
නූතන සමාජයේ සෑම අයකුගේම සිහින අතරින් ඉදිරියටම පැමිණෙන්නේ මෝටර් රථයක් හිමි කර ගැනීමේ සිහිනයයි. එය සපුරාලීම සඳහා මෝටර් රථයක් මිලදී ගනු ලබන ඔබ අවධානයට යොමු කළ යුතු කරුණු කිහිපයක් මෙහිදී සඳහන් කරමු.
මෝටර් රථයක් මිලදී ගැනීමේදී වැඩි දෙනෙක් සලකා බලන මුලික කරුණ වන්නේ එමගින් ඇති කරනු ලබන ඉන්ධන කාර්යක්ෂමතාව කොපමණද යන්න බව නොරහසකි. එමෙන්ම රථයේ සන්නාමයේ ජනප්‍රියත්වය, මෝටර් රථයේ බාහිර සහ අභ්‍යන්තර පෙනුම, සැපපහසුව, සමාජ පැළැන්තිය යන කරුණුද අඩු වැඩි වශයෙන් සලකා බැලිය යුතුය. .
මෝටර් රථයක් මිලදී ගන්නා ඔබ අවධානය යොමු කළ යුතු, වටහා ගත යුතු තවත් ප්‍රධාන කරුණක් වන්නේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් එම මෝටර් රථ නවීන තාක්ෂණය ඇසුරින් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයි. එම මෝටර් රථ භාවිතයේදී එම අවශ්‍යතාව කෙසේ ඉටු වේද යන්නත් පාරිභෝගිකයා එම මෝටර් රථ භාවිතයේදී අසීරුතාවන්ට ලක් වේද යන්නත්, එම මෝටර් රථ භාවිතයෙන් පාරිභෝගිකයාට ලැබෙන ආර්ථික හා සමාජයීය වාසි මොනවාද යන්නත් අවබෝධ කර ගැනීම වැදගත් වේ.
අප රටේ මෝටර් රථ වෙළෙඳපොළ ප්‍රධාන ලෙස කොටස් දෙකකට වෙන් කළ හැකිය. ඉන් පළමු කොටස වන්නේ ලොව ප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සන්නාමයන් යටතේ මෙහි පවත්වාගෙන යන ඒජන්ත ආයතන හරහා අලෙවි වන මෝටර් රථ වන අතර මේවා Brand New මෝටර් රථ ලෙස හෝ Sri Lankan Domestic මෝටර් රථ ලෙස නම් කෙරේ. දෙවැනි කොටස වනුයේ ජපානය, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය (බ්‍රිතාන්‍යය) වැනි රටවලින් ආනයනය කරනු ලබන මෙරට පෞද්ගලික වෙළෙඳ සමාගම් මගින් අලෙවි කරනු ලබන මෝටර් රථයි. මේවා Recondition මෝටර් රථ ලෙස හඳුන්වනු ලබයි.
ඉහත දැක්වූ පළමු මාදිලියේදී මෝටර් රථ නිෂ්පාදන සමාගම් අප රටෙහි පිහිටි එම සමාගමේ ඒජන්තවරයා හරහා මෙරට වෙළෙඳ පොළට මෝටර් රථ අලෙවි කිරීමේදී අප රටෙහි පවත්නා පාරිසරික ප්‍රමිතීන්, භාවිත කෙරෙන ඉන්ධනවල ප්‍රමිතිය, ඒජන්ත සමාගම සතු කාර්මික උපකරණ හා දැනුම, අමතර කොටස්වල මිල, සේවාවන්වලදී භාවිත කරන ලිහිසි තෙල් වැනි දෑවල ගුණාත්මක භාවය, නඩත්තු මිල, මහා මාර්ගවල ස්වභාවය, පාරිසරික වෙනස්වීම් යනාදී බොහෝ කරුණු සැලකිල්ලට ගනිමින් මෝටර් රථ වෙළෙඳාම සඳහා මෙරටට එවනු ලැබේ.
එසේ වුවත් ඉහත දැක්වූ දෙවන මාදිලියේ දී එම මෝටර් රථ මිලදී ගනු ලබන්නේ ජපානය, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය වැනි රටවලිනි. එම රථ නිෂ්පාදනය කෙරෙන්නේ එම රටවල ප්‍රමිතීන්ට ගැළපෙන අයුරින් හා එම රටවල ඉන්ධන, පාරිසරික වෙනස්වීම්, මාර්ග තත්ත්වයන් යනාදී කරුණු සැලකිල්ලට ගනිමිනි. වෙළෙඳපොලේදී සිදුවන්නේ එම රථ වෙන්දේසියෙන් මිලදී ගනිමින් මෙරටට ගෙන්වා මෙරට පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමයි. එබැවින් එම රථ සඳහා සුදුසු ඉන්ධන, ලිහිසි තෙල්, අලුත්වැඩියා සඳහා අමතර කොටස් මෙන්ම අලුත්වැඩියාවන් සඳහා අවශ්‍ය කාර්මික දැනුම සහිත කාර්මිකයන්, උපකරණ යනාදී කරුණු සපුරා ගැනීම ඉතා අපහසු වේ. අප රටෙහි පාරිසරික ප්‍රමිතියට සාපේක්ෂව ඉහළ ප්‍රමිතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එම රථ නිර්මාණය කර තිබීම ප්‍රධාන වාසියක් ලෙස දැක්විය හැකිය. නිෂ්පාදන සමාගම හඳුන්වා දෙනු ලබන ඉන්ධන කාර්යක්ෂමතාව මෙහිදී නොලැබීමත්, නඩත්තු වාර සේවා සංඛ්‍යාව වැඩි වීමත්, එම රථවල අන්තර්ගත වටිනා පාලන පද්ධති ක්‍රියාත්මක වන ක්‍රියාකාරී උපාංගයන් ඉක්මනින් ක්‍රියා විරහිත තත්ත්වයට පත්වීමත් පාරිභෝගිකයා අත්විඳින ගැටලු කිහිපයක් සේ සඳහන් කළ හැකිය.
අප රට තුළ පාරිභෝගිකයා අතර වැඩි වශයෙන් අලෙවි වනු දැකිය හැකි වන්නේ ඉහත දැක්වූ දෙවන මාදිලිය හෙවත් Recondition මෝටර් රථ වේ. එබැවින් පාරිභෝගිකයා ඉහත දැක්වූ ගැටලුවලින් මිරිකී පීඩා විඳින අතර අවසානයේ එම මෝටර් රථවල ක්‍රියාකාරීත්වයන් පිළිබඳ දොස් පැවරීම් සිදු කරති. සැබවින්ම එසේ කිරීම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.
එබැවින් පළමුව සිදුවිය යුත්තේ මෝටර් රථ භාවිත කරන්නන්ගේ ආකල්ප වර්ධනයකි. ඒ සඳහා ප්‍රථමයෙන්ම මෝටර් රථ නිෂ්පාදකයන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් පාරිභෝගිකයා දැනුම්වත් කළ යුතු වේ. නවීන මෝටර් රථ නිශ්පාදනයේ අවශ්‍යතා තේරුම් ගත යුතු වේ. මෝටර් රථයක් නිෂ්පාදනය කරනු ලබන්නේ පාරිභෝගිකයාට සැපවත්, ආරක්ෂා සහිත, පීඩාවෙන් තොර ගමනාන්තයක් ලබා දීමේ අරමුණෙනි. එසේ වුවද පාරිභෝගිකයාට ඒ සඳහා වැය වන මිළ හැකිතාක් පාලනයට නිෂ්පාදකයාගේ අවධානය යොමු වේ.
මෝටර් රථ වැඩි වශයෙන් ධාවනය වන්නේ වැඩි ජනගහණයක් සහිත නාගරික වටාපිටාවන් හිදීය. එහිදී රථය හසුරුවන්නා හා රථය තුළ ගමන් ගන්නා මගීන්ගේ සැප පහසුව, ආරක්ෂාව පමණක් නොව සියලු මිනිසුන්ගේ ජීවිතාරක්ෂාව පිළිබඳව වගකීමද නවීන මෝටර් රථ නිෂ්පාදකයා වෙත පැවරේ. එබැවින් ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවත්වා ගැනීම අංක එකේ කරුණ ලෙස පාරිභෝගිකයා හඳුනා ගනු ලැබූවද නිෂ්පාදකයාගේ මූලික අරමුණ වන්නේ පරිසර දූෂණය ද අවම කිරීමය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් අනුව ඇති වන පාරිසරික වායු විමෝචනය හේතුවෙන් ලෝකයේ දිනකට පහළොස්දහසත්, විසිදහසත් අතර ප්‍රමාණයක් නොමේරු ළදරුවෝ මිය යති. මෙය වාර්ෂිකව ගණනය කළහොත් මිලියන නවයකට ආසන්න ප්‍රමාණයකි. දියවැඩියාව, හෘද රෝග, මානසික සංකූලතාව වැනි රෝගී තත්ත්වයන් වයස අවුරුදු දොළහට අඩු ළමුන් අතර බහුලව දක්නට ලැබේ. මෙයට ප්‍රධානතම හේතුව ලෙස සැලකෙන වායු විමෝචනය ගතහොත් එයින් සියයට 70ක් අර්ධ දහනය වූ ඉන්ධන හා කාබන් මගින් සිදුවන්නකි. එයින් සියයට 40ක් පමණ මෝටර් රථ මගින් සිදුකරන ඉන්ධන දහනය හේතු වී ඇති බව නවීනතම සංගණනයන් මගින් තහවුරු වී ඇත. මේ නිසා ඇතැම් මෝටර් රථ සමාගම් 2020 සිට ඩීසල් ඉන්ධන රථ නිෂ්පාදනය නොකරන බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. එබැවින් මෝටර් රථයක මිල නියම කළ හැකි වීමත්, මිනිස් ජීවිතයක් මිළ කළ නොහැකි වීමත් හේතුවෙන් මෝටර් රථ නිෂ්පාදන සමාගම්හි ප්‍රධාන අභිප්‍රාය එයින් සිදුවන පාරිසරික විමෝචක පාලනය බවට පත් කරගෙන තිබේ.
මේ බව මෝටර් රථ පාරිභෝගික අප අවබෝධ කර ගත යුතුය.
මෝටර් රථ මගින් ඇති කෙරෙන පාරිසරික විමෝචනය මූලික වශයෙන් ආකාර තුනකට බෙදා දැක්විය හැකිය.
1. කාබනික විමෝචනය
2. නැවත භාවිත කළ නොහැකි කොටස් කසල ලෙස එක්වීම.
3. මාර්ග තදබදය හේතුවෙන් අැතිවන මානසික ආතතිය.
ඉහත දැක්වූ ප්‍රධාන කරුණු ත්‍රිත්වය හැකිතාක් අවම වන පරිදි නවීන මෝටර් රථ නිෂ්පාදකයන් තම සැළසුම් සකස් කරන අතර එහි ප්‍රථිපලයක් ලෙස මෑත යුගයෙහි දී දෙමුහුම් මෝටර් රථ නිෂ්පාදනය වීම, විදුලි මෝටර් රථ නැවත කරළියට පැමිණීම, අඩු එන්ජින් ධාරිතාවෙන් යුතු මෝටර් රථ ජනප්‍රිය වීම යනාදිය දැක්විය හැකිය. එමෙන්ම ආරක්ෂාව පතා ABS, Predestine protection, Emergency Braking වැනි පද්ධති මෝටර් රථවලට එක්වීම Cruse control, Auto Pilot වැනි පද්ධති මෝටර් රථ එන්ජිම මෝටර් රථ බොඩි නිර්මාණය සඳහා කාබන් ෆයිබර් වැනි දෑ එක්වීම දැක්විය හැකිය.
ඉදිරි ලිපියකින් ඔබ දැනගත යුතු තවත් කරුණු ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.