තන්තිරිමලේ ඉතිහාසය විකෘති කළ ඓතිහාසික වැරැද්දක්ද? | සිළුමිණ

තන්තිරිමලේ ඉතිහාසය විකෘති කළ ඓතිහාසික වැරැද්දක්ද?

උතුරු-මැද පළාතේ විලච්චි කෝරලයේ කඩවත් තුලානෙහි මල්වතු ඔයට නුදුරුව, මන්නාරම කරා යන මාර්ගය අසල අනුරාධපුරයේ සිට කිමී 40ක් පමණ වයඹ දෙසින් පිහිටි ‘තන්තිරිමලේ’ පුදබිම වර්තමානයේ බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබන්නේ ශ්‍රී මහා බෝධිය හා බැඳුණු ‘පුරාණ තිවක්ක බමුණු ගම’ වශයෙනි. මේ ලිපිය එය සාවද්‍ය නිර්ණයක් බව තහවුරු කරන්නට ගත් ප්‍රයත්නයකි.

ශ්‍රී ලංකාවේ පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේදී යම් යම් ඓතිහාසික සිද්ධීන්ට අදාළ ස්ථාන නිවැරදිව හඳුනාගැනීම අත්‍යවශ්‍ය වේ. වංශකතාවල හා ශිලාලිපිවල නම් වශයෙන් සඳහන් වන සමහර බොහෝ පුරාණ ස්ථානවල නිශ්චිත පිහිටීම තවමත් නිසි පරිදි තහවුරු කරගෙන නැත. රජරට ශිෂ්ටාචාර සමයේ පුරාණ ස්ථාන හඳුනාගැනීමෙහිලා බොහෝ උගතුන් විසින් අධ්‍යයනයන් කර ඇති අතර, ඒ අතුරින් සී.ඩබ්ලිව්. නිකලස් විසින් කරන ලද ‘පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය’ නම් අධ්‍යයනය සුවිශේෂ වැදගත් කමක් දරයි (Journal of the Ceylon Branch of the Royal Asiatic Society; New Series, Vol. xxi, 1979). මේ ලිපියේද අරමුණ ක්‍රිස්තු පූර්ව සමයේ සිට ක්‍රියාත්මක වූ එවැනි එක් ස්ථානයක් නිවැරදි සාක්ෂ්‍ය ඔස්සේ නිවැරදිව හඳුනාගැනීමයි.

ඒ ස්ථානය නම් තන්තිරිමලේය. උතුරු-මැද පළාතේ විලච්චි කෝරලයේ කඩවත් තුලානෙහි උස් පර්වත සහිත භූමියක, අනුරාධපුරයේ සිට කිමී 40ක් පමණ වයඹ දෙසින්, මල්වතු ඔයට නුදුරුව, මන්නාරම (පුරාණ මහාතිත්ථ) කරා යන මාර්ගය අසල තන්තිරිමලේ පිහිටියේය.

මහාවංශයෙහි දඹකොළපටුනේ සිට ශ්‍රී මහා බෝධිය රැගෙන එන විට වඩා තැබූ ස්ථානයක් ලෙස තිවක්ක බමුණු ගම්දොර දැක්වෙන අතර, වර්තමානයේ සමහර උගතුන් තන්තිරිමලේ හඳුනාගෙන ඇත්තේ මේ තිවක්ක බමුණු ගම ලෙසය. නිදසුනක් ලෙස: මහාචාර්ය ජේ බී දිසානායකගේ ‘සිංහල වෙහෙර විහාර’ නම් ග්‍රන්ථයේ දැක්වෙන ‘එදා තිවක්ක බමුණුගම අද හැඳින්වෙන්නේ තන්තිරිමලේ නමිනි’ හා ‘මෙහි බෝධි ප්‍රාකාරය අසල තිවක බමණ ගම අටපල බෝ යනුවෙන් සඳහන් සෙල්ලිපියක්ද වේ’ යන ප්‍රකාශ දැක්විය හැකිය. මේ ආශ්‍රයෙන් හෝ වෙනත් මූලාශ්‍රය මත හෝ කළ එවැනි තවත් වෙනත් ප්‍රකාශද දක්නට ඇත. මෙය තවත් දුරදිග ගොස්, වර්තමානයේ එම ස්ථානයේ එය අෂ්ටඵල බෝධිය බවටත්, තිවක්ක බමුණුගම බවටත් දැන්වීම් පුවරුද යොදා ඇත.

අෂ්ටඵල ‍බෝධි සිටුවූ තැන්...

ක්‍රිපූ 250-249 සමයේ සංඝමිත්තා තෙරණිය බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධි ශාඛාවක් අනුරපුරයට වැඩම කරවීම දීපවංශ, මහාවංශ, සමන්තපාසාදිකා, ආදි ග්‍රන්ථවල සංක්ෂිප්තව සඳහන් වන අතර එම බෝධීන් වහන්සේගේ ඉතිහාසය ලියා තැබීමට බෝධිවංසට්ඨකථා, මහාබෝධිවංසො, මහාබෝධිවංස ග්‍රන්ථිපද විවරණය, ධර්මප්‍රදීපිකාව, සිංහල බෝධිවංශ සුළු බෝධිවංශය ආදි වශයෙන් තවත් ග්‍රන්ථ කීපයක්ම රචනා වීය. ඒ සම්බන්ධව දැනට ශේෂව ඇති පැරණිතම ග්‍රන්ථ වන මහාබෝධිවංසය මෙන්ම මහාබෝධිවංශ ග්‍රන්ථිපදයේද, ඉහත කී සෙසු ඓතිහාසික වංශකතාවලද සඟමිත් තෙරණිය වඩමවාගෙන ආ බෝධි ශාඛාව අනුරාධපුර මහමෙව්නාවේ රෝපණය කිරීමෙන් පසු එකල්හිම එහි එක් ඵලයකින් (බීජ) හටගත් අෂ්ට ඵල බෝධි 1. ඉසුරුමුණි විහාරය (වර්තමාන වෙස්සගිරිය), 2. ථූපාරාමය (බෝධිඝරය දැනට සොයාගෙන ඇත), 3. පඨමක චේතිය විහාරය (අනුරාධපුර නැගෙනහිර දොරටුවට පිටතින්), 4. සෑගිරිය, 5. රුහුණේ ක්ෂත්‍රීය ගාම, 6. චන්දන ගාම, 7. ජම්බුකෝළ පට්ටන (බෝධිය රැගෙන ගොඩබට තීර්ථය), 8. තිවක්ක බමුණුගම යන ස්ථානවල රෝපණය කළ බව සඳහන්ය.

මහාබෝධි වංශයේ දෙතිස් ඵල බෝධි රෝපණය කළ ස්ථාන නාම සඳහන්ව නැතත්, කුරුණෑගල සතරවන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ (ක්‍රිව 1302- 1326) රචිත සිංහල බෝධිවංශයේ ඉතිරි පල සතරින් හටගත් දෙතිස් පල බෝධි හා ඒවා රෝපණය කළ ස්ථාන 32ක නම් සඳහන්ය. පාලි මහා බෝධිවංසයේ ඵලරුහ බෝධි පිළිබඳ සඳහන් වන්නේ “තේස ඒකං බෝධි රුක්ඛං ආගමන කාලේ මහාබෝධියා ඨීතඨානේ ජම්බුකෝළපට්ටනේ රෝපාපේසි එකං තවක්ක බ්‍රාහ්මණගාමේ ඒකං ථුපාරාමේ එකං ඉස්සරසමණාරාමේ ඒකං පඨමකචේතියඨානේ ඒකං චේතිය පබ්බතේ ඒකං රෝහණ ජනපදස්ස කාජරයාමේ ඒකං තත්ථේව වන්දනගාමේ රෝපාපේසි තස්ස ඉතරේයං පන චතුන්නං ඵලානං බීජේහි ජාතෙ ළුත්තිංසතරුණ මහාබෝධි පාදපේ සමන්තා දීපවාසිනං හිතාය සුඛාය යෝජනේ විහාරේ පතිඨාපේසි” යනුවෙනි. මෙහි අවසාන වාක්‍යයෙන් කියවෙන්නේ අෂ්ටඵල බෝධි හටගත් බීජය හැර ඉතිරි බීජ සතරතික් තරුණ බෝධි 32ක් හටගත් බවත්, ඒවා සියලු දීපවාසීන්ගේ හිතසුව පිණිස යොදුනෙන් යොදුන විහාරවල සිටුවූ බවත්ය. ඒ හැර එහි 32ක් ස්ථාන නාම දක්වා නැත.

දෙතිස් ඵල බෝධි සිටුවූ තැන්...

සිංහල බෝධිවංශයේ මේ දෙතිස්ඵල බෝධි රෝපණය කළ ස්ථාන නාමලේඛනය සඳහන් වන්නේ අෂ්ටඵල බෝධි රෝපණය හා එම ස්ථානද සඳහන් කරන අතරේය. එහි අෂ්ටඵල බෝ රෝපණය කළ ස්ථානයන් ලෙස තිවක්ක බමුණුගමත්, ඒ සමඟම දක්වන විස්තරයේ දෙතිස්ඵල බෝ රෝපණය කළ ස්ථානයක් ලෙස ‘තන්ත්‍රිමාල’ යන ස්ථානයත් සඳහන්ය.

ඒ දෙතිස් ඵල බෝධි සිටුවූ ස්ථාන නාම මෙසේය: 1. මල්වැස්සා වෙහෙර, 2. තන්ත්‍රිමාල, 3. මුහුදුබඩ මහාජල්ලික නම් කෙවුල්ගම, 4. කොට්ටියාරම, 5. පොලොන්නරුව, 6. මාතලේ රුසිගම, 7. මාගම, 8. විල්වල, 9. මහියංගණය, 10. සේරුවිල අසල විල්ගම්වෙහෙර, 11. මුතියංගණය, 12. බුත්තල හප්පෝරු වෙහෙර, 13. සිතුල්පව්ව, 14. තංගලු වෙහෙරට බටහිර වනවාස වෙහෙර, 15. වැලිගම, 16. පරගොඩ, 17. මැද්දෙගම, 18. ගණේගම, 19. කොත්මලේ පුසුල්පිටිය, 20. මායාරට වතුර, 21. බෙලිගල, 22. පැපිලියාන, 23. බෙල්ලන්විල, 24. වඳුරව, 25. වට්ටාරම, 26. සුදුගල්ල, 27. රැස්වෙහෙර, 28. කටියාව, 29. ගිරිබා වෙහෙර, 30. යාපහුව, 31. කසාගලු වෙහෙර, 32. ඇඹලව රහත්ගල් වෙහෙර යනුයි.

ඒ අනුව එකම කතුවරයා විසින් එකම ග්‍රන්ථයක එකම තැනක තිවක්ක බමුණුගමත්, තන්ත්‍රිමාලයත් (තන්තිරිමලේ) ස්ථාන දෙකක් වශයෙන් ගෙන, එම ස්ථානවල බෝධි දෙකක් රෝපණය කළ බවත් රෝපණය කළේ කුමන බෝධියක්ද යන්නත් නිරවුල්ව සඳහන් කර තිබේ. එනම්: තිවක්ක බමුණු ගමෙහි අටපල බෝධියක්ද තන්තිරිමලේ දෙතිස්ඵල බෝධියක්ද වශයෙනි.

ඒ අනුව සමහරුන් විසින් තහවුරු කරගත හැකි සාක්ෂ්‍යයකින් ‍තොරව තන්තිරිමලේ නමින් පසුකාලයක ව්‍යවහාරයට පත්ව ඇත්තේ තිවක්ක බමුණුගමයැයි සඳහන් කරන ප්‍රකාශවල වලංගුතාවක් නැති බව සනාථ වේ. තන්තිරිමලේට තරමක් දුරින් මල්වතු ඔයට කනදරා ඔය සම්බන්ධ වීමත්, එහි සිට බැලූ කල මල්වතු ඔය වක් වී යන හෙයින් තිවංක හෙවත් තිවක්ක වූ බවත් සමහරුන් අදහස් කර ඇතත්, පුරාණයේ අනුරාධගාම, උපතිස්සගාම ආදි වශයෙන් ඒ ඒ ප්‍රදේශය ජනාවාස කළ හෝ ප්‍රධානයාව සිටි නම් ඇසුරෙන් ග්‍රාම නාම යෙදීම අනුව මෙයද තිවක්ක බ්‍රාහ්මණයා නමින් නම් කළ බව සැලකීම වඩා යෝග්‍යය.

තන්තිරිමලේ අද ඇත්තේ දෙතිස්පල බෝධියද?

සිංහල බෝධිවංශයේ වුවද සඳහන් වන තන්තිරිමලේ තිබූ බෝධිය මේ ප්‍රදේශය මනුෂ්‍ය වාසයෙන් තොරව තිබූ සමයේ විනාශ වන්නට ඇති බව පිළිගත හැක්කේ අෂ්ටඵල බෝධි රෝපණය කළ ථූපාරාමය, ඉසුරුමුනිය (නූතන වෙස්සගිරිය), පඨමක චේති ඇතුළු අනෙකුත් බොහෝ ස්ථානවල ඒ මුල් බෝධි අද විනාශව ගොස් ඇති බැවිනි. තන්තිරිමලේ දැනට ඇති බෝධිය පිළිබඳ ලිඛිත ඉතිහාසයද ඉතා මෑත කාලීන ප්‍රබන්ධද අධ්‍යයනය කිරීමෙන් මෙහි නිවැරදි ඉතිහාසය අනාවරණය කරගත හැකිය.

තන්තිරිමලය නටබුන්ව ගිය පුරාණ විහාරභූමිය පිළිබඳව මෑත කාලයේ ප්‍රථම වරට වාර්තා කරන්නේ උතුරුමැද පළාතේ සේවය කළ ඉංග්‍රීසි නිලධාරීන් විසිනි. පුරාවිද්‍යාත්මක වශයෙන් මෙහි ශේෂව ඇති ස්මාරක පිළිබඳ දීර්ඝ ලිපියක් රාජකීය ආසියාතික සමිතිය (ලංකා ශාඛාව) සඟරාව ii වෙළුමට සපයන්නේ 1883 පමණ මේ ස්ථානයේ සතියක් පමණ රැඳී සිටිමින් භූමිය අධ්‍යයනය කළ ජෝන් ස්ටීල් විසිනි. ඔහු පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි එච්සීපී බෙල් මහතාගේ සහායක නිලධාරියා වීය. ඒ මහතා විසින් මෙහි ඇති පධානඝර ලෙන් හා ප්‍රාග් ඓතිහාසික ගුහා චිත්‍රද අවට පරිසරය ආදියද අනිකුත් සියලු නටබුන්ද විස්තර සහිතව ඉදිරිපත් කර ඇත. මෙහි ඇති සැතපෙන පිළිමය, සමාධි බුදු පිළිමය, පොත්ගුල ආදියද විස්තර කරන ඔහු පර්වත මුදුනේම ඇත්තේ දාගැබ බව දක්වයි. තන්තිරිමලෙන් මෑතකාලීනව සොයාගත් ක්‍රිව 9 වන සියවසට අයත් ටැම්ලිපිය හැර එහි වූ බ්‍රාහ්මී ලිපිද, පොත්ගුලේ ගල්පුවරු මත ඇති අක්ෂර කියවා ඔහු ඒ ලිපිවල අර්ථද දක්වා ඇත. එහෙත් අද මතුපිටම දක්නට ඇති ‘අටපල බෝ තවක බමුණුගම...’ යනාදි වශයෙන් පවසන ලිපියත් ඔහු විසින් වාර්තා කර නැත; බෝධියක් ගැන වාර්තා කරන්නේද නැත.

1896දී පුරාවිද්‍යා සමීක්ෂණ වාර්තාවේ තන්තිරිමලේ පිළිබඳ සඳහන් කරන පුරාවිද්‍යා කොමසාරිස් එච්සීපී බෙල් ද එහි සැතපෙන සමාධි බුදුපිළිම, පොත්ගුල, දාගැබ ආදිය සඳහන් කරතත් ඓතිහාසික වශයෙන් සැලකිය හැකි තන්තිරිමලේ පිහිටි බෝධියක් ගැන කිසිදු සඳහනක් නොකරයි. තවද 1873-1906 දක්වා කාලයේ උතුරුමැද පළාතේ සේවය කළ හෙන්රි පාකර් මහතාද තන්තිරිමලේ දාගැබ හා එහි ගඩොළු පිළිබඳ විමර්ශනය කරමින් ක්‍රිව 1-2 කාලයට අයත් විය හැකියැයි සඳහන් කර ඇතද බෝධියක් ගැන කිසිදු සඳහනක් නැත.

පසුව සිටුවූ බෝ තුර කුමක්ද?

පුරාවිද්‍යා කොමසාරිස් වශයෙන් සේවය කළ ඒඇම් හෝකාර්ට් ද 1923 දී රාජකීය ආසියාතික සමිතිය (ලංකා ශාඛාව) සඟරාවට තන්තිරිමලේ පිළිබඳ ලිපියක් සපයා ඇතත් ඉපැරණි බෝධියක් පිළිබඳ එහි කිසිදු සඳහනක් කර නැත. එහෙත් පුරාවිද්‍යා කොමසාරිස් වශයෙන් කටයුතු කළ ආචාර්ය රාජා එච් ද සිල්වා 1978 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස්ගේ පාලන වාර්තාවේ 19-20 පිටුවල මේ සම්බන්ධව වැදගත් විස්තරයක් ඉදිරිපත් කර තිබේ. එය මෙසේය:

“පුළුල්ව පැතිරුණ ගල් පව්ව මුදුණේ වූ දාගැබ් බිමේ කැණීම් හා තහවුරු කිරීම් කටයුතු කරගෙන යන ලදි. ස්මාරකයේ වැඩෙමින් තිබෙන පැරණි බෝ ගස ගැන එම ස්ථානයට පැමිණි සහකාර දිසාපතිවරුන් දෙදෙනකුගේ දිනපොත්වල 1883, 1886 වර්ෂ සටහන්ව තිබේ. ගල් පව්වේ දකුණු පාමුල ඇති අලුත් විහාරයේ ස්වාමීන් වහන්සේ මේ බෝධිය ගැන වැරදි වැටහීමකින් එහි ඇති පැරණි ස්මාරකය (දාගැබ) බෝධි කොටුවේ නටබුන් ලෙසට දැන්වීම් පුවරුවක් මඟින් පෙන්වා දී තිබේ. මේ බිම ගැන සඳහන් පැරණි ලේඛන අනුවත් මේ කන්ද මුදනේ දාගැබක් වූ බැව් පැහැදිලි වේ. දාගැබ ගොඩනගා ඇත්තේ ගල් පව්ව මතය. මෙහි මළුවට ඡත්‍ර ගල් යොදා සීමා තාප්පය කළුගලින් බැඳ තිබේ. සතර දිශාවෙන්ම ඇතුළු වීමේ ස්ථාන යොදා තිබුණි. මළුවට පස් පුරවා සක්කා ආධාරක බැම්මක් බැඳ තිබේ. මේ නිසා දාගැබ ඉදිකොට ඇත්තේ මෙසේ කෘත්‍රිමව සාදාගත් මඵව මත යැයි බැලූබැල්මට වැරදි වැටහීමක් ඇතිවේ. ගල මුදුනේ සිට සතර පැත්තෙන්ම දළ බෑවුම් ඇති නිසා මළුව සහ මුදුණ සමතලා කරගැනීම සඳහා මෙසේ පස් පිරවීම කර තිබේ. සක්කා ආධාරක බැම්ම ගරා වැටී ඇති නිසා එය තහවුරු කිරීම අරඹන ලදි. දාගැබ පාදමේ එයට නැගෙනහිර පසවූ ආකෘතියක් කැණීම් කිරීමේදී එය මෙවැනි ස්ථානවල අනුරාධපුර සහ එයට පසුකාලීන යුගයන්ට අයත් අංගයක් වන කුඩා පිළිමගෙයක් හඳුනාගෙන තිබේ. දාගැබේ ගර්භය නිරාවරණය ඉතිරිව ඇති අතර පාදාගත් කොටස තහවුරු කිරීමට පටන්ගෙන තිබේ.”

මේ ප්‍රකාශය තවදුරටත් සනාථ වන්නේ මන්නාරමේ රජයේ සහකාර ඒජන්ත එස් හෆ්ටන්ගේ (S Haugton) දිනපොතේ 1883 ජූලි 15 දින සඳහනේ “පහත කැලයෙන් ගෙනෙන ලද පස් මත රෝපණය කරන ලද බෝ ගසක් සහිත දාගැබක් පර්වතයේ උසම ස්ථානයේ ඇත” ලියා තිබීමය (On the highest point of the rock are the remains of a dagaba with a bo-tree planted in earth brought up from the jungle below, JRAS, CB xxii. p 90). මේ අනුව පෙනී යන්නේ තන්තිරිමලේ පර්වත මුදුනේ 1883 වන විට ගරා වැටී තිබූ ස්තූපය මත පස් ගෙනවුත් දමා කිසිවකු විසින් බෝ පැළයක් රෝපණය කර ඇති බවකි. 1886 අගෝසතු 23 දින මන්නාරමේ රජයේ උපදිසාපති ඩබ්ලිව්ජේඑස් බෝක් (Boake) ද දිනපොතේ සඳහන් කර ඇත්තේ පර්වතය මුදුනේ ඇත්තේ දාගැබක් බවය (JRAS, CB xxii., p 92). (මෙය මෑතක පර්වතය මුදුනේ ඉදි කර ඇති ස්තූපය නොවේ). පුරාවිද්‍යා කොමසාරිස් ව සිටි එච්.සී.පී බෙල් ද සඳහන් කරන්නේ පර්වතය මුදුනේම ඇත්තේ දාගැබ බව ය. (ASCAR 1896, p 245).

මතු සබැ‍ඳේ...

Comments