
ආයුර්වේදයේ දැක්වෙන ආකාරයට වාත , පිත , කඵ ලෙස ප්‍රධාන දෝෂයන් තුනකි. මින් වාතය ප්‍රධාන කරගත් රෝග 80 කි. මිනිසා දවසින් දවස වයසට යත්ම වාත රෝග වැළඳීමේ ප්‍රවණතාවය ද වැඩිය. එකී වාත රෝග අතුරින් වර්තමාන සමාජයේ කාගේත් කතා බහට ලක්වන මෙන්ම ඉතා සුලබව දැකිය හැකි රෝගයකි, ආමවාතය. ආමයෙන් යුක්ත වූ වාතය ආමවාතය ලෙස ආයුර්වේදයේ අර්ථ දක්වා ඇත. නවීන වෛද්‍ය විද්‍යාවේ මෙම රෝගය රුමටොයිඩ් ආතරයිටීස් Rheumatoid Arthritis ලෙස දක්වයි.
හොඳින් පැසුණු ආහාර රසය ලේ ධාතුව හා එක් වී රුධිර නාල වල හොඳින් ගමන් කළද, රුධිරයට සාපේක්ෂව උකු හා බර නොපැසුණු ආහාර රසය හෙවත් ආමය ලේ නහර තුළ පහසුවෙන් ගමන් නොකරයි. එබැවින් එය රුධිර සංසරණයට බාධා පමුණුවමින්, විශේෂයෙන් සන්ධිවල රැඳී පවතී. එවිට සන්ධි බලවත් පීඩාවට පත් කරමින් පමණක් නොනැවතී ඉදිමුම ද ඇති කරයි.
ආමවාත රෝගයට මූලිකව හේතු වන්නේ වැරදි ආහාර පුරුදුය. එකිනෙකට නොගැළපෙන ආහාර ( ඌරුමස් සමඟ කිරි, මාළු සමඟ කිරි, මඤ්ෙඤාක්කා සමඟ ඉඟුරු වැනි) හා ඇවතුම් පැවතුම් නිසාද බඩගිනි අඩුකම, අලසකම නිසාද, අධික ලෙස තෙල් සහිත ආහාර ගැනීම නිසා ද, ආහාර ගත් විගස ව්‍යායාමය නිසාද අැතිවන තත්වයන්ට දිගුකාළීනව මුහුණ දීමෙන්, ශරීරයේ ආමවාත ලක්ෂණ ඇතිකරයි.
ආමවාත රෝගයේ සාමාන්‍ය ලක්ෂණ වන්නේ ඇඟපත පොඩි කරන්නාක් බඳු වේදනාව, අරුචිය, පිපාසය, කම්මැලි ස්වභාවය, ඇඟපතේ බර බව, කෑ දෙය නොදිරවීම, අත්පා ඉදිමීම සහ උණ ඇතිවීමය. ආම වාතය උත්සන්න වූ කල අත්පා, හිස, බොලැට, තුනටිය, දණහිස්, කලවා යන සන්ධීන් වේදනා සහිත ඉදිමුමක් පෙන්වයි. මෙකී ස්ථානවල තවදුරටත් ආමය රැස් වූ කල ගෝනුස්සන් විසින් විදිනු ලබන්නාක් වැනි වේදනාවක් ගෙන දෙයි. මෙවැනි උත්සන්න වූ පසු අවස්ථාවකදී ආම වාතය සුවකිරීම තරමක් අපහසුය.
ආමවාතය රෝගියාගේ ශරිරයේ වා, පිත්, සෙම් ක්‍රියාකාරීත්වය මත වෙනස් රෝග ලක්ෂණ මතුකරයි. වාතාධික ආම වාතයේදී දැඩි වේදනාවද, පිත්තාධික වූ කල්හි දාහය හා රක්ත වර්ණය සහිත බවද, කඵාධික වූ විට තෙමැරිය, බර බව හා කැසීමද, ඇති වේ. ශරීරයේ එක් දෝෂයක් ප්‍රබල වූ ආමවාත රෝගය සුව කළ හැක. ද්වී දෝෂ ජනිත ආමවාතය ආහාර, ඖෂධ හා විහරණ (ඇවතුම් පැවතුම්) මගින් පාලනය කළ හැක. නමුත් ත්‍රිදෝෂ ජනිත ආමවාතය සුව කළ නොහැක.
ආමවාත රෝගයේ මුල් අවස්ථාවේදී ආමය සහ සෙම කෝපවීම හේතු කොට ගෙන සන්ධීන් තුළ ඇති ශ්ලේෂක කඵ ජලය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වේ. ඒ හේතුවෙන් සන්ධි කෝෂ ඉදිමේ. වේදනා උපදී. රෝගය කල් යත්ම සන්ධි ආශ්රිත සෙම් කොටස් වියැලේ. ක්‍රමයෙන් සන්ධි ඝන වේ. ඒ හේතුවෙන් කොර බව පැන නගී.
ප්‍රතිකාර සඳහා යොමු වීමේදී මෙම රෝගය නිවැරැදිව හඳුනා ගැනීම ඉතාමත් වැදගත් ය. ආමවාත රෝගය හා සමාන රෝග වන සන්ධිගත වාතය, වාත රක්තය, කෝෂ්ටුක ශීර්ෂය යන මේවායින් ආමවාතය වෙන්කර හඳුනාගැනීම පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයෙකුට පහසු කටයුත්තකි.
රෝගියාගේ රෝග තත්ත්වය නිවැරදි ආයුර්වේද වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවා වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීමෙන් රෝග සහනය ළඟා කර ගත හැකි වේ. නිසි ප්‍රතිකාර වලින්ද ඉක්මන් සහනයක් අපෙක්ෂා කළ නොහැක. එසේම මෙවැනි සංකිර්ණ රෝගවලදී හිතු මතේට ඖෂධ ලබා ගැනීමද හිතකර නොවේ. ඇල් ජලය, බර ආහාර, සෙම වඩන සියලුම ආහාර, කිරි, දී කිරි, මාළු වර්ග, නිවිති, බණ්ඩක්කා, පිටි ආහාර, තෙල් බහුල ආහාර, ක්ෂණික ආහාර, කෘත්‍රිම පැණි බීම ආමවාත රෝගින්ට අහිතකරය. සුදුසු ආහාර ලෙස මුං ඇට, කොල්ලු, සාරණ, මුරුංගා, කරවිල, සුදුළූණු, අමු ඉඟුරු, තිරිඟු, පරණ බාර්ලි, , උණුදිය, එරඬු තෙල් ආදිය දැක්විය හැක.