පොලිස්පතිවරයාගේ වගකීම | සිළුමිණ

පොලිස්පතිවරයාගේ වගකීම

දේශපාලන ඝාතන හා කුමන්ත්‍රණ පිළිබඳ ව සලකා බැලීමේදී දකුණු ආසියාවේ බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව තරමක් වාසනාවන්ත ය. එහෙත් එවැනි දුෂ්ට හා සාහසික ක්‍රියාවන්ගෙන් තොර වූ රටක් ලෙසට, අපට සාඩම්බර වීමට ද නොහැකිය. නිදහසින් පසු එවැනි දේශපාලන ඝාතන ගණනාවකට ද කුමන්ත්‍රණ කිහිපයකට ද රටක් ලෙස අප මුහුණ දී සිටීම ඊට හේතුවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණකාරී සැලැස්මක් තිබූ බවට තොරතුරක් හෙළි වීම කිසිසේත් ම නොතකා සිටිය හැකි කරුණක් නොවන්නේ ඒ නිසා ය.

ඒ පිළිබඳ ව ලැබෙන තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවේ රහස් පොලීසිය දැනටමත් සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. එමෙන්ම හෙළිදරව් වී ඇති තොරතුරු ද පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මෙන්ම ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නාලක සිල්වා මහතා අත්අඩංගුවට ගන්නා ලදී. අධිකරණය මඟින් ලබා දුන් නියෝගයක් අනුව ඔහු කල් ගෙවන්නේ රිමාන්ඩ් භාරයේ ය. ඔහුට අමතරව මේ ඝාතනය කුමන්ත්‍රණය සමඟ ඈඳී ඇති ඉන්දීය ජාතිකයකු ද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

එහෙත් අද වනවිටත් ඒ පිළිබඳ ව සෑහීමකට පත්විය නොහැකි ආකා‍රයේ කරුණු ගණනාවක් තිබේ. මේ ඝාතනය කුමන්ත්‍රණ පිළිබඳ ව මුලින් ම තොරතුරු හෙළිදරව් වූ අවස්ථාවේ මේ රටේ පැවැති ආණ්ඩුව ඒ පිළිබඳ ව ප්‍රමාණවත් අවධානයක් හෝ දැක්විය යුතු ප්‍රමුඛත්වයක් ලබා නොදීම ඉන් පළමුවැන්නයි. අද වන විට ඔවුන් ඒ සඳහා යම් පමණකට වන්දි ගෙවා ඇතත් එය ද කිසිසේත් ම ප්‍රමාණවත් නොවේ. මක්නිසාද යත් රටේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ සූදානමක් පිළිබඳ ව ලැබෙන තොරතුරක් ගැන ප්‍රමාණවත් අවධානයක්, ප්‍රමුඛතාවක් ලබා නොදීම අපරාධමය වරදක් වනවාට අමතරව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ලෙසට ද එය සැලකිය හැකි නිසා ය.

එය එතනින් ද නිම නොවේ. මේ බරපතළ ප්‍රශ්නය හමුවේ රටේ පොලිස්පතිවරයාගේ භූමිකාව ද බරපතළ ලෙස ප්‍රශ්න කළ යුතු තත්ත්වයක් අද වන විට මතු ව තිබේ. ඒ ඝාතන කුමන්ත්‍රණ සැලසුමට අදාළ ව ලැබී ඇති තොරතුරුවලට අනුව අවස්ථා ගණනාවක දී පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ රාජකාරි සීමා අන්තර්ගතවී තිබීම ඊට හේතුවයි. එහිදී මූලික වශයෙන් බරපතළ කරුණු දෙකක් පිළිබඳ ව පොලිස්පතිවරයා තමන්ගේ වන වගකීම රට හමුවේ මෙන් ම නීතිය ඉදිරියේදී ද තහවුරු කළ යුතු ව තිබේ. ජනපති ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරමින් සිටියේ යැයි කියන නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා රාජකාරි කරමින් සිටි ත්‍රස්ත විමර්ශනය ඒකකය සතුව තිබූ ස්නයිපර් වර්ගයේ අවියක් අතුරුදන් ව තිබීම ඊට එක් හේතුවකි. ස්නයිපර් යනු දුර සිට ඉලක්ක ගනිමින් පුද්ගල ඝාතන සිදු කළ හැකි අති සුවිශේෂ අවියකි. එමෙන්ම සාමාන්‍යයෙන් යුද ගැටුමකදී හෝ බරපතළ ගණයේ ත්‍රස්ත ක්‍රියාවකදී පමණක් ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගන්නා එල්.එම්.ජී. වර්ගයේ මෝටාර් දෙකක් නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා තම ඒකකයට ඉල්ලා තිබීම තවත් හේතුවකි.

මේවා පොලිස්පතිවරයා විසින් අදාළ පරීක්ෂණ හමුවේ පැහැදිලි කළ යුතු කරුණු ය. එහෙත් මේ වන විට වාර්තා වන තොරතුරු වලට අනුව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එකී වගකීමෙන් මඟ හැර සිටීමට උත්සාහ කරන ආකාරයක් පෙනී යයි. ඒ බව පැහැදිලි වන්නේ සිදු කරමින් පවතින පරීක්ෂණ කටයුතු වලට අදාළ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට කර ඇති දැනුම් දීමට මේ දක්වා ම කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා මඟ හැර ඇති බවට සාධක ඇති නිසා ය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන් සිදුවනු ඇත්තේ ඒ බව අධිකරණය වෙත වාර්තා කරන්නට ය; එසේ වාර්තා කර පොලිස්පතිවරයාගෙන් කට උත්තරයක් ලබා ගැනීම සඳහා නිසි අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ය. අපරාධ පරීක්ෂණ කටයුතු සඳහා සහය නොදෙන රටේ සාමාන්‍ය පුරවැසියකුට අදාළ ව එවැනි තත්ත්වයක් උදා වීම සාමාන්‍ය දෙයක් විය හැකි වුවත් රටේ පොලිස්පතිවරයාට අදාළව එවැනි ක්‍රියාමාර්ගයකට යොමු වීමට සිදුවීම පවා අසාමාන්‍යය ය; එමෙන්ම අතිශයින් බරපතළ ය. මක්නිසාදයත් අතිශය බරපතළ ගණයේ අපරාධ පරීක්ෂණයකට අදාළ ව සිදු කරන පරීක්ෂණ ක්‍රියාවලියකට සහාය නොදෙන පොලිස්පතිවර‍යකුගෙන් රටට වැඩක් නැති නිසා ය.

Comments