මෝටර් රථ හිමිකරුවන්ට සුපිරි පහසුකම් දෙන වසර සීයකටත් වඩා පැරණි ඔටෝමොබයිල් සංගමය | සිළුමිණ

මෝටර් රථ හිමිකරුවන්ට සුපිරි පහසුකම් දෙන වසර සීයකටත් වඩා පැරණි ඔටෝමොබයිල් සංගමය

 "අදින් වසර 114කට පෙර අප සංගමය ආරම්භයේදී හිටියේ සාමාජිකයන් 100ක් විතරයි. දැන් සාමාජිකයන් 11000ක් ඉන්නවා. 1956 වසරේදී පළමුවරට අප සංගමය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළා. අතීතයේ සිට අප සංගමය රටේ මෝටර් වාහන හිමිකරුවන් සමග සම්බන්ධ වෙමින් නිශ්චිත මෙහෙයක් ඉටු කළා.අදටත් අපි එය වර්ධනය කර ගනිමින් විශාල සේවයක් සලසමින් සිටිනවා. විදේශ ගත වී රියැදුරන් ලෙස සේවය කිරීමට බලාපොරොත්තු වන අය වෙනුවෙන් විදේශයන්හිදී පිළිගැනීම සහිත රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ඒ අතරින් ප්‍රධාන වනවා. ඒ වගේම තමයි විදේශිකයන් අප රට තුළ රිය පැදවීමට අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ගේ රියපැදවීම පරීක්ෂා කර බලා අප රට තුළ රිය පැදවීමට වලංගු අවසර පත්‍රයක් ලබා දීම සිදු කරන්නේද අපගේ සංගමයයි."

ඒ සුදු අධිරාජ්‍යවාදීන් අපේ රටේ වැවිලි කර්මාන්තය සාරවත්ව කරගෙන යමින් සිටි අවධියයි. කෝපි යුගය පසුකොට තේ වගාවෙන් අධික ලාභ ලැබූ බ්‍රිතාන්‍ය ජාතිකයෝ තම අතමිට යහමින් ගැවසුණු මුදලින් ජීවිත සුඛෝපභෝගී කර ගැනීමට වෙර දැරූහ. ඒ වන විට යුරෝපය පුරා ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පැවති මෝටර් රථ එක, දෙක ලංකාවේද දක්නට ලැබිණි. වාහන ගමනාගමනය කළ හැකි අන්දමින් සකස් වී තිබූ අති සුළුතරයක් වූ මහාමාර්ග නගරාශ්‍රිතව පමණක් විය. එහෙත් මෙරටට වාහන ගෙන්වූ බොහොමයක් සුදු ජාතිකයන්ගේ වතුවගාවන් ස්ථාපිත වී තිබුණේ මධ්‍ය කඳුකරයේය.

වාහන ගමනාගමනයට නුදුසුදු මාර්ග ඔස්සේ වුවද බොහෝ වැවිලිකරුවෝ තම රථ මධ්‍ය කඳුකර ප්‍රදේශවලට ගෙන යෑමට කටයුතු කළේ එයින් බැහැරව එම රථවල ප්‍රයෝජනයක් නොමැති බැවිනි. එහෙත් එසේ ගෙන ගිය රථවලට මගදී බොහෝ ඇබැද්දිවලට මුහුණ පෑමට සිදුවිය. අතරමග නතරවන රථ සංඛ්‍යාවෙන් බහුල වන විට එම රථ පිළිබඳව තොරතුරු කාර්මික ශිල්පීන් වෙත සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාව ඇති විය. ඒ සම්බන්ධයෙන් වැවිලිකරුවන්ගේ විසඳුම වූයේ ‘කෝල් බොක්ස් ‘ සංකල්පයයි. මේ ඔස්සේ අතරමග අබලන් වූ තම රථ යළි පිළිසකර කර ධාවනයට එක් කිරීමට ඔවුන්ට හැකියාව ලැබිණි. මේ ‘කෝල් බොක්ස්‘ සංකල්පය පසු කාලීනව ක්‍රමයෙන් දියුණු වෙමින් මෝටර් රථ හිමිකරුවන් අතර ප්‍රධානතම සන්නිවේදන ක්‍රමය සහ සාමාජයීය එකමුතුව බවට පත් විය. එලෙස ගොඩනැගුණු එකමුතුවට මේ වන විට වසර 114ක් සම්පූර්ණ වී තිබේ. ඒ එකමුතුව අන් කිසිවක් නොව ශ්‍රී ලංකාවේ ඔටෝමොබයිල් සංගමයයි.

වසර 114ක් යනු සුළුපටු කාලයක් නොවේ. මෙතරම් ඉතිහාසයක් සහිත ආයතන හෝ වෙනත් කිසියම් සංවිධාන තිබේනම් ඒ ඉතාම සුළුතරයකි. එබැවින්ම ඉතා රසවත් ඉතිහාසයකට උරුමකම් කියමින් වර්තමානයේදීද ඉතා විශාල මෙහෙයක් අප රටට ඉටුකරමින් සිටින ඔටෝමොබයිල් සංගමයේ ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි මහතා අප සමග අදහස් දක්වමින් එම සංගමයේ කාර්යභාරය මෙසේ විස්තර කර සිටියේය.

“ අදින් වසර 114කට පෙර අප සංගමය ආරම්භයේදී හිටියේ සාමාජිකයන් 100ක් විතරයි. දැන් සාමාජිකයන් 11000ක් ඉන්නවා. 1956 වසරේදී පළමුවරට අප සංගමය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළා. අතීතයේ සිට අප සංගමය රටේ මෝටර් වාහන හිමිකරුවන් සමග සම්බන්ධ වෙමින් නිශ්චිත මෙහෙයක් ඉටු කළා. අදටත් අපි එය වර්ධනය කර ගනිමින් විශාල සේවයක් සලසමින් සිටිනවා. විදේශ ගත වී රියැදුරන් ලෙස සේවය කිරීමට බලාපොරොත්තු වන අය වෙනුවෙන් විදේශයන්හිදී පිළිගැනීම සහිත රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ඒ අතරින් ප්‍රධාන වනවා. ඒ වගේම තමයි විදේශිකයන් අප රට තුළ රිය පැදවීමට අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ගේ රියපැදවීම පරීක්ෂා කර බලා අප රට තුළ රිය පැදවීමට වලංගු අවසර පත්‍රයක් ලබා දීම සිදු කරන්නේද අපගේ සංගමයයි. මේ අවසර පත්‍ර ලබා ගැනීමේ අරමුණෙන් දවසකට පුද්ගලයන් සියයකට අධික සංඛ්‍යාවක් කොළඹ කොල්ලුපිටියේ පිහිටි අප ප්‍රධාන කාර්යාලයට පැමිණෙනවා. ඔවුන් සියලු දෙනාට ඉක්මන් සේවයක් ලබා දීමට අප කැප වී කටයුතු කරනවා.

මීට අමතරව අප සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් ඉටු කිරීමට බැඳී සිටින විශේෂ සේවාවන් කිහිපයක්ද වනවා. මේ සේවාවන් ලබා ගැනීමට නම් අප සංගමයේ සාමාජිකයන් විය යුතුයි. එහිදී තාවකාලික සාමාජිකත්වය සහ යාවජීව සාමාජිකත්වය යනුවෙන් ක්‍රම දෙකක් ඔස්සේ අප සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට හැකියි. ඒ සඳහා යම් සාමාජික මුදලක්ද ගෙවිය යුතු වනවා.

අප සංගමයේ සාමාජිකයකුගේ මෝටර් රථය අනතුරට පත් වූයේ නම් ජංගම සේවාවක් ඔස්සේ රථයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කර දීමට සහ අවශ්‍ය ස්ථාන කරා රැගෙන යෑමට අප කටයුතු කරනවා. එමෙන්ම අප මෝටර් රථ සඳහා තක්සේරු වාර්තා ලබා දීමද සිදුකරනවා. ඒ සඳහා 200ක් පමණ දෙනා අප ආයතනය සමග එක්ව කටයුතු කරනවා. “

දේවප්‍රිය හෙට්ටිආරච්චි මහතා පවසන අන්දමට ඔටෝමොබයිල් සංගමයේ සාමාජිකත්වය ලබා ගන්නා සාමාජිකයන්ට සැලසෙන තවත් වාසි රාශියකි. වැසි සහිත මෙන්ම නායයෑම් සිදුවන කාලගුණික අවස්ථාවන් හිදී එවැනි අනතුරුදායක ගමන් මාර්ග පිළිබඳව මෙන්ම ගං වතුරින් යටවී ඇති මහා මාර්ග පිළිබඳවද තම සාමාජිකයන් දැනුම්වත් කරමින් ඒ වෙනුවට භාවිත කළ හැකි විකල්ප මාර්ගවල තොරතුරු ලබා දීමට ඔටෝමොබයිල් සංගමයේ තවත් විශේෂ සේවාවකි. එමෙන්ම වාහන අනතුරුවලට අදාළව සංගමයේ සාමාජිකයන්ට නොමිලේ නීති උපදෙස් ලබා ගැනීමට හැකියාව තිබේ.

ඔබ වියපත් වුවත්, තවදුරටත් රිය පැදවීමට නොහැකි වුවත් ඔබව කැටිව යෑමට ඥාති හිතමිත්‍රාදියෙක් නොසිටියත් ඔබ ඔටෝමොබයිල් සංගමයේ සාමාජිකයකු වන්නේ නම් ඒ සම්බන්ධව කණාගටු විය යුතු නැත. එයට හේතුව ඔබගේ අවශ්‍යතාව දැනුම් දුන් පමණින් විශ්වාසවන්ත රියැදුරන් ලබා දීමට සංගමය කටයුතු කිරීමයි. මීට අමතරව ගාලු මුවදොර ආසන්නයේ ඇති සාමාජිකයන්ට පමණක් වෙන් වූ අවන්හලට සැඳෑ කළ රැස්වී විඩාව නිවා ගනිමින් මිතුරු ඇසුරේ සතුටු වීමටද සාමාජික ඔබට අවස්ථාව හිමි වේ.

මීට අමතරව ඔටෝමොබයිල් සංගමය ආරම්භ කළ අලුත්ම සේවාව වන්නේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමයි. ඒ සම්බන්ධව දේවප්‍රිය හෙට්ටිආරච්චි මහතා මෙසේ විස්තර පවසා සිටියේය.

“ කොතෙක් දැනුම්වත් කිරීම් සිදුකළත් අපේ රටේ රිය අනතුරුවලින් අති විශාල සංඛ්‍යාවක් මිය යෑමත්, ඒ සංඛ්‍යාව අඩු කර ගැනීමට ගත් සියලු උත්සාහයන් ප්‍රථිපල රහිත වීමත් කෙරෙහි අප සංගමයේ අවධානය ඉතා විශාල වශයෙන් යොමු වූවා. එහිදී අප විශ්වාස කර සිටියේ රියැදුරු බලපත්‍ර ලබාදීමේදී වඩා හොඳින් පරීක්ෂණ පවත්වා ඒ සඳහා ඉතාම සුදුසු, නිසි පුහුණුවක් ලබා සිටින අයට පමණක් බලපත්‍රය ලබා දිය යුතු බවයි. අපේ රටේ රිය අනතුරුවලින් වසරකදී මිය ගිය වැඩිම සංඛ්‍යාව වාර්තා වූයේ 2017 වසරේදී. එය 3000ක්. මේ ගැටලුවට නොයෙක් හේතු තිබෙනවා. එහෙත් ඒ අතරින් රියැදුරු බලපත්‍ර ලබාදීම සම්බන්ධව සලකා බැලුවොත් රියදුරු බලපත්‍රවලට ඉල්ලුම් කරන අතිවිශාල සංඛ්‍යාව රජයේ පරීක්ෂකයන් සුළු පිරිසකට නිසි පරිදි පරීක්ෂා කිරීමට නොහැකි බව හැඟී ගියා. මේ පරීක්ෂණ පැවැත්වීම පෞද්ගලික අංශයටත් ලබා දිය යුතුයි යන අදහස පැමිණියේ එහිදී. ඒ අනුව අප ආයතනයත් CTB එකටත් මේ පරීක්ෂණ පැවැත්වීමේ අවස්ථාව රජය විසින් ලබා දෙනු ලැබුවා. අප ඉතා සතුටෙන් ඒ අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව අප සංගමය විසින් පරීක්ෂා කරනු ලබන පළමුවැනි කණ්ඩායම දෙසැම්බර් මාසයේදී පරීක්ෂණයන්ට ලක් කිරීමට නියමිතව තිබෙනවා. අප මෙමගින් කිසිඳු ලාභයක් අපේක්ෂා කරන්නේ නැහැ. අපට අවශ්‍ය රටට සේවයක් කිරීමට පමණයි. “

මේ සා විශාල ප්‍රතිලාභ හිමි කර ගැනීමට ඔබටත් සිතෙනවා නම් නිසැකයෙන්ම ඔබටත් ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සාමාජිකත්වය ලබා ගත හැකියි. ඒ සඳහා ඔබට තිබිය යුත්තේ අත්‍යවශ්‍ය සුදුසුකම් තුනක් පමණි. එනම් මෝටර් රථයක් තිබීම, වලංගු රියැදුරු බලපත්‍රයක් තිබීම සහ ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීම පමණයි.

ටිරෝනි වෑවලගේ
ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

Comments