බෞද්ධ මනෝ විශ්ලේෂණය හා චරිත විභාගය | Page 3 | සිළුමිණ

බෞද්ධ මනෝ විශ්ලේෂණය හා චරිත විභාගය

සූත්‍ර පිටකයේ විවිධ ස්ථානවල සඳහන් වන පුද්ගල වර්ගීකරණය අභිධර්ම පිටකයේ පුග්ගලප්‍රඥප්ති ප්‍රකරණයෙහි කිසියම් වූ අංකගත ප්‍රවේශයකින් සංග්‍රහ කොට තිබෙනු දැකිය හැකිය. කුසල හා අකුසල මූල පදනම් කරගෙන පුද්ගලයා සම්බන්ධව ඉදිරිපත් වී තිබෙන වර්ගීකරණ ගැඹුරු මනෝවිද්‍යාත්මක පදනමකින් යුක්ත වන අතර මජ්ඣිම නිකායට අයත් සල්ලේඛ සූත්‍රයේදී මනෝවිකෘතිතා 44ක් පමණද (මජ්ඣිමනිකාය 1, සල්ලේඛ සූත්‍රය, එම, පි. 106-109), වත්ථුපම සූත්‍රයේදී එබඳු දුස්සමාහිතතා 16ක් පමණද දැක්වේ (මජ්ඣිමනිකාය 1, වත්ථුපම සූත්‍රය, එම, පි. 82.).

1. අභිජ්ඣා - දැඩි ලෝභය

2. ව්‍යාපාදෝ - ද්වේෂය

3. කෝධෝ - කෝපය

4. උපනාහෝ - බද්ධ වෛරය

5. මක්ඛෝ - ගුණමකුකම

6. පලාසෝ - ගුණවතුන් හා තමා සමකොට සිතීම

7. ඉස්සා - ඊර්ෂ්‍යාව

8. මච්ඡරිය - මසුරුකම

9. මායා - චාටු බව

10. සාඨෙය්‍ය - කපටි බව

11. ථම්භෝ - තද ගතිය

12. සාරම්භෝ - අනුන් කළ දෙයට වඩා වැඩියෙන් කිරීමට පෙලඹෙන සිත

13. මානෝ - මානය

14. අතිමානෝ - අතිමානය

15. මදෝ - ජාති, කුලභේද ආදියෙන් මත් වීම

16. පමාදෝ - කාමයන් නිසා පසුබට වීම

චරිත පිළිබඳ විශ්ලේෂණයක යෙදෙන විශුද්ධිමාර්ගයේදී එක් එක් චරිත ස්වාභාව ගොඩනැඟීමට බලපෑ විවිධ වූ සාධක මනෝවිද්‍යාත්මකව හා කායික විද්‍යාත්මකව පදනමකින් විවරණය කොට ඇත්තේ සවැදෑරුම්වය. ඊට පදනම් කොටගෙන ඇති නිර්ණායක වන්නේ ඉරියව්, කෘත්‍ය, වැලඳීම්, දර්ශනාදිය හා ධර්ම ප්‍රවෘත්ති ආදියයි.

“ඉරියාපථතෝ කිච්චා - භෝජනා දස්සනාදිතෝ

ධම්මප්පවත්තිතෝ චේව - චරියායෝ විභාවයේ”

ඒ චරිත නම්,

1. රාග චරිත, 2. ද්වේෂ චරිත, 3. මෝහ චරිත, 4. ශ්‍රද්ධා චරිත, 5. බුද්ධි චරිත, 6. විතක්ක චරිත යනාදියයි.

රාග චරිතයා: බෙහෝ සෙයින් රාගය ඇති බව, වස්තූන්ට හා පුද්ගලයන්ට තදින් ඇලුම් කරන බව කෑම්- බීම්, ඇඳුම් - පැළඳුම්, ශරීරිය ලස්සනට තබා ගැනීම් ආදියට බොහෝ ඇලුම් කරන බව, වාසස්ථානය හා භාණ්ඩ පිළිවෙලට තබා ගැනීමට කැමති බව ලක්‍ෂණ කොට ඇත්තේය.

ද්වේෂ චරිතයා: අනුන්ගේ වැරදි සෙවීමට කැමැති බව, ගුණ නොදක්නා බව, නිතර කිපෙන බව, ඉතා සුළු කරුණටත් තරහින් කථා කරන බව, අනුන් හා වැඩි කල් මිත්‍රව නොවිසිය හැකි බව, කටුක ආහාරවලට රුචි කරන බව ලක්‍ෂණය. ගමන් කරන විට පතුල් අගින් බිම සාරන්නකු මෙන් පාද වහා බිම තබා වහා උඩට නඟයි; කථාව ගොරහැඬිය.

මෝහ චරිතයා: ගැඹුරු කරුණු තේරුම් ගැනීමට අසමත්කම, රැවටෙනසුලු බව, අනුන්ගේ කීම් අනුව කටයුතු කරන බව, පිළිගත් මෝහ ලක්‍ෂණය. මෝහ චරිතය වැඩ කිරීමේදී උදාසීන ගති පායි; කලත් එහි වැඩි වේලා නොයෙදයි.

ශ්‍රද්ධා චරිතයා: දානයේ කැමැති බව, ගුණවතුන් දකිනු කැමැති බව, ධර්මය ඇසීමට ප්‍රිය බව, ප්‍රීතිය බහුල බව ලක්‍ෂණය. ඇතැම් කරුණුවලින් රාග චරිතයාට සමානය. වැඩිහිටියන්ට ගරු කරන බවද, කීකරුකම හා යටහත්-පහත් පැවතුම් ඇති බවද තවත් ලක්‍ෂණ වෙයි.

බුද්ධි චරිතයා: ගැඹුරු දේ තේරුම් ගැනීමට සමත් බව, අමුතු දේ කල්පනා කිරීමට ඇලුම් කරන බව, උගත් අය ඇසුරට ප්‍රිය බව ලක්‍ෂණය.

විතක්ක චරිතයා: කල්පනා බහුල බැවින් සිත එකඟ කිරීමට අපහසු බව, දොඩමලු බව, බොහෝ දෙනා සිටින තැනකට ගොස් කථා කිරීමටත් තනියෙන් සිටින විට කල්පනා කරමින් සිටීමටත් ප්‍රිය කරන බව, කුසල් කිරීමේ සතුටක් නැති බව ලක්‍ෂණය.

විශේෂ චරිත ලක්‍ෂණ මෙසේ වුවද මේ ලක්‍ෂණ අඩු-වැඩි වශයෙන් සෑම චරිතයකටම තිබිය හැකි බවද ඉගැන්වේ.

මේ වර්ගීකරණය ඇසුරෙන් මානසික තත්ත්ව අධ්‍යයනය කිරීම බෞද්ධ සාහිත්‍යාගත නිදසුන් ඇසුරෙන්ද කළ හැකි බව පෙනේ. අංගුලිමාල ද්වේෂය හා මෝහය පෙරදැරිව මනුෂ්‍ය ඝාතනය, ඇඟිලි මාලයක් සකසා පැලඳීම ආදි දුස්සමාහිතතා පිළිඹිබු කළේය. රාග චර්යා ලක්ෂණ පිළිබිඹු කළ උදායි භික්‍ෂුව අසාමාන්‍ය ලිංගික ක්‍රියාවල යෙදිණි. දර්ශන කාමය පදනම් කරගත් වක්කලී හිමි රාග චර්යා ලක්ෂණ දරමින් බුදු සිරුර දෙස නිතර බලා හිඳීම, තමා කෙරේම දුක් පිණිස කටයුතු කළ ලෝසක තෙරුන් ද්වේෂය පදනම් කරගෙන සියදිවි හානි කරගැනීමට තැත් දැරීම ආදියද මෙහිදී දැක්විය හැකි ය. එසේ ම චිංචිමාණවිකාව, මාගන්ධියාව, කුණ්ඩලකේශිය, ඛේමාව, කිසාගෝතමිය, දේවදත්ත භික්ෂුව, මච්ඡරිය කෝසිය සිටු, ලාලුදායි භික්ෂුව, ඡබ්බග්ගිය භික්ෂු-භික්ෂුණීන්, ඡන්න හිමි, අක්ඛෝස පිරිවැජි, සච්චක ආදීන්ගේ චරිත පමණක් නොව; ජාතක කතා ඇසුරෙන්ද මෙහිලා උකහාගත හැකි නිදසුන් අප්‍රමාණයකි.

බුදුදහම වනාහි දුස්සමාහිතතා දුරලා සුසමාහිතතා අවධාරණය කරන දහමකි. ඒ මූලික වශයෙන් දුසමාහිතතා පිළිබිඹු කරන පුද්ගලයාට ලෞකික හා ආධ්‍යාත්මික වශයෙන්ද සමාජ, සංස්කෘතික වශයෙන්ද දැඩි අහිතකර බලපෑමක් කරන නිසාය. එය අභ්‍යන්තර වශයෙන්ද බාහිර වශයෙන්ද පුද්ගලයා අවුලෙන් අවුලට පත්වන්නටද හේතු වේ. මේ ගැටලුවට පිළියම් සෙවීමේදී ප්‍රඥාව, කෙලෙස් තවන වීර්යය, පාරිහාරික නුවණ, සසර බිය දක්නාසුලු මිනිසාට ශීලයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව වඩා සියලු ගැටලු නිරාකරණයට හැකි බව දැක්වේ.

බුදුරදුන් පුද්ගලයාගේ දුස්සමාහිතතා සහමුලින් දුරු කොට චිත්ත පාරිශුද්ධිය සඳහා අනුගමනය කළ ප්‍රතිකාර ක්‍රම දෙකක් 'වෙදෙක් වා, පිත්, සෙම් ආදියෙන් හටගත් රෝග සමනය කිරීමට වමනයද විරේචනයද භාවිත කරන්නේ යම් සේද තමන් වහන්සේද ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස ස්වභාව කොට ඇති සත්ත්වයා මුදාගැනීම සඳහා ආර්ය වමනය හා ආර්ය විරේචන ලබා දෙන්නේයැයි' අංගුත්තරනිකායේ සඳහන් වේ.

මිථ්‍යා දෘෂ්ටි, මිථ්‍යා සංකල්ප ආදිය විරේචනය කොට සියලු කෙලෙස් වමනය කරවීම සඳහා බුදුරදුන් සොයාගන්නා ලද පිළියම් රැසක් මිලින්ද ප්‍රශ්නයේදීද සඳහන් වේ. ඒ පිළියම් නම්: සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධාන, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග හා ආර්ය අෂ්ටාංගික මාර්ගය යන සත්තිස් බෝධි පාක්ෂික ධර්මයි. දුස්සමාහිතතා දුරලීම පිණිසද චිත්ත පාරිශුද්ධිය ජනිත කර ගැනීම පිණිසද අනුගමනය කළ යුතු අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤා සංඛ්‍යාත අනුපූර්ව ශික්ෂා අර්ථ ක්‍රියාකාරිත්වය තුළින් අනුපදා පරිනිබ්බානය පෙන්වන සප්ත විශුද්ධියක් මජ්ඣිමනිකායේ රථවිනීත සූත්‍රයේ පෙන්වා දෙයි:

1. ශීල විශුද්ධිය

2. චිත්ත විශුද්ධිය

3. දෘෂ්ටි විශුද්ධිය

4. කංඛාවිතරණ විශුද්ධිය

5. මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධිය

6. පටිපදා ඤාණ දස්සන විශුද්ධිය

7. ඤාණ දස්සන විශුද්ධිය

දුස්සමාහිතතා සහමුලින්ම දුරලීම පිණිස අවධාරණය වන බෞද්ධ පිළිවෙත කායික, වාචසික පරිශුද්ධියෙන් ඇරඹී ආධ්‍යාත්මික විමුක්තිය යටතේ ගැනෙන සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අරහත් යනාදි මාර්ගඵලවලින් අවසන් වන්නේ මානසික පවිත්‍රතාවය දක්වා අනුගමනය කළ යුතු අනුක්‍රමික ක්‍රියා සන්තතියක් උපයෝගී කරගැනීමෙන් බව මෙයින් පැහැදිලි වේ. පුද්ගල මනස අපවිත්‍ර කරන විඝාත පරිළාහයක් හෙවත් විනාශක පරිදහනයක් ලෙස හැඳින්වෙන ආස්‍රව දුරු කළ හැකි ක්‍රම හතක් සබ්බාසව සූත්‍රයේදී පෙන්වා දී තිබෙන අතර, තමන් විසින් තමන් තුළ ම සුසමාහිතතා සංවර්ධනය කිරීමේ ප්‍රායෝගික ක්‍රියාදාමයක් එමඟින් විස්තර වේ:

1. දර්ශනයෙන් (දස්සනා)

2. සංවරයෙන් (සංවරා)

3. ප්‍රතිසේවනයෙන් (පටිසේවනා)

4. ඉවසීමෙන් (අධිවාසනා)

5. පරිවර්ජනයෙන් (පරිවජ්ජනා)

6. මුදාහැරීමෙන් (විනෝදනා)

7. භාවනාවෙන් (භාවනා)

සත්ගුණ දම්වලින් හෙබි පුද්ගලයා සුසමහිතතා වඩා මෙලොව, පරලොව දිනන අතර; එහි මූලික පරමාදර්ශය පැනෙන්නේ බුද්ධ චරිතයෙනි. එම අදහස තවත් ආකාරයකින් දක්වන්නේ නම්: චර්යා අභිසංස්කරණ පිළිබඳ බෞද්ධ විවරණය සියුම්ව අධ්‍යයනය කර බැලු විට පෙනී යන ප්‍රධාන කරුණ වන්නේ සුසමාහිත චර්යාවන්ගේ ප්‍රතිමූර්තිය බුදුරදුන් වන බවයි. එමෙන්ම සුසමාහිත චර්යාවන්හි කූටප්‍රාප්තිය වනාහි සම්මා සම්බුද්ධත්වයයි. ඒ අනුව සියලු කෙලෙස් නසා අවබෝධ කරගන්නා වූ නිවන වනාහි අවසානික වශයෙන් සුසමාහිතතාවනහි උපරිම අවස්ථාවයි.

මානසිකව අයහපත් චිත්තාවේග නිසා මානසික පීඩනය හා දුක වේදනාව ලබා දෙයි. හේතු-ඵල න්‍යායයට අනුව මේ කරුණ සතිපට්ඨාන සූතයේ දැක්වේ. නිදසුනක් ලෙස මෙහිදී ද්වේෂයේ හෙවත් නොරුස්නා බවේ, තරහවේ ප්‍රතිඵල ලෙස,

1. සුවසේ නින්ද නොයෑම

2. සුවසේ අවදිවීමේ නොහැකියාව

3. නපුරු සිහින දැකීම

4. මිනිසුවන්ට ප්‍රිය නොවීම

5. අමනුෂ්‍යයන්ට ප්‍රිය නොවීම

6. දෙවියන් ආරක්ෂා නොකිරීම

7. ගින්දර විෂ හා දරුණු ආයුධවලින් හානි වීම

8. සිත තැන්පත් නොවීම

9. මුහුණ අප්‍රසන්න වීම

10. මුළා වී කලුරිය කිරීම

11. මෙලොව දී දුක් විදිනා අතර මරණින් මතුද දුක් විඳින්නට සිදු වේ.

මෙහි 3, 5, 6, 11 අතින්ද්‍රීය ප්‍රත්‍යක්ෂමය කරුණු වන අතර, මෙයින් ප්‍රකට වන්නේ පියවි ඇසට පෙනෙන හා එසේ පියවි ඇසට නොපෙනෙන කරදරවලින්ද අයහපත් චිත්තාවේග නිසා පීඩාවට පත්වීමට සිදු වන බවයි.

මිනිස් මනස රෝගි කරන කායික හේතු මෙන්ම මානසික හේතුද පවතින අතර, මේ විෂය දෙකෙන්ම රෝගයක පවත්නා වූ අන්නෝන්‍ය කාරක සාපේක්ෂක පදනමක් දිස් වේ. එය පහත දැක්වෙන ලෙස දෙපරිදි වේ:

1. කායික රෝග

කායික රෝග සඳහා කායික හේතු ඇත.

කායික රෝග සඳහා මානසික හේතු ඇත.

2. මානසික රෝග

මානසික රෝග සඳහා මානසික හේතු ඇත

මානසික රෝග සඳහා කායික හේතු ඇත

දිල්ශාන් මනෝජ් රාජපක්ෂ

කථිකාචාර්ය බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය 

Comments