
භාරතීය දේශපාලන චින්තන ඉතිහාසය අධ්‍යයනය කළ බොහෝ දෙනකු කියා සිටින්නේ රාජ්‍ය පිළිබඳ අංගසම්පූර්ණ නියාමධර්මයක් ඉදිරිපත් කළ තැනැත්තා කෞටිල්‍ය බවයි.
එවැනි තීරණයකට එළඹිය හැක්කේ බෞද්ධ දර්ශනය නොදන්නා අයට පමණි.
කෞටිල්‍ය ස්වකීය බලය පිළිබඳ අදහස වූ සප්තාංග න්‍යාය දර්ශනය ඉදිරිපත් කිරීමට බොහෝ කලකට පෙර බුදු රජාණන් වහන්සේ රාජ්‍ය පිළිබඳ සවිස්තරාත්මක අර්ථකථනයක් ඉදිරිපත් කළහ. මේ ලිපියේ පළමුවන කොටස පසුගිය සතියේ පළ විය.
පුද්ගල රාශියකගේ එකතුව සමාජයකි. එහි වාසය කරන්නන්ගේ සහයෝගිත්වය මත සමාජ ප්‍රගතිය තීරණය වේ. සමාජය පිළිබඳ ඉදිරිපත් කෙරෙන දේව නිර්මාණවාදී පදනම බැහැර කරන බුදුසමය එහි සම්භවය, විකාශය, පරිණාමවාදී විකාශයකින් ඉදිරිපත් කරයි. එක් එක් පුද්ගලයාගේ සදාචාර වර්ධනයෙන් සමාජ සදාචාර වර්ධනය කිරීම බුදුදහම අනුදත් පිළිවෙතය. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යොනිසෝමනසිකාරය හා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යන සංකල්ප අවධාරණය කරන්නේ එබැවිනි. මඩ වගුරෙහි සාරය පමණක් උකහාගෙන ඉහළට විත් විකසිත වන නෙළුම මුළු පරිසරයම අලංකාර කරන්නාක් මෙන් පුද්ගලයා යහපත පමණක් ගෙන සදාචාරවත් පුද්ගලයකු ලෙස සමාජ සදාචාරය වෙනුවෙන් කටයුතු කළ යුතු බව බෞද්ධ උපදේශයයි.
ක්‍රියාන්විත බුදුසමය (Engaged Buddhism) හෙවත් සමාජ ක්‍රියාන්විත බුදුසමය (Social Engaged Buddhism) යන සංකල්ප වර්තමාන ලෝකයෙහි විශේෂයෙන්ම බටහිර ලෝකයේ ප්‍රයෝගික බෞද්ධ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වැදගත් කරුණකි. වියට්නාම ජාතික තිච් නත් හන් (Thich Nhat Hanh) හිමිගේ සංකල්පයක් වන ක්‍රියාන්විත බුදුසමය යන්නෙන් මූලික වශයෙන්ම අදහස් කෙරෙනුයේ ලෝක සමාජ, ආර්ථික, පාරිසරික අභයෝග විසඳීම කෙරෙහි බෞද්ධ න්‍යායාත්මක හා ප්‍රායෝගික සක්‍රීය දායකත්වය ලබාදීම යන්නයි. ඒ අනුව ලෝකයෙහි පවත්නා දරිද්‍රතාව, සාගින්න, ඌන අධ්‍යාපනය, ආපදා හා යුද්ධ මෙන්ම පාරිසරික සමතුලිතතා ආරක්ෂා කරමින් (Green Buddhism) පෘථිවි තලය මනුෂ්‍ය වාසයට සුදුසු කරගැනීම, සමානාත්මතාව හා සාධාරණත්වය තහවුරු කිරීම මෙහි මූලික විෂය පථයයි. බෝධි හිමියන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නංවා තිබෙන්නේ බෞද්ධ ගෝලීය සහනශීලි සංවිධානය (Buddhist Global Relief) ඉහත කී සමාජ ක්‍රියාන්විත දර්ශනයේ ඉදිරි පියවරකි. බුදුසමයේ සමාජ දර්ශනය ප්‍රායෝගික තලයේ ක්‍රියාන්විත මටට්මට ගෙන ඒම, එය ක්‍රියාත්මක කිරීම හා එහි පල භුක්තිවිඳීම අතින් උපතින් බෞද්ධ උරුමයන්ට හිමිකම් නොකියන ජාතීන් අත්විඳින විට, බටහිර යල්පැනගිය සමාජ ගැටලු උද්ගත කරන කටයුතුවලට සීමා වීමට තරම් අප වැනි නිර්මල ථේරවාදී බුදුදහම පවත්නා රටවල් අභාග්‍යසම්පන්න වී ඇත.
ස්වස්ථතාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම
කායික, මානසික හා සමාජීය පූර්ණ යහපැවැත්ම සෞඛ්‍යයි. යහපත් ස්වස්ථතාවක් සඳහා කායික, මානසික හා සමාජ අංශයන්හි මනා සබඳතාවක් හා සමබරතාවක් පවත්වාගැනීම කළ යුතුය. රෝග වර්ග මූලික වශයෙන් දෙවර්ගයකි. එනම්:
1. කායික රෝග
2. මානසික රෝග
විවිධ ආබාධවලින් පෙළෙන භික්ෂු-භික්ෂුණීන් සඳහා අනුදත් ප්‍රතිකාර ක්‍රම රාශියක් විනය පිටකයේ හා සූත්‍ර පිටකයේ සඳහන් සඳහන් වේ. නීරෝගි බව පරම ලාභය ලෙස (ආරෝග්‍යපරමා ලාභා) සලකන බුදුසමය රෝග ප්‍රතිකාර මෙන්ම රෝගවලින් වැළකී වාසය කිරීම අවධාරණය කරයි. ගිලනුන්ට උපස්ථාන කිරීම තමන් වහන්සේට උපස්ථාන කිරීමට සමාන බව (යෝ භික්ඛවේ ගිලානං උපට්ඨහ්‍යෙය සෝ මං උපට්ඨහ්‍යෙය) පෙන්වා දෙන බුදුරදුන් නීරෝගි බව උදෙසා අනුදත් ක්‍රම රැසක්ද වේ.
කායික රෝගයක් නැතිව වර්ෂයක් දෙකක් තුනක් හෝ සියක් අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් සිටින මිනිස්සු වෙති. එහෙත් ක්ෂීණාශ්‍රවයන් හැරුණු විට චේතසික රෝගයකින් තොරව එකදු මොහොතක් හෝ සිටින සත්ත්වයකු නැති බව පෙන්වා දෙන බුදුසමය මානසික සුවය අවධාරණය කරන්නේ ඒ සඳහා ප්‍රායෝගික ක්‍රමද පෙන්වා දෙමිනි. පුරාණ ආරාමය තුළ ග්‍රාමීය පිරිස් හට එළඹෙන ගැටලු ආරවුල් විසඳන භික්ෂුව මනෝ චිකිත්සකයකු ලෙස කටයුතු කළ කළහ. ආරාමය කේන්ද්‍ර කරගත් මනෝ උපදේශන සේවාවක් නිරන්තරයෙන් සිදු වූ බැවින් නිරවුල් මනසක් පැරණි ගැමියා සතු විය.
වර්තමානය වන විට ලෝකය පුරා බෞද්ධ භාවනාව පිළිබඳ විශේෂ අවධානයක් තිබෙනු දැකිය හැකිය. බෞද්ධ භාවනාව පිළිබඳ විශාරදයන් වන බුරුමයෙහි මහාසි සයාඩෝ හිමි, යුබා බිම් මහතා හා එතුමාගේ ශිෂ්‍ය ඉන්දීය බුරුම සම්භවයක් ඇති ගොයෙන්කා ජී මහතා, තායිලන්තයෙහි අජාන් චා මාහිමි වැනි ආචාර්යවරුන්ගේ මඟපෙන්වීම යටතේ බටහිර රටවලත් එය ප්‍රචලිත වී ඇත. බටහිර රටවල මනෝවෛද්‍යවරුන්, උපදේශකවරුන් හා උගත් පිරිස් අතර සතිපට්ඨාන වැනි බෞද්ධ භාවනා සංකල්ප ක්‍රියාත්මක වෙයි. එහෙත් ශ්‍රී ලංකාවේ ගිහි-පැවිදි බහුතර පිරිස් භාවනාව පිළිබඳ පිළිපැදීමක් නොකරති. එනමුත් භාවනාවෙන් තොර බෞද්ධ ප්‍රායෝගික අදාළත්වයක් පිළිබඳවද සාකච්ඡා කළ නොහැකිය.
අර්ථිකය හා කළමනාකරණය
ධනයේ අවශ්‍යතාව පෙන්වා දෙන බුදුසමය පුද්ගලයා ධනය ඉපයිය යුතු ආකාරයද පරිහරණය කළ යුතු ආකාරයද පෙන්වා දී තිබේ. සමාජය තුළ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රවාහය ධාර්මිකවත්, ස්ථිරසාර සංවර්ධනයෙන් යුක්ත කිරීමටත්, පුද්ගලයාටත් රජයටත් දී ඇති උපදෙස් බොහෝ ප්‍රමාණයක් මූලික බෞද්ධ සූත්‍රවලින්ද, පශ්චාත්කාලීන බෞද්ධ සාහිත්‍යයෙන්ද සපයාගත හැකිය. එමෙන්ම ජන සමාජය තුළ ආර්ථික ක්‍රියාකාරකම් ගලා යන නිෂ්පාදකයා, වෙළෙන්දා, පාරිභෝගිකයා යන ත්‍රිවිධ අංශවලින් සාධනීය ගුණ ප්‍රවර්ධනය අපේක්ෂා කළ බුදුරදහු සමාජ සංවර්ධනයේ වගකීමෙන් රාජ්‍ය පාලකයන් නිදහස් නොකරති. බෞද්ධයා උපතින් පුහුණු කරන අල්පේච්ඡතාව, සුභරතාවය, අල්පකෘතතාව, සන්තුට්ඨිතාව ඔහු තුළ ඇති ධන සමුච්චය පිළිබඳ උපාදානය බැහැර කිරීමට හේතුවක් වුවද කිසි විටෙකත් බුදු සමය ධාර්මිකව නංවනු ලැබූ ආර්ථික ශක්‍යතාව දේශපාලන ස්ථාවරත්වය බැහැර නොකරයි. ආසියාතික රටවල දුගීභාවයට හේතුව බුදුදහම නොව, යුරෝපීයන්ගේ යටත්විජිතවාදය, නව-යටත්විජිතකරණය හා ආසියාතිකයන්ගේ බහුවාර්ගිකත්වයයි. ආසියාතික හෝ ඕනෑම රටකට බුදුදහම පෙන්වා දෙන ආර්ථික හා දේශපාලන චින්තනය අනුගමනය කළ හොත් සුඛිත-මුදිත ධාර්මික රාජ්‍යයක් ගොඩනැංවීමේ හැකියාව පවතී.
එමෙන්ම රටක ආර්ථිකයෙහි ස්ථාවරත්වය වර්ධනය කරගැනීමටත්, ජාතික ධනය රැකගැනීමටත්, ප්‍රාග්ධනය ක්‍රමවත්ව සැලසුම් කර ඵල-ප්‍රයෝජන ලැබෙන අයුරින් කළමනාකරණ සංකල්ප බුදුසමය පෙන්වාදෙනුයේ නූතන ව්‍යාපාරයන්හි නියුතු සියල්ලන්ට වැදගත් උපදේශ රාශියක් පෙන්වා දෙමිනි.
දේශපාලනය, නීතිය හා අයිතිවාසිකම්
බුද්ධ කාලීන භාරතයේ පැවති විවිධ පාලනක්‍රම වඩාත් යෝග්‍ය ලෙස සිදු කරන්නේ කෙසේදැයි බුදුන් වහන්සේ නොයෙක් වර පාලකයන්ට දී ඇති උපදෙස් අතිශය වැදගත්ය. උන් වහන්සේ මෙමඟින් බලාපොරොත්තු වූයේ සමානාත්මතාවෙන් යුතු, අවශ්‍යතාව අනුව සම්පත් බෙදී යන, ජනතාවාදි පාලන ක්‍රමයකි. ගිහි සමාජයේ හිඳිමින් ඊට ආදර්ශයක් සපයනු වස් බුදුරදුන් පිහිටුවන ලද සංඝ සංස්ථාව මෙයට නිදසුනකි.
දේශපාලන ඉගැන්වීම් තුළ පාලකයාගේ පමණක් නොව පාලිතයාගේ දායකත්වයද අවධාරණය කරන බුදු සමය යහපත් සාධනීය ලක්ෂණ, ප්‍රතිපත්ති රාජ්‍ය පාලකයන්ට පෙන්වා දී තිබේ. දීඝ නිකායේ චක්කවත්තී සීහනාද, කූටදන්ත, සිගාලෝවාද, මහා පරිනිබ්බාණ ආදි සූත්‍රදේශනා මෙහිදී වැදගත් වන අතර, ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ දරන්නා වූ සමාජයේ සියලු දෙනාගේ සුභසිද්ධිය, රක්ෂණය හා පෝෂණය ඇතුළු පාලිත වෙනත් අයිතිවාසිකම් නොලැබෙන්නේ නම්, තමාට ගැළපෙන රාජ්‍ය පාලනයක් ස්ථාපිත කරගැනීම සඳහා දිරිගන්වන ඉගැන්වීම් රැසක් බුදු සමයේ අන්තර්ගතය.
මානව අයිතිවාසිකම් රකිමින් රාජ්‍ය පාලනය කිරීම, රටේ අපරාධ මර්දනය කිරීම, රටේ ආර්ථික විෂමතා නැති කිරීම, ධාර්මික ප්‍රතිපත්තිවලින් රට පාලනය කිරීම, බෞද්ධ දේශපාලන දර්ශනයේ රජුට පවරා ඇති යුතුකම් වෙයි. භාරතීය දේශපාලන චින්තන ඉතිහාසය අධ්‍යයනය කළ බොහෝ දෙනකු කියා සිටින්නේ රාජ්‍ය පිළිබඳ අංගසම්පූර්ණ නියාමධර්මයක් ඉදිරිපත් කළ තැනැත්තා කෞටිල්‍ය බවය. එවැනි තීරණයකට එළඹිය හැක්කේ බෞද්ධ දර්ශනය නොදන්නා අයට පමණි. කෞටිල්‍ය ස්වකීය බලය පිළිබඳ අදහස වූ සප්තාංග න්‍යාය දර්ශනය ඉදිරිපත් කිරීමට බොහෝ කලකට පෙර බුදුන් වහන්සේ රාජ්‍ය පිළිබඳ සවිස්තරාත්මක අර්ථකථනයක් ඉදිරිපත් කර ඇති බව සූත්‍ර දේශනා පරීක්ෂා කරන ඕනෑම අයකුට නිගමනය කළ හැකිය.
පරිසරය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම
අප අවට ඇති වටපිටාව පරිසරයයි. භෞතික ශරීරය, භෞතික පරිසරය, ජීව විද්‍යාත්මක පරිසරය හා සමාජ පරිසරය යනුවෙන් විග්‍රහ වන බෞද්ධ පරිසර දෘෂ්ටිකෝණය අතිශය පුළුල්ය. පුදගලයාගේ වර්ධනය හා පැවැත්මට පරිසරය තීරණාත්මක සාධකයකි (පතිරූපදේසවාසෝච). බෞද්ධ විග්‍රහය තුළ තමාගේ සිට පියවි ඇසට නොපෙනෙන ජීව-අජීව පරිසර වෙත පතළ මෛත්‍රිය පරිසර තුලිතතාව මැනවින් පවත්වාගෙන යෑම අපේක්ෂා කරයි. පරිසරය හා පුද්ගලයා අතර සබැඳියාව බිඳී යෑම පාරිසරික ගැටලු රැසකට හේතුවයි. එබැවින් බෞද්ධ උපදේශය වනාහි තමා පිරිසගෙන් මිදුණු වියුක්ත ආත්මාර්ථකාමී පුද්ගලයකු ලෙස නොව සමස්ත ජීව ප්‍රජාව හා සම්බන්ධ පුරුකක් ලෙස සලකා තමාගේ පැවැත්ම මෙන් සමස්ත ජීව-අජීව පරිසර තත්ත්වවල පැවැත්මද තහවුරු කළ යුතු බවය.
අධ්‍යාපනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම
පුද්ගලයා හා සමාජ සංවර්ධනය අපේක්ෂිත අධ්‍යාපන සංකල්පය බුදුසමය ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ වැදගත්කම අගය කරන්නේ චරිත හා පුද්ගල පෞරුෂ සංවර්ධනය අවධාරණය කරමිනි. ශීලයේ හෙවත් සදාචාරයෙන් තොර පුද්ගලයාගේ උගත්කම අර්ථවිරහිතබව (සීලේන අනුපේතස්ස සුතේනත්ථෝ නවිජ්ජති) පෙන්වා දෙන බුදුසමය අධ්‍යාපන පරමාර්ථ කෙරේ අවධානය යොමු කරන්නේ පහත පරිදිය:
1. තමාටත් සමාජයටත් යහපතක් මිස, අයහපතක් නොවන පරිදි පුද්ගලයකු ලෙස ජීවත් වීමට අවශ්‍ය හැකියාව හා ආකල්ප ලබා දීම
2. සහජයෙන් ලත් උරුමවලින් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි වන පරිදි පෞරුෂ සංවර්ධනයක් ඇති කරගැනීමට අවශ්‍ය ආධාර ලබා දීම
3. තමා හා අවට පරිසරය පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කරගැනීමේ දැනීම, ආකල්ප හා හැකියාව ලබාගැනීමේ අවස්ථාව සැලැස්වීම
4. මිනිස් හැසීරීමේ යථා ස්වභාවය දැනගෙන, ඒ අනූව තමාටත් අනුන්ටත් සැපතක් මිස විපතක් නොවන පරිදි මිනිස් හැසිරීම් සකස් කිරීමට ගන්නා පෞද්ගලික හෝ සාමූහික වෑයම ඇති කිරීම
ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ දක්ෂ ශාස්තෘවරයකු වූ බුදුරදුන් සිය ශ්‍රාවකයන්ට නිවන නමැති අවසන් පරමාර්ථය අවබෝධ කර දුන්නේ දක්ෂ ගුරුවරයකු ලෙසිනි. බුදුන් වහන්සේගේ ශාස්තෘත්වය ආදර්ශයට ගත් බෞද්ධ සම්ප්‍රදාය නූතන දක්වා සම්ප්‍රදායානුකූල අධ්‍යාපනය ලබා දීමේ දියුණුතම අවස්ථා පසු කළ අතර, විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයට පවා යොමු වීමෙන් මෙය පැහැදිලි වේ.
සන්නිවේදනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්
බුදුරදුන් නමැති ශ්‍රේෂ්ඨ සන්නිවේදකයා සිය පණිවිඩය වන නිර්වාණය සකලවිධ ලෝක සත්ත්වයා වෙත පතළ කරනු වස් මාධ්‍යය කරගත් භාෂා භාවිතය, ශ්‍රව්‍ය-දෘශ්‍ය ක්‍රම භාවිතය ආදි සන්නිවේදන උපක්‍රම අතිශයින් විශිෂ්ටය.
නිරවුල් සන්නිවේදනය හා සම්බන්ධ වීම මානව අයිතිවාසිකමක් වන අතර, පංචශීල ප්‍රතිපදාවේදීද එය අවධාරණය කර තිබේ. සන්නිවේදනය පිළිබඳ බුදුසමයේ අනුදත් ආකාරය අනුව එමඟින් මෙලොව පරලොව විමුක්තියද අවධාරණය වන්නේය.
සන්නිවේදන ක්ෂේත්‍රයේ පවත්නා අඩු-පාඩු නිසා සමාජය තුළ නොයෙකුත් ගැටලු උද්ගත වී තිබෙනු දැකිය හැකි අතර, බෞද්ධ ප්‍රායෝගික සන්නිවේදන ක්‍රම භාවිත කර නිරවුල් හා සාමකාමි සමාජයක් බිහි කරගැනීමට උපයෝගි කරගත හැකිය.
සදාචාරය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම
බුදුසමයට අනුව සියලු දෙනාගේ අරමුණ වන්නේ සියලු දුක් නැති කොට නිවන අත් කරගැනීමය (සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ඡිකරණත්තාය). පවුල, සමාජ, ආර්ථික, දේශපාලනික ආදි තත්ත්වවලින් මෙලොව ජීවිතය සදාචාරවත්ව ගත කිරීමට මෙන්ම බෞද්ධ සදාචාර සංකල්පයේ පරප්‍රාප්තියවනුයේ අධාත්මික වශයෙන් උපරිම සදාචාර තත්ත්වය වන නිර්වානය සාක්ෂාත් කරගැනීමය. එබැවින් බෞද්ධ අවධාරණය වන්නේ සියලු පව්වලින් වැළකී කුසල් සිදු කිරීමය (සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා).
නිර්වාණය අපේක්ෂාවෙන් කුසල් සිදු කරන පුද්ගලයන්ගෙන් යුතු සමාජයක නිරායාසයෙන්ම සමාජ සදාචාරය ඇති වන අතර ඉන් සමාජ ගැටලුද උද්ගත නොවනු ඇත.
සාරගර්භ, සමෘද්ධිමත් දහමක පහස ලබමින් සාම්ප්‍රදායික බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාව වැනි රටක උපත ලැබීමට හැකි වීම භාග්‍යයකි. එහෙත් අභාග්‍යසම්පන්න වන්නේ බුදුදහමේ ප්‍රායෝගික අදාළත්වය සිය ජීවිතවලට ඈඳා නොගෙන, හුදෙක් බුදුදහම ඇසුරෙන් ගොඩනැඟී ඇති චාරිත්‍ර-වාරිත්‍ර, පුද-පූජා කෙරෙහි පමණක් උත්සුක වීමයි. බුදුදහමේ ප්‍රායෝගික අගය අත්විඳින්නේ සාම්ප්‍රදායික බෞද්ධයන් නොව, බුදුදහම කෙරේ නැඹුරු වූ නූතන ලෝකයාය.
සංවර්ධනය වෙමින් පවත්නා රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ දියුණු විය යුතු අංශ රාශියකි. සමාජයේ සැම අංශයක්ම දියුණු කිරීමට ප්‍රායෝගික අදාළත්ව ශක්‍යතාවකින් හෙබි බුදුදහම පෙරටු කරගත් දේශීය ඥානය නැවත මතු කර, ස්වයම්පෝෂිත හා සංවර්ධිත ශ්‍රී ලංකාවක් උදෙසා කටයුතු කිරීමට උචිතම කාලය මෙය බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.
දිල්ශාන් මනෝජ් රාජපක්ෂ
කථිකාචාර්ය,
බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
(පසුගිය සතිය හා බැදේ)