දීමත් ඖෂධ ලෙස සැළකිය හැකි අතර, ඉහත රෝග වැළැක්වීමට මැල්ලුමක් ලෙස දළු සකසා ආහාරයට ගැනීමද සිදුවේ. ඉතාම කුඩා දරුවනට පවා යෝග්‍යය. ගැටතුඹ මුලක් දමා එළකිරි උණුකිරීමෙන්, එහි පවතින මේදය ජීර්ණය කිරීම පහසු වේ.
වියළි කලාපයේ වැවෙන බටකිරිල්ලද පණු රෝග සඳහා යෝග්‍යය වේ. බටකිරිල්ල දළු, බටකිරිල්ල ගෙඩි වේලා කොටා තබාගෙන කෝපි මෙන් වත්කර බීමෙන් පණු රෝග සුවකරගත හැක. එසේම බටකිරිල්ල ගෙඩි කුඩු කර එය අග්ගලා වලට මිශ්‍ර කිරීමෙන් කුඩා දරුවන්ගේ පණුරෝග සුවකර ගැනීම සිදු කරගෙන ඇත.
නවීන පරපුරේ ගෘහණියන් පලා වර්ග ලෙස නිරන්තරව භාවිතා කරන ගොටුකොළ, මුගුණුවැන්න වලින් ඔබ්බට ගොස් මෙවැනි පලා වර්ග, මැල්ලුම් වර්ග ආහාරයට එක් කරගන්නේ නම් බැරෑරුම් ලෙස නොසිතන නමුදු, ජීවිතයට දැඩි බලපෑමක් කළ හැකි පණු රෝග වලින් සමස්ථ පවුලම බේරාගන්නට හැකියාවක් ලැබෙනු ඇත.
ඒ වෙනුවෙන් මේ ආකාරයේ දුර්ලභ නමුදු වටිනා ඖෂධිය ශාක ආහාරයට යොදාගැනීමට වැඩි වැඩියෙන් නැඹුරු වන්නේ නම් ඔබේ ජීවිතය සේම පවුලේ සමාජිකයින්ගේ ජීවිතයද නිදුක් නීරෝගී කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
මාලේවන දේශීයවෛද්‍ය විද්‍යායතනයේ කථිකාචාර්ය
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනාරච්චි