සසර ගමන ඔබ හිතනවාට වඩා බොහෝ දුරය! | සිළුමිණ

සසර ගමන ඔබ හිතනවාට වඩා බොහෝ දුරය!

බැඳීම් නැති, අල්ලාගැනීම් නැති, අසාරය සාර කොට නොගත්, ‘එන්න බලන්න’ කිව හැකි, සර්වකාලීන, විශ්වසාධාරණ, සත්‍ය දහමක් ඇසුරු කරන්නට, කිමිදී බලන්නට ඔබට අවංක වුවමනාවක් ඇත් නම් ඔබ යොමු විය යුත්තේ ‘මුල් බුදුසමය’ වෙතය. පසුකාලීනව විවිධ දර්ශන, දෘෂ්ටි, මතවාද සහ හින්දු බලපෑම එකතු වී ගොඩනැඟුණු බුද්ධාගමට වඩා මුල් බුදුසමය තුළ බුද්ධභාෂිතය තැන්පත්ය. ‘ජීවිතය කුමක්ද?’ යන්න නොව ‘විමුක්තිය කුමක්ද?’ යන්න සෙවීම අරමුණු කොටගත් දීර්ඝ සංසාර චාරිකාවක ප්‍රත්‍යවේක්ෂණය, අසමසම වූ ප්‍රඥාවන්තයකු විසින් ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිස මුල, මැද, අග මනා කොට පිළිවෙළින් පහදා දී ඇත්තේය.

දියට නොබැස පිහිනිය නොහැකි සේ මේ ධර්මය තුළට නොවැද එය වටහාගැනීමට නොහැකිය. මතුපිටින් පෙනෙන ආමිසයන් හෝ බෞද්ධයන්ගේ චර්යාව දෙස බලා යමකු ‘බුදුදහම නම් මෙයයැ’ යි විග්‍රහ කරන්නේද, එයින් එසේ කරන තැනැත්තාගේ නොදැනුම්කම හෙළි වීම සිදු වනු මිස බුදුදහමට සිදු වන අවැඩක් නැත්තේය.

බුදුදහමේ අඩංගු නොවන ධර්ම කාරණා ධර්මය යැයි පෙන්වා දීම, බුදු හිමි නොදෙසූ යමක් දෙසූයේ යැයි පැවසීම, බුද්ධ ඥානයෙන් දෙසූ ගම්භීර ධර්ම කාරණා තමාගේ බුද්ධියෙන් වෙනස් අර්ථ දැක්වීම් කිරීම සහ බුද්ධඥානයට වඩා තම ඥානය උසස් කොට දැක්වීම මෙකල බහුලව සිදු වන බැවින් විමුක්තිය අපේක්ෂා කරන බෞද්ධයන් අන්දමන්දව සිටිනු දක්නට ලැබේ. එවන් අවස්ථාවක බෞද්ධයක් කළ යුතු වටිනාම කාර්යය වන්නේ ත්‍රිපිටකය පරිශීලනය කිරීමයි. ඒ සඳහා දැනට ඇති විශ්වසනීයම ත්‍රිපිටක සිංහල පරිවර්තනය නම් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය බව වටහාගැනීම ස්වාර්ථය, පරාර්ථය සහ උභයාර්ථය පිණිසම හේතු වනු ඇත.

ත්‍රිපිටකයේ පැරණි සිංහල වටහාගැනීම දුෂ්කර වූ පමණින් සරල සිංහලෙන් පරිවර්තිත දොස් බහුල පරිවර්තනයන් පරිශීලනයට යෑමෙන් ඔබගේ ධර්මාවබෝධය දොස් සහිත වීම වැළැක්විය නොහැකි වනු ඇත. එනිසා සිංහල දැනුම වැඩි කරගැනීමටත්, චිරන්තන සාහිත්‍යය ඇසුරු කිරීමටත් බෞද්ධයන් උත්සාහ කළ යුතුය. එය තමාගේ දෙලොව වැඩ පිණිස හේතු වන්නකි. සමහර බෞද්ධයන් පාලි භාෂාව ඉගෙනීමේ උනන්දුවක් ඇති කරගෙන තිබෙනු දක්නා ලැබේ. එය මහත් සේ අගය කළ යුතු, සතුටට පත් විය යුතු කාරණයකි. එමඟින් බුද්ධභාෂිතය ඍජුවම ඇසුරු කිරීමේ භාග්‍යය ඔවුන්ට හිමි වෙයි.

කිසිවකුගේ හවුහරණක් නැතිව තනිවම ගමන් කළ යුතු, ආරම්භයක් හෝ අවසානයක් දැකිය නොහැකි අතිදීර්ඝ සංසාර ගමනකදී අතරමං නොවන්නට, දුක්-පීඩා අවම වන්නට අපට පිහිට වන දේ ඇත්තේ ස්වල්පයකි. ඉන් ප්‍රධානම වන්නේ අප විසින් පුරන ලද ප්‍රතිපත්ති වේ. මනුෂ්‍යයන් ලෙස මනුදම් රැක්කේද, අන්‍යයන් වෙනුවෙන් තමා දැහැමින් ඉපැයූ දේ වැය කළේද, තමන් ඇසුරු කරන්නන්හට කල්‍යාණ මිත්‍රයකුව ඔවුන්ගේ ජීවිත සුචරිතයෙහි යොදවන්නට අනුග්‍රහ කළේද, මේ ජීවිතයේදී හැකි උපරිමයෙන් ප්‍රඥාව වැඩූයේද යන කාරණා මීළඟ භවය සුගතිගාමී එකක් වීමට උපකාරී වනු ඇත.

එනිසා සැම විටම අපගේ ජීවිත කාලය තුළ අප ගන්නා තීරණ, අප කරන ක්‍රියා, අප මුදාහරින වදන් තමාටද, අනුන්ටද සහ තමාටත් අනුන්ටත් යහපතක් සැලසෙන ආකාරයෙන්ම යොදාගත යුතු වෙයි. අප හොඳින්ම දන්නා මනුෂ්‍ය ආත්මයක් ලැබීම මේ භවයේදී සිදුව ඇති බැවින් ඉතා දුර්ලභ වූ බුද්ධෝත්පාදයක උපත ලැබීම, ධර්මය පරිශීලනයට පහසුකම් තිබීම සහ බුද්ධි සම්පන්න වීම උපරිමයෙන් යොදාගනිමින් භවගමන හැකි ඉක්මනින් නවතාලීම සදහා මේ භවය ප්‍රයෝජනයට ගත යුතුය. හෙට ප්‍රමාද වැඩි වන බව සිහි කට යුතුය. සත්ත්වයාගේ මහගෙදර වන් සතර අපායට මීළඟ භව උපතින් යන්නට සිදු වුව හොත් එහි ගත කරන්නට සිදු වන කාලය වසරවලින් නොව, කල්පවලින් මැනෙන බව සිහි තබාගත යුතුය.

අප බිය විය යුත්තේ සසර පිළිබද නොවේ, අපට ලැබිය හැකි උපත පිළිබඳවය. අඩුම තරමේ මේ ගත කරන ආකාරයේ ජීවිතය තරම් වූ එකක් වත් අප නොලැබුව හොත් අපට කුමක් සිදු විය හැකිද යන සරල සංසිද්ධිය හෝ සලකා බැලිය යුතුය. බුදුහිමිගේ අනුශාසනයට අනුව අප අද ජීවත් වන ආකාරය අනුව අපගේ මීළඟ භවය තේරුම් ගත හැකිය. අප ජීවත් වන්නේ හොඳින් නම්, යහපත්ව නම් අපගේ මීළඟ භවය සුගතිගාමි එකකි.

එහෙත් අප ගෙවන්නේ සියලු පස් පව් සිදු කරමින් තමටත් අනුන්ටත් හානිකර ජීවිතයක් නම් දුගතිගාමී වීම වැළකිය හැකි ජගතකු මෙලොව නැත. බුදුදහම පව් සමා නොකරයි. චේතනාන්විතවම කරන ලද කර්මයන්ට විපාක විදීමට සිදු වීම වැළැක්වීමට හැකි දෙයක් පිළිබඳ බුදුදහමේ සඳහනක් නැත. එහෙත් මේ මොහොතේ හෝ උත්සාහ කර පවින් මිදුණු ජීවිතයක් ගත කරන්නකුට සුගතිගාමි වීමේ අවකාශයක් ඇති බව අංගුලිමාල චරිතයෙන් අපට පෙන්වා දී ඇත. එනිසා පව් දුරලමු; කුසල් වඩමු; ආශාවන් කාමයන් ලුහුබඳිමින් යන සිත දමනය කරගනිමු; කලණ මිතුරන් ඇසුරු කරමු; ධර්මය ඇසුරු කරමු.

Comments