රටටම ආදර්ශයක් දෙන සංහිඳියාවෙ ඉස්කෝලෙ... | සිළුමිණ

රටටම ආදර්ශයක් දෙන සංහිඳියාවෙ ඉස්කෝලෙ...

දෙයියන්නේවෙල රාසිංදෙව් විදුහල මිහිපිට උපදින සෑම සත්වයකුට ම මෙන්ම සමස්ත ලෝකයට ම සාමය තරම් වටිනා යමක් නැත. එහෙත් ලොව පුරා රටවල් රැසක සාමය නම් අහස් කුස මේ මොහොතේ ද අඳුරු කළු වලාවන්ගෙන් වෙළී තිබේ.

ජාති වාදය, ආගම් වාදය, කුල වාදය, පන්ති භේදය ප්‍රදේශවාදය සාමයේ පරවියාගේ තටු සිඳ දමා ඇත. යුද්ධ, ගැටුම්, කෝලාහලවලින් වටිනා මිනිස් ජීවිත ලක්ෂ ගණනින් බිලි ගනිමින් තිබේ.

සාමයට එරෙහි වෙමින් යුද්ධ, කැරලි කෝලාහල, ගැටුම්වලින් වැඩිහිටි පරපුර පොර බදිද්දී ළමා ලෝකයේ මල් කැකුළු එයට හසු වී අකාලයේ පරවී යන්නේ ඔවුන් නොකළ වරදට හසු වෙමිනි. ළමා ලෝකයේ ඉරිසියාව, කුහකකම, ආත්මාර්ථය නැත. ඒ නිසාම ඒ ලෝකය සුන්දර ය.

වැඩිහිටියන් දරුවන් විෂයයෙහි ලබා දෙන හොඳ හෝ නරක බොහෝ විට ඔවුන්ගේ අනාගතයට බලපාන්නේ ය. දරුවාගේ ළමා ලෝකය හා කෙරෙනා ඇසුර අතිශය ප්‍රවේශමෙන් කළ යුතු වන්නේ ඒ නිසා ය.

මෙරට පාසල් පද්ධතිය සිංහල, බෞද්ධ, දමිළ, හින්දු මුස්ලිම්, ඉස්ලාම්, කතෝලික, ජාතික, පළාත්, ජාත්‍යන්තර, නගරයේ, ගමේ ආදී ලෙසින් විවිධාකාර අයුරින් බෙදා වෙන් කර තිබේ. ළමා ලෝකය ද ඒ අනුව බෙදා දමා ඇත. කුඩා කල ම ඔවුන්ගේ ජීවිතවලට එක් කෙරෙන බෙදීම බලපාන්නේ ඔවුන්ගේ අනාගතයට ය. මහනුවර දෙයියන්නේවෙල රාසිංදෙව් විදුහල මෙරට අනෙකුත් පාසැල් වලට මෙන්ම සමස්ත පාසැල් පද්ධතියට ම ආදර්ශයක් පෙන්වමින් සාමයට සංහිදියාවට, මිත්‍රත්වයට, සහෝදරත්වයට දෑත් දිගු කරන්නේ ඒ පරිසරයේ ය.

1911 දී ආරම්භ කරන ලද මේ විදුහල ශත වර්ෂයක් සැපුරූ කන්ද උඩරට පාසල් අතළොස්ස අතර ප්‍රමුඛතම පාසලකි. මහනුවර නගරයට මීටර් කිහිපයක් මෑතින් පිහිටි මේ විදුහල පිහිටා ඇත්තේ දෙයියන්නේවෙල නම් හඳුන්වන ලබන ප්‍රදේශයේය. දෙයියන්නේවෙල යනු මහනුවර ශ්‍රී නාථ දේවාලයට සහල් සැපයූ රාජකාරි කොටස් අයත් අක්කර දහසයක් පුරා පැතිරුණ අතීත වෙල් යායකි. මහනුවර නගරය ආරම්භ වන්නේ නාථ දේවාලය මුල්කරගෙන ය. ඒ නිසාම දෙයියන්නේවෙලට ද ඇත්තේ ඉපැරණි ඉතිහාසයකි.

රාසිංදෙවි විදුහල කැපී පෙනෙන්නේ දෙයියන්නේවෙල ප්‍රදේශයේ පිහිටීම නිසා නොවේ. ජාතික ආගමික මෙන්ම විවිධත්වයේ සංහිඳියාව ප්‍රායෝගිකව පෙන්වා දෙන අපූරු පාසලක් නිසා ය. සම්පූර්ණ සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම් කෙරෙන

මේ විදුහලේ සිංහල ළමුන් 89 ක්, දමිළ ළමුන් 65 ක්, මුස්ලිම් ළමුන් 11 ක් වෙනත් වාර්ගික කොටස්වලට අයත් ළමුන් 05 ක් අධ්‍යාපනය හදාරති. ආගමික වශයෙන් බෞද්ධ 83 ක්, හින්දු 63 ක්, ඉස්ලාම් 09 ක් , කතෝලික 15ක් වශයෙන් සිටී මෙහි සමස්ත ළමුන් සංඛ්‍යාව 170 කි. විසි අට දෙනකුගෙන් සමන්විත රාසිංදෙව් ගුරු මණ්ඩලයට භික්ෂූන් වහන්සේ නමක් ද ඇතුළත් ය. උන් වහන්සේ එහි නියෝජ්‍ය විදුහල්පති ධුරයේ කටයුතු කරති. ඒ.එම්.ටී.බී.අබේකෝන් පාසලේ විදුහල්පතිවරයා වර්තමානයේ පර්චස් 56 කට සීමා වූ මේ පසැල් භූමියේ සංහිඳියාව, සහෝදරත්වය, මිත්‍රශීලීත්වය, ළෙන්ගතුකම, එකිනෙකාට ගරු කිරීම විශිෂ්ට මට්ටමක පවතී. විවිධ භාෂා කතා කරන විවිධ ආගම් අදහන, විවිධ සංස්කෘතීන් මෙන්ම විවිධ ප්‍රදේශ නියෝජනය කරන සිසු දරු දැරියන් 170 ක් මෙහි අධ්‍යාපනය හැදෑරුව ද මොවුහු සියල්ලෝම එක් මවකගේ දරුවන් සේ පුදුමාකාර බැඳීමෙන් කටයුතු කරති.

සිතුම් , අස්ලම්, සෙල්වරානි, ජූඩ් මේ සියල්ලන් ම එකට එක් ව වෙසක් බැති ගි ගයද්දී ඒ අය ම නත්තලේ අසිරිය බෙදා ගනිති. පොංගල් බතේ රස බලන මේ දරු දැරියන් ම ඉෆ්තාර් දිනය එනතුරු බලා සිටන්නේ යහලුවන් ගෙනෙන රසම රස බුරියානි පැකට්ටුවේ හා වටලප්පම් බෙදාගෙන කන්නට ය. එක බත් පත බෙදාගෙන කන මේ දරුවෝ ආගම්, කුල හා පන්ති භේදයට ඉඩක් නොතබා ජාතියක එකමුතු කමේ ආදර්ශය රටට සපයමින් සිටිති.

රාසිංදෙව් විදුහල්පති ඒ.එම්.ටී.බී. අබේකෝන් මහතා පවසන ආකාරයට ......

"මේ විදුහල එකමුතුවේ සංකේතයක් මෙන් ම සහජීවනය යථාර්ථයක් කෙරෙන පාසැලක්. උදෑසනම පාසැලට පැමිණෙන ළමුන් පුදුමාකාර එකමුතුකමකින් වැඩ කරන්නේ. සමහර වැඩවලදී සිංහල දෙමළ මුස්ලිම් කතෝලික ආදී හැම ළමයෙක් ම එකට සම්බන්ධ වෙනවා. කාටහරි ළමයකුට කරදරයක් වුණාම තමන්ට වුණා වගේ ඔක්කොම එ් ළමයා වෙනුවෙන් වැඩ කරනවා. ඔවුන්ට එන ප්‍රශ්න ඔක්කොම එකතු වෙලා විසඳා ගන්නවා. මේක තමයි අපේ පාසැල් පද්ධතියේ තිබිය යුත්තේ. මා මෙයට පෙර විදුහල් ගණනාවක වැඩකරලා තියනවා. සමහර පාසල් සුපිරි පාසල් ලෙස සමාජ සම්මත වුණ ඒවා. ඒ හැම පාසලකට ම වඩා මෙහි වැඩ කිරීම මට

පහසු වුණා. ළමයින්ගේ තිබෙන එකමුතුකම නිසාම ගුරුවරු ඉමහත් කැපවීමකින් කටයුතු කරනවා."

පාසලේ නියෝජ්‍ය විදුහල්පති, කටුකැලේ ධම්ම යුක්තිකාරාමාධිපති, වෙළංගහවැවේ අරියවංශ හිමි අදහස් දක්වමින් මෙසේ පැවසූහ.

"මං මේ විදුහලේ වසර ගණනක් සේවය කරනවා. මෙහි තියෙන විශේෂත්වය මේ පාසැලේ නිර්මාණය වී තිබෙන සංහිදියාව. ඒ සංහිඳියාව ගමට ගෙනියන්න මේ දරුවන්ට හැකි වෙලා තියනවා.

දෙයියන්නේවෙල, සුදුහුම්පළ, කටුකැළේ ආදී ප්‍රදේශවල පාසලෙන් රැගෙන ගිය එකමුතුකම පේනවා. මේ ප්‍රදේශය පාපන්දු ක්‍රීඩාවට හරි ජනප්‍රියයි. රාසිංදෙව් විදුහලේ ඉන්න හා සිටි ශිෂ්‍යයන් බොහෝ දෙනකු දක්ෂ පා පන්දු ක්‍රීඩකයො. ඔවුන් ක්‍රීඩාවෙන් ලත් හැම ජයග්‍රහණයක් ම පසුපස තිබෙන්නෙ ඔවුන්ගෙ එකමුතුකම. පන්ති කාමරයේදී කිසිම ළමයෙක් වචනයකින්වත් අන් අයගේ ආගම භාෂාව, සංස්කෘතිය ආදියේ උස් පහත් කර කතා කරන්නේ නෑ. බුද්ධාගමට වැඩිම ලකුණු තිබෙන්නේ මුස්ලිම් ළමයින්ට . "

ෆාතිමා දිස්නා මේ විද්‍යාලයේ හත්වන වසරේ ඉගෙනුම ලබන සිසුවියකි. ඇය අප සමඟ කතා කළා ය.

"මගේ තාත්තා මුස්ලිම්; අම්මා සිංහල. අපේ පවුලේ මට මල්ලියි නංගියි දෙන්නෙක් ඉන්නවා. මං බහිරව කන්දෙ දහම් පාසැල් යනවා. අපි පන්සල් යනවා වගේම නෝම්බි කාලයට තාත්තට උදව් කරනවා; ඒවා බලනවා. අපි තාත්තගේ නෑයොත් එක්ක ඉෆ්තාර් සමරනවා. ඒක හරිම රසවත් අත්දැකීමක්."

සම්මුගදාස් සබිදරන් මේ විදුහලේ දහවන වසරේ ඉගෙනුම ළබන සිසුවෙකි.

"මම හින්දු ආගම අදහන්නේ. අපේ පවුලේ අයත් එක්ක අපි යන්නේ මහනුවර සෙල්ව විනයාගර් කෝවිලට. මගේ අයියා කොළඹ රැකියාවක් කරනවා. නංගි ඉන්නෙත් අපේ පාසලේමයි. මං පාසැලේ භක්ති ගීත කණ්ඩායමේ ඉන්නවා. ගියපාර පොසොන් පෝයට අපි භක්ති ගීත ගායනා කළා. පුදුම ආශාවකින් මං ඒවට සම්බන්ධ වෙන්නේ. කෝවිලට වගේම මං දෙයියන්නේවෙල ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසලටත් යනවා. දහම් පාසල් යන්නෙ හරිම සතුටින්. මං කලින් දෙමළ මාධ්‍ය පාසැලකට ගිහින් පස්සේ මෙහෙ ආවේ. මේ ඉස්කෝලෙ හරිම හොඳයි. මං මේ එකමුතුකමට හරිම කැමතියි. "

මේ අතර අවුරුදු දහයක තරම් වයසැති දරුවෙක් අප ඉදිරියට පැමිණ දෙවන බුදුන් ලෙස ලොවෙන් උවම් ලද ගීතය ගායනා කළේය. සුධීර අනුපම වීරසිංහ නැමැති මේ දරුපැටියා මේ වනවිට පාසැල් පැමිණෙන්නේ මහනුවර මහ රෝහලේ පිළිකා වාට්ටු නිවාසයේ සිට ය. උදෑසන ත්‍රීරෝද රථයකින් ඔහුව පාසලට රැගෙන එන්නේ එහි හෙදි නිලධාරිනියකි. නැත්නම් කාර්ය මණඩලයේ සාමාජිකයෙකි. මේ දරුපැටියාට මව හෝ පියා නැත. කුඩා කල හැදී වැඩී ඇත්තේ ළමා නිවාසයක ය. දරුවා දරුණු ලේ පිළිකා රෝගයකින් පෙලෙන්නේ ය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන මේ දරුපැටියාට පාසලේ කවුරුත් දක්වන්නේ පුදුමාකාර ආදරයකි. මනුෂ්‍යත්වයේ බිජුවට මේ පාසල්බිමේ වැපිරී ඇති අයුරු පුදුමාකාර ය.

රාසිංදෙව් විදුහලේ එකො­ෙළාස්වන වසරේ ඉගනුම ලබන පෙරුමාල් සෙව්වන්දි පුෂ්ප කුමාරිගේ පියා පෙරුමාල් සෙල්ව කුමාර් ය. මව සමන්ති කුමාරි පෙරේරා ය. විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඇය ය.

අපේ අතරෙ වචනයකින්වත් වෙනසක් නැහැ. මේ වගේ පාසලක ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස වැඩ කිරීම හරිම පහසුයි. අපේ පාසලේ ළමුන් අනෙක් පාසල්වල අයට වඩා ගොඩක් වෙනස්. විවිධ ආගම්, භාෂා නියෝජනය කළාට අප අතර කිසිදු පරතරයක් නැහැ. ඔක්කොමලා ඉන්නේ බොහොම සතුටින්. මේ ඉකෝලෙ තියෙන හැම උත්සවයක්ම, වැඩසටහනක්ම හරිම සාර්ථක වෙනවා. ඒකට ප්‍රධාන හේතුව විවිධ ආගම්,ජාතීන් භාෂාවන් වල සංස්කෘතික සංකලනයයි.

සියවසකට වඩා පෞඪ ඉතිහාසයකින් හෙබි මහනුවර පාසැල් අතළොස්ස අතර තිබෙන්නා වූ මහනුවර රාසිංදෙව් විදුහලේ මේ දරුවන් පෙන්වන ආදර්ශය මෙරට පාසැල් පද්ධතිය තුළ ස්ථාපිත කළ හැකිනම් රටක් ලෙස අපට බොහෝ දේ ජයගත හැකි වෙනවා ඇත.

Comments