
කවුරු මොනවා කීවත් දරුවන් ගැන හැමදාම දුක් විඳින දෙමවුපිය සනුහරය ගැන ඔහුට ඇතිවන්නේ මහා දුකකි. සුදුමැණිකෙ නැන්දා මොනතරම් සැප සම්පත් මැද වුණත් ජීවත් වන්නේ සිතින් දැවී යමින්ය. ඒ සමඟම තමාගේ මෑණියන්, නිර්මලා මැණිකේ... ඇය ගැනත් ශ්‍රීමාල්ගේ හිත ඇතුළේ පැසවන්නේ පුදුමාකාර වේදනාවකි. ‘අම්මා පව්... අප්පච්චි කොහොම වෙතත්’ ඔහුගේ යටිහිත හැමවෙලේම මුරගා කීවේ එසේය.
රත්නපුර වලව්වට උදේ පාන්දරම ආ විදුලි පණිවිඩය අතට ගත්තේ මැගීය. ඇගේ අත් ගැහෙන්නට ගත්තේ පෙරදා රාත්‍රි මලින්ද බේබි හාමු ගෙදර ආවේ නැති බව මතක් වෙලාය. ඇය විදුලි පණිවිඩය රැගෙන සුදු මැණිකෙ හාමුගේ කාමරයට දිව්වේ කෑගසමිනි.
“කෝ... මොකෝ මේ... මැගී උඹ පණකඩාගෙන දුවන්නේ. හරියට ලෝකෙ පෙරළෙනවා වගේ නේ... මහත දෙහෙත සිරුර හොලවමින් දුවන මැගී ඇත්තටම මැව්වේ හිනායන දසුනකි.
“අනේ හාමු මහත්තයා... ටෙලිගිරැං එකක්.. මේ...”
සාලියේ හාන්සි පුටුවේ දිගෑදුණු ගොඩලියද්ද වහා විදුලිපුවත කියවයි. ඔහුගේ නළල රැලිගැන්වෙයි. ඉබේමට කෑගැසෙයි.
“නෙද්දකිං ඉතරක් වල් පාහරයා... ඌ මගේ නම්බුව කෑවා කෑවා... එහෙම පිටින්ම කෑවා!”
දැන් ගොඩලියද්ද හාමුට ඇස් පෙනෙන්නෙත් නැත. කන් ඇහෙන්නෙත් නැත.. ඔහු සෙල්පිළිමයක් වෙලාය. ඇස් දෙක ඔරවාගත්වනමය.
“ඇයි අනේ අපේ මහත්තයා මං ඔයැයිට කී සැරයක් නම් කතා කළාද? ඇයි මේ..?”
ඊළඟට හාමු ඇස් පියාගනියි. හාන්සිපුටුවේ වාඩිවී ඇස් පියාගෙන සිටින ගොඩලියද්ද හාමු දැක සුදු මැණිකෙ බියපත් වෙයි. දැන් මැගී එතැනට දුවගෙන එන්නේ තම ස්වාමිදුව වත්තම් කරගන්නටය. නමුත් ඇය එතැනට එන්නට කලින් බිම වැටී තිබෙන විදුලි පණිවිඩ කොළ කැබැල්ල ඇය දකී. එය අහුලාගෙන කියවන්නට හදද්දීම ගොඩලියද්ද මහා හඬින් කෑගසාගෙන පුටුවෙන් නැගී සිටියි.
******
නිවාඩුව සඳහා චන්ද්‍රානි ගෙදර එමින් සිටියේ හිතේ බොහොම සැහැල්ලුවෙන්ය. ජයේන්ද්‍ර අයියාගේ පුතාගේ හුරතල් මතක්වෙලා ඇය බසයට නගින්න කලින් සෙල්ලම්බඩු සාප්පුවකට ගොස් සෙල්ලම් බඩුවක් ගත්තේ හිතේ සැහැල්ලුවෙනි. දැන් ජයේන්ද්‍ර අයියාට ඉස්සරයට වඩා ආර්ථික පැත්තෙන් හොඳ තත්ත්වයක් ලැබී ඇති එක ගැනත් ඇයට සතුටුයි. නමුත් ගෙවල් ළඟ හන්දියේදී බසයෙන් බැස්ස චන්ද්‍රානිට හිටිගමන්ම ඇසුණේ අමුතු දෙබසකි.
“හ්ම්... ඔය එන්නෙ උඩ දම දම... කමලෝ. අපි අහලා තීන්නේ අප්ප කොළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගෙ පුතා කියලනෙ. එතකොට කියපං බලන්න... අම්ම කළදේ දූ නොකළොත්... ඒකිට කියන නම මොකක්ද බං...”
ඊළඟට අනෙක් ගැහැනිය පිළිතුරක් දෙනවා වෙනුවට ඇය ඉහලා සිටි කුඩය චන්ද්රානිගෙ ඇඟේ වදින ලෙස ඇකිළුවේ මුහුණ රකුසු කරගෙනය.
මුන්ට තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව.. අර අපේ අයියා කියන්නා වගේ. මුන්ගෙ දරුවන්ට විශ්වවිද්‍යාලෙ යන්න බැරි වුණාට මම පළියැ.. චන්ද්‍රානි එහෙම හිතා පාර පැන ගෙදරට යන ගුරුපාරට හැරුනේ ටිකක් හිත දෙගිඩියාවෙනි. පරිසරයම හරිම අමුතුවට දැනෙයි. කඩුල්ල පැනලා ගෙදරට එද්දිත් ගේ පැත්තේ හැලහොල්මනක් නැත. කුස්සියේ බංකුවක් උඩ වාඩිගත් අම්මා නිකටට අතතබා ගෙන බර කල්පනාවකට සිටියා, තමා එන බවවත් දන්නේ නැත.
“අම්මේ... මොකෝ.. මේ...?”
චන්ද්‍රානි, දුවගේ හඬින් ඇය තිගැස්සෙයි. වහා අත්දෙක ඇදිවත දෙපසින් පිසදාගෙන ඇය නැගිටින්නේ අමුතු විදියකටය.
“ආ.. දුවේ උඹ ආවද?”
“කෝ අම්මේ අප්පච්චි... දැන් සනීප වෙලා වැඩට යන්න ඇති නේද? කෝ අම්මේ වෙනදා මං එද්දි බූලාත් ඉස්සරහට එනවා. අද ඌටත් මාව අමතක වෙලාද?”
‘පුතේ මං උඹට බොන්න එත් එකක් හදන්නම්කො. ඇඳුම් මාරුකරගෙන වරෙං එහෙනම්... බූලා ඔහේ නිදි ඇති...”
“මොකක්ද අම්මේ වුණේ... අම්මා අද හරි අමුතුයි. අපේ ජයේන්ද්‍ර අයියගෙ කතන්දරේ දැන් ඉවරනෙ අම්මේ.. ඕකට දැන් ආයෙ මූණ එල්ලන් ඉන්න ඕනැ නෑනේ...”
ඒ එක්කම එතැනට ආපු ජයතිස්ස දඩාස් ගා
දර මිටියක් අතහැරියේ සද්ද නගමින්ය. එහෙම සද්දයක් දැම්මේ ටිකක් තරහින් වගේ යැයි චන්ද්‍රානිට සිතුණේ ඉබේටමය. ඇයට අම්මා ගැනත් අප්පච්චි ගැනත් ඇතිවුණේ දුකකි. පව්... මේ කර්කශ පරිසරයට වෙලා අනුන්ගෙ වතුවලට හිරවෙලා මෙයාලා ගත කරන ජීවිතේ මොනතරම් අතෘප්තිකරද? අප්පච්චිගේ විඩාපත් මුහුණත් ඇට පෑදී විශාල ගස් මුලක් සේ ඇති ගෙල පෙදෙසත් දෙස බැලූ ඇයට හිතුණා පමණි.
එවිටම එකවරටම ජයේන්ද්‍ර එතැනට ආවේ ශබ්දයක් නොනඟාමය.
“ආරංචි වුණා නංගි ආවයකියලා හන්දියෙදි. මම ජීප් එක එහෙමම හරවාගත්තා.. ආවා...! ඉතිං නංගි..?”
දැන් චන්ද්‍රලතා කුහුල් ඇස්වලින් තම පුත්‍රයා දෙස බලාගෙනය. නංගි මේ ආරංචිය දැනගත්තොත් මොකින් මොකක් වේවිද යන බය සහ කුකුස අම්මාගේ ඇස්වල තිබෙනු ඔහුට පෙනෙයි.
නමුත් ඊළඟ තත්පරයේදි සියල්ල වෙනස් වන්නට නියමිතව තිබුණා වගේය. හදිසියේ නාද වුණ තම ජංගම දුරකතනය කණට තබාගත් ඔහු කෑගෑවේය.
“මොනවා...!”
ඊළඟට ඔහු වහා දිව ගොස් ජීප් රියට නැගගෙන දුම්වළලු පිට කරමින් ඉගිළී ගියේ අම්මාත් දුවත් කට ඇරගෙන බලා සිටිද්දීය. චන්ද්‍රලතා දිග සුසුමක් ගත්තේ හිතේ සැහැල්ලුවෙන් නොව මහා බරකිනි.
******
එදා ඇමතුමක් දී තරංගා බඳිනවා කියා කීවාට මලින්ද අයියා මේ තරම් ඉක්මණට එය ක්‍රියාවට නංවාවියැයි ශ්‍රීමාල් කොහෙත්ම සිතුෙව් නැත.
“බලපං... අපේ මලින්ද අයියා... පුදුමාකාර හදිසි පියවරක්නෙ අරගෙන තියෙන්නෙ...”
“ඒක නම් ඇත්ත..බං.. කවුද හිතුවෙ මෙහෙම දෙයක්” ගොඩලියද්ද මාමා තමා වැඩේ කාගත්තෙ.. අර තරංගලාගෙ ගෙවල් පැත්තට මොන එහෙකට චණ්ඩි රැළක් යැව්වද... නිකං තුට්ටු දෙකේ බාල වැඩක් නේ කරලා තියෙන්නේ...”
“ඒත්... මං හිතුවෙ නෑ උඹලගෙ මලින්ද අයියා ඔයතරමට පුරුෂ ධෛර්යයෙන් වැඩ කරන කෙනෙක් කියලා කීයටවත්... බලපං... අදහන්න වටිනා පුරුෂ පරාණයක්නෙ උඹලගෙ ඔය මලින්ද අයියා.. උඹලගෙ පරම්පරාවෙ ‘ලේත්’ නරක නෑ නේ බං...”
උදාරත් පැත්තකින් ඉඳගෙන ඒ වාක්‍යය දැම්මේ සිරිනාතට ඇහැක් ඉඟිකරමින්ය. මේ බව ශ්‍රීමාල් දුටුවේ හොරැහිනි.
“මේ... උඹලා.. මට හින්ට් ගහනවා නේද? මට තේරෙනවා... ඒත් මේඛලාගෙ පැත්තෙන් බලද්දි උඹලට හිතෙන්න පුළුවන් මම මේවා ගැන එච්චර බරට - දුරට හිතන්නෙ නෑ කියලා. එහෙම නෑ බං.. මට ඒවා තේරෙනවා.. අපේ මලින්ද අයියාට උණත් ඔය වගේ හදිසිසම ඇක්ෂන් එකක් ගන්න ‘ගට්ස්’ ඇවිත් තියෙන්නෙ... තරංගා එයාට ගමේදි වෙච්ච අපහාසෙන් කළකිරිලා වහ බොන්න හදාවි කියන බයට...!”
“චෑ.. චෑ... චෑ... ඒක නම් බොහොම කැතයි. අන්න අන්න ඔතන තමා බං පහත්ගතිය තියෙන්නෙ... තමන් ලබාපු උතුම් මනුෂ්යාත්මෙ නහන්න කවුරු හරි හිතනවා නම් ඒක මහාම මහා තිරිසන් චණ්ඩාල වැඩක්.. එහෙම බලද්දි මට නම් තරංගා ගැන කිසිම පැහැදීමක් ඇතිවෙන්නෙ නෑ...”
ඊළඟට සංජය ය.
“එහෙම කියන්න එපා බං... ආදරේ ඉදිරියේදි ඕවා සාපේක්ෂයි. ඕවා දුරින් ඉඳන් කියලා හරියන්නෙ නෑ... තමුන්ටම වෙන්න ඕනෑ ප්‍රශ්නෙ ඇතුළට බැස්සාම තමා තේරෙන්නෙ...”
“මට තව බයක් තියෙනවා බං... අපේ මලයා ඉන්නවා නේද එයා මේ ආරංචිය මොන විදියට බාරගනීවිද කියලා.. එයත් ඒක ෂුවර් එකටම ආදර්ශෙට ගනීවි.. එයා ඒ තරමට ම කිපිලයි ඉන්නෙ වලව් මාන්නත් එක්ක.. ඒ කල්කිරියාවල් එක්ක..”
ශ්‍රීමාල් එසේ කතාව හමාර කළේ මලින්ද අයියාට නැවත කතාකොට ටිකක් ඔහු හමුවී වර්තමාන තත්වය සම්බන්ධව උදව්වක් කළ හැකිදැයි විමසිය යුතු යැයි හිතේ ධාරණය කරගෙනය. කොහොම වුණත් කවුරු මොනවා කීවත් දරුවන් ගැන හැමදාම දුක් විඳින දෙමාපිය සනුහරය ගැන ඔහුට ඇතිවන්නේ මහා දුකකි. සුදුමැණිකෙ නැන්දා මොනතරම් සැප සම්පත් මැද වුණත් ජීවත් වන්නේ සිතින් දැවී යමින්ය. ඒ සමඟම තමාගේ මෑණියන්, නිර්මලා මැණිකේ... ඇය ගැනත් ශ්‍රීමාල්ගේ හිත ඇතුලේ පැසවන්නේ පුදුමාකාර වේදනාවකි. ‘අම්මා පව්... අප්පච්චි කොහොම වෙතත්’ ඔහුගේ යටිහිත හැමවෙලේම මුරගා කීවේ එසේය.
*******
ගොඩලියද්ද මස්සිනාගෙන් ඇමතුම ලත් තැන් පටන් විල්ප්‍රඩ් රත්නසේකර ද හැසිරුණේ වියරුවෙන් වගේය.
“මොකක්ද අපේ මහත්තයා මේ ඒ පාර ගෝරණාඩුව.. දෙයියනේ මේවයෙ කෙළවරක් නැති හැටි...?”
මිදුල උදලුගාමින් සිටිය ජන්තුවා සියලු වැඩ නවත්වා ආලින්දය දිහා බැලුවේ මහ හාමු බස්තම උරුක්කරගෙන අමුතුම විදියේ නාට්‍ය ජවනිකාවක් රඟපානවා දැකලාය.
“අම්මපා... වෙඩිතියලා දාන්න ඕනැ ඕකුන්ට... වෙඩි තියලා.. හහ්...” ඔහු ආයෙ පපුව අල්ලාගෙන ඇඳි පුටුවේ දිගාවෙයි. ඔහු තම බිරිය දිහා බලන්නෙත් ඇස් ඔරවාගෙනය. හරියට ඇය වරදක් කළ ගානටය.
“හහ්.. අන්න අරූ.. ඔක්කෝම මූණවල්වල දැලි උලලා.. ඌ අරකිව කසාද බැඳලා.. ඔව් මලින්දයා.. ඌ... ගම කෑවා.. මහා නොසණ්ඩාලයා.. පරයා...බල්ලා.. ඌරා...!”
“ඒයි කුමාර බලපං.. අර මහ හාමු, සත්තුන්ගෙ නම් කිය කියා බණින්නෙ කාටද කියලා...!”
සිරියා, තම පුතා කුමාරව උසිගන්වන්නේ ඒ අතරේය. ජන්තු කුස්සියට එන්නේ ඇස් ලොකු කරගෙන නලළ රැලි කරගෙනය. ඒ එක්කම දකුණු අතේ ඇඟිලි දෙකක් තොල්මත තබාගෙනය.
“කෑගහන්න එපා.. දැන් පුදුම ජංජාලයක් වෙලා තියෙන්නෙ.. ආයෙමත් වලව් දෙකටම ගින්නක් ඇවිළිලා.. අර මලින්ද බේබි හාමු...! එයා.. අර අගෝරිස් කපුවා පාච්චල් කර කර හිටපු අර... පෙත්තරේ පැත්තෙ කෙල්ලව කසාද බැඳලා.. ඕං.. වහ කෑවා වගේ තමා... හත් දෙයියනේ...!”
සිරියා ඒ ආරංචියෙන් මුව අයාගෙන සිටිද්දී කුමාර කොලුවා දතකට පූට්ටුවෙලා වගේ බලා සිටියේය.
ලබන සතියට...