සංඛ්‍යා නිලධාරී සැමියා මරා දැමුවේ ගුරු බිරියගේ අනියම් පුරුෂයාද? | Page 3 | සිළුමිණ

සංඛ්‍යා නිලධාරී සැමියා මරා දැමුවේ ගුරු බිරියගේ අනියම් පුරුෂයාද?

  • අනියම් සැමියා කිරි ව්‍යාපාරිකයෙක්
  • වෙඩි තබා මරා දමා ඇත්තේ ගුරු බිරිය පාසලට ඇරලවා යද්දී
  • පවුල් දෙකක දරු පැටව් අනාථයි

ගුරුවරියක් ශිෂ්‍යයෙකුගේ පියෙකුට බැඳි පෙම එක් ජීවිතයක් සදහටම මෙලොවින් තුරන් කර දරු පවුල් තුනක් අනාථ භාවයට පත් වූ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණි. ඒ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සංඛ්‍යාලේඛන නිලධාරියෙකු තම සේවා ස්ථානය වෙත යන අතරතුර සාහසිකයෙකුගේ වෙඩි පහරින් මෙලොවින් සදහටම සමුගැනීමත් සමඟය. රාගයෙන් මෝහයෙන් වෛරයෙන් කෙළවර වූ ඒ අසරණ ජීවිතය සමඟ තවත් දරු පවුල් තුනක් අන්ත අසරණ තත්ත්වයට පත්වූයේ ඔවුන්ගේ දරුවන්ට මහමග යාමට තරම්වත් ආත්ම ගරුත්වයක් නැති කරමින් ය.

ප්‍රදේශය පුරා ඇවිදිමින් කිරි එකතුකර තම දරුවා පෝෂණය කිරීමට අපමණ වෙහෙසක් ගත් මේ ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයකුගේ ජීවිතයට කණ කොකා හැඬුවේ කිරි ව්‍යාපාරිකයාගේ බිරිය වෙනත් පෙමක පැටලී තම දරුවා ද එම නිවසේ දමා එම සිය අනියම් පුරුෂයා සමඟ ප්‍රදේශයෙන් පලා යෑමත් සමඟය. ඒ මීට වසර අටකට පෙර ය. කිරි ව්‍යාපාරිකයා සහ ඔහුගේ අට හැවිරිදි දැරිය නිවසේ තනි වූයේ ය. කිරි ව්‍යාපාරිකයා ඇයට කෙසේ හෝ උගන්වා තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට අදිටන් කර ගත්තේ ය. එහිදී අසරණ වූ දරුවා පිළිබඳ එම දැරියගේ පංතිභාර ගුරුතුමියට ඇති වූයේ අනුකම්පාවකි. ඒ නිසාම ඒ දරුවාට වැඩි සැලකිල්ලක් වැඩි ආදරයක් සෙනෙහසක් ගුරුවරියගෙන් ලැබිණි. ඒ සෙනෙහස නිසාම ගුරුතුමිය දිනපතා දරුවාගේ පියා හමුවන්නටත් දරුවාගේ අඩුපාඩු පෙන්වා දෙන්නටත් උත්සාහ ගෙන ඇත. තම බිරිය ද නොමැතිව සිය දරුවා ලොකු මහත් කරගැනීමට දරන දුක් ගැහැට ගැන ඔහු නිතර ගුරුතුමියට කියන්නට විය. මේ නිසා ම ගුරුතුමිය කාලයත් සමඟ දරුවාගේ පියාට පෙම් බඳින්නට වූයේ රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් දරන තම සැමියා නි‍ෙවසේ සිටින බව අමතක කරමින් ය. මෙම පෙම් හිලව්ව කොතෙක් දුරදිග ගියේ ද යන්න දෙස බැලීමේදී රටක් වටිනා තම හිමියා මරා දමා හෝ තමා රහසේ ගොඩනඟාගත් පෙම් ලොව සැරිසරන්නට ඇය සිතුවාය.

දිනය උදාවිය. ඒ පසුගිය මස 22 දා. උදෑසනින් නැගිට තම රාජකාරි කටයුතුවලට යාමට පෙර ගුරුවරියගේ සැමියා ඇයව පාසල වෙත ඇරලවන්නට කටයුතු කළ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංඛ්‍යාලේඛන නිලධාරියෙක් වූ සුමුදු චමින්ද දයාරත්න පස්ගොඩ දක්වා පැමිණෙමින් සිටියේය. සිදුවූයේ අපේක්ෂා නොකළ සිදුවීමකි. යතුරුපැදියකින් හඹා ආ හඳුනා නොගත් පුද්ගලයන් දෙදෙනකු විසින් එල්ල කරන වෙඩි පහරකින් ඔහු ජීවිතක්ෂයට පත් විය. ඒ හුලංකන්ද නම් පාළු ප‍්‍රදේශයේදී ය.

සුමුදු චමින්ද පදිංචිව සිටියේ වලස්මුල්ල නගරයේ අකුරැස්සවත්ත නම් ගම්මානයේය. මිය යනවිට හෙතෙම හතළිස් හතර වියේ පසුවිය. වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංඛ්‍යාලේඛන නිලධාරිවරයා ලෙස ‍සේවය කළ ඔහු පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළේ ය.

ගල්කටස් වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා සුමුදු චමින්ද මරා දැමූ බවට මූලික පරීක්ෂණවලින් හෙළිවිය. සංඛ්‍යාලේඛන නිලධාරියාගේ දේහය ඌරුබොක්ක හීගොඩ ‍රෝහලේ තැන්පත් කර පසුව එහිදී මරණ පරීක්ෂණය පැවැත්විණි. හම්බන්තොට දිශාවට අයත් වලස්මුල්ලේ පදිංචිකරුවෙක් වූ සුමුදු චමින්දගේ ඝාතනය මාතර දිශාවට සම්බන්ධ වූයේ පස්ගොඩ ප්‍රාදේශීය බල ප්‍රදේශය මාතර දිශාවට අයත් නිසාය. ඔහු ඝාතනය වූයේ මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි බල ප්‍රදේශය තුළදීය. මෙම ඝාතනයට කවුරුන් සැකකරන්නද? කිසිවෙක් සැක කළ නොහැකි වූයේ සංඛ්‍යාලේඛන නිලධාරියා යනු සතුරෙකු නොමැති ඉතා යහපත් චරිතයක් ඇත්තෙකුවූ බැවිනි.

මගේ ස්වාමිපුරුෂයාට කිසිම හතුරෙකු නෑ. මෙය වෙන කෙනෙකුට එල්ල කිරීමට තැබූ වෙඩි පහරක් වෙන්න ඇති. ඔහුට වදින්න ඇත්තෙ වැරදිලා...” බිරියගේ මුවින් පිටවීමට ගත වූයේ ඉතා කෙටි වේලාවකි. ප්‍රදේශවාසීහු ඒ කතාව අසා මවිත වූහ.

මරණය සිදුවූයේ වෙනත් පුද්ගලයෙකුට එල්ල කළ වෙඩි පහරකින් බවට ප්‍රදේශය පුරා පැතිර ගියේ ඉතා විශ්වාසයෙනි. ඒ බිරිය විසින් ම එලෙස පැවසීම නිසා වෙනත් අයට ඒ පිළිබඳ වෙනත් අදහසක් පැවසීමට අවශ්‍ය නොවීය. පසුව දේහය නිවසට ගෙන ආවේය. එහිදී අවසන් කටයුතු ගෞරව පූර්වකව සිදු කරන්නට සියල්ලෝ කටයුතු කළහ. එහෙත් බිරියගේ වෙනස්කම් දැකගන්නට පවුලේ ඥාතීන්ට ගත වූයේ ඉතා කෙටි වෙලාවකි. එහෙත් ඒ කිසිවක් ගැන එතරම් නොසිතා දේහයට දහස් ගණනක් දෙනා අවසන් බුහුමන් දැක්වූහ.

මළගෙදර පැමිණ සිටි අමුත්තන් අතර පොලිස් බුද්ධි අංශය ද විය. අවසන් කටයුතු කිරීමෙන් පසු දින පොලිසිය මඟින් සැකපිට මෙම ඝාතනයට ප්‍රශ්න කිරීම සඳහා මියගිය සුමුදු චමින්දගේ බිරිය අත්අඩංගුවට ගත්තේ ය. වැඩිදුර විමර්ශන සඳහා වඩාත්ම සුදුසු වන්නේ ජංගම දුරකතනය පරීක්ෂාවට ලක් කිරීමෙන් බව බුද්ධි අංශ නිලධාරීන් තීරණය කර තිබිණ. එය පරීක්ෂා කිරීමේදී මෙම ඝාතනය සැලසුම් කිරීමට යොදා ගත්තේ මෙම දුරකතනය යැයි වටහා ගැනීමට පොලිස් බුද්ධි අංශය සමත්විය. එහිදී ඝාතනයට ලක්වන අවස්ථාවේ සිදුකළ සංවාද මෙන් ම ඝාතනයෙන් පසු සිදුකළ සංවාද හා පෙරදින රාත්‍රි සිදුකරන ලද සංවාද ආදී කරුණ සැලකිල්ලට ගෙන සංඛ්‍යාලේඛන නිලධාරියාගේ ඝාතනයේ සුල මුල ‍එකින් එක දිගහැරෙන්නට පටන් ගත්තේ ය.

සුමුදු චමින්ද දයාරත්නගේ බිරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු සියලු කරුණු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය. ගුරුවරියගේ අනියම් ස්වාමිපුරුෂයා ලෙස සැලකෙන කිරි මුදලාලි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් රුපියල් අට දහසකට ලබා දුන්නේ යැයි කියන බළංගොඩ බටවල ප්‍රදේශයේ පුද්ගලයෙක් සහ නාවික හමුදාවේ සේවය කර ඇති පුද්ගලයෙක් ඇතුළු සැකකරුවන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. මෙහිදී මෙම ඝාතනය සඳහා බිරිය සම්බන්ධවී ඇති බව සැකයේ තබාගෙන මෙම පරීක්ෂණ සිදු කිරීමට පොලිසිය කටයුතු කළේ ය. දැන් මේ අපරාධය අධිකරණය අබියස ය.

සැකකරුවන් සිවු දෙනා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් රසිකා නිපුනආරච්චි මහත්මිය නියෝග කළාය.

පොලිස් අධිකාරි ජී.එච්. මාරපන මහතාගේ උපදෙස් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ජේ.ඒ. සමන්, උප පොලිස් පරීක්ෂක ජේ. පතිරණ ඇතුළු නිලධාරී කණ්ඩායමක් පරීක්ෂණ සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ.

Comments