
"සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා ප්‍රධාන පෙළේ ස්ථානයක මෙවැනි අනාරක්ෂිත බවක් පැවැතීම ගැටලු සහගත ය. ලෝකයේ වෙනත් රටවල තත්ත්වය මෙයට වඩා බොහෝ වෙනස් ය."
“ආරක්ෂක වැට වගේම, ආරක්ෂාවට නිලධාරීන් යොදවන එකත් ප්‍රයෝජනවත් වැඩක් වේවි. ඒ සම්බන්ධයෙන් ඉදිරියට අවධානය යොමු කරනව - උද්‍යාන භාරකරු"
ජර්මනියේ සිට පැමිණි ඇයගේ ජීවිතය ලෝකාන්තයේ සැඟවී ගියේ කිසිවකුත් නොසිතූ ලෙස ය. එහෙත් ඇය අපට හිතන්නට බොහෝදේ ඉතිරි කර තිබිණ. ඉකුත් නොවැම්බර් 03 වැනිදා මිතුරියක සමඟ ලංකාවට පැමිණි ජර්මන් ජාතික ජුලියා එල්ගා 11 වැනි දින හිමිදිරියේම හොර්ටන් තැන්න බලා පිටත් වූයේ එහි සුන්දරත්වය අත්විඳීමට ය. හොර්ටන් තැන්නේ පිහිටි ආකර්ෂණීය ස්ථාන කිහිපයකි. බේකර්ස් ඇල්ල, ලෝකාන්තය, කුඩා ලෝකාන්තය ඒ අතරින් සංචාරකයන්ගේ අවධානය දිනාගත් ස්ථානයන් ය. මුහුදු මට්ටමින් අඩි 6900-7500ත් අතර උසකින් පිහිටි හෝර්ටන්තැන්න හෙක්ටයාර 3160කි. එහි කෙළවරට වන්නට ලෝකාන්තය පිහිටා ඇත. ස්වාභාවික පරිසරයේ අපූර්ව පිහිටීමක් වන මෙය ලෝකයේ එක් කෙළවරක් ලෙසට ද බොහෝ දෙනා හඳුන්වති. කාලගුණය යහපත් දිනකදී ලෝකාන්තයෙන් පහළ දර්ශනය දැකීමට බොහෝ පිරිස් යොමු වන්නේ එහි ඇති සුන්දරත්වය නිසාම ය. කෙසේ වෙතත් මෙහිදී සැලකිලිමත් නොවුණහොත් ජීවිතය අවසන් වන්නේ ඛේදවාචකයකිනි. මීටර් 200ක් පමණ පහළිනි. තවත් විදිහකින් කිවහොත් නුවරඑළියෙන් ඇද වැටුණු කෙනකු නතරවන්නේ බළන්ගොඩෙනි. හෙදියක් වූ 35 හැවිරිදි ජූලියා ද මුහුණ දුන්නේ එවැනි ඉරණමකට ය. ඇයත් සමඟ පැමිණි ඇගේ මිතුරිය වූ නිකන් රෙබායා පසුගියදා තම මිතුරිය මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් මෙසේ කීවා ය.
“අපි උද්‍යානයට ඇතුළු වුණේ උදේ 7.00ට. ලෝකාන්තය ළඟට ගියාම ජුලියා ට වුවමනා වුණා පහළ හොදින් බලන්න. එහෙම කියලා එයා අඩි දෙකක් විතර පහළින් තිබුණු ගලට බැස්සා. බැහැලා ඊට පස්සේ ආපසු උඩට එන්න උත්සාහ කරද්දි ලිස්සා පහළට වැටුණා”
මෙසේ පහළට වැටීම ආරංචි වූ මොහොතේ සිට හොර්ටන් තැන්න උද්‍යානයේ පිරිස, යුදහමුදා නිලධාරීන් එක්ව ඇය පිළිබඳ සොයා බලා තිබේ. එදින දහවල් 11.30 පමණ වනවිට බළන්ගොඩ නන්පේරියල් වත්තේ තිබී මියගිය ඇයගේ සිරුර සොයාගන්නා ලදී.
සිදුවීම ගැන විමසා සිටි අවස්ථාවේ සමහර නිලධාරීන් කියා සිටියේ ජුලියා මියගියේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් බව ය. තවත් පිරිසක් කියා සිටියේ ඇයගේ මිතුරියට ඡායාරූපයක් ගැනීමට කියා පසුපසට යෑමේදී ඇද වැටුණු බවය. එහෙත් ඇගේ මිතුරිය කියන්නේ ජුලියා පහළට බැස්සේ වඩාත් හොඳින් ලෝකාන්තයෙන් පහළ නැරඹීම සඳහා කියා ය.
සිදුවූයේ කුමක්ද යන්න හරියට ම දන්නේ ජුලියාය. මේ කුමන කරුණ කියවුණ ද මේ සියල්ල අනතුරක
දැන දැනට එයට හසු වීමකි. සාමාන්‍යයෙන් දෙස් විදෙස් සංචාරකයන් ලක්ෂ 5ක් පමණ වාර්ෂිකව හෝර්ටන් තැන්නට පැමිණේ. ආරක්ෂාව ගැන සැලකීමේදී සංචාරකයන් දේශීය ද, විදේශීය ද යන්න අදාළ වන්නේ නැත. ඒ මක් නිසාද යත් දේශීය වුවද, විදේශීය වුවද හෝර්ටන් තැන්නට කෙනකුගේ ජීවිත කාලයටම යෑමට සිදුවන්නේ වාර කිහිපයකි. එම නිසා ඔවුන්ව දැනුවත් කිරීම පිළිබඳ වගකීම මෙන්ම ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම අදාළ ක්ෂේත්‍රයන්හි බලධාරීන්ගේ වගකීමක් වේ.
මේ සම්බන්ධයෙන් අපි හෝර්ටන්තැන්න උද්‍යාන භාරකාර ප්‍රදීප් කුමාර මහතා ගෙන් විමසා සිටියෙමු.
“අපි මෙතෙන්දි දෙස්-විදෙස් හැමොටම ආරක්ෂාව සහ වෙනත් දේ ගැන උපදෙස් දෙනවා. ඊට අමතරව දැන්වීම් පුවරු ගහලා තියෙනවා. දැනුවත් කිරීමේදී සිදුවුණු අනතුරු පිළිබඳ පවා විස්තර කියලා අවබෝධයක් දෙනවා. නමුත් සමහර පිරිස් මේ උපදේශ අහන්න කැමැති නැහැ. ඒ වෙනුවෙන් කාලය වැය කළොත් ඒ අයට ඉතිරිවා බලන්න වෙන්නේ නැහැ. එම නිසා බොහෝ පිරිසක් උපදෙස් දෙන අවස්ථාව මග හරිනවා. විදේශිකයෝ එද්දී ඒ අය එන්නේ මඟ පෙන්වන්නන් සමඟයි. ඒ අය බලන්නේ තමන්ගේ සීමිත කාලය තුළ උපරිම ස්ථාන ප්‍රමාණයක් නරඹන්නයි. එතකොට ඒ අය අපිව මඟ හැරලා යනවා.
මේ සිදුවීමේදී මේ අයට කියලා තියෙනවා මෙතෙන්ට යන්න එපා කියලා. එහෙම තියෙද්දිත් තමයි මේ කාන්තාවෝ දෙන්නා ගිහින් තියෙන්නේ. අපි නොදන්න රටක, නොදන්න තැනකට යද්දී හැමවෙලාවෙම පරිස්සම් වෙන්න ඕනේ. තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ.”
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක නිලධාරිනී හෂිණි සරච්චන්ද්‍ර මහත්මිය ද දැක්වූයේ මෙයට සමාන ම අදහසකි.
“අපේ රටේ ජාතික උද්‍යාන වලට විතරයි විදෙස් සංචාරකයන්ව ගෙනියන්නේ. මේ ජාතික උද්‍යානවලදී වාහනවලින් බහින්න සංචාරකයන්ට ඉඩක් දෙන්නේ නැහැ. මේ අයට මඟපෙන්වන්න කෙනෙක් ඉන්නවා. නමුත් ලංකාවේ වනෝද්‍යාන කිහිපයක් තියෙනවා. ඒවායෙදි සංචාරකයන්ට වාහනයෙන් බැහැලා ඇවිදින්න ඉඩ තියෙනවා. හොරගොල්ල, අංගම්මැඩිල්ල, හෝර්ටන් තැන්න මේ ස්ථානයි. එතෙන්දි සංචාරකයන්ට අවශ්‍ය උපදෙස් අපි දෙනවා. අනික මේ අයගෙත් වගකීමක් තියනවා, තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්”
2015 වර්ෂයේ පෙබරවාරි ද මෙවැනි සිදුවීමක් වාර්තා විය. එවර සිදුවීමට මුහුණ දුන්නේ 35 හැවිරිදි නෙදර්ලන්ත ජාතික මනීතා මාතාන් ය. එහිදී ඔහුගේ ජීවිතය බේරුණේ හාස්කමකින් මෙනි. මධුසමය ගතකිරීමට තම බිරිඳ සමඟ ලංකාවට පැමිණි මාතාන් ද ඡායාරූපයක් ගැනීමට ගොස් ලෝකාන්තයෙන් පහළට ඇද වැටිණි. එහිදී ඔහුගේ දිවිබේරුණේ ලෝකාන්තයේ ඉහළ සිට මීටර් 35-40ක් පමණ පහළ පිහිටි ගසක අත්තක් මතට වැටීම නිසාය. ඒ සමඟ ම එම හෝර්ටන් තැන්න උද්‍යාන කාර්ය මණ්ඩලය, යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ මෙහෙයුම ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හේතු විය.
ඉන් වසර පහක් ඉක්ම යන්නටත් පෙර මෙම සිදුවීම සිදුවූ අතර එයින් ජූලියාට ජීවිතය අහිමි විය.
ලෝකාන්තය සුන්දර භූමියකි. එහි ඇති මේ සුන්දරත්වය දෙස් විදෙස් බොහෝ දෙනකු මවිත කරවයි. මෙම ස්ථානයේ සුන්දරත්වයට එල්ලවී ඇති දරුණු පහර නම් බොහෝ දෙනකු තම ජීවිත විනාශ කරගැනීමට මේ ස්ථානය භාවිත කිරීමයි. සමහරුන් නොසැලකිල්ල නිසාත් තවත් පිරිසක් විවිධ පෞද්ගලික අර්බුද හමුවේ දිවි නසා ගැනීමටත් ලෝකාන්තය භාවිත කිරීම ඛේදජනක ය.
දෛනිකව විශාල පිරිසක් නැරඹීමට පැමිණෙන හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කිරීම වැදගත් වේ. විශේෂයෙන්ම ලෝකයේ වෙනත් රටවල මෙවැනි අනතුරු සහිත ස්ථානවලදී මහජන ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළවල් තිබේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට රජය මැදිහත් විය යුතුව ඇත.
මේ සිදුවීමත් සමඟම ලෝකාන්තයෙන් පහළ ප්‍රදේශයේ ආරක්ෂිත දැලක් යෙදීම පිළිබඳ ද අවධානය යොමු වී තිබේ.
මීට පෙර 2004 වර්ෂයේදී සංචාරකයන් ඉලක්ක කරගනිමින් විශේෂ පහසුකම් සපයන බවට එවක පැවැති ආණ්ඩුවේ බලධාරියකු ප්‍රකාශ කර තිබිණ. එහිදී හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට නුවරඑළියේ සිට කේබල් කාර් සේවාවක්, සංචාරයට සුඛෝපබෝගී බස්රථ සේවයක් ආරම්භ කරන බව ප්‍රකාශ කෙරිණ. එමෙන්ම හොර්ටන් තැන්න පිළිබඳ දැනුම ලබා දීමට නවීන තාක්ෂණික පහසුකම් වලින් යුතු තොරතුරු මධ්‍යස්ථානයක් ද, නවීන සංඥා පද්ධති, කුඩා ලෝකාන්තය, මහා ලෝකාන්තය, බේකස් ඇල්ල නැරඹීමට අවදානම් රහිත නැරැඹුම් වේදිකාවක් ද ඉදිකිරීමට එහිදී යෝජනා විය. එහෙත් ඒවා යෝජනාවලින් ඔබ්බට ගිය බවක් පෙනෙන්නට නැත. එසේ වූවානම් මෙවැනි අනතුරු සිදුවන්නේ නැත.
ලෝකාන්තය නැරඹීමට එන පිරිස් ඉලක්ක කර ගනිමින් ආරක්ෂිත වැටක් ඉදි කළ යුතු බවට ද ඇතැම් පිරිස් යෝජනා කරති. එහිදී ස්වාභාවික පරිසරයට වන හානිය පිළිබඳ ද ඇතැම්හු චෝදනා නගති. එහෙත්, මෙහිදී මනුෂ්‍ය ජීවිතවල ඇති වටිනාකම බලා තීරණය ගත යුතුව ඇත. ලෝකාන්තයෙන් පහළට පැන ජීවිතය හානි කරගන්නා පිරිස් ගැන ද අපි අසා ඇත්තෙමු.
ඒ පිරිසට ද මෙවැනි වැටක් යෙදීම මගින් එවැනි අරමුණු සඳහා මේ ස්ථානය තෝරා ගැනීමට තිබෙන අවකාශය අහිමිවනු ඇත. එමෙන්ම උද්‍යාන භාරකාර ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කරන්නේ ආරක්ෂක නිලධාරීන් යෙදීම ද මේ ස්ථානයෙන් සිදුවන විපත් අඩුකර ගැනීමට බලපානු ඇති බවයි.
“ආරක්ෂක වැට වගේම, ආරක්ෂාවට නිලධාරීන් යොදවන එකත් ප්‍රයෝජනවත් වැඩක් වේවි. ඒ සම්බන්ධයෙන් ඉදිරියට අවධානය යොමු කරනවා”
මෙහිදී සඳහන් කළයුතු තවත් කරුණක් තිබේ. ඒ හෝර්ටන් තැන්නට පැමිණෙන සංචාරකයන්ගෙන් බලපත්‍ර ගාස්තුවක් අයකර ගැනීමයි. එහිදී දේශීය වැඩිහිටි රුපියල් 60/=ක් ද, දේශීය කුඩා රුපියල් 30/=ක් ද වේ. විදේශික වැඩිහිටියකුගෙන් රුපියල් 2580/=ක් ද, කුඩා දරුවකුගෙන් රුපියල් 1376/= ද අය කෙරේ. එයට අමතරව විදේශිකයකුගෙන් හෝ කණ්ඩායමකින් සේවා ගාස්තු ලෙස රුපියල් 1376/= අය කෙරේ. එහෙත් මෙහිදී සපයන සේවා පහසුකම කුමක්ද යන්න ගැටලුවකි. එහිදී ආරක්ෂා සහිතව සංචාරයේ යෙදීම පිළිබඳ අවධානය යොමු නොවීම ගැටලුවකි.
“අපි සේවා ගාස්තුව ගන්නේ අපේ සේවා වෙනුවෙනුයි. අපි උදේ 6.00 ඉදන් හවස් වෙනකම් මෙතැන ඉන්නවා. එතැන්දි මේ අයට උපදෙස් දීම, දැනුම්වත් කිරීම, වැසිකිළි ආදී සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට තමයි මේ මුදල අය කරන්නේ” හෝර්ටන් තැන්න උද්‍යාන භාරකරු ප්‍රදීප් කුමාර මහතා පවසයි.
සංචාරක කර්මාන්තය ලංකාව විදේශ විනිමය උපයන ප්‍රධාන පෙලේ ආදායම් මාර්ගයකි. ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසරයේ පවතින විවිධත්වය, සුන්දරත්වය සංචාරකයන්ගේ ආකර්ෂණයට හේතු වේ. එලෙස ආකර්ෂණය දිනා ගන්නා ප්‍රධාන පෙළේ ස්ථානයක මෙවැනි අනාරක්ෂිත බවක් පැවැතීම ගැටලු සහගත ය. ලෝකයේ වෙනත් රටවල තත්ත්වය මෙයට වඩා බොහෝ වෙනස් ය. එම රටවල මෙවැනි අනතුරු වලදී ක්‍රියාත්මක වීමට කාර්යාලයක් තිබේ. එමෙන්ම ඒ සඳහා පුහුණුව ලත් කණ්ඩායම් ද නිබඳව සූදානමින් පවතී. තවද මේ ස්ථානයේ ස්වාභාවික පිහිටීම නිසා දුරකතන සංඥා ක්‍රියා විරහිතව පවතී. එමනිසා දියුණු සංඥා පද්ධතියක අවශ්‍යතාව ද පවතින බව කිව යුතුය. මේ ලෙස අප මෙහි ආරක්ෂක විධිවිධාන අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතුව තර කළ යුතු සේම සංචාරකයන් තම ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වන බව ද කිවයුතුව පවතී.