
60 දශකය අගභාගයේ ප්‍රථම වරට පිහිටවනු ලැබූ වවුනියා දකුණ ප්‍රාදේශීය ආදායම් නිලධාරි කොට්ඨාසයට පළමුවැනි ඩීයාරෝ වශයෙන් පත්වූයේ මෑත කාලයේ කැබිනට් අමාත්‍ය ධූරයක් ද දැරූ E.L.B. හුරුල්ලේ මහතායි. හුරුල්ලේ මහතාගේ කාර්යාල කාර්ය සහායක වූයේ පියුන් මාමයි. දන්ත ධාතූන් වහන්සේ මොහොතක් තැන්පත් කළා යැයි කියන මඩුකන්ද දළදා විහාරයේ දළදා පෙරහර පැවැත්වීම ද ඩීයාරෝ හුරුල්ලේ මහතාගේ නිල රාජකාරියක් විය. එලෙස පෙරහර පැවැති දිනෙක පෙරහරේ ගමන් කළ අලියෙක් කුලප්පු විය. පසුදින රාජකාරියට පැමිණි පියුන් මාමා ඩීයාරෝ මහතාට ඒ වග සැල කළේ ය.
“සර් හරි වැඩේනෙ ඊයේ පෙරහරේ අලියෙක් කුලප්පු වුණානේ. අපරාදෙ යාප්පුවෙන් ඔය අලියා මෙල්ල කරගන්න තිබුණානේ.හුරුල්ලේ මහතා ‘යාප්පුව’ කියන්නේ කුමක්දැයි දැන සිටියේ නැත.
“යාප්පුවක් කීයක් වෙයිද?”
“සර් එච්චර ගණනක් වෙන්නේ නෑ. ඕනෑ නම් රුපියල් පහක් වෙයි.” හුරුල්ලේ මහතා සාක්කුවෙන් රුපියල් පහක් නෝට්ටුවක් ඇද පියුන් මාමාට දුන්නේ ය. යාප්පුවක් අරගෙන දෙන්න” යැයි පවසමිනි. පියුන් මාම රාජකාරි නිමවා හැන්දෑවේ ගෙදර යන ගමන් රු. 5.00 ට තැබෑරුමට ගොස් අඩියක් ගසා ගෙදර ගියේය.
පියුන් මාමාගේ වෙලාව හොඳකමට එදා පෙරහරේ අලි කුලප්පුවක් සිදු නොවී ය. පසුදින උදේ පියුන් මාමා ටිකක් බයෙන් සැකෙන් කාර්යාලයට විත් පොත අත්සන් කිරීමට ය. එකල කාර්යාල ආරම්භ කළේ උදේ 8 ට ය. පියුන් මාමා පොත අත්සන් කරන්න බලන විට කවුදෝ කෙනෙක් 7.59 දමා ගෙන අත්සන් කර තිබිණ. පියුන් මාමා කළේ 7.60 දමා ගෙන අත්සන් කිරීමය.
මෙම ලිපිය, කිසිදාක රාජකාරි වෙලාවේ මත්පැන් පානය නොකර රාජකාරි අකුරට ඉටු කළ යහපත් මිනිසකු වූ පියුන් මාමාටත් ඝන වනයෙන් වැසී තිබූ තන්ත්රිමලේ පුදබිම, වවුනියාවට අයත්ව නොතිබුණත් හේමසිරි ප්‍රේමවර්ධන දිසාපතිතුමා සමඟ එක්ව බෞද්ධයන්ට වැඳ පුදා ගැනීමට 60 දශකයේ දී අතිදුෂ්කරතා මැද මුලින්ම කටයුතු කළ හුරුල්ලේ ශ්‍රීමතාණන්ටත් උපහාරයක් වේවා!
වාරියපොළ මැල්වත්තේ
කේ. ඩබ්ලිව්. විජේසිංහ