වැසිකිළි වළේ සිටින භූතයා පවුල ම ලෙඩ කරයි | සිළුමිණ

වැසිකිළි වළේ සිටින භූතයා පවුල ම ලෙඩ කරයි

මතුගම මහින්ද විජේතිලක

මේ දීර්ඝ සංසාර ගමනේ දී ‘සං’ හෙවත් රාග ද්වේෂ මෝහ යන කෙලෙස් සාරයැයි ගැනීම (සංසාර) නිසා ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ දෝමනස්සයන්ගෙන් අනන්ත දුක් පීඩා විඳින්නට සිදු වේ. එහෙත් මේ රාග මල, ද්වේෂ මල, මෝහ මල යන මලකඩ තට්ටු තුනෙන් චිත්ත සන්තානය අඳුරු වී, කළු වී, වැසී පැවතීම නිසා මමය මාගේ යැයි තමන් විසින් ම සාදා ගත් මිථ්‍යාව සත්ත්වයා සංසාර ගමනේ තවත් දිගින් දිගට පවත්වා ගෙන යයි. මිථ්‍යා (මිච්ඡා) යනු මිදී නිදහස් විය යුතු, අත් හැරිය යුතු දේ. කැමැත්තෙන් ම අල්ලා ගෙන බදාගෙන ඇලී ගැලී සිටීමයි. මෙය මිථ්‍යාවක් බව නොදන්නාකම නිසා මෝහයෙන් අන්ධවී ‘සං’ (කෙලෙස්) සාර යැයි ප්‍රියය, මධුරය, සුඛය යැයි බාර ගැනීම නිසා නැවත නැවත ඉපදීමට හේතු සාදා ගෙන දුකට ම පත්වෙයි.

මොහොතක් පාසා ඇස, කන, නාසය, දිව, කය, මන යන ද්වාර හයෙන් විඤ්ඤාණයේ පැවැත්ම සඳහා ආහාර සපයා ගනී. මේ ද්වාර හයෙන් අරමුණු පානය කරන බැවින් (උරා බීම - අබ්බ කිරීම) පානීන් ප්‍රාණීන් යැයි කියති. දීර්ඝ සංසාරයේ පටන් මෙ‍සේ උරා පානයකළ කෙලෙස් අඳුර, කිලිටි, මලකඩ තට්ටු තුනක් (රාග මල, ද්වේෂ මල, මෝහ මල) ලෙස මනෝමය කාය තුළ තැන්පත්ව පවතී. සංසාරික ජීවිතවලදී ගති, පුරුදු වශයෙන් මතු වන්නේ අතීතයේ රැස් කැර ගත් මේ මළකඩය. ගතිය.

කුරා කුහුඹුවාගේ පටන් මහා බ්‍රහ්මයන් දක්වා ද බෝසත්වරුන්ට ද බුදුවරයන්ට ද ම‍නෝමය කාය පවතී. බුදුවරයන්ගේ මනෝමය කාය තුළ කර්ම බීජ උත්පත්ති බීජ නැතිකම විශේෂයි. අනිකුත් සියලු සත්ත්වයන්ගේ එසේ රැස්කර ගත් කර්ම බීජ උත්පත්ති බීජ ජාති, ජරා, ව්‍යාධි, මරණාදි ධර්මතා ඇති කරයි. කොටින් ම කියනවා නම් අනන්ත දුක්ඛ දෝමනස්ස සහිත සංසාර ගමනේ පැවැත්ම සිදුවන්නේ මේ මලකඩ තට්ටු තුන නිසා ය.

මෙසේ දුකට පත් ප්‍රේතයෙකුගේ කතාවකි මේ.

ගුරුසිංහ හෝටලය ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකි. ගුරුසිංහ මුදලාලි මිය ගොස් දැනට වසර දෙකක් ගතව ඇත. ඔහුගේ බිරිය මාලා, දියණිය ආතිකා සහ බෑනා නිශාන්ත දැන් හෝටලය පවත්වාගෙන යයි. එහෙත් හෝටලය පුරා මැස්සන් බහුල වශයෙන් පැවතීම නිසා කෑම බීම සඳහා මිනිසුන් එන්නට කැමති නැත. වෙළඳාම පහත වැටී ඇත. සකස් කරන ආහාරවල පණුවන්ය. ඔවුන් පදිංචි නිවස පිහිටා ඇත්තේ හෝටලයට යාබදව ය. හිටි හැටියේ හෝටලය හා නිවස හරහා වැසිකිළියේ ගඳ හමා යන්නට විය. වැසිකිළියටත්, හෝටලයටත් කොයි තරම් විෂබීජ නාශක යෙදූවත් මේ තත්ත්වය වෙනස් වූයේ නැත.

කලින් ඉතා පැහැත්ව ප්‍රසන්නව සිටි මාලාගේ මුහුණ දුර්වර්ණව ගොස් දෙකකුල් ඉදිමී ඇත. ඇය ගමන් කරන්නේ ද ඉතා අපහස‍ුවෙනි. රාත්‍රි හීනෙන් බියට පත්ව කෑගසාගෙන අවදි වූවාය. මේ තත්ත්වයෙන් මිදෙන්නට නොයෙක් ශාන්ති කර්ම සිදු කළත්, මාලාගේ අසනීපවලට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් හෝ සහනයක් නොවීය.

අවසානයේ ඔවුහු ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියහ. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී හෝටලයටත්, මාලාටත් එළඹ ඇති තත්ත්වය පැහැදිලි කළහ.

ගවේෂකවරයා ප්‍රතිකාර ආරම්භ කරමින් ඔවුන් තිදෙනා වෙත ශක්ති කිරණ එල්ල කරන්නට විය. එවිට තුන් දෙනා ම වෙව්ලන්නට වූහ. ඔවුන්ට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව වටහා ගත් ගවේෂකවරයා ගමේ පන්ස‍ලේදී දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කළේ ය.

බෝධි පූජා පවත්වන අවස්ථාවේ මාලාට වේදනා පහවී සහනාදායී තත්ත්වයක් උදා විය. එහෙත් බෝධි පූජා අවසන් කොට ආපසු නිවෙසට පැමිණි විට වෙනදාටත් වඩා වේදනා බහුල විය. බෝ මළුවේ දී හොඳින් ඇවිද යන ඇයට නිවෙසට ආ විට දැන් සැරයටියක් ද අවශ්‍ය වෙයි. මේ බව ගවේෂකවරයා වෙත දුරකථනයෙන් දැනුම් දුන් විට ඔවුන්ට බෝධි පූජාව අවසන් කොට ආර්ය මෛත්‍රී භාවනාව වඩන්නැයි උපදෙස් දුන්නේ ය.

මේ දීර්ඝ සංසාර ගමනේ අපට මවුපියන් අඹු සැමියන් ඥාතීන් නොවූ කිසිවෙකු නැතැයි මෙනෙහි කොට, දසදිග් භාගයේ අනන්තය දක්වා සියලු සක්වල සියලු ලෝක සියලු සත්ත්වයෝ බ්‍රහ්ම තල පටන් අවීචි නිරයේ ගින්නෙන් දැවෙන තිරිසනුන් ඇතුළු තිස් එක් තලයන්හි සියලු ‍ලෝ සතුන් සුවපත් වේවා යන අදහසින් “මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. සකෘදාගාමී ඵලයෙන් නීරෝග වෙත්වා, අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා අරිහත් ඵලයෙන් නිවන් දකිත්වා’ යි තමන් සිටින ස්ථානයේ සිට අනන්තය දක්වා මෛත්‍රී සිතුවිලි කිරණ මුදා හරින්නට උපදෙස් දුන්නේ ය. බෝධි පූජා අවසන් වන විට මාලාගේ දෙපා ආබාධ බොහෝ දුරට සුවපත් විය.

ඔවුහු ප්‍රතිකාර සඳහා නැවත පැමිණියහ. එදින ප්‍රතිකාර ආරම්භ කරන විට නිශාන්තට භූතාත්මයක් ආවිෂ්ට වී දෑස් ලොකු කැරගෙන වෛරයෙන් දත් සපන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?” යි ඇසීය.

“මම ගුරුසිංහ මුදලාලි” යි භූතාත්මය උත්තර දුන්නේ ය.

“ඇයි මේ නෝනාව ලෙඩ කරන්නේ?”

“මට අනිත් අය ළඟට යන්න බැහැ. ලෝකයම අඳුරුයි.”

“නෝනාව පෙනෙනවාද?”‍

“ඒත් පෙනෙන්නෙ නැහැ. පුරුද්දට අඳුරේ ම රෑට එයා ළඟට යනවා.”

“ඇයි මේ තරහෙන් වෛරයෙන් වගේ?”

“මගේ හෝටලය, මගේ ඉඩම්, මගේ දේපළ, මගේ සල්ලි දැන් මට කන්නවත් නෑ. කුසගින්නේ දැවෙනවා. වතුර පොදක් නැතුව පිපා‍සයෙන් පෙළෙනවා. මුන් හොඳට රහට කනවා. බොනවා. මම සාගින්නෙන් දැවෙනවා. ඉතින් තරහ හිතෙන්නේ නැද්ද?”

“ඔබ ජීවත්ව සිටියදී මොනවද කළේ?”

“හෝටලයක් කළා.”

“කොහොමද ආහාරපාන පිරිසුදුව දුන්නාද? ඇත්ත කියන්න ඕනෑ” යි ගවේෂකවරයා වේවැල අතට ගත්තේය.

“නැහැ. ඉතුරුවෙන පරණ කෑම පසුවදාටත් රත් කරලා දුන්නා.”

“ප්‍රධාන ආදායම් මාර්ගය හෝටලයද?”

“නෑ. හෝටලය පිටුපස්සේ ගෝලයෙක් දාලා කසිප්පු ‍වික්කා. ඒකෙන් තමයි ලොකු සල්ලියක් ආවේ.”

“ඒක හරියට කළා ද?”

“කසිප්පු බෝතලයකට වතුර කාලක් මිශ්‍ර කරලා වික්කේ.”

ගවේෂකවරයා බිරියටත් අවවාද කළේ ය.

“පේනවා නේද වැරදි වෙළඳාම් කරලා අද කුසගින්නේ සාපිපාසා දෙකෙන් දැවෙනවා. ඊළඟට වෛරයෙන් දැවෙනවා. නෝනටත් තිබුණ ස්වාමි පුරුෂයා වැරදි වැඩවලින් වළක්වන්න. මේ යුතුකම නොකළ නිසා අසාධාරණ ඒ සල්ලිවලින් ජීවත් වෙන අයටත් දුක් විඳින්න වෙනවා. ඕක තමයි හේතුඵල දහම. මේවා වෙන කිසිවෙක් කරන දේවල් නෙමෙයි. තම තමන් ම කර ගත් දේවල්. කරන කළට පව් මීරිය මී සේ. විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.”

ඊළඟට යළිත් ප්‍රේතයා ඇමතීය.

“තමුන්ට මොනවාද වුවමනා?” යි ඇසීය.

“මගේ දේවල් මට අරන් යන්න ඕනෑ.” යි ප්‍රේතයා කීවේය.

“ගුරුසිංහ මළා. ඒ අයිතිය ඉවරයි. දැන් ඉන්නේ ප්‍රේතයෙක්. ජීවත්ව ඉන්දැද්දි කළ අසාධාරණ පාහර වැඩවලට අනන්ත දුක් විඳින ප්‍රේතයෙක්. දැන් මේ අය අතහැර ඉවත් වෙලා යන්න ඕනෑ.”

“බැහැ... බැහැ... මට මගේ දේවල් අතහැර යන්න බැහැ.”

“තමුන් බෝධි පූජාවලට ගියාද මේ අය යන කොට?”

“ඔව් ගියා මහත්තයා. පන්සලේ ගේට්ටුවෙන් ඇතුළට යන්න දුන්නේ නෑ එතන හිටපු මම වගේ ම අය. උඹ ළඟ ගඳයි කියලා පන්නා ගත්තා.”

“ඒ ‍මොකද ගඳ?”

“මම දවල්ට ඉන්නේ හෝටලයෙ වැසිකිළි වළේ. කුසගින්නට අසූචි කන්නවත් මට කටක් නෑ. කුසගින්නයි. වෛර ගින්නයි. ගිනි දෙකකින් දැවෙනවා.” යි ප්‍රේතයා අඬන්නට විය.

ස්වාමීන් වහන්සේ දස නමකට සාංඝික දානයක් පිරිනමා සියලු ඥාතීන්ටත් ගුරුසිංහටත් පින් අනු‍මෝදන් කොට නැවත එන්නැයි ඔවුන්ට නියම කළේය.

නැවත පැමිණි දිනයේ ද ආවිෂ්ට වූ ප්‍රේතයා “මහත්තයා දැන් නම් මට ටික ටික ආලෝකය පෙනෙනවා” යි කීවේ ය.

“තමුන් පින් දහම් නොකළත් දැන් අනුන් කරන පින්දහම්වලටවත් අත හිත දී ඒ වෙලාවට දැනෙන සතුටෙන් දුක්ගිනි ටික ටික නිවාගන්න” යැයි ප්‍රේතයාට උපදෙස් දී කැවිලි පලතුරු වට්ටියක් ගෙන්වා ප්‍රේතයා ඊට සම්බන්ධ කොට අනුරාධපුරයට යැවීය.

ප්‍රේතයා ඉවත් වුණත් කර්ම විපාක ක්‍රියාත්මක බැවින් දිනපතා උදේ හවස තුන් දෙනා ම බුදුන් වැඳ තුන් සූත්‍රය සජ්ඣායනා කරන ලෙසත්, නැත්නම් ප්‍රේතයා ආපහු පැමිණිය හැකි බවත්, අසාධාරණ මුදල් දනට පිනට යොමු කරන ලෙසත් බිරියටත් දුවටත් බෑනාටත් උපදෙස් දුන්නේ ය.

Comments