
රජකාලේ තිබ්බ සොරොව් කට අබලන් වෙලා වල් බිහිවෙලා ගියාට පස්සේ අටසිය ගණන්වල සුද්දෝ කලාවැවයි යෝධ ඇළයි අලුත්වැඩියා කරල තියෙනවා. හොඳට තිබ්බ ඒ සොරොව්ව මහවැලියෙන් අසූ ගණන්වලදී අයින් කරලා සිමෙන්තියෙන් හදපු සොරොව්වක් දැම්මා. ඩෝසරේට මේක අයින් කරන්න දවස් තුනක් ගියා. මේ අවුරුදු තිහට සොරොව් දොර දෙපාරක් හැදුවා. ඒත් පරණ සොරොව්ව එදා කඩන දවස වෙනකනුත් අබලන් වෙලා තිබුණෙ නෑ.
ප්‍රදේශවාසීන් ‘බ්ලොක් ඔෆීස්’ ලෙස හඳුන්වන මහඉලුප්පල්ලම පිහිටි මහවැලි කොට්ඨාශ කාර්යාලයට යන්නට පසු දින උදෑසන අප සූදානම් වෙද්දී, එප්පාවලදී අපට හමුවූ තලාව ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වූ සරත් දිසානායක මහතා පැවැසූවේ ඇමැතුමක් දී කොට්ඨාශ කළමනාකරු සිටීදැයි තහවුරු කරගන්නා ලෙසය. ඒ අනුව 025-2249130 අංකයෙන් මහවැලි කොට්ඨාශ කාර්යාලය ඇමතූ අප ලද ප්‍රතිචාරය වූයේ තඹුත්තේගම පිහිටි මහවැලි ‘එච්’ කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරුගේ මාර්ගයෙන් පමණක් මාධ්‍යයට තොරතුරු නිකුත් කරන බවය. ඉන්පසු 025-2276354 අංකයෙන් තඹුත්තේගම පිහිටි නේවාසික ව්‍යාපාර කළමනාකරු කාර්යාලය ඇමතූ පසු ලැබුණු පිළිතුර වූයේ ආයතනීය වශයෙන් ෆැක්ස් පතකින් ඉල්ලීමක් කරන ලෙසය. ඒ සඳහා යළි කොළඹ යායුතු නිසා එදින දවසේ තවදුරටත් යෝධ ඇළේ බැම්ම දිගේ ඉදිරියට යන්නට අපි තීරණය කළෙමු.
පෙර දිනයේ අප යෝධ ඇළේ සංචාරය අවසන් කළේ මහඉලුප්පල්ලමෙනි. පෙර පැවැසූ පරිදිම මහඉලුප්පලම කුඩා කඩමණ්ඩියකින් ඔබ්බට ගොස් රටම දන්නා නමක් බවට පත්වූයේ මහවැලි ‘එච්’ කලාපයේ සංවර්ධන කටයුතුවලට සාපේක්ෂව ඇතිවූ කෘෂිකර්ම ප්‍රබෝධයත් සමඟය. නමුත් ඊට කලකට පෙර සිටම එහි කෘෂි පර්යේෂණ අංශයේ ශාඛාවක් ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපකාර්යාල ගණනාවක් ක්‍රියාත්මක වී තිබී ඇත. MI කාණ්ඩයෙන් පටන්ගන්නා වී, බඩඉරිඟු, මිරිස් ඇතුළු බොහෝ නව බීජ වර්ග හඳුන්වා දෙන්නේ මහඉලුප්පල්ලම පිහිටි ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙනි.
මඟ දිගට වතුර විකුණන තැන්
යෝධ ඇළ බැම්ම සොයා තලාව - කැකිරාව දිගේ මහඉලුප්පලමට එන අපට මඟ දිගට හමුවූයේ වතුර විකුණන වෙළඳසල්ය. රජරට ප්‍රදේශය වෙළාගෙන ඇති වකුගඩු රෝගය හේතුවෙන් දැන් එහි වැසියන් පානය කරන්නේ පිරිපහදු කරන ලද ජලයයි. මේ නිසා ප්‍රදේශයේ වැසියෝ නිරන්තරව භාජන රැගෙන පැමිණ වතුර මිළට ගනිති. මෙම වෙළඳසල්වල පිරිපහදු කරන ලද වතුර ලීටරයක් රුපියල් දෙකත්- තුනත් අතර මුදලකට විකිණේ. පසෙකින් යෝධ ඇළ සහ නව ජයගඟත්, කලාවැවෙන් දියවර ලබන වැව් පද්ධතියත් පිහිටි මෙම කලාපයේ වකුගඩු රෝගය ව්‍යසනයක් ලෙස පැතිර යන්නට පටන්ගෙන ඇත්තේ 1980 දශකයේ මැද භාගයේ සිටය.
අපි කැලෑදිවුල්වැව ප්‍රදේශයේ පිහිටි වතුර අලෙවි සලක නැවැතී වතුර වෙළඳාම ගැන විස්තර විමසුවෙමු. එහි සිටි ව්‍යාපාරික කාන්තාව නම හෙළි කිරීමට අකැමැති වූ නමුත් තොරතුරු ලබාදීමට එකඟ වූවාය.
“අපි දවසකට වතුර ලීටර් හය හත්සියයක් විකුණනවා. ගමේ හැම ගෙදරකම වගේ මිනිස්සු වතුර ගෙනියනවා. සමහරු දවසකට ලීටර් විස්සක් විතර ගෙනියන අවස්ථාත් තියෙනවා. හෝටල්වලට, වන්දනාවේ යන මිනිස්සුන්ටත් වතුර විකුණනවා. අපි ලීටරයක් රුපියල් තුනට දෙන්නේ. ලීටර දහයක් වගේ ගන්නකොට ශත පනහක් අඩු කරලා දෙනවා. ඊට අමතරව අපි පොඩි වෑන් එකකින් පාරවල් දිගේ ගිහිල්ලත් වතුර විකුණනවා.”
“මේ වතුර පිරිසුදු කරන්නේ රසායනික ද්‍රව්‍යයක් භාවිතයෙන් කියල කියනවා. මේක ඇත්තද?”
“නෑ. අපි නම් යාන්ත්‍රික ෆිල්ටරයක් තමයි භාවිතා කරන්නේ. නමුත් ඇමෙරිකන් තාක්ෂණයෙන් කියල බෝඩ් ගහල තියෙන තැන්වල කෙමිකල් එකක් දානවලු. ඒ නිසා එයාල අපිට වඩා අඩු මුදලකට වතුර විකුණනවා.”
රජරට වතුරට මහවැලි ජලය ඔස්සේ පැමිණි තේ වගාවට යොදන ග්ලයිෆොසේට් මිශ්‍ර වතුරත්, රජරට පොළොවේ අස්වනු සඳහා භාවිතා කළ රසායනවල පැවැති කැඩ්මියම් සහ ආසනික් එක්වීමත් ඒවා රජරටේ පස සමඟ මිශ්‍රව
නව රසායනික සංයෝග තැනීම නිසා මේ වකුගඩු රෝග තත්වය ඇතිවන බව එවකට රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් 2014දී අනාවරණය කරගෙන තිබිණි.
මුදල් ගෙවා ගන්නේ හොඳ වතුරද?
කාලාන්තරයක් තිස්සේ යෝධ ඇළේ වතුරත්, වැව් ජලයත් පානය කළ අයට වකුගඩු රෝගය තර්ජනයක් නොවීමත්, මෑතකදී මහවැලි ජලය පැමිණීමෙන් සහ නවීන කෘෂි පිළිවෙත් අනුගමනය කරන්නට වීමෙන් පසු මේ රෝගය මතුවන්නට වීමත් මත එහි සම්පූර්ණ සත්‍යයක් තිබෙන්නට ඉඩ ඇත. එහෙත් වඩාත් ප්‍රබල කෘෂි රසායන ද්‍රව්‍ය මාෆියාව හමුවේ ස්ථීර පිළියම් වෙනුවට අතීසාරයට අමුඩ ගසන්නට රටක් වෙනුවන් තීරණ ගන්නා උදවිය කටයුතු කළ නිසා තවදුරටත් පිරිපහදු කළ ජලයෙන් දිවි රැකගන්නට රජරට වැසියන්ට සිදුව තිබේ.
එහෙත් පිරිපහදු කළ ජලය ලෙස විශ්වාසයෙන් ජලය මිළදී ගන්නා ජනතාවට ලැබෙන්නේ සැබෑවටම පිරිපහදු කළ ජලය දැයි සැකහැර දැනගන්නට නිසි නියාමන ක්‍රමවේදයක් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකළ යුතුය. නැතහොත් ස්වභාවික ජල මූලාශ්‍රවලට බියවී රජරට ජනයා මුදල් ගෙවා ලබා ගන්නේද ශරීරයට අහිතකර රසායන සහිත ජලය වන්නට බැරි නැත.
හොඳට තිබුණු සොරොව්ව අයින් කළා
මහඉලුප්පල්ලම හන්දියේ වූ වින්කලයකින් අපගේ පාපැදිවල අඩුපාඩු කිහිපයක් නිවැරදි කරගත් අපි එතැනින් යෝධ ඇළ බැම්මට ගොඩ වුණෙමු.
පෙර දිනයේ සවස්වීම නිසාත්, දිවුල් සුවඳට එළි බසින අලි ගැන වූ අවධානම නිසාත් සංගට්ටෑව ප්‍රදේශයේ මඟ හැරුණු දේ දකින්නට අවැසි නිසා යළිත් පෙර දින පැමිණි මඟ දිගේ සංගැට්ටෑව ආසන්නයට ගියෙමු. පෙරදා කුඹූරේදී හමුවූ ජී. සිරිල් බණ්ඩාර මහතා ඔහුගේ කුඹුර ආසන්නයේදී හමුවූ අතර ඔහු සමඟ 1872දී ඉංග්‍රීසි සමයේ ඉදිකළ සොරොව්වක් දැකගන්නට ගියෙමු.
“රජකාලේ තිබ්බ සොරොව් කට අබලන් වෙලා වල් බිහිවෙලා ගියාට පස්සේ අටසිය ගණන් වල (1872) සුද්දෝ කලාවැවයි යෝධ ඇළයි අලුත්වැඩියා කරල තියෙනවා. එතකොට දාපු ගල් පතුරුවලින් හදපු සොරොව්වේ නටඹුන් තමයි මේ. මහවැලියෙන් අසූ ගණන්වල හොඳට තිබ්බ ඒ සොරොව්ව අයින් කරලා සිමෙන්තියෙන් හදපු සොරොව්වක් දැම්මා. ඩෝසරේට මේක අයින් කරන්න දවස් තුනක් ගියා. මේ අවුරුදු තිහට සොරොව් දොර දෙපාරක් හැදුවා. ඒත් පරණ සොරොව්ව එදා කඩන දවස වෙනකනුත් අබලන් වෙලා තිබුණෙ නෑ. අවුරුදු සියයකට වැඩි නිසා මේක පුරාවස්තුවක් වෙන්න ඕන. ඒත් තාමත් ඔහේ තියෙනවා.”
එය දැක ගැනීමෙන් අනතුරුව අප ගියේ වපුරන කුඹුරු යායකටය. පරිණත ගොවීන් කිහිප දෙනෙකු කුඹුරේ වැඩ කරන අතර සෙසු ගොවියෝ ඔවුනට උදව් වෙමින් සිටියහ. බිත්තර වී මල්ලක්ද, රසායනික පොහොර මල්ලක්ද කුඹුර අයිනේ සෙවණක තබා තිබෙනු පෙනේ….
වගා කටයුතු එයාලට ඕනෑ විදිහට
“මුළු රටේම මහවැලි කලාවල ගොවිතැන් කාලසටහන තීරණය කරන්නේ පේරාදෙණියෙන්. ඉස්සර අපි වැස්සේ රටාව බලල අපිට ඕන හැටියට ගොවිතැන් කළා. දැන් එහෙම නෑ. මෙදා පාර මහවැලියෙන් වතුර දෙනව කිව්වේ 10දාට. ඒත් කලින් වැස්ස ආවා. ඒ නිසා අපි ඉක්මනට කුඹුරට බැස්සා. දැන් අපි කන්න දෙකයි කරන්නේ. නොවැම්බර් මාසෙට මහ කන්නේ. අප්‍රේල්වල යල කන්නේ. ඉස්සර කන්න තුනක් කළා. ඒ යල මාර්තුවේ. අතරමැදි එක ජූලිවල. මහ කන්නේ නොවැම්බරේ විදියට. මේවා පාරම්පරික කුඹුරු වුණත්, මහවැලියේ වතුරවලින් කරන නිසා එයාලට ඕන හැටියටයි වගා කරන්නේ”
ඉන් අනතුරුව යෝධ ඇළේ ඉදිරියට ගිය අපි මහඉලුප්පල්ලම පසු කොට කුඹුක්ඇන්ද සොයා ගියෙමු. පැරණි යෝධ ඇළ පසුකාලීනව ඉදිකළ කෘත්‍රිම බැම්මකින් අවහිරවී සිය ගමන අවසන් කරන්නේ කුඹුක්ඇන්දෙනි.
මහඉලුප්පල්ලම සිට කුඹූක්ඇන්ද දක්වා යෝධ ඇළ ආසන්නයේ මහ රූස්ස ගස් මණ්ඩියක් දක්නට ලැබේ. එම ගස් ගොමුව යෝධ ඇළට ගෙනෙන්නේ මනා අලංකාරයකි. සිසිලසකි.
අතීතයේ යෝධ ඇළ ගමන් කළ මඟ දිගේ ඉන් ඔබ්බට දැන් ගලන්නේ නව ජයගඟයි. පැරණි යෝධ ඇළ ගලා ගිය පාරේ නව ජයගඟ දිගටම ගලන්නේ නැත. එය පැරණි යෝධ ඇළ ගිය මඟෙහිම යන්නේ සැතැපුම් කිහිපයක් දුරට පමණි. ඉන්පසුව පැරණි යෝධ ඇළ අමතක කොට වෙනත් මඟක තිසා වැව කරා ජලය ගෙනයන්නට යෝධ ඇළ ගලන බව කියැවේ.
අපි කුඹුක්ඇන්දට වී යෝධ ඇළේ අහඹු අවසානය නිරීක්ෂණය කරන විට එතැනින් යන්නට ආවේ අත් ට්රැක්ටරයකි. එහි වූයේ වැඩිහිටි ගොවියෙකි. අප ඔහු නවතා යෝධ ඇළේ අතීතයත්, වර්තමානයත්, අනාගතයත් ගැන තුන්කල් දැක්මක යෙදෙන්නටැයි ආරාධනා කළෙමු.
ඇඟ බේරා ගන්නවා මිස මැදිහත්වීමක් නෑ
“අපි ඉස්සර හිටියේ මහ මූකලානක. මේවා එළිපෙහෙළි වෙලා වගා සරු වුණේ මහවැලි වතුර නිසා. කාලෙක ඉඳලා මහවැලිය උතුරට හරවන කතා තිබ්බට 1970 වෙනකම් දෙයක් කෙරුණේ නෑ. ඊට පස්සේ තමා වැඩ කෙරුණේ. ගාමිණි දිසානායක වගේ ඇමැතිවරු නිසා තමයි වැඩේ ඉක්මන් වුණේ. හැබැයි පටන් ගන්න කොට තිබුණු උනන්දුව දැන් මහවැලියට නෑ. ඒත් හරි සැලැස්මකට කෙරෙනවනම් මහවැලි වතුරෙන්, මේ ඉඩම් ටිකෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒත් හැමෝම ඇඟ බේරගන්නවා මිසෙක හරි මැදිහත්වීමක් කරන්නේ නෑ.”
අපෙන් සමුගත් ඔහු කුඹුක් ඇන්දෙන් වමට හැරී මරදන්කඩවල දෙසට යද්දී අපි දකුණට හැරී නව ජයගඟ බැම්ම දිගේ ඉදිරියට යන්නට පටන් ගතිමු. කලාවැවේ සිට මෙතෙක් දුරක් ඉපලෝගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් බල ප්‍රදේශයේ සැරිසැරූ අප මින් ඔබ්බට සැරිසරන්නේ තලාව ප්‍රාදේශිය ලේකම් බල ප්රදේශයේය.
නව ජයගඟ ජලයෙන් පිරී ඇත. නිසි කලට පෙර වර්ෂාව ලැබීම නිසා නොවැම්බර් 10 දිනට පෙර කලාවැවෙන් යෝධ ඇළටත්, නව ජයගඟටත් වතුර නිකුත් කරන්නට මහවැලි බලධාරීන් තීරණය කර ඇති බව කීවේ සංගට්ටෑවේදී හමුවූ යූ. ඒ. ආනන්ද මහතාය.
අපි ජලයෙන් පිරුණු නව ජය ගඟේ උජාරුව බලමින් ඉදිරියට ගමන් කළෙමු. නව ජයගඟට සම්බන්ධ වන වැව් කිහිපයක් මේ ඉසව්වවේදී දකින්නට පුළුවන. ඒ පුලියන්කුලම වැවත්, තම්මැන්නේගම වැවත්, අලුත් වැවත්ය. ඒවා පසුකරමින් ඉදිරියට පැමිණි අප දුටුවේ කුඹූරු යායක තනා ඇති පැල් කොටයකි.
ඒ සුබ සලකුණ මේ ප්‍රදේශයේ කුඹූරු යාය වල රෑ පැල් රැකුම සිදුවන බවට හොඳ සලකුණකි. ඉදිරි දිනයක කුඹුරෙ පැලක රැය ගත කිරීමේ අරමුණද සමඟින් අපි ඇඳගල හරහා එප්පාවලට පැමිණියේ යළි දිනයක යෝධ ඇළේ ඉපැරණි මං සලකුණු සොයා යාමේ අපේක්ෂාවෙනි.
යෝධ ඇළ දිගේ යන අපේ ගමනට එක් කළ යුතු යමක් ඔබටත් ඇත්නම් [email protected] ලිපිනයෙන් අපට ලියන්න.
(සංචාරය සඳහා අවශ්‍ය පාපැදි සම්බන්ධීකරණය කළ එප්පාවල විල්සන් මහතාටත්, සම්බන්ධීකරණ කටයුතු කළ තලාව ප්‍රදේශිය සභා උප සභාපති සරත් දිසානායක මහතා ඇතුළු අදහස් දැක්වූ ගම්වැසියන්ටත් ස්තූතියි!)
ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ