
කතරගම දෙවියන් පිළිබඳ ව පවතින ජනප්‍රවාද කතරගම දෙවියන් ආශ්‍රය කොට ඇති විවිධ වංශ කතා, ජන කතා විමසා බලන විට කතරගම දෙවියන් හෙවත් කාර්තිකේය දෙවියන් ගැන ඇති කතා බොහෝය. මේ පිළිබඳ ඉතිහාස පරීක්‍ෂා කර බලන විට මේ හා බැඳුණු ඉතිහාසය ඉතා ඈතට අතීතයට දිව යන්නකි. කෙසේ නමුත් 15 වන සියවසේ සිට මේ දක්වා මේ දෙවියන් කෙරෙහි දක්වන සැලකිල්ල එන්න එන්නම වර්ධනය වූවා මිස බිඳකුදු ශේෂ වී නොමැත. මෙය හුදු මිත්‍යාමතික ඇදහිල්ලක් ලෙස කෙනකු බැහැර කළ හැකි වුව ද මේ ඇදහිල්ල තුළ ඉන් එහා ගිය සමාජ විද්‍යාත්මක පැතිකඩක්ද පවතින බව පෙන්වාදිය හැකිය. සැකැවින් පවසන්නේ නම් මෙරට රාජ්‍යත්වය හා රාජ්‍ය පාලනය පිළිබඳව පුර්වාදර්ශී අදහසක් මේ තුළ පවතියි. ජනහිතකාමී රාජ්‍ය පාලකයකු සේම යුද විරුවකු ලෙස හෙතෙම දේවත්වයට පත්වී සිටියි. මරා යක් කිරීම හෝ නොමරා යක් කිරීම මෙරට පැවති ජන සම්ප්‍රදායකි. මෙලෙස යක් කිරීම හෙවත් දේවත්වයට ඔසවා තැබීම මිය යෑමෙන් පසුව හා මිය යෑමට ප්‍රථම සිදු කර ඇත්තේ මෙරට ආදිවාසී ජනතාව විසින් බව අනුමාන කළ හැකිය.
අදත් මෙරට ජනයා අවිඥානකව හෝ කතරගම දෙවියා කෙරෙහි ආශක්ත වන කාරණය මෙයය. එසේම කතරගම වූ කලී මෙරටට පැමිණි ආක්‍රමණිකයන්ට නතු නො වූ ආරක්‍ෂක බල ප්‍රදේශයකි. උතුරු දෙසින් ආරම්භ වන රාවණා අඩවිය ඌව වෙල්ලස්‌ස ප්‍රදේශයේ දකුණුලකෙන් අවසන් වන්නේ ස්‌කන්ධ කුමාර මහසෙන් අඩවියෙනි. ජනප්‍රවාදයේ ඇති කතා ප්‍රවෘත්ති අනුව දුටුගැමුණු රජු එළාර සමඟ යුද වැදීමට යෑමට ප්‍රථම කතරගම දෙවියන්ට භාර වී ඇත. පසුව යුද්ධය දිනා එම භාරහාර පැවැත්වු ස්ථානයේ කතරගම දේවාලය ඉදිකර ඇති බව පැවසේ. කතරගම දෙවියන් මෙරට වැඩවසන සතරවරම් දෙවිවරුන්ගෙන් කෙනකු ලෙස 14වන සියවසට අයත් නිකාය සංග්‍රහයෙහි සඳහන් වේ. ස්කන්ද කුමාරොත්පත්තිය පිළිබඳව භාරතීය දේව කතාවලියේ කතා ප්‍රවෘත්ති කිහිපයක ම සඳහන් වේ. හින්දූන්ගේ විශ්වාසය අනුව මොහු යුද්ධයට අධිපති දෙවියෙකි. මේ දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳව බ්‍රහ්ම පුරාණය, වායු පුරාණය, මත්ස්‍ය පුරාණය ආදියෙත් වෙනත් පුරාවෘත්තවලත් සඳහන් ව තිබේ. එක් කතා ප්‍රවෘත්තියක දැක්වෙන්නේ සුරාසුර යුද්ධයේදී පරාජයට පත්වෙමින් සිටින සුරයන්ගේ හමුදාවේ නායකත්වය දැරීමට හමුදාපතියකුගේ අවශ්‍යතාව පැන නැඟුණ බැවින් ඒ අඩුව සම්පූර්ණ කර ගැනීම සඳහාය ස්කන්ධ කුමාර ජන්මොත්ප්පත්තිය සිදු වූ බව ය.
ශිව සහ පාර්වතී දෙදෙනාගේ දීර්ඝ කාලීන සම්භෝගයෙදී එක් බීජයක් ශිව දෙවියන් විසින් අග්නි දෙවියන්ට භාර දෙන ලදුව එය අග්නි දෙවියන් විසින් ගංඟා දේවියගේ ගර්භයෙහි තැන්පත් කළේය. ගංඟා දේවිය එය රැගෙන ගොස් මහා මේරු පර්වතයේ තැන්පත් කළේය. එසේ තැන්පත් කළ බීජය කන්‍යාවන් හයදෙනකු විසින් පෝෂණය කළ අතර, ඉන් මුහුණු හයකින් සහ අත්දොළසකින් යුතු දරුවකු බිහි විය. එසේ හින්දු සාහිත්‍යයේ සඳහන් වී තිබුණ ද මෙරට ජනප්‍රවාදගත මතය වන්නේ රාවණ රාජ පරපුරේ අවසාන රාවණයන් වන්නේ කතරගම මහසෙන් රජු බවයි. රාවණයන්ට පමණක් පැදවිය හැකි වූ දඬුමොණර යානය අවසාන වරට පැද වූ පුද්ගලයා කතරගම මහාසේන රජු බව ය. මෙය සංකේතාත්මකව දැක්වීමට කතරගම දෙවිදුගේ වාහනය ලෙස මොණරා සිතුවමට නඟා තිබීම පෙන්වාදිය හැකිය. මෙරට දේවාවලියේ දෙව්වරුන් අතර හිමාලය තෙක් සිය තෙද බල පරාක්‍රමය විහිද වූ එකම දෙවියා ලෙස ද සැලකෙන්නේ ද ස්‌කන්ද කුමාරය. මෙනිසා මේ රටේ සියලු ජනතාව (පසුකාලීනව විවිධ ආගම් ඇදහුවද) අදත් ඉල්මහ පෙරහැරට ලහිලහියේ සූදානම් වන්නේ භක්තියාදරය පෙරදැරි කරගෙනය. කතරගම දෙවියන් මහේශාක්‍ය දේව ගණයට අයත් ඌව පළාතේදී උත්තර දේව ගණයට අධිපතිකම් කරන දෙවියෙකි. මෙරට ඉතිහාසය තුළ අනුරාධපුර රාජධානිය පිහිටුවා වසර දහසක් ගතවනතෙක්ම ජනතාවගේ අවධානයට යොමුව ඇත්තේ දෙවිවරුන් තිදෙනෙක් පමණි. එනම් ස්කන්ධ කුමාර,
ශ්‍රී විෂ්ණු හෙවත් උපුල්වන් සහ සුමන සමන් යන දෙව්වරුන් තිදෙනා පමණි. මෙරට ආරක්‍ෂක දෙවියකු වශයෙන් කතරගම දෙවිඳුන්ට විශේෂ තැනක් හිමිවේ. එමෙන්ම මෙරට ග්‍රාමයන්ට හා ප්‍රදේශයන්ට අධිගෘහිත දෙවියකු වශයෙන් ගෞරවාදරයට පත්වන හෙතෙම බෞද්ධ දෙවියෙකි. බුදුරජාණන් වහන්සේ තෙවැනිවර ලක්‌දිව කාචරග්‍රාමයට වත්මන් කිරිවෙහෙර පිහිටි ස්ථානයෙහි පිහිටි කිහිරි වෘක්‍ෂ මූලයෙහි රහතන් වහන්සේලා 500 නමක් පිරිවරා වැඩ සිටිමින් කතරගම අග්‍ර රාජධානිය කොට විසූ මහසේන නම් රජු ප්‍රධාන පිරිසට දහම් දෙසා සෝවාන් ඵලයෙහි පිහිටුවා ඇත. පසුව මහසේන රජුට එම ස්‌ථානය රැකවරණය කරන ලෙස භාර කර ඇත. එනිසා අදත් මතුවටත් එම ස්‌ථානයේ දේව ආත්මලාභීව එතුමා වැඩ සිටිතැයි බෞද්ධයෝ විශ්වාස කරති. මහසේන දෙවියන් කතරගම කන්දේ මනුෂ්‍යයකු වේෂයෙන් වැඩ සිටින හෙයින්ද දේව ආත්මලාභීව දේව විමානයේ වැඩවසන හෙයින් ද ස්‌කන්ධ කන්ද කුමාර යන නම ව්‍යවහාර වී තිබේ.
කඳකුමරු හා වල්ලි අම්මාගේ විවාහය සිදු වූවා යැයි සලකනු ලබන්නේ ඝන(කැලෑ) දේවාලය පිහිටා ඇති සෙල්ල කතරගමදීය. ඉල්මස උත්තර පල් නැකත යෙදෙන දිනයක එය සිදු වී ඇත. මේ පිළිබඳ අපූරු ජනප්‍රවාදයක් පවතී. "ගම්මන්ඩිලා වන්නිලා ඇත්තෝ නම් වැදි නායකයාට පුතුන් දෙළොස්දෙනෙකු සහ එක දුවක සිටියේය. මේ දියණිය වල්ලි නම් විය. කඳ කුමරු මහලු වෙස්‌ගෙන වළලු වෙළෙන්දෙකු සේ පැමිණ වල්ලිය රැගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේදී ගස් අතුවලින් දෝලාවක් සදා දුන්නේද වැඳි ජනයා ය. මේ නිසා කතරගම පෙරහැරේ වල්ලී දේවමෑණියන්ට හා වැදී වර්ගයාට විශේෂ තැනක් හිමි වේ. කඳ කුමරු වල්ලිය රැගෙන පලා යන විට ද්‍රවිඩ ජනයා සෙල්ල කතරගම සිටි කඳ කුමරුට හූ කිවූ අතර කඳ කුමරු ඔවුනට ශාප කර ඇත. එදා පටන් හින්දු ජනයා කතරගමට පැමිණ හරෝ හරා කියතියි විශ්වාස කරයි. කටේ, පිටේ උල් ගසාගෙන බිම පෙරළි පෙරළි දෙවියන් වඳිති. එය දේව දඬුවම සිහිවීම පිණිස වල්ලි අම්මා දේවාලයේ කපුවල ඇත්තෝ ඌනපාන වරිගයේ බණ්‌ඩිලා ඇත්තෝ අදත් පෙරහැරේ ගමන් කරති. කතරගම රජමහා විහාරය සහ රුහුණු කතරගම මහා දේවාලය ජාති ආගම් භේදවලින් තොරව ජනතාව අදත් නිතර එක් රොක් වෙති. එහෙත් අන් කවරදාකවත් නොවන අන්දමේ මහා ජන ගඟක් පෙරහැර මංගල්‍ය කාලවලදී දක්නට ලැබේ. සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී සේම ඇසළ මහේදී කතරගම පැවැත්වෙන පෙරහැර මංගල්‍යවලදීත් එය එසේම ය.
මේ පෙරහැර නම් කර ඇත්තේ ඉල්මහ පෙරහැර නමිනි. ඉල්මහේ උත්‍රපල් නැකතින් වල්ලි අම්මා හා විවාහ සමඟ විවාහ වීමද විශේෂත්වයකි. කතරගම පෙරහැර සෙසු පෙරහැර මංගල්‍යවලින් වෙනස් වන තරමට කතරගමට ආවේණික සෙසු පෙරහැර අතුරින් ද වෙනසක් ඉල් පෙරහැරෙ දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ පැරණිතම පෙරහැර මංගල්‍යයක් මෙය වේ. එසේ වුව විශාල පෙරහැරක් වශයෙන් නොව කෙටි පෙරහැරක් ලෙස ඉල් පෙරහැර පැවැත්වේ. මෙවර ඉල් පෙරහැර ලබන 22 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම්ව තිබේ.
මෙවරත් ඉල් පෙරහැර සංවිධායක කමිටුව වාර්තා කරන්නේ අලි ඇතුන් දස දෙනකු ඇතුළු නැටුම් කණ්ඩායම් රැසක් පිරිවරා ඉල්මහ පෙරහැර පවත්වන බව ය. ඒ පෙර සේම එහි සාම්ප්‍රදායික චාරිත්‍ර, වාරිත්‍රවලට මුල් තැන දෙමිනි. මේ පෙරහැර මංගල්‍ය පැවැත්වෙන සෑම දිනකම ආරක්ෂාව සැපයීම කතරගම ඉල් මහ පෙරහැර අන් පෙරහැර මංගල්‍යවලින් වෙනස් වන්නකි. එයද අපූරු අන්දමකට සිදු වේ. දුනු ඊතල අතින් ගත් ඌරුවරිගේ රැහේ ආදිවාසී ඇත්තකු පෙරහැර ඇරඹුමට ආසන්නව තිබියදී ඒ මඟ හරස් කරන්නේ මානා ගත් දුනු හී අතැතිවය. පෙරහැර වෙනුවෙන් පෙනී සිටින්නේ කතරගම මහා දේවාලයේ මහා බෙත්මේ ලේකම් ය. ඒ හිස් අතින් නම් නොවේ; පඬුරු පාක්කුඩම්ද දෝත දරාගෙන ය. ඉනික්බිතිව ඒවා මහා බෙත්මේ ලේකම්ගෙන් ලබා ගන්නා ඌරුවරිගේ ආදිවාසී ඇත්තා එතැන් පටන් පෙරහැර දෙසට මුහුණලා පසු පස්සට අඩි තබන්නේ පෙර සම්ප්‍රදායට අනුවම දිවි හිමියෙන් ඊට ආරක්ෂාව සැපයීමේ කර්තව්‍ය ඉටු කරන්නට බැඳී සිටින්නාක් මෙනි.
එසේම මේ පෙරහැර මංගල්‍ය හා බැඳුණු සාම්ප්‍රදායික චාරිත්‍ර ගොන්නකි. දේවාලයට අයත් කුඹුරුවල සිට දේවාලයට ගෙන වී ගෙන ඒම ඒ අතරින් කැපී පෙනෙන චාරිත්‍රයකි. එළවළු සහ පලතුරු, කිතුල් පැණි, හකරු, කොස්, පොළොස්, මිරිස්, තුනපහ ඇතුළු කුළු බඩු ද එසේ කතරගම දෙවියන්ට අයත් සේ සැලකෙන ගොඩ, මඩ ඉඩම්වල සිට තවලමින්ම ගෙනැවිත් දේවාලයේ බස්නායක නිළමේවරයාට බාර දෙයි. මේ නිල රාජකාරිය භාරව සිටින තැනැත්තා ‘කත් නිලයා’ නම් වේ. මේ ආහාර ද්‍රව්‍ය දේවාලය කරා රැගෙන එන්නේ බුත්තල ගම් පහකින් වීම ද කැපී පෙනෙන්නකි. පෙරහැරේ රාළගේ ඇඳුම් ආයිත්තම් හා අලි ඇතුන්ගේ ඇඳුම් ද ඇතුළු සළුපිළි මෙන්ම පෙරහැරට යොදා ගන්නා පාවඩ සෝදා සුපිරිසුදු කිරීමේ රාජකාරිය භාරව සිටින්නා හේනයා නමැත්තෙකි.
මෙසේ පැවැත්වෙන ඉල් පෙරහැර මෙරට සියලු ජනකොටස් නියෝජනය කරන හා ඔවුනොවුන් එකම අරමුණක් වෙනුවෙන් එකතු කරන අනර්ඝ සංස්කෘතිකමය උළෙලක් බව කිවයුතුය.