
දුම්රිය සේවාවට නව පණක් ලබා දීමේ අරමුණින් ඉන්දියාවෙන් නව බලවේග දුම්රියයන් හා අධිබල දුම්රිය එන්ජින් ගෙන්වීමට කටයුතු කර ඇති අතර මේ දිනවල එම දුම්රියයන් ඉන්දියාවේ පරීක්ෂණ ධාවනයේ යෙදෙන අතර ලබන මාසය වන විට මෙරට දුම්රිය ධාවනයට එක් කෙරෙනු ඇත.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට දුම්රිය ගාස්තු වැඩි වුවද මඟීන්ට පහසුකම් නම් වැඩි නොවීය.
ගාස්තුවට සරිලන පහසුකම් හෝ ලබාදිය යුතු යැයි මඟීන් වරින් වර හඬ නැගුවේ අද ඊයේ සිට නොවේ. වහලෙන් වතුර බේරෙන, වැසුවොත් අරින්නට බැරි ඇරියොත් වසන්නට බැරි දුම්රිය ජනේල මෙන්ම අතින්වත් කරකවන්නට බැරි දුම්රිය විදුලි පංකා කියාපෑවේ පහසුකම් අඩු බවේ සංකේතයන්ය. ‘හිඟන්නා’ නමින් මඟීන් දුම්රියක් හැඳින්වුයේ පහසුකම් අල්පයක්වත් ඒ දුම්රියේ නොතිබු හෙයිනි.
මඟීන්ගේ මේ කන්දොස්කිරියාව, කරච්චලය දීර්ඝ කාලයක් තිස්සේ බලධාරීන්ට ඇසීම නිසාදෝ පසුගිය වසර 4 ක 5 ක පමණ කාලය තුළදී දුම්රිය පහසුකම් වැඩි කරලීමට අවධානය යොමු කරන ලදි. වසර 20 කට ආසන්න කාලයකට පසුව චීනයෙන් දුම්රිය මැදිරි ආනයනය කළේ ඒ අනුවය. කෙසේ හෝ මාර්ග තදබදයට හොඳම විසඳුම දුම්රිය සේවාවේ ගුණාත්මක බව හා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම බව ඉන්දියාව, තායිලන්තය වැනි අවට රටවල් හැම උගන්වාලීය.
අපේද වැඩි අවධානයක් දුම්රිය කෙරෙහි යොමු වූයේ අවට රටවල් ඒ පියවර ගැනීමෙන් පසුවය. 1990 වසරට පසු එස්-9 වර්ගයේ බලවේග කට්ටල දුම්රිය 2010 වසරේදී වසර 20 කට පසුව මෙරටට ආනයනය කෙළේද ඒ අනුවය. ඒ චීනයෙනි. එයින් වසර කිහිපයකට පසුව එස් - 10 පන්තියට අයත් තවත් බලවේග දුම්රියයන් චීනයෙන්ම ආනයනය කෙරුණි.
එයින්ද නොනැවතී ඉන්දියාවෙන් එස්- 11 පන්තියට අයත් දුර ධාවනයට සුදුසු බලවේග කට්ටල දුම්රියන් ද එම් -10 පංතියට අයත් අශ්ව බල 3500 කින් යුක්ත දුම්රිය එන්ජින්ද ගෙන්වීය.
උඩරට හා කැලණි වැලි මාර්ගයේ දුම්රිය සේවාව ඉහළ නැංවීම පිණිස චීනයෙන් S – 12 වර්ගයේ බලවේග දුම්රිය ගෙන්වීමට ද කටයුතු යෙදිණි.
දුම්රිය සේවාව තවත් වැඩි දියුණු කිරීමට දැන් කටයුතු යොදා ඇත. එහි තවත් පියවරක් ඉදිරියට තබා ඉන්දියානු ණය සහනාධාර යටතේ නව බලවේග කට්ටල දුම්රියයන් 12ක් සහ අශ්ව බල 3500ට වැඩි අධි බල දුම්රිය එන්ජින් 10ක් ඉන්දියාවෙන් ආනයනයට කටයුතු කර ඇත.
ඒ අනුව එස් - 13 බලවේග කට්ටල දුම්රියයන් දැන් ඉන්දියාවේ අප වෙනුවෙන් ම නිෂ්පාදනය කරමින් පවතී. එහි පළමු දුම්රිය පසුගිය දිනවල ඉන්දියාවේ පර්යේෂණ ධාවනයේ යොදවා තිබේ.
එය ඉතා සාර්ථකය. සරල බවින් යුක්තව නිපදවා ඇති එස් - 13 පංතියේ නව දුම්රියයන් දුර ධාවනයට සුදුසු අයුරින් නිපදවා ඇති අතර එහි ක්ෂණික වායු තිරිංග නිසා දුම්රිය හදිසි අවස්ථාවකදී කඩිනම්ව නවත්වා ගැනීමට හැකියාව තිබේ. එමෙන් ම සැප පහසු ආසන නිසා මාතර සිට යාපනය දක්වාම වුවද පහසුවෙන් මඟීනට ගමන් කළ හැකි ය.
නවීන පහසුකම්වලින් යුත් දුම්රිය වැසිකිලි පද්ධති විශේෂ අවශ්‍යතා ඇති අයට ගමන් කළ හැකි සේ විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදනය කර ඇත.
වසර කිහිපයකට පෙර ඉන්දියාවෙන් ආනයනය කරන ලද s - 11 දුම්රියයන්ගේ තිබූ සියලු ම අඩුපාඩු මේ නව දුම්රියයන්ගේ සකසා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ද්විත්ව දුම්රියයන් ලෙසින් මෙරටට එවන බලවේග කට්ටල දුම්රියක මැදිරි හා එන්ජින් සියල්ල 13කි. ද්විත්ව එන්ජින් සහිත දුම්රියන් සමන්විත වන්නේ එක් දුම්රියක් එන්ජිම සහිතව මැදිරි 7ක් හා අනෙක් දුම්රියේ එන්ජිම සහිතව මැදිරි 6ක් වශයෙනි. ද්විත්ව දුම්රියන් තනි දුම්රියයන් වශයෙන් ද ධාවනය කළ හැකි බව ද ඩිලන්ත ප්‍රනාන්දු මහතා කීය.
සෑම ද්විත්ව දුම්රියකම ආපන ශාලාවක් හා නවතම තාක්ෂණ භාවිත කරමින් නීෂ්පාදනය කර ඇති නව බලවේග දුම්රියයන්ගේ චීන තාක්ෂණය මෙන්ම චීන උපාංග වැඩි වශයෙන් යෙදීමට දුම්රිය නිෂ්පාදනය කළ ඉන්දියානු රයිට්ස් සමාගම කටයුතු කර ඇතැයි ද සාමාන්‍යාධිකාරිවරයා කීය.
දිගින් අඩි 65 කින් යුක්ත දුම්රිය මැදිරිවල විශේෂයෙන්ම වායු සමනය කළ 1 වන පංතියේ මැදිරි තුළ රූපවාහිනී තිර යොදවා විශේෂ පහසුකම් සලසා ඇත.
ඊට අමතරව තිර රෙදි ද එම මැදිරි සඳහා යොදවා ඇත. අලංකාර නිමාවෙන් යුක්ත 3 වන හා 2 වන පංතියේ මැදිරි ද වැඩි මගීන් පිරිසකට ගමන් කළ හැකි අයුරින් නිෂ්පාදනය කර ඇත.
මෙම දුම්රියයන්ගේ තාක්ෂණ උපාංග සඳහා වසර 2 ක පූර්ණ වගකීමක් හා විදුලි පරිපථ සඳහා වසර 5 ක වගකීමක් අදාළ සමාගම විසින් ලබාදෙන බවද සාමාන්‍යාධිකාරිවරයා පවසයි.
GPS තාක්ෂණ ඔස්සේ දුම්රියේ වේගය හා දුම්රිය තිබෙන ස්ථානය නිරීක්ෂණය කළ හැකි අතර දුම්රිය මගීන්ට ද දුම්රිය වේගය නිරීක්ෂණය කළ හැකි ලෙස මැදිරි තුළ පහසුකම් සපයා ඇත.
මේ දුම්රියේ ද ගුවන් යානයේ කළු පෙට්ටිය මෙන් විශේෂිත දත්ත ගබඩා පද්ධතියක් ඇති අතර යම් කිසි හදිසි අවස්ථාවකදී සම්පූර්ණ විස්තර වාර්තාවක් ලබාගත හැකිය.
මගී ජනතාවට උපරිම පහසුකම් සැලසීමට මේ නව බලවේග දුම්රිය උපයෝගී කරගන්නා අතරම ඉන්දියාවෙන් M - 11 පංතියට අයත් අශ්ව බල 3500 ක පමණ ඉහළ බල ශක්තියෙන් නව දුම්රිය මේ සමඟම මෙරටට ගෙන්වනු ඇත.
මැදිරි 20 කට අධික ප්‍රමාණයක් ඇදගෙන යාහැකි M - 11 දුම්රිය එන්ජින් මේ වන විට වාරාණාසී සිට චෙන්නායි දක්වා ගෙන්වා ඇති අතර චෙන්නායිහිදී බලවේග දුම්රිය සමඟ නැව්ගත කර මෙරටට පෙන්වීමට කටයුතු කරනු ලබන අතර පළමු දුම්රිය හා එන්ජිම මේ මස අගදි මෙරටට ලැබෙනු ඇත.
පරීක්ෂණ ධාවනයෙන් පසුව ලබන මසදී එම දුම්රිය කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය කරනු ලබන අතර උත්තර දේවි දුම්රියට බලවේග දුම්රිය යොදවනු ඇත.
දුම්රියේ යම් දෝෂයක් ඇති වුවහොත් ඒවා සම්බන්ධයෙන් දැනුවත් කර ඉතිරි දුම්රියයන්ගේ එම දෝෂ මඟ හැර ගැනීමට කටයුතු කරනු ඇත.
ඒ අනුව අපේ අලුත් ම දුම්රිය ගමන් සගයා ලෙසින් S - 13 හා M - 11 ලබන මස සිට අපත් සමඟ ගමනේ යෙදෙනු ඇත.
ඒවා සුරැකීමට පියවර ගැනීම අපගේ යුතුකම ලෙස මතක් කර සිටින්නේ අලුවැඩියාවෙන් පසු යෙදූ දුම්රියයන්ගේ අංගෝපාංග කඩා බිඳ දැමීමට තරම් ඇතැම් පිරිස් පසුගියදා කටයුතු කර තිබූ හෙයිනි.