ත්‍රිරෝද ගාස්තු අඩු නොවන්නේ නියාමනයක් නැති නිසාය | සිළුමිණ

ත්‍රිරෝද ගාස්තු අඩු නොවන්නේ නියාමනයක් නැති නිසාය

බස් රථ 25000ක් නියාමනය කිරීම සඳහා පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරි 9ක් හා ජාතික ගමනා ගමන කොමිසමක් ඇතත් ලක්ෂ 10කට අධික ත්‍රී රෝද රථ නියාමනයට කිසිදු ආයතනයක් නැත.’

ඉන්ධන මිල ඉහළ ගිය සැණින් අපේ රටේ ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට ප්‍රවාහනයට සම්බන්ධ බොහෝ දෙනා ඉල්ලීම් කරති. එසේ වුවත් ඉන්ධන මිල පහළ ගිය විට එම ගාස්තු පහළ දැමීමට කිසිවෙක් ක්‍රියා නොකරති.

විශේෂයෙන්ම රුපියල් 5කින් හෝ රුපියල් 6කින් ඉන්ධන මිල ඉහළ ගිය සැණින් ත්‍රීරෝද රථ ගාස්තු රුපියල් 10කින් පමණ වැඩි වේ. ඒ අනුව ත්‍රි රෝද රථයකට කිලෝමීටරයක් යාමට ඉන්ධන ලීටරයක් හෝ ඒ ආසන්න පමණ වැය වන බව පෙනෙන්නට ඇත.

අති සුඛෝපභෝගී මොන්ටේරෝ එසේත් නැත්නම් අශ්වබල 4000කට ආසන්න මෝටර් රථවල පවා ඉන්ධන කාර්යක්ෂමතාවය ඊට වඩා වැඩිය.

එසේ නම් ප්‍රවාහන අධිකාරිය හෝ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හෝ මේ අකටයුත්ත ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි?

අපි මේ සම්බන්ධව ප්‍රවාහන අමාත්‍යාංශයට සම්බන්ධ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතාගෙන් විමසුවෙමු.

‘ත්‍රී රෝද රථ කර්මාන්තය බස් රථවලටත් වඩා නියාමනයට ලක් විය යුතුයි. දැනට ලක්ෂ ගණනක ත්‍රී රෝද රථ මාර්ගයේ ධාවනය වනවා. ඒ සඳහා වන නියාමන කොමිසමක් හෝ නියාමන සභාවක් පිහිටුවීමට මේ වන විට අප කටයුතු කරමින් ඉන්නේ. අවස්ථා ගණනාවකදී ඒ කටයුත්ත යට ගියා. මේ වන විට එහි අවසන් අදියරට පැමිණ තිබෙන්නේ. ලබන මාසේ 3 වැනිදා පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය හිමි වේයැයි සිතනවා.

කැබිනට් අනුමැතියෙන් පසුව අපට නියාමන කොමිසම පිහිටුවා ගන්නට පුළුවන්. එවිට අනිවාර්යෙන්ම මීටරයක් සවි කිරීම මෙන්ම ගාස්තු නියම කිරීම ඇතුළු සියලු කටයුතු ඒ හරහා අපට සිදු කරන්නට පුළුවන් වනවා’

අප මේ සම්බන්ධව සමස්ත ලංකා වෘත්තීය රියැදුරන්ගේ සංගමයේ ලේකම් කේ.ආර්.සී.ජේ. කුමාර මහතාගෙන් විමසීමක් කරන ලදී.

‘මේ වන විට මෙරට ලියාපදිංචි ත්‍රී රෝද රථ ලක්ෂ 11කට අධික සංඛ්‍යාවක් තිබෙනවා. එයින් ලක්ෂ 10ක් පමණ මඟී ප්‍රවාහනයේ නියැළෙනවා. ඒත් කිසිදු නියාමනයක් නැහැ. හිතෙන හිතෙන ගාස්තු අය කරනවා. ඉන්ධන මිල ඉහළ ගිය සැණින් එක එක සංගම් තමන්ට හිතෙන පරිදි ගාස්තු ඉහළ නංවනවා.

පැට්‍රල් මිල අඩුවීමත් සමඟම මම නියෝජනය කරන සංගමය මේ වන විට රුපියල් 5කින් ගාස්තු අඩු කළා. නමුත් ඒ බව පේන්නෙ නැහැ. අනිත් කරුණ ඒ විදිහට ගාස්තු අඩු කරන්න කවුද බැදී ඉන්නෙ. යම් කෙනෙකුට පුළුවන් මම දැන් සංගමයෙ නැහැ කියලා තමන්ට හිතෙන විදිමට කටයුතු කරන්න. මේ සියල්ලටම පැහැදිලි නියාමනයක් අවශ්‍ය වනවා.

සංගම් කිහිපයක්ම මේ වන විට ත්‍රී රෝද රථ කර්මාන්තය තුළ බිහිව තිබෙනවා. මෙයින් පිළිගත් සංගම් මොනවාද යන්න නිර්දේශ කරන්නේ කවුද? ප්‍රවාහන අමාත්‍යාංශයට පවා එහි පැහැදිලි නීතිමය බැදීමක් නැහැ.මේ කර්මාන්තයේ නියැළී සිටින්නන්ට විශ්‍රාම වැටුපක් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නත් කටයුතු කළා. මේ වන විට ඒ සම්බන්ධවත් අප අවධානය යොමු කර තිබෙනවා.මේ කර්මාන්තයේ පැහැදිලි නියාමනයක් නොමැති නිසා මඟියාට යම් අකටයුත්තක් වුවහොත් පැමිණිලි කරන්නේ කාටද යන්න ඇසිය යුතු කෙනෙක් පවා නැහැ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ පවා මේ සම්බන්ධව කිසිදු ආකාරයක ක්‍රියා මාර්ගයක් ගෙන නැහැ.

සිසිර කෝදාගොඩ මහතා විසින් ඒ සම්බන්ධව නිසි පරිදි ක්‍රියා දාමයක් ගෙන එමින් තිබෙනවා. එය සාර්ථක වේ යැයි අපත් සිතා ගෙනයි ඉන්නේ.

මඟියාටත් සුරක්ෂාව විශ්වාසය ලබා දී මේ කර්මාන්තය රැක ගැනීම කළ යුතු වෙනවා. 25000ක් පමණ වන බස් රථ නියාමනය කරන්න මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරි පළාතෙන් පළාතට තියෙනවා. ඒ වගේම ජාතික ගමනාගමන කොමිසම තිබෙනවා. සියලු ප්‍රතිපත්ති ඒ හරහා ක්‍රියාත්මක කෙරෙනවා.

නමුත් ලක්ෂ 10ක් තිබෙන ත්‍රී රෝද රථ නියාමනයට කසිදු ආයතනයක් නැහැ.‍

ප්‍රමාද වී හෝ මේ සම්බන්ධව කටයුතු කළ යුතු වනවා.

එසේ නොවුවහොත් මේ කර්මාන්තය තවත් අඩාල වනවා.’

මේ කරුණු අනව අපට මනාව පැහැදිලි වන්නේ ත්‍රී රෝද රථ කර්මාන්තය නියාමනය නොකිරීම නිසා මේ සියලු ගැටලු උද්ගතව ඇති බවයි. එසේ වුවත් මේ වන විට මාර්ගයේ මීටර් සහිතව ජංගම යෙදවුම් හරහා ක්‍රියාත්මක ‘පික් මී’ ‘වූබර්’ වැනි ත්‍රි රෝද රථ සේවාවන්ගේ මිල අඩු වීමක් සිදුව ඇත. ඒවා සමාගම් හරහා ක්‍රියාත්මක වන නිසා යම් හෝ සහනයක් මඟියාට ලැබෙනු ඇත. ඉන්ධන මිල අඩුවීමේ සහනය මඟියාටත් ලබා දෙන්නට ඔවුන් විසින් කටයුතු කර ඇතැයි පෙනෙන්නට තිබේ.

එසේ වුවත් මඟියාගේ ඇදුම දෙස බලා අතේ තිබෙන බඩු මල්ල දෙස බලා මිල තීරණය කිරීම ඉවත් කළ හැක්කේ මීටරය අනිවාර්යය කිරීමෙන් පමණි. එම මීටරයද ප්‍රමිතිගත විය යුතු අතර මීටරයද අධීක්ෂණ මීටරයක් විය යුතුය.

එසේ නොවුවහොත් තම තමන්ට කැමැති පරිදි මීටරය හරහා අය කෙරෙනු ඇත. පොදු ගාස්තු ක්‍රමයකට සියලු ත්‍රී රෝද රථ ගෙන ආ හැක්කේ මඟියාට පහසුව ස්ථිර මිල ලැබෙන්නේ නියාමන කොමිසමෙන් පමණක් බවයි මේ අනුව පැහැදිලි වී ඇත.‍

එම නියාමන කොමිසමට මේ වසරේ වත් බාලගිරි දෝෂය ඇති නොවේවා යන්න අපට කළ හැකි එකම පැතුමයි.

Comments