ගෙදරට වඩා හිරගෙදර සැපද | සිළුමිණ

ගෙදරට වඩා හිරගෙදර සැපද

"සිරගෙදර අමුතුය. ඇතැම් විටෙක හිරගෙදර නිලධාරීන්ට නැති හයියක් බලයක් ඇත්තේ හිරකරුවන්ටය. එනම් හිරගෙදර මෝරුන්ටය. තෝරුන්ටය. මෝරුන්ට තෝරුන්ට නිලධාරීන්ට වඩා දේශපාලන හයියක් ඇත."

“එල්ලුම් ගහට නියම වෙච්ච මිනිහට ජීවිතේ හෙටක් කියා දෙයක් නැත . ඔහුට මොනවා වුණත් එකය. ”

අපිට එහෙම හිතුණත් එල්ලුම් ගහට ගිය මිනිස්සුන්ටද දැන් දැන් ජීවිතයේ බලාපොරොත්තු ඇත. එය එසේ යැයි කියන්නට සිදුවුයේ ඉකුත් දා අගුණකොළපැළැස්ස බන්ධනාගාරයේ සිදු වූ පුද්ගල ඝාතනය සමඟ මතු වූ කතාබහත් සමඟය.

ඔවුහු මරණීය දණ්ඩනය නියම වූවෝය. කුමක් හෝ හේතුවක් නිසා දෙදෙනෙක් එකතු වී එක් අයකු මරා දැමූහ. එම පුද්ගලයා මරා දැමීමට හේතුව කුමක්දැයි කියන්නට කිසිවෙක් නොදනිති.

මියගිය පුද්ගලයා මීට කලකට පෙර මරණීය දණ්ඩනය නියම වූ අයෙකි. ඒ හෝකන්දර සය පුද්ගල ඝාතන සිද්ධියට වරදකරු වීමෙනි. ඔහු උතුරු හෝකන්දර පදිංචිව සිටි මේනක සංජීව නැමැති අයෙකි. එම සිරකරු මරා දැමූවේ යැයි චෝදනා ලැබ සිටින්නේ ද පුද්ගල ඝාතන දෙකකට වැරැදිකරුවන් වී මරණ දඬුවම නියම වී සිටින මෙනඩිස් හා නිමල් යන අයය.

කොන්ක්‍රීට් ගලකින් හිසට පහර දීම නිසා මේ මරණය සිදු වී ඇතැයි දැන ගන්නට තිබේ. එම ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන රැඳවියන් දෙදෙනා ප්‍රශ්න කිරීමේදි පවසා ඇත්තේ එවැනි අය ජීවත්ව සිටිය යුතු නැති නිසා මරා දැමූ බවය. තවත් විටෙක සැකකරුවන් පවසා ඇත්තේ කොළඹ බන්ධනාගාරයකට මාරු විය යුතු නිසා මෙම මිනීමැරුම කළ බවය.

මරණිය දණ්ඩනය නියම වූ රැඳවියන් රඳවා තැබෙන්නේ දැඩි ආරක්ෂාව යටතේය. එමෙන්ම ඔවුන් හිතෙන හිතෙන වේලාවට එළිමහනේ කරක් ගැසීමට බැරිය. සාමාන්‍යයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින රැඳවියෝ දෛනිකව ව්‍යායාම් කිරීම සඳහා පැය භායක් පමණක් එළියට ගනු ලබති. එවන් රැකවරණයක් තිබියදි මේ පුද්ගලයා මරා දමන තුරු බන්ධනාගාර ජේලර්ලා නිලධාරීන් සිටියේ කොහේද? මිනිමැරුම ගැන දැන ගන්නට ලැබුණ විට අපට මතු වූ ප්‍රශ්නය එයයි. අනෙක නම් මිනිසෙකු මරා දැමීමට තරම් තවත් මිනිසෙකුට ඇති අයිතිය කුමක්ද? විශේෂයෙන්ම ආරක්ෂාව යටතේ සිටින සිරකරුවකු එසේ මරා දැමුණේ කෙසේ ද? බන්ධනාගාර නිලධාරින් ද මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුව ඇත.

බන්ධනාගාරය යනු අමුතුම තැනකි. අද වන විට එය මේ සමාජය පිළිබඳ අපට වෙනස්ම කතාවක් කියන කැඩපතක් බඳුය. රටක ආණ්ඩු වෙනස් වු විට රාජ්‍ය ආයතනවල පාලනය සියල්ලට වෙනස් වේ. එය හිරගෙදරට ද බලපෑම් කරන්නේ යැයි කිවහොත් ඔබ විශ්වාස නොකරනු ඇත.

“ආණ්ඩුව මාරු වුණා කියලා හිරකාරයෝ පාටි දැම්මා කියලා ආරංචියක් තියෙනවා. ”

බන්ධනාගාර ආරංචි මාර්ගයක් පැවැසූවේය.

“ හිරකාරයෝ කොහොම ද පාටි දාන්නේ”

අපි එහෙම ඇහුවත් හිරකාරයෝ පුළුපුළුවන් ලෙසින් ආණ්ඩු මාරුවන සෑම විටම පාටි දැමූහ. තම සතුට භුක්ති වින්දහ. මේ සියල්ල සිදු වන්නෙ හොර රහසේය. හිරගෙදර කොතරම් ආරක්ෂාව තිබුණ ද හොර වැඩ ඕනෑ තරම් සිදු වේ. මේ හොර වැඩවලට නිලධාරීන්ගේගේ ද උදව් ලැබේ.

පසුගිය රජය විසින් හිරගෙදර දුෂණය මෙන්ම හිර ගෙදරට හොරබඩු ගෙන යෑම නතර කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරිණි. එහි පළමු පියවර වුයේ බන්ධනාගාර බුද්ධි අංශය විසුරුවා හැර ඒ අතරින් තෝරා ගන්නා ලද නිලධාරින්ට පුහුණුව ලබා දීමය. එමෙන්ම පිටතින් එන සිරකරුවන් හා නිලධාරීන් සෝදිසි කිරීමටත් , බන්ධනාගාර අවටත් පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් යෙදවීමය. මේ ලියන මොහොත වන විටත් බන්ධනාගාරයේ ආරක්ෂාව, සෝදිසි කිරිම් කෙරෙන්නේ බුද්ධි අංශයේ නිලධාරින් විසිනි.

සිරගෙදර අමුතුය. ඇතැම් විටෙක හිරගෙදර නිලධාරීන්ට නැති හයියක් බලයක් ඇත්තේ හිරකරුවන්ටය. එනම් හිරගෙදර මෝරුන්ටය. තෝරුන්ටය. මෝරුන්ට තෝරුන්ට නිලධාරීන්ට වඩා දේශපාලන හයියක් ඇත . මේ නිසා රජයක් මාරු වන විට හිරගෙදර වාට්ටු ඇතුළේ සිටින හිරකරුවන්ගේ බලය ද මාරුවේ. යමෙකු නීතිය විසින් වැරදිකරුකර බන්ධනාගාර ගතකිරීමේදි ඔහුට සියලු අයිතිවාසිකම් අහිමි වේ. දඬුවම් නියම වූ සිරකරුට තම මඟුල් මුද්දවත් ළඟ තබාගැනීමට අයිතියක් නැත. මරණීය දඩුවම නියම වූ විට ඔහු නිකම්ම නිකම් නොම්බරයක් පමණි. එහෙත් නොම්බරයක් පමණක් වූ හිරකරුවන් මෙසේ බලවත් වන්නේ කොහොමද? “ අපි බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැඳුණ කාලේ දැන් වගේ සෙල්ලම් නැහැ. නිලධාරීන්ට හිරකාරයෝ ගරු කළා. නිලධාරින් බොහෝම අවංකව තම රාජකාරිය කෙරුවා. නමුත් දැන් ඒ තත්වය වෙනස් වෙලා. මේ තත්ත්වය වෙනස් වෙන්න ගත්තේ හැත්තෑව දශකයේ අගභාගයේදී විතර. දැන්නම් ඉතිං දේශපාලනඥයන්ට ඕන විදිහටනේ හිරගෙදර ඉන්න හිරකාරයෝ වැඩ කරන්නේ.”

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බන්ධානාගාර නිලධාරියෙකු පැවැසුවේ එසේය.

හිරගෙදර යනු පුවත් මවන තැනකි. හිරගෙදර යනු වෙනනම සංස්කෘතියකි. එහි වාට්ටු ඇතුළේ සියල්ල සිදු වන්නේ හිරකාරයන්ට ඔනෑ හැටියටය. පක්ෂ මාරුවෙමින් විවධ රජයන් බලයට පත්වන විට ඇතුළේ රැඳවියෝද බලය අල්ලා ගනිති. එසේ බලය අල්ලා ගන්නා රැඳවියෝ එළියේ සිටින හිතවතුන් සමඟ සම්බන්ධ වී කුමන ක්‍රමයකට හෝ පාතාලය ද මෙහෙයවති. එ් නිසා කාලෙන් කාලෙට අපිට පාතාලයේ නම් ඇසෙන්නට පටන් ගනී. පාතාල කල්ලි අතර ගැටුම්වලදි මියයන අය, එම ගැටුම් පිළිබඳ යම් විශ්ලේෂණයක් කළහොත් ඔවුගේ පක්ෂ කුමක්දැයි කියා සොයා ගිය විට මේ කියන කතාව ඔබට වඩ වඩාත් හොදින් තහවුරු වනු ඇත.

අද දේශපානඥයන්ට තම පවුලේ ඥාති හිතවතුන් හැරුණ විට ඔවුන්ගේ ඊළඟ සමිපතමයා වන්නේ හයිකාරයෝය, පාතාලකාරයෝය. අතීතය දෙස විමසා බැලීමේදි විටින් විට බලය මාරුවීමේදි අපරාධකාරයන්ට නිදහස ලැබුණ හැටි දන්නෝ දනිති.

“කොහොමත් තම තමන්ට හිතවත් චණ්ඩි හිරේ ආවාම ඔවුන්ගේ හිතවත් දේශපාලනඥයෝ මේ අය බලන්න හිරේ ඇවිල්ලා තියෙනවා. සමහරු නම් නීතියට අත පොවන්න එන්නේ නැහැ. ඒත් හිරගෙදර ඉන්න හිරකාරයෝ නම් බලවත් කියලා මේක ඇතුළේ කාලයක් තිස්සේ ඉන්න අපි නම් අත්දැකීමෙන්ම දන්නවා. ”

බන්ධනාගාර නිලධාරියකුගේ අදහස එසේය‍.

හිරගෙදරට ඇති ලොකුම ප්‍රශ්නය නම් මත්ද්‍රව්‍යයි. උසාවි ගිහින් එන විට ද එහෙමත් නැත්තම් කොහේ හෝ බත්පැකට් එකේ පාන් භාගයේ , මාළු මිරිස් කරලේ හෝ සඟවාගෙන හිරගෙදරට කුඩුගෙන ඒම කාලයක් තිස්සේම සිදුවන්නකි. ඇතැම් විටෙක තොප්පියේ හෝ පාවහන්වල සඟවාගෙන ද ඇතැම් නිලධාරිහු හිරගෙදර ඇතුළට කුඩු ගෙන ගියේය. එමෙන්ම වනාතමුල්ල සීවලිපුර තාප්පයෙන් එහා මෙහා කුඩු පැකට් විසි වෙන අවස්ථාද වේ. කුමන ක්‍රියාමාර්ග ගත්ත ද හිරගෙදර කුඩු නැති කිරීම අසීරුය. එය එසේ අසීරු වන්නේ රටේ කොතැන හෝ කුඩු තිබෙන නිසාය.

කලක් හිර ගෙදර කුඩු පැකට් එකක මිල ඉහළ ගියේය. එය එසේ වූයේ රටේ කුඩු අඩු වූ නිසාය. රටේ කුඩු වෙළෙදාම නැති කරන තුරු හිරගෙදර ද කුඩු නැති කිරීමට බැරිය. කලක් හිරගෙදර හොර බඩු එනම් කුඩු , ජංගම දුරකථන ඒම වැළැක්වීමට පොලිස් ආරක්ෂාව, ත්‍රිවිධ හමුදා ආරක්ෂාව යෙදවීය. එයද කලක් යන විට අසාර්ථක විය. මන්ද ඒ නිලධාරින් ද අරක්කු බෝතලයට, කාන්නාවන්ට මුදලට වහවැටීමය.

අන්තිමට හිරගෙදර දෙස බලා සිටින්නන්ට කියන්නට සිදුවූයේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියාය. හාමුදුරුවන් යැයි කියූ විට සිහිපත් වන්නේ හිරගෙදරට දඬුවම් ලැබී පැමිණෙන භික්ෂුන් වහන්සේ ගැනය. කාගෙත් කතාව හාමුදුරුවන් ජම්පරය අඳිනවා ද නැද්ද යන්න කියාය.

නීතිය නම් කාටත් පොදුය. බන්ධනාගාර ගතවන විට පොදු ඇඳුම වන්නේ ජම්පරයයි. නමුත් පහුගිය කාලයේ කවුරුත් කතා වූයේ ජම්පරය ද නැති නම් සිවුර ද කියාය. නමුදු දඬුවම් ලැබූ භික්ෂුන් වහන්සේ නමක තවමත් සිටින්නේ චීවරය හැඳය. දැන් මේ ප්‍රශ්නය විසදීම භාර දී ඇත්තේ බන්ධනාගාර අමාත්‍යාංශයටය. එය ලිඛිතව දැනුම් දී ඇත. එහෙත් මාස කිහිපයක් ගතවී තිබුණ ද තවම ඊට නිසි පිළිතුරක් ලැබී නැත.

හිරගෙදරට දඬුවම් ලබා පැමිණෙන බලපුළුවන්කාරයෝ ලෙඩ වෙති. එවිට ඔවුන් උසාවියෙන් කෙළින්ම යන්නේ බන්ධනාගාර රෝහලටය නැති නම් රජයේ රෝහලටය. ඇතැම් විට මේ රෝගී තත්ත්වයන් සත්‍ය ද යන්න ජනතාවට ඇති ප්‍රශ්නයයි. කොහොම වුණත් ලොකු මිනිසුන්ට පමණක් නොව පොඩි මිනිස්සු ද හිරේ පැමිණි විට ලෙඩ වෙති. වනාතමුල්ල සීවලිපුර මෙන්ම කොළඹ අවට සිල්ලර ගණන්කාරයන්ගේ දත් අමාරු හොඳ කර ගන්නට, දත් පුරවන්නට , ගලවන්නට, ඇස් නොපෙනීමට ප්‍රතිකාර කරන්නට, කන්නාඩි ගන්නට, දියවැඩියාව ,අධි රුධිරපීඩනය ආදි රෝගයන්ට ප්‍රතිකාර ගන්නේද හිරගෙදර පැමිණි විටය. ඒ හැමදේම නොමිලේ පෝලිම්වල නොසිට පිළිවෙළකට බෙහෙත් ගැනීමට ලැබීමය. වෙනසකට ඇත්තේ අත්දෙකට මාංචු දමාගෙන නිලධාරි ආරක්ෂාව යටතේ බෙහෙත් ගැනීමට යෑම පමණි.

“ගෙදරට වඩා හිරගෙදර සැපයි ”

හිරකාරයන් එසේ කියනවා ඇත්තේ වේලාවට කන්න බොන්න නාන්න මෙන්ම බෙහෙත් ටික ද පිළිවෙළකට ලැබෙන නිසා ය. මේ සියල්ලටම වියදම් වන්නේ රජයේ මුදල්ය. දිනෙන් දින හිරගෙදර තදබදය ද වැඩිවෙමින් පවතී. එහෙත් සිරකරුවෝද මනුෂ්‍යයෝය.

 

Comments