
ලේ දීම එසේත් නැතිනම් රුධිරය දන්දීම හැමෝටම කළ හැකි දෙයක් නොවේ. සමහරු ඊට අකමැති ය; තවත් පිරිසක් ලේ දන් දීමට කැමැති වුණත් ඔවුන්ගෙන් රුධිරය ලබා ගැනීමට ලේ බැංකුවට පුළුවන්කමක් නැත. ඒ මහජන සුබ සිද්ධිය තකා ආරක්ෂා කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් හේතුවෙනි.
කොයිහැටි වෙතත් මේ කතාව තරමක් වෙනස් එකකි. නා නා ප්‍රකාර දෙයින් ප්‍රසිද්ධියට පත්වූ ඇත්තන් එමට සිටින ශ්‍රී ලංකාවේ ඔහු සිටින්නේ වෙන ම තැනකය. ඒ වෙනත් කිසිවක් නිසා නොව පිට පිට 70 වතාවටත් වැඩි වාර ගණනක් ලේ දන්දීම නිසා ය.
නොනැවතී වයස අවුරුදු හැට දක්වාම අනුන් වෙනුවෙන් ලේ දන් දෙන්නට බලාපොරොත්තුවන බව සංජීව සිහි කරන්නේ නිහතමානීව ය. දැන් ඔහු අප ඉදිරිපිටය; හෙතෙම නමින් සංජීව රුවන්ය.
වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ තමයි මං ඉගෙන ගත්තේ. උසස් පෙළ සිසුවෙක් විදියට සිටියදී මං මුලින් ම ලේ දන් දෙන්න පෙලඹුණේ අහම්බෙන්. මීගමුව සිංහ සමාජයේ ඉහළ නිලධාරියකු වුණු මගේ හිතවතකු තමයි මට ඊට ආරාධනා කළේ. මං ඒ ඉල්ලීම අපේ ගෙදරට කිවුවා. ඒ වෙලාවේ මගේ පියාගෙන් මට ලැබුණේ මහ පුදුම ගුරුහරුකමක්.
මගේ පියා සමාජ සේවකයෙක්. ඔහු නිතරම අනුන්ට උදව් පදව් කරන්නට පෙලඹුණු කෙනෙක්. ඒත් ඔහු ඒ වැඩවලට එන්න කියලා මට ආරාධනා කළේ නැහැ.
මං මටම හිතිලා ඔහු පස්සෙන් වැටුණා මිසක. ඉතින් මං ගෙදර ගිහින් ලේ දන් දෙන්න ආසයි කියලා කිව්වාමයි, කාලයක් තිස්සේ ඔහුට ඉෂ්ට කර ගන්න බැරිවුණු ආසාවක් පියා මට කීවේ. ඒක ඉල්ලීමක්. ලේ දන්දීම ඔහුට ජීවිත කාලය පුරාම ඉටු කර ගන්න බැරි වෙච්ච ආසාවක් කියලා පියා මට කීවා.
ඉබ්බා දියට දමද්දී ඇන්නෑවේ කිව්වාලු නේ. එදා පෝය දවසක්. මං පිම්මේ ගියේ මීගමුවේ බෞද්ධ මන්දිරයට. මට අද වගේ මතකයි. එදා මහ වැඩිහිටි පිරිසක් මැද මං පෝලිමේ ගිහින් ලේ දන් දුන් හැටි.
ඒ වෙද්දී මගේ ඔළුවෙත් අනුන්ගෙන් අසා දැනගත්ත ලේ දන්දීම ගැන මති මතාන්තර හුඟක් තිබුණා. ඒත් ඒවා ඇත්ත නෙවෙයි කියලා මට ලේ දන් දුන් මුල් වතාවේදීම ඒත්තු ගැන්වුණා.
සමහරු කියනවානේ, ලේ දන් දුන්නාම කලන්තේ, කරකැවිල්ල හැදෙනවා කියලා. ඇඟ කෙට්ටු වෙන්න පුළුවන් කියලත් සමහරු කියනවා. ඒත් ඒ කිසිම දෙයක ඇත්තක් නැහැ. වෛද්‍ය උපදෙස් අනුවත් ඒ බව තහවුරු කරනවා. අද වන විට මං රුධිරය විතරක් නෙවෙයි පට්ටිකා දන් දෙන්න අවස්ථාව ලැබුණු ශ්‍රී ලංකාවේ අතළොස්සක් දෙනා අතරටත් එක්වෙලා තියෙනවා.
හුඟක් අසාධ්‍ය ලෙඩුන්ට රුධිර පට්ටිකා ඕන කරනවා. විශේෂයෙන් ඩෙංගු රක්තපාත රෝගීන්ට එහෙම. දෙසතියකට වතාවක් පට්ටිකා දන් දීමට පුළුවන්කම තියෙනවා.
ඒත් හුඟක් රුධිර දායකයෝත් තවම ඒ ගැන එතරම් දැනුවත් නැති වග පෙනෙනවා. ලේ දන් දෙන නිසාම අවුරුදු දහයකට වඩා වැඩි කාලයක ඉඳන් මං මස් මාළු අනුභව කරන්නේ නැහැ.
විවේකයක් ලද හැම විටම ආගමික වතාවත්වල නිරත වීමෙන් මා ලබන්නේ වචනයෙන් කියන්න බැරි තරම් සතුටක්. අනෙක මං ලොකු බලාපොරොත්තු තියෙන කෙනකුත් නෙවෙයි.
බිරියයි දරුවායි දෙදෙනාත් එක්ක සරල ජීවිතයකට මං හුරු වෙලා ඉන්නවා. මගේ මව හෙදියක්; දැන් ඇය විශ්‍රාමිකයි. පියා ගැන කලින් කීවානේ. දැනට මං කටුනායක ප්‍රදේශයේ පදිංචිව සිටිනවා.
මට මෙතරම් දන් දෙන්න ධෛර්යය දුන්නේ ඔවුන් තමයි. ඒ වගේම මං සේවය කරන ලේක්හවුස් ආයතනයේ බෞද්ධ අංශයේ සියල්ලන් වගේම මට නිතර අත හිත දෙන සහෝදර සේවක සේවිකාවන්වත් මං සිහි කරන්නම ඕන.