
ජාතිවාදය වැපිරීමට සමත් වූවෝ දේශපාලනඥයෝය. දකුණේ සිංහල බෞද්ධ දේශපාලනඥයින් අතරින් ඇතැම්හු දකුණේ බොදු රජයක් ගොඩනඟන බව කියමින් ඡන්ද මංකොල්ල කති. උතුරේ දේශපාලනඥයන් කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවකි. උතුරේ දෙමළ රාජ්‍යයක් බිහි කරන බව කියමින් උතුරේ වැසියන්ගේ ඡන්ද එක් රැස් කරති. අවසානයේදී කිසිදු මනෝ රාජ්‍යයක් බිහි නොවූවත් මිනිස්සු එකිනෙකා ජාතිවාදයෙන් ඇළලී ඇණකොටා ගනිති.
පසුගිය දිනවල 2018 වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල නිකුත් විණි. එහිදී ලංකාවේ තුන්වෙනි ස්ථානයට ලකුණු ලබා ගත්තේ වවුනියාවේ දැරියකි. ඇය නමින් බාලකුමාර් හර්තිකන් සුජාය. ඇගේ ලකුණු සංඛ්‍යාව 197 කි. මේ විභාගයෙන් වවුනියාව දිස්ත්‍රික්කයෙන් වැඩිම ලකුණු ලබා ගත් ශිෂ්‍යාව වූයේ වවුනියාවේ ගණේෂපුරම් ගම්මානයේ පදිංචි ආර්. නිවර්ෂනාය. ඇය මේ විභාගයෙන් ලකුණු 189 ක් ලබාගෙන තිබුණි.
ඉතා අල්ප පහසුකම් ඇති වන්නියේ දරුවන් මේ තරම් ඉහළ සාමාර්ථයක් ලැබුවත් එය අගය කිරීමට ජාතිවාදය වපුරන ඇතැම් දෙමළ දේශපාලනඥයෝ කිසිවක් නොකළහ. යුද හමුදාවේ සිටින්නේ දෙමළ වැසියන්ගේ හතුරන් බව කියමින් දෙමළ දේශපාලනඥයන් ඔවුන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගනිද්දී එය එසේ නොවන බව පසක් කිරීමට වන්නි යුදහමුදා ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතා ඇතුළුව තවත් යුද හමුදා නිලධාරීහු කීප දෙනෙක් සමත් වූහ.
මේ ශිෂ්‍යාවන් දෙදෙනාම දෙමළ වූවත් ඔවුන් පළාතට ලබාදුන් ගෞරවය උදෙසා යමක් කරන්නට යුද හමුදා නිලධාරීන්ට අවශ්‍ය විණි. මේ ගැන තොරතුරු හා විස්තර සොයා බැලීමේදී ශිෂ්‍යාවන් දෙදෙනාම දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන පවුල්වල දරුවන් බව මේ නිලධාරීන්ට වැටහිණි. කෙසේ හෝ මේ ළමයින් දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් යමක් කිරීමට යුද හමුදා නිලධාරීන් උත්සාහ කරමින් සිටියදී ජාතිවාදය නොතකන සැබෑ මානව ගුණයෙන් පිරුණු යුවළක් යුද හමුදාවේ නිලධාරීන්ට මුණගැසිණි.
මේ මානව හිතවාදී යුවළගේ පදිංචිය කැනඩාවේය. දෙදෙනාම වෛද්‍ය වෘත්තිකයෝය. ශ්‍රී ලංකාවෙන් නික්ම ගොස් කැනඩාවේ ජීවත් වූවත් ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් සොයා බලා යමක් කිරීමට නිතර ඉදිරිපත් වනුයේ මෙරට ජනතාව වෙනුවෙන් වන සැබෑ සෙනෙහසිනි. ඔවුන්ගේ සැබෑ ශ්‍රී ලාංකිකත්වය මනාව ප්‍රකට වන අවස්ථාවක් වූයේ දෙදෙනාම උදව් කිරීමට තෝරා ගත් ශිෂ්‍යාවන් දෙදෙනාම දෙමළ දැරියන් දෙදෙනෙකු වීමය.
කැනඩාවේ වෙසෙන අශෝක වීරසිංහ වෛද්‍යවරයාත් ඔහුගේ බිරිය වන වෛද්‍ය නන්දනී වීරසිංහ මහත්මියත් මේ සමාජ සත්කාරයට දායක වූයේ ඔවුන්ගේ හදවතින්ම උපන් සෙනෙහසින් මිස කවරෙකුගේ හෝ බලකිරීමකින් නොවේ.
දැරියන් දෙදෙනාට උදව් කිරීමට කැමැත්ත පළකළ යුවළ දියණියන් දෙදෙනා සොයා වවුනියාවටම පැමිණියේය. දෙපාර්ශ්වය මුණ ගැසෙන අවස්ථාවේ වන්නි යුද හමුදා මුලස්ථානයේදී ඉතා චාම් උත්සවයක් පැවති අතර මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතා විසින් එය සංවිධානය කොට තිබුණි. යුද හමුදාවේ 61 වැනි සේනාංකයේ බල සේනාධිපති බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න මහතා ඇතුළු යුද හමුදා නිලධාරීහු කීප දෙනෙක් මේ අවස්ථාවට සහභාගී වූහ.
දැරියන් දෙදෙනා ඉගෙනුම ලබන පාසල් දෙකේම විදුහල්පතිවරුන් මෙන්ම දැරියන්ට අකුරු කරවූ ගුරුවරියෝද මේ අවස්ථාවට එක් වූහ. ඒ සමඟම දැරියන්ගේ දෙමව්පියන් ඇතුළු ඥාතීන් පිරිසක්ද මේ අසිරිමත් අවස්ථාවට එක් වෙමින් කැනඩාවේ පදිංචි වීරසිංහ වෛද්‍ය යුවළට දිගාසිරි පැතුවේ කිසිවකුත් නොකළ මේ සද්කාර්යයේ වටිනාකම ඒ දෙමව්පියන්ට මහා මෙරක් තරම් වූ නිසාය.
හතර වරිගයකම නිවන් දක්නා චේතනාවෙන් කරනු ලබන අටමහා කුසලයකට වඩා වැඩි පින්කමක් සිදු කරගැනීමට වීරසිංහ යුවළට මින් අවස්ථාව ලැබිණ.
දැරියන් දෙදෙනාම කවදා හෝ ඔවුන්ගේ අධ්‍යාපනය අවසන් කරන තුරුම මුදලින් ආධාර කිරීමට වීරසිංහ වෛද්‍ය යුවළ සූදානම් නිසා ශිෂ්‍යාවන් දෙදෙනාගේ පවුල්වලට දැරීමට සිදුව තිබූ විශාල බරක් දුප්පත් මවුවරුන්ගේ පියවරුන්ගේ කරෙන් බිම තැබීමට හැකි වුණි.
වීරසිංහ වෛද්‍ය යුවළ මේ පරිත්‍යාගයන් සම්බන්ධයෙන් කිසිවක් කීමට කැමත්තක් නොදැක්වූයේ ඔවුන්ගේ පරිත්‍යාගය පරිත්‍යාගයක්ම මිස සංදර්ශනයක් නොවන නිසා විය යුතුය. නමුත් ඔවුන් ඒ උදාර පරිත්‍යාගය කළ පවුල්වල සමාජ වටපිටාව දෙස බලන විට ඒ දෙපළ විසින් උදව් උපකාර කිරීමට තෝරා ගනු ලැබ ඇත්තේ සුදුසුම පුද්ගලයන්ය.
බාලකුමාර් හරිතිකන් සුජා ශිෂ්‍යාවගේ මව වූ කාංචනා කතාව ආරම්භ කළේ දෑසේ ඉනූ සතුටු කඳුළෙන් යුතුවය.
“මගේ දුව ශිෂ්‍යත්වයට කියලා කොහේවත් පන්ති ගියේ නෑ. ඇත්තම කතාව කියනවනම් එහෙම පන්තියකට යවන්න අපිට සල්ලි නෑ. යනවනම් බස් එකේ තමයි යවන්න වෙන්නේ. ඒ ළමයව තනියම යවන්න බැහැ. මගේ මහත්තයා කරන්නේ රියදුරු රස්සාවක්. ඒකෙන් ලැබෙන පොඩි පඩියෙන් තමයි අපි ජීවත් වෙන්නේ.
දවසක්වත් වැඩට ගියේ නැත්නම් ඒකත් නැහැ. දුව ගෙදර ඇවිත් පාඩම් කළා. මහන්සි වුණා. අපි දැන් දුව හොඳට පාස් වුණා කියලා මහා ලොකු ඉස්කෝලෙකට දාන්න කල්පනාවක් නෑ. මේ ඉස්කෝලේ තියෙන්නේ පහේ පන්තියට විතරයි. ඉතින් අපට උදව්වක් ගන්න පුළුවන් තැනක තියන ඉස්කෝලෙකට දුව යවනවා. දුවගේ ටීචර් එක්ක අපි කතා කරලා ඒකට මොනවා හරි කරනවා.
මෙහෙම ඉන්නකොට තමයි හමුදාවේ මහත්තුරු කට්ටියක් ඇවිත් ළමයගේ විස්තර අරගෙන ගියේ, පහුවදා ඉස්කෝලේ ලොකු මහත්තයා පණිවුඩයක් එවලා තිබුණා ළමයින්ගේ දෙමව්පියන්ට එන්න කියලා. මහත්තයට රස්සාව දාලා ගියොත් පඩියක් නෑ. ඒක නිසා මම ගියා. අපේ දුවට උදව් කරන්න සිංහල නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා අප දැන ගත්තේ එතැනදියි.
දැන් මට තියෙන්නේ පුදූම සතුටක්. අපිට මෙහෙම උදව්වක් කරන්න අපේ කියලා කෙනෙක් නෑ. හිටියත් ඒ අය ඉරිසියාවට උදව් කරන්නේ නෑ.
මම මේ මහත්තයයි නෝනයි දෙන්නම දැක්ක වෙලාවේ ඉඳලා ලොකූ ගෞරවයකින් ඉන්නේ. ඒ දෙන්නා හරීම කරුණාවන්තයි.
මම දුවට කිව්වේ අම්මා තාත්තා වගේම හිතලා මේ දෙන්නට ගරු කරන්න කියලයි. කොච්චර ලොකු වුණත් මේ උපකාරෙවත් මේ දෙන්නවත් කවදාවත් අමතක කරන්න එපා කියලා මම කිව්වා.”
ඔවුනට මේ උපකාරය මහමෙරකි. සුජාගේ මව කීවා සේ අධ්‍යාපනයේදී තමන්ගේ පවුලේ ලේ නෑයෝ උදව් උපකාර කිරීමට බොහෝ සෙයින් මැළි වෙති. මේ හමුවේ අසරණ වන දුප්පත් දරුවන් බොහෝය.
“මගෙ ටීචර් මට ගොඩාක් ආදරෙයි. මේ ඉස්කෝලේ ඉන්න සේරම ළමයි දුප්පත්. ඒ අතරෙනුත් මම ගොඩාක් දුප්පත්. ටීචර් මට ඉගෙන ගන්න ගොඩාක් උදව් කළා. අඩුපාඩු සොයා දුන්නා. සමහර දාට කෑමත් දුන්නා. මගේ ටීචර් දැක්කාම කවදා හෝ ටීචර් කෙනෙක් වෙනවා කියා හිතුවත් අද ආපු හැම කෙනෙක්ම කිව්වේ හොඳට ඉගෙන ගෙන දොස්තර නෝනා කෙනෙක් වෙන්න කියලයි.”
සුජාගේ ගුරුවරිය මුත්තුකුමාර් ලෝගේස්වරී මෙනෙවියයි.
වවුනියාවේ ගණේෂපුරම් ගම්මානයේ පදිංචි ආර්. නිවර්ෂනා දියණියගේ පවුලේ තත්ත්වයද සුජාගේ පවුල හා සමානය.
“මමත් කොහොම හරි ඉගෙන ගෙන වෛද්‍යවරියක් වෙනවා” සිංහල වචන පටලවමින් ඇය පැවසුවාය.
එවැනි පරිසරයක දී යුද හමුදාව මගින් කැනඩාවේ වීරසිංහ වෛද්‍ය යුවළගේ ධන පරිත්‍යාගයෙන් කළ උපකාරය සියල්ලන්ගේම හදවත්හි නොමැකෙන සටහනක් වනු නොඅනුමානය.
රසුල දිල්හාරගමගේ