
පුද්ගලයා සංකල්ප ගොඩනගන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉඳුරන් ඇසුරෙන් ලබන නිමිති පිළිබඳව ය. පුද්ගලයාට ඡන්දය රාගය ප්‍රේමය ඇති වන්නේ අතීතයේ අත්දුටු, දැනුත් අත්දකින, මතුත් අත් දකින්නට කැමැති වන අරමුණු පිළිබඳවයි. චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු වූ යම් රූපයක් දැකලත් නැතිනම්, දැන් දකින්නේත් නැතිනම්, මතු දකින්නෙමියි සිතකුත් නැතිනම් ඒ කිසිවක් පිළිබඳ ඡන්දයක් රාගයක් ප්‍රේමයක් නැත.
කොස්වත්තේ අරියවිමල හිමි.
(බී.ඒ. ගෞරව, එම්.ඒ. කැලණිය)
පිවිසුම
ආයුෂ්මත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තවමත් රහත් ඵලයට නො පැමිණ, සියලු ආස්‍රවයන්ගෙන් මිදීමට නොපැමිණ ඉදිරි ගමන වැළකී රැඳී සිටි අවස්ථාවක කල්‍යාණ මිත්‍රත්වයේ අවශ්‍යතාවය තදින් දැනී තිබුණි. එහෙයින් උන්වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මුණගැසුනහ. මුණගැසී තම ගැටලුව මෙසේ වදාළහ.
“ඇවැත් ශාරිපුත්‍රයෙනි, මම පිරිසුදු වූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සහස්ස ලෝකධාතුව බලමි. මා විසින් වීර්යය පටන් ගන්නා ලද්දේ ම ය. (ආරද්ධං වීරියං) එහි අලස බවක් නැත. (අසල්ලීනං). සිහිය එළඹ සිටියේය (උප්පට්ඨිතා සති). මුළා බවක් නැත. (අප්පමුට්ඨා). නාමකයක් කරජකයත් සැහැල්ලුය. (පස්සද්ධකායො). කලබල රහිතය (අසාරද්දො). සිත සමාහිත ය (සමාහිතං චිත්තං). එකඟ ය (එකග්ගං). එහෙත් මගේ සිත උපාදාන වශයෙන් නො ගෙන ආඝ්රවයන්ගෙන් නො මිදෙයි.” යනුවෙනි.
ප්‍රශ්නය ඉදිරිපත් කරන විට ම සැරියුත් හිමියෝ දෝශය හඳුනාගත්හ. උන්වහන්සේ මෙසේ වදාළහ.
1. ඇවැත් අනුරුද්ධයෙනි, මෙසේ මම පිරිසිදු වූ මිනිස් ඇස ඉක්ම වූ දිවැසින් සහස්‍ර ලෝකය බලමි’යි යම් සිතක් ඔබට වේ ද එය ඔබගේ ‘මානය’ යි.
2. ඇවැත් අනුරුද්ධයෙනි, මා විසින් වීර්යය අරඹන ලදි. එය නො සැඟවින. සිහිය එළඹ සිටියි. මුළාවක් නැත. නාමකය කරජ කය සංසිඳිති. කලබල රහිත ය. සිත සමාහිත ය. එකඟ ය’යි යම් සිතක් ඔබට වේ ද එය ඔබගේ ‘උද්ධච්චය’ යි.
3. ඇවැත් අනුරුද්ධයෙනි, එහෙත් මාගේ සිත උපාදාන වශයෙන් නො ගෙන ආඝ්රවයන් කෙරෙන් නො මිදේය’යි ඔබට යම් බඳු සිතක් වේ ද, එය ඔබගේ ‘කුක්කුච්චය’යි.
මේ කරුණු තුන අතහැර මෙනෙහි නො කර නිර්වාණ ධාතුවට සිත යොමු කරන්නේ නම් මනා ම යැ’යි සැරියුත් හිමියෝ වදාළහ. මේ උපදේශය පරිදි ක්‍රියා කළ අනුරුද්ධයන් වහන්සේ ආස්‍රවයන් ක්ෂය කර අර්හත්වයට පත් වූහ.
මේ කථා කළේ සසුන් පිළිවෙතෙහි දී පසිඳුරන් හා බැඳුණ කාමසංඥාවන්ගෙන් ද මිදී ඉදිරි ආධ්‍යාත්මික ගමනක නියැලුණ උතුමකු අතරමග එහෙත් නිවනට ආසන්නව සියුම් කරුණු කීපයක් උපාදාන කරමින් සිටි අවස්ථාවක් ඉක්මවා යාම පිළිබඳ සිද්ධියකි. මමත්වය යමකට අංශුමාත්රයක් හෝ රැඳවුව විමුක්තිය උදා නො වේ. සියලු ආකාර තෘෂ්ණා උපාදානයන් බැහැර කළ යුතුවේ.
උඩත් යටත් තිරස් අතට සියලු දිශාවන්හිත් මධ්‍යයෙහිත් තෘෂ්ණාඋපාදානය අත්හළ යුතු ය. උඩ, යට සහ තිරස් දිශාවන් ප්‍රකට වන්නේ මධ්යලක්ෂයෙහි වූ ‘මම’ යන සංඥාවට සාපේක්ෂව ය. මධ්‍යලක්ෂ්‍යය වශයෙන් මමත්වයක් නොමැති විට උඩ, යට, තිරස් දිශා සංකල්ප වියැකී යයි. විමුක්ති මාර්ගය ඒ අනුපාදානය පිණිසය. ලෝකයෙහි යමක් උපාදාන කරන්නේ නම් ඒ ඔස්සේ ම සත්වයා කරා මාරයාගේ පැමිණීම වේ.
උපාදානය කුමක් පිළිබඳව ද?
බෞද්ධ ප්‍රතිපදාව අනුපාදානය පිණිස වඩන්නේ කෙසේ ද? ඒ කරුණෙහි දී උපාදානය කවරක් කෙරෙහි ද යන්න අවබෝධ කරගත යුතුයි. මේ සවිඤ්ඤාණක කයෙහිත් (ඉමස්මිං ච සවිඤ්ඤානකෙකායෙ) බාහිර වශයෙන් සියලු නිමිති කෙරෙහිත් (බභිද්ධා ච සම්බනිමිත්තෙසු) ‘මම’ යන සංඥාවත් (අහිංකාර) මගේ යන සංඥාවත් (මමිංකාර) ‘මම’ වෙමි යන මැන ගැනීමත් (මාන) වේ. මේ ස්වභාවය ක්‍රියාත්මක වන්නේ පුද්ගලයා නිරතුරු ඉන්ද්‍රියානුසාරී අත්දැකීම් ලෝකය සමඟ බැඳෙමින් රාගානුසයටත් පටිඝානුසයටත් අවිජ්ජානුසයයත් වැටෙමින් ක්‍රියා කිරීමක් හැටියටයි. පුහුදුන් පුද්ගලයා සිතන ආකාරයට අත්දැකීම් ලබන්නේ ‘මම’ ය. ඒ අත්දකින දේ හා වින්දනය ‘මගේ ය’ ඒ තුළින් තීරණය වන්නේ ‘මම සිටින බවය’ මුළුමහත් වරද ඇත්තේ ඔතැන ම ය.
ආධ්‍යාත්මික වශයෙන් ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉඳුරන් මඟින් බාහිර වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන නිමිති හා සම්බන්ධ වීම තුළ මේ වරද බිහි වේ. ඉඳුරන් ඇසුරෙන් අරමුණු ගැනීම යනු රූපධර්ම ප්‍රකට වීමයි. ඉන්ද්රියයත් අරමුණත් මනසිකාරයත් තුන ම මෙහි දී අවශ්‍යය. එතැන ඇත්තේ රූප ධර්ම ස්පර්ශ වීමයි. මේ රූපධර්ම අරමුණු වන්නේ විඳීම, හැඳිනීම, චේතනාව, ස්පර්ශය, මනසිකාරය යන නාමධර්ම ඇති කල්හි ය. රූපයෙන් තොරව නාමධර්ව වලට ද නාමධර්ම වලින් තොරව රූපයට ද පැවැත්මක් නැත.
මේ නාම රූප තෘෂ්ණා වශයෙන් උපාදන කරමින් ස්කන්ධ සකස් වේ. සන්තානගත වශයෙන් නිරන්තරව සැකසෙන මේ ස්කන්ධයන්ගේ පහළ වීමත් ආයතන ප්‍රතිලාභයත් (ඛන්ධානං පාතුභාවො අයතනානාං ව පටිලාහො) ඔස්සේ දිගු සසරක සත්වයාගේ මේ ක්‍රියා ප්‍රවාහය ඇදී ආවා සේ මේ ප්‍රත්‍ය සම්බන්ධතාවය පවත්වා තාක් කල් මතු මතුත් ඇදී යනවා ඇත. ඒ සසරයි.
අනුපාදාන පිළිවෙත:
පුද්ගලයා සංකල්ප ගොඩනගන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉඳුරන් ඇසුරෙන් ලබන නිමිති පිළිබඳව ය. පුද්ගලයාට ඡන්දය රාගය ප්‍රේමය ඇති වන්නේ අතීතයේ අත්දුටු, දැනුත් අත්දකින, මතුත් අත් දකින්නට කැමැති වන අරමුණු පිළිබඳවයි. චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු වූ යම් රූපයක් දැකලත් නැතිනම්, දැන් දකින්නේත් නැතිනම්, මතු දකින්නෙමියි සිතකුත් නැතිනම් ඒ කිසිවක් පිළිබඳ ඡන්දයක් රාගයක් ප්‍රේමයක් නැත. මේ ආකාරයට ඉන්ද්‍රීය සය පිළිබඳව ම තේරුම් ගැනීම අවශ්‍ය ය.
මේ සැකසෙන ඉඳුරන් යනු ද පුරාණ කර්මයේ ප්රතිවිපාකයයි. ඒ බව නුවණින් දක්නා ආර්යශ්රාවකයා අතීත රූපාරමුණු වූ ඇසෙහි අනපේක්ෂිත වෙයි. (අතීතස්මිං චක්ඛුස්මිං අනපෙක්ඛො හොති) අනාගත ඇසෙහි අභිනන්දනයක් ද නැත. (අනාගතං චක්ඛුං නාභිනන්දති.) මේ මොහොතේ පවත්නා අරමුණක් හා බැඳෙන ප්‍රත්‍යුත්පන්න ඇස පිළිබඳව නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. (පච්චුප්පන්නස්ස චක්ඛුස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හොති) මේ ආකාරයෙන් සෙසු ඉන්ද්රියයන් කෙරෙහි ද ක්‍රියා කරයි.
මෙහි තේරුම් ගත යුත්තක් ඇත. ‘ඇස උපදිනවා’ යන්න අප තේරුම් ගත යුත්තේ අරමුණක් ගන්නා විට උපදින ස්වභාවයක් වශයෙනි. කෙනෙක් ඊයේ දුටු අරමුණක දී ඇස වූයේ ඒ මොහොතේ උපන් ඇසයි. ඒ අතීත ඇසයි. ඒ අරමුණු අදත් දකින්නට කැමැත්ත ඇති තැන ඇත්තේ අතීත ඇසෙහි මෙන්ම අතීත රූපයෙහි අපේක්ෂාවයි. එය අද මේ මොහොතේ දකින විට ඇත්තේ පච්චුප්පන්න ඇසයි. හෙටත් එය දැකීමේ කැමැත්ත ඇත්නම් ඒ අනාගත චක්බුවයි. අපගේ මසැස ගැන සිතා අතීතයේත් අනාගතයෙත් දැනුත් ඇත්තේ එකම ඇසක්ය’ යි නො ගත යුතුය.
ඇස නමැති මස්ගඩුව ඇසක් වන්නේ රූපාරම්මණයක් ඇති මොහොතේ පමණි. රූපාරමමණයක් නැති තැන ඇස නමැති මස්ගඩුව පඨවි ආපෝ තේජෝ වායෝ මූලධාතු පුඤ්ජයක් පමණි. සෙසු ඉන්ද්රියයන් පිළිබඳව ද මේ ආකාරයෙන් ම දත යුතුය.
ඉන්ද්රියයන්ගේ සමුදය වන්නේ බාහිර නිමිති ගන්නා විට ය. බාහිර නිමිති වශයෙන් එහි දී අත්දකින්නේ සත්‍ය ලෝකය නොව සංකල්පනාමය වශයෙන් මැවුණ ලෝකයකි. ඇසින් රූප ද කනින් ශබ්ද ද නාසයෙන් ගන්ධ ද දිවෙන් රස ද කයින් පහස ද මනසින් ධර්ම හෙවත් සංස්කාර සටහන් ද නිමිති වශයෙන් ගෙන සංකල්පනා ලෝකය අතීතයේ ද මැවී ය. මතු ද මවන්නට අපේක්ෂා කරයි. දැනුදු වෙමින් සිටියි. මේ ක්‍රියාව සිදුවනතාක් සංසාරික බව පවතියි.
ඒ නිසා ශ්‍රැතවත් ආර්යශ්රාවකයා මේ ධර්මතාවය දකිමින් අතීත රූපයන්හි අනපේක්ෂිත වෙයි. (අතීතෙසු රූපෙසු අනපෙක්ඛො හොති). අනාගත රූප අභිනන්දනය නො කරයි. අනාගතෙ රූපෙ නාභිනන්දති). ප්‍රත්‍යුත්පන්න රූපයන්හි නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. (පච්චප්පන්නානං රූපානං නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නො හොති). මේ ආකාරයට ශබ්ද ගන්ධාදී අරමුණු සම්බන්ධයෙන් ද ක්‍රියා කරයි. මේ පිළිපන් ප්‍රතිපදාව භාවිත කරමින් බහුලීකෘත කරමින් සියලු සංසාරික සැකසීම් ඉක්මවිය හැකිය. නිවීම යනු එයයි.
මායා ලෝකය:
බුදුරජාණන් වහන්සේ සීලය හා සමාධිය යට කී ප්‍රඥා භාවනාවට ගැනෙන ප්‍රතිපදාව ඇරඹීමටත් භාවිත කිරීමටත් බහුලීකෘත කිරීමටත් අවශ්‍ය පදනම සේ දුටහ. සියලු සංසාරික සත්වයන් ම සැකසී ඇත්තේ යට කී ලෙස අජ්ඣත්තික හා බාහිර ආයතන සම්බන්ධතාවක් හැටියටයි. විවිධ විචිත්‍ර අනුප්රභේද සහිත නරක තිරිසන් ප්‍රේත ඇසුර මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආදී විවිධ සත්වයින් සැකසෙන්නේ කෙලෙස්වල ඇති විචිත්රත්වය පදනම් කරගෙන ය.
ඒ විචිත්‍රත්වයට අනුව ආයතන ප්‍රතිලාභය ද විචිත්‍ර වෙයි. බ්‍රහ්මයින්ගේ අත්දැකීම් ලෝකය එක ආකාරයකට ය. කාමාවචර දෙවිවරුන්ගේ අත්දැකීම් ලෝකය තව ආකාරයකට ය. මනුෂ්‍යයින්ගේ තවත් ආකාරයකටය. දියගොඩ තිරිසන් සත්ව පැවතුම් බෙහෙවින් ම විචිත්‍ර ය.
ඔවුන්ගේ ඒ ඒ ආයතන ප්‍රතිලාභයන්ගේ හැටි හැටියට ලෝකය අත්දකින ආකාරය විචිත්‍ර ය. සාමාන්‍යයෙන් එක් සහස්සී ලෝකධාතුවක ප්රතිසන්ධි තල තිස්එකක් බව කියැවේ. ඒ හැමෙකක් ම එකිනෙකට වෙනස් ආයතන ප්‍රතිලාභයන්ට උචිත වන පරිද්දෙන් ක්ලේශයන්ගේ විසිතුරු ස්වභාවයෙන් ද යුක්ත වේ.
මෙතැනදී පැනනඟින ප්‍රශ්නය නම් මේ අත්දැකීම් විචිත්රත්වය තුළ ලෝකය ඇති සැටියෙන් අත්දකින සත්වයෝ කවරහු ද, යන්නයි. මනුෂ්‍යයෝ ද දෙවියෝ ද තිරිසන් සත්වයෝ ද අත්දැකීම් ලබන්නේ කෙලෙස්වල හැටි හැටියට නම් ඔය එක් පැවැත්මක්වත් හරි අත්දැකීම් ක්‍රම නො වේ. එහි තේරුම සියල්ලෝ ම ‘මම’ සාර ස්වභාවයක් හැටියට ගෙන ඒ මමත්වය රැකගනිමින් සුවපත් කරගනිමින් තබා ගැනීමට උත්සාහ ගනිමින් මවාගත් අත්දැකීම් ලෝකයක රැවටී සිටින බවය.’මෙන්න මම’ කියා නොයෙක් ආකාරයෙන් මමත්වයේ අනන්‍යතාවය ඔප්නැංවීමටත් ආරක්ෂා කරගැනීමටත් වෑයම් කරමින් සිටින බව ය.
ඒ අතර නිත්යත්වයෙන් ගන්නට කිසිවක් නැති නමුත් නිත්‍ය සංඥාවක රැවටී සිටිති. දුකට ම හිමි ස්වභාවයන් සැප සංඥාවෙන් ගනිමින් සිටිති. ආත්ම අගක් නො දියහැකි ස්වභාවයන් කෙරෙහි ආත්මසංඥාවට වැටී සිටිති. අශුභ දෙයෙහි ශුභසංඥා වඩමින් මුළාවට වැටී සිටිති. එහෙත් පුබුදුන් පුද්ගලයා එ’ බව නො දනියි.
ඒ නිසා සත්වයා තමන්ගේ අත්දැකීම් ලෝකයෙහි රැවටී එය ම අභිනන්දනයකරයි. (අභිනන්දති). අභිවාදනයකරයි. (අභිවදති). සිතින් ගිලගෙන සිටියි. (අජ්ඣොසාය නිට්ඨති). ඒවා ස්ථිරව නො පවතින විට ශෝක කරයි. (සොචති). ක්ලාන්ත වෙයි. (කිලමති). දෙස් තියමින් වැලපෙයි. (පරිදෙවති). උරෙන් අත් ගසා හඬයි. (උරත්තාළිං කන්දති). සිහි මුළා බවට පැමිණෙයි. (සම්මොහං ආපජ්ජති). තම තමාගේ අත්දැකීම් ලෝකයහි ඇලෙමින් රාගානුසය ද ගැටෙමින් පටිඝානුසය ද රැවටෙමින් අවිජ්ජානුසය ද පෝෂණය කරයි. මායා ලෝකය මෙයයි. විඤ්ඤාණ ක්‍රියාකාරිත්වය මායාවට උපමා කර ඇත්තේ මේ නිසයි. (මායූපමං ච විඤ්ඤාණං).
අප මනුෂ්‍යයන් හැටියට එදිනෙදා ලෝකයේ ප්‍රශ්න ගැටලු අර්බුද අරගල වශයෙන් බැරෑරුම් ලෙස ගන්නේ මේ මායා ස්වභාවය ම ය. එක් අතකින් පුද්ගලයාගේ ඉන්ද්‍රීය ශක්තිය සීමාසහිත ය. පටුය.
අනෙක් අතින් ඡන්දරාගාදී කෙලෙස් නිසා අනිත්‍යයෙහි නිත්යසංඥාත් දුකෙහි සුඛසංඥාත් අනාත්මයෙහි ආත්මසංඥාත් අශුභයෙහි ශුභසංඥාත් තුළින් චිත්තවිපරීතයට දෘෂ්ටිවිපරීතයට සංඥාවිපරීතයට වැටෙන සත්වයා අත් දකින්නේ ඇති සැටිය නො වේ.
මායාවක් බව නො දත් තැන:
අත්දකින්නේ ඇති සැටිය නොව මායාවක් බව නො දන්නා නිසා සැබෑ ලෙස සලකාගත් අයුරින් කටයුතු කිරීමට ගොස් පුද්ගලයා කයත් වචනයත් මනසත් තුළින් පවිටු හැසිරීම් ප්‍රකට කරයි. මමත්වය ඇත්තක් වශයෙන් ගෙන ඒ මමත්වයේ සැපත හා ආරක්ෂාව ගැන ම කටයුතු කිරීමට යාමෙන් බිහිවන්නේ සෝක පරිදෙව දුක් දොම්නස් උපායාස තව දුරටත් පැවතීම විනා සිදුවන අන් යහපතක් නැත. මේ මොහොතේ ලබමින් සිටින අත්දැකීම් වල නිබ්බිදාවත් විරාගයත් නිරෝධයත් සංසිඳීමත් නො දකින සත්වයා මතු මතුත් ඒ දුකටම හිමිකම් කියනු ඇත.
රාගයත් ද්වේෂයත් මෝහයත් නිසා වැඩි වශයෙන් නරක තිරිසන් ප්‍රේත අසුර යන දුගතීන්ට වැටෙමින් හා සුගතිගාමී වුවත් අවිද්‍යාවත් තෘෂ්ණාවත් දෙක නිසා ජාති ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාසයන්ට වැටෙමින් සසර පවතිනවා යනුවෙන් සිදුවන්නේ එයයි.
මායාව තේරුම් ගනිමු:
බාහිර ලෝකය ඇස කන ආදී ඉන්ද්‍රීය සය තුළින් අත්දැකීමේ දී සැබැවින් ම අප අත්දකින්නේ ඒ නිමිති වල ඇති සැටිය නොව නාම - රූප ය. වින්දනය, හැඳිනීම, චෙතනා, ස්පර්ශය, මනසිකාරය යන නාමධර්ම මතුවන්නේ යම් රූපධර්මත් අරමුණු කොටගෙනය. නාමධර්මයන්ගේ ප්‍රකට වීමට රූපධර්මත් රූපධර්මයන්ගේ ප්‍රකට වීමට නාම ධර්මත් එක සේ අවශ්‍ය ය.
පුහුදුන් ලෝකයා අතින් සිදුවන්නේ වින්දන සංඥා චේතනා ඔස්සේ අනිත්‍ය දේ නිත්‍ය වශයෙන්, දුක් දේ සුඛ වශයෙන්, අනාත්ම දේ ආත්ම වශයෙන්, අසුභ දේ සුභ වශයෙන් වරදවා ගැනීමයි. එහෙයින් සාමාන්‍ය පුද්ගලයා අත්දකින ආකාරයත් ඇති සැටියත් එකසමාන නොවේ. එහෙයින් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරති. “දකින්නා වූ පුද්ගලයා දකින්නේ නාමරූපයි. බොහෝ දේ දැක්කත් ස්වල්ප දෙයක් දැක්කත් නාමරූප වශයෙන් දක්නා හෙයින් ශුද්ධියක් ඇතැයි කියා දක්ෂයෝ (බුද්ධාදී උතුමෝ) නම් නො කියති”.
මේ නාමරූප මොනවාදැයි මදක් තේරුම් ගන්නට බලමු. ඇසින් වර්ණ වශයෙන් ද කනින් ශබ්ද වශයෙන් ද නාසයෙන් ගන්ධ වශයෙන් ද දිවෙන් රස වශයෙන් ද කයින් පහස වශයෙන් ද මනසින් ධම්ම වශයෙන් ද ගන්නා නිමිති පඨවි ආපෝ තේජෝ වායෝ යන රූපධර්මයි.
මේ රූපධර්මයන් අරමුණු වන්නේ ඒ සම්බන්ධයෙන් මනසේ නාමධර්ම ක්‍රියාකාරිත්වය සිදුවුවහොත් පමණි. නාමනම් වේදනා සඤ්ඤා චේතනා එස්ස මනසිකාර යන චෛතසික පහයි.
සත්වයින්ගේ අත්දැකීම් ලෝකයේ සියලු ධර්මයන්ගේ ප්රභවය මනසිකාරය හේතුවෙන් සිදු වෙයි. (සබ්බේ ධම්මා මනසිකාරසම්භවා) සසර ම වැඩෙන ලෙස සාවද්‍ය ලෙස සැකසෙන්නේ අයෝනිසෝමනසිකාරයයි. මේ මනසිකාරය යොමු වෙමින් ධර්ම උදාවන්නට උපකාරක ප්‍රත්‍යය නම් එස්සයයි. (එස්සසමුදයා සබ්බෙධම්මා) ඒ තුළින් වින්දනය සංජානනය සංචෙතනය ක්‍රියාත්මක වේ. රූපධර්ම නිමිති කරගන්නේ මේ නාමධර්ම තුළිනුයි. රූපධර්ම නිමිති නො වේ නම් මේ නාමධර්ම ප්‍රකට වීම ද නැත. අපි ඇත්තයයි සිතාගෙන අත්දකින්නේ සැබෑ ලෝකයක් නොව නාමධර්මයන් ඔස්සේ නිමිති කරගන්න රූපයි.
මේ සිදුවන්නේ කෙලෙස් තුළින් ලෝකය අත්දැකීමයි. අත්දකින්නේ ඇති ස්වභාවය නො වේ. නාමධර්ම ඔස්සේ මැවුන ස්වභාවයයි. රූප නැත්නම් නාම නැත. නාම නැත්නම් රූප ද නැත. නාම ඔස්සේ රූප ද රූප ඔස්සේ නාම ද ප්‍රකට කරන්නේ විඤ්ඤාණයයි. එනම් වෙන් කොට දැනගන්නා සිතයි. නාමරූප විඤ්ඤාණයේ සකස් වීමට ප්‍රත්‍යය වේ. විඤ්ඤාණය නාමරූපයේ සකස් වීමට ප්‍රත්‍යය වේ. සංසාර සත්වයාගේ පැවැත්ම බලගැන්වෙන ප්‍රත්‍ය සම්බන්ධතාවය මෙයයි.
ඉන්ද්‍රීය අත්දැකීම් වශයෙන් අප කවරක් අත්දුටුවත් අත්දැක ඇත්තේ නාමරූප ම ය. අනෙකක් නො වේ.
“පුහුදුන් මනසින් යුත් දෙවියන් සහිත ලෝකයා ම ‘මම’ ය. ‘මගේ’ ය. ‘මාගේ ආත්මය’ ය යනුවෙන් මේ නාමරූප දෙකට වැදගෙන එය ම සත්‍යය’යි කල්පනා කරන බව” බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එබැවිනි.
සමාප්තිය:
මෙම සත්‍යතාවයන් නුවණින් තේරුම් ගන්නා විට සසර දුක් සහගත බව හොඳින් වැටහේ. ඒ නිසා සසර යනු මිදිය යුත්තක් බ ව දැක යට කී අනුපාදන පිළිවෙත වැඩීමට සිතෙන තරමට බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධර්ම පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති වේ. (දුක්ඛූපනිසා සද්ධා) බුදුදහමේ ශ්‍රද්ධාව ප්‍රඥාව අභිමුඛ කරගත්තක් බ ව අමතක නොකළ යුතුය. නූතන යුගයේ බෞද්ධකම ප්‍රතිපදාව ඇරඹීම වෙනුවට සංස්කෘතිකාංග කිහිපයකට සීමා වී ඇත්තේ නිවැරදි ශ්‍රද්ධා ප්‍රතිලාභයට පැමිණීම බාධක වන තරමට පුද්ගලයා කයෙහි අවශ්‍යතාවයනට ම නතුවීම නිසයි.
සැපත වශයෙන් පසිඳුරන් මඟින් ලබන සැපතක් පමණක් දන්නා පුද්ගලයා පස්කම් සුවයෙන් අන්‍යතර වූ සුවයක් නො දනියි. එහෙත් සම්‍යක් දර්ශනයක් වන සද්ධර්මයෙහි සැදැහැ සිත් ඇත්තාට කූසලූපසංහිත ප්රමෝදයක් වෙයි. ((සද්ධූපනිසං පාමොජ්ජං). දුකෙන් අත්මිදීමට මගක් ඇත යන දැක්මෙන් උපදින ඒ ප්‍රමෝදය උපනිඃශ්‍රය කරගෙන ප්‍රීතිය උදා වෙයි. (පාමොජ්ජූපනිසා පීති). ප්‍රීතිය නිසා කය සිත දෙක සැහැල්ලු වෙයි. (පීතුපනිසා පස්සද්ධි).
ඒ සැහැල්ලුව සුඛයට උපනිඃශ්‍රය වෙයි. (පස්සද්දූපනිසං සුඛං). සුඛය චිත්තසමාධියට උපනිඃශ්‍රය වෙයි. (සූබූපනිසො සමාධි). සමාධිය යථාභූතඥානදර්‍ශනයට උපනිඃශ්‍රය වෙයි. ඇතිසැටිය දකින විට ලෞකිකත්වය පිළිබඳව උනන්දුව ගිලිහෙන්නට පටන් ගනියි. අත්දැකීම් ලෝකය අභුභ වශයෙන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ප්‍රඥාවෙන් දකින විට කලිකිරෙයි. (යථාභූතඤාණදස්සනූපනිසා නිබ්බිදා). එකල්හි වෙන්වීම පහසු ය. (නිබ්බදූපනිසො විරාගො). වෙන්වීම විමුක්තියට උපනිඃශ්‍රය වෙයි. (විරාගූපනිසා විමුක්ති). විමුක්තිය ආශ්‍රවයන්ගේ ක්ෂයවීම පිළිබඳ ඥානයට උපනිඃශ්‍රය වෙයි. (විමුත්තූපනිසං ඛයෙඤාණං). අවම වශයෙන් දුගතිභය විමුක්ත සම්බෝධිපරායන මනසක් පිණිස වත් මේ පිළිවෙත ප්රායෝගිකත්වයට නැංවීමෙහි ලා අපගේ අවධානය යොමු කළ යුතු ම ය. ප්‍රමාදය පසුව විපිළිසර වීම පිණිස වන බව බුද්ධාවවාදයයි.