නව කැලණි පාලමෙන් තදබදයට කුමක් වේද? | Page 2 | සිළුමිණ

නව කැලණි පාලමෙන් තදබදයට කුමක් වේද?

කොළඹ නගරයට ඇදී එන වාහන රැසක් එක තැන රොක් වන්නේ පෑලියගොඩ වටරවුම අසලය. මේන නිසා බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් තනන ලද වික්ටෝරියා පාලමට අමතරව කොළඹ නගරයට ඇතුළු වීම පිණිස නව කැලණි පාලම කැලණිතිස්ස බලාගාරය අසලින් ඉදි කරන ලද්දේ බේස්ලයින් මාර්ගයටද පහමුවෙන් ගමන් කළ හැකි වන පරිදිය.

එසේ වුවත් මීගමුව පාර, නුවර පාර, මෙන්ම බියගම පාර යන ප්‍රධාන මාර්ග තුනකින් කොළඹට ඇතුළු වන අධික වාහන සංඛ්‍යාව සඳහා මේ පාලම් දෙක ඔරොත්තු නොදුන් හෙයින් පැරැණි වික්ටෝරියා පාලම වෙනුවට නව පාලමක් මංතීරු 4කින් යුක්තව ඉදි කළද මේ වන විට කොළඹ කටුනායක අධිවේගයේ සිට පැමිණෙන වාහනද සමඟින් මේ පාලම් දෙක කිසිසේත්ම ඔරොත්තු නොදෙන තත්ත්වයකට පත්ව ඇත. මේ නිසා නව කැලණි පාලමට යාබඳව මංතීරු 6කින් යුත් නව පාලමක් ඉදි කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත. මේ නිසා අධික වාහන තදබදයක් පවතින බව මඟී ජනතාව මෙන්ම රථ වාහන රියැදුරන්ද පවසා සිටී.

අපි මේ පිළිබඳව සත්‍ය කරුණු ගැන සොයා බැලීමු. නව කැලණි පාලම් ව්‍යාපෘතිය දෙස බැලූ අපට පෙනී ගියේ. අධිවේගී මාර්ගයට පිවිසුම් මාර්ග ලෙසින් කැලණිය වෙදමුල්ලෙන් ඉදි කරන ලද නව ප්‍රවේශයෙන් මේ වන විට අධිවේගී මාර්ගයට පැමිණෙන වාහන වලට පමණක් ඇතුළු වීමට ඉඩ සලසා ඇති බවයි. මේ වන තෙක් එම මාර්ගය භාවිත කරමින් කොළඹ දිසාවට පැමිණි වාහන වලට එම මාර්ගය භාවිත කළ නොහැකිය. මේ නිසා කොළඹ දිසාවට පැමිණෙන සියලුම වාහන කැලණිය ගුවන් පාලම පට්ටිය හන්දිය හරහා පැමිණිය යුතුය. එම වාහන සියල්ලම 4 කණුවේදී බියගම මාර්ගය ඔ‍ස්සේ පැමිණෙන වාහන සමඟ පොර බැදිය යුතුය. වරු ගණනාවක් බලා සිටිය යුතු බව අපට පෙනී ගියේය.

එමෙන්ම මීගමුව පාරේ සිට පැමිණි වාහන ගමන් කළ පෑලියගොඩට පෙර හමුවන නව ප්‍රවේශ මාර්ගයේද එම මාර්ගයේද පැමිණ කොළඹට පැමිණි වාහනවලට දැන් සිදුව ඇත්තේ පෑලියගොඩ නවලෝක වටරවුම හරහා ගමන් කිරීමටය.මේ ආශ්‍රිතාව කන්ටේනර් අංගන රැසක්ම ඇති හෙයින් මේ බගමන් ක්‍රමවේදය ඉතා දුෂ්කරව ඇත.

තාවකාලිකව මේ මාර්ගයන් වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසා ඇතත් පැහැදිලිව විකල්ප මාර්ගයන් සකසා නොමැති බවද අපට පෙනී ගියේය.

විකල්ප මාර්ග ලෙසින් මාර්ග සංවර්ධන අධිකාරිය පවසා ඇත්තේ බේස් ලයින් මාර්ගයේ වාහන තදබදය අධික විය හැකි බැවින් හැකි සෑම විටම මරදාන හරහා ගොස් ජේතවන මාර්ගය ඔස්සේ ගමන් කර ජපන් මිත්‍රත්ව පාලම හරහා ගමන් කර මීගමුව මාර්ගයට පිවිසෙන ලෙසයි. එම මාර්ගය ඔස්සේ කිලෝමීටරයක පමණ දුරක් ධාවන කරන විට ඔබට නැවත අධිවේගී මාර්ගයට පිවිසීමට පිවිසුම් මාර්ගයේ ගමන් කරන ලෙසද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එසේම අධිවේගී මාර්ගයේ පිවිසුම් වසා නොමැති බවත් වසා දමා ඇත්තේ එක් පිවිසුම් මංතීරුවක් පමණක් බවත් පෙන්වා දෙන මාර්ග සංවර්ධන අධිකාරිය කොළඹ දෙසට පැමිණෙන වාහන වලට මින් බාධාවක් නොමැති අතර වාහන තදබදය සාපේක්ෂව වැඩි විය හැකි බැවින් ගමනාන්තයට වැඩිපුර කාලයක් ගත විය හැකි බවයි. එසේම ක‍ටුනායක ගුවන් තො‍ටුපල දක්වා ගමන් කරන අය දැනට වඩා තවත් විනාඩි 45කට පමණ පෙර ගමන් අරඹන ලෙසද ඉල්ලීමක් කෙරේ.

එමෙන්ම බේස් ලයින් මාර්ගයේ වැලිකඩ දක්වා හෝ ඊට වඩා වැඩි දුරකට මෙම තදබදය බලෑම් ඇති කළ හැකි බැවින් රාජගිරිය බත්තරමුල්ල සිට ගමන් කරන වාහන කැලණිය හරහා ගොස් තොරණ හන්දියෙන් අධිවේගී මාර්ගයට පිවිසීමට හැකි බවද අධිකාරිය පවසයි.

මේ සම්බන්ධව අප නව කැලණි පාලම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ දර්ශිකා ජයසේකර මහත්මියගෙන් අප කළ විමසීමකදී ඇය පැවසුවේ වාහන තදබදයන් පැවතීමට ඉඩ ඇති බැවින් තමන් ඒ සම්බන්ධව පරීක්ෂා කළ නමුත් වෙනදාට වඩා අධික වාහන තදබදයක් දක්නට නොලැබුණු බවයි.කෙසේ නමුත් වාහන හිමියන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දන්වා ඇති බවද ඇය පැවසුවාය. මංතීරු 6කින් සමන්විත නව පැලම ඉදි කිරීමෙන් පසුව මේ පාලම් දෙකෙහිම පවත්නා අධික තදබදය අවසන් වන බව පෙන්වා දුන් ඇය පැවසුවේ කෙටි කලක් යම් ආකාරයක තදබදයක් ඇති වීමට ඉඩ ඇති නමුත් හැකි තරම් විකල්ප මාර්ග භාවිතයෙන් තදබදය අවම කර ගත හැකි බවයි.

ඇය එසේ පැවසුවද මට්ටක්කුලියේ නව කැලණි පාලම හරහා හැමිල්ටන් ඇළට සමාන්තර මාර්ගයේ ගමන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් මේ වන විට සකස් කර නොමැති බවත් අපට පෙනී ගියේය. එම මාර්ගයේ වරාය අසළ සම්පූර්ණයෙන්ම අබලන්ව ඇති අතර මේ නිසා වාහන ගමනාගමනය ඉතාම මන්දගාමී වී ඇත. පාලම සාදා ඇතත් මේ මාර්ගයේ වාහන ධාවනය කළ හැකි වන පරිදි අවශ්‍ය අනෙක් පහසුකම් සපයා නොමැති බැවින් වාහන ධාවනය අවදානම් තත්ත්වයකට පත්ව ඇත. මාර්ග සංවර්ධන අධිකාරිය පළමුවෙන්ම කළ යුතුව තිබුණේ මට්ටක්කුළියේ නව කැළණි පාලම හරහා නිසි පරිදි ගමන් කිරීමට ඉඩකඩ සලසා දෙවනුව නව පාලම් තැනීම ආරම්භ කිරීමයි.

එසේ වූවානම් මේ තදබදය ඉතාම අවම වනු ඇත. මීගමුව පා‍රේ එන වාහන එසේ වූවානම් හේකිත්ත හරහා ඍජුවම වරාය මාර්ගයේ කොටුවට ළගා වනු ඇත. තවමත් ප්‍රමාද නැත. අබලන්ව ඇති මට්ටක්කුලිව මාර්ගය ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර වාහන කඩිනම් ගමන් සඳහා ඉඩ සලසා දුනහොත් එයින් වඩා වැඩි ප්‍රයෝජනයක් ලබා ගත හැකි වනු ඇත. මහ මඟ රස්තියාදු වන්නේ ජනතාව‍ගේ වටිනා කාලය බව අප විශේෂයෙන්ම අවබෝධ කර ගත යුතුය. රියැදුරන්ද කිලෝමීටරයක් දෙකක් වැඩි වන දුර ගැන නොසිතා හැකි තරම් විකල්ප මාර්ග භාවිත කරන්නේ නම් මේ අධික තදබදය අවම කර ගත හැකි වනු ඇත.

සේයාරූ - විමල් කරුණාතිලක

Comments