
හෙට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර අවසන්ය. විභාග මධ්‍යස්ථාන 4661කි. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541කි. දෙසැම්බර් 3 වැනි දින ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 වැනිදා අවසන් වන අතර මෙවර පාසල් අයැදුම්කරුවෝ 422,850ක් හා පෞද්ගලික අයැදුම්කරුවෝ 233,791ක් විභාගයට මුහුණ දෙති.
සාමාන්‍ය පෙළ විභාග කටයුතු සාර්ථකව පැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ මූලිකත්වයෙන් අවශ්‍ය විධි විධාන රැසක් ගෙන ඇති අතර ඉතිහාසයේ පළමු වතාවට මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදි සිසුන්ට පැය 3ක ප්‍රශ්න පත්‍රයට අමතර කියවීමේ විනාඩි 10ක කාලයක් හිමි වේ. ඒ සිසුන්ට කිසිදු ආතතියකින් තොරව විභාගයට මුහුණ දීමටය.
අන් වසරවල සේම මෙවර ද විභාග වංචාවන්ට සාර්ථකව මුහුණ දීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය විධි විධාන රැසක් මෙවර ගෙන තිබීමද විශේෂත්වයකි. හෙට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයේ දී විභාග වංචා වැළැක්වීමේ අරමුණින් සෑම පළාතක්ම හා කලාපයක්ම ආවරණය වන පරිදි විභාග දෙපාර්තමේන්තු හා අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරින්ගේ එකමුතුවෙන් දැඩි අධීක්ෂණ ක්‍රමවේදයක් රට පුරා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. එසේ ආරක්ෂක ක්‍රමවේද දැඩි කර ඇත්තේ පසුගිය වසරවල දී සිදු වූ විභාග වංචා අවම කිරීමේ අරමුණෙනි.
2017 සාමාන්‍ය පෙළ විභාගයේ විභාග වංචාවන්ට හසුවූ 961 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇත. එයින් 17 දෙනෙක් ජංගම දුරකථන ළඟ තබාගෙන හසුවූවෝය. පිළිතුරු පත්‍ර හුවමාරු කර ගැනීම් 37ක් ද, පිළිතුරු කොපි කිරීම් 351ක් ද වෙනත් අයගේ ඇමිණුම් 5ක් ද වෙනත් අය පෙනී සිටීම් 6ක් ද මේ අතර වෙයි. 1968 අංක 25 දරන විභාග පනතට අනුව මේ සියල්ලගේම ප්‍රතිඵල නිකුත් කිරිම අවලංගු කර ඇති අතර වෙනත් අය පෙනි සිටීම්වලදි සිවිල් නීතිය යටතේ උසාවි ගත වන වරදක් ද වන්නේය. 2016 වසරේ ද මේ ආකාරයටම ප්‍රතිඵල අත්හිටුවිම් 1140ක් සිදු කරන්නට විභාග දෙපාර්තමේන්තුවට සිදු විය.
ජංගම දුරකථන හෝ වෙනත් විද්යුත් උපකරණ භාවිතය, සටහන් ළඟ තබාගැනීම, කොපි කිරීම, පිළිතුරු පත්‍ර හුවමාරුව, බාහිරින් ගෙනෙන කොළ ඇමිණීම ආදි වංචනික කටයුතු කිරිම දැඩි දඬුවම් විඳින්නට සිදු වන වරදක් වන අතර, වෙනත් අයෙකු වෙනුවෙන් විභාගයට තවකෙකු පෙනී සිටීම පොලිසිය හරහා සිවිල් නඩුවක් පැනවීම දක්වා දුර දිග යන හේතු වන අතර දැඩි දඬුවම් විඳින්නට සිදු වන වරදක් වෙයි.
එම නිසා අනවශ්‍ය දේ විභාග මධ්‍යස්ථානවලට රැගෙන යෑම හෝ වංචනික ක්‍රියාවන්හි නිරත වීම සදාකාලිකව විභාග තහනමකට ලක්විය හැකි කරුණක් වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැඩිව අවධාරණය කරයි. විභාග වංචා සිදු කිරීම හා එසේ කළහොත් තමන්ට විඳින්නට සිදු වන දඩුවම් ඇතුළත් පෝස්ටරයක්, විභාග අපේක්ෂකයන්ට පෙනෙන්නට සෑම විදුහලකම ප්‍රසිද්ධ කර ඇති නිසා කිසිදු අපේක්ෂකයකුට මෙම නීති රීති කඩ කිරීමේ අවශ්‍යතාවක් පැන නොනඟින බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.
මෙවර විභාග කාල සටහන ද සකස් කර ඇත්තේ ශිෂ්‍ය හිතකාමි ආකාරයට බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. ඒ යටතේ පැය 3ක ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න කියවා අවබෝධ කරගැනීමට මෙන්ම ප්‍රශ්න තෝරාගැනීම වෙනුවෙන් අතිරේක විනාඩි 10ක කාලයක් හිමි වෙයි. මේ කාලයේ දී කළ යුත්තේ ප්‍රශ්න හොඳින් කියවා තේරුම්ගෙන තමන්ට ලකුණු වැඩිපුර ලබාගත හැකි ප්‍රශ්න තෝරාගැනීමය.
මුලින්ම ප්‍රශ්න පත්‍රය තම අතට පත්වූ පසු එය හොඳින් කියවා තේරුම් ගත යුතුයි. ඒ අනුව තමන්ට පහසු ප්‍රශ්න තෝරාගත යුතුයි. මෙම කියවීමේ අමතර විනාඩි 10ක කාලය දීමෙන් අපේක්ෂා කරන්නේ විභාග ශාලාව තුළ දී අපේක්ෂකයන්ට ඇති වන ආතතිය අඩු කිරීමය.
පිළිතුරු ලිවීමේ දී මුලින්ම තමන්ට ලිවීමට ඉතා පහසු ප්‍රශ්නයකින් ආරම්භ කළ යුතුයි. අනෙකුත් ප්‍රශ්න ලිවීමට ඔහුට තෘප්තියක් ඇති වන්නේ එවිටය. මේ සඳහා විනාඩි 10ක කාලය ප්‍රයෝජනයට ගත යුතුයි. පිළිතුරු ලිවීමේ දී ප්‍රශ්නයක ඇති කොටස් වෙන් කරමින් පිළිතුරු ලිවිය යුතුයි. එකම කොටසකට දීර්ඝ පිළිතුරු ලිවීමෙන් අපේක්ෂිත සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හිමි නොවේ. ව්‍යුහගත රචනා ප්‍රශ්නයක ප්‍රශ්න ඇත්තේ කොටස් කරය. කොටස් කිරීම අනුව ප්‍රශ්නයකට දෙන ලකුණු ප්‍රමාණය තීරණය වෙයි. ඒ නිසා ප්‍රශ්නයක ස්වභාවය, ලකුණු ලැබෙන ආකාරය තේරුම්ගෙන ඒ අනුව පිළිතුරු ලිවිය යුතුයි. ප්‍රශ්නයකින් අසා ඇති දෙයට පමණක් පිළිතුරු ලබා දීම කළ යුතුයි. එසේ නැතිව තමා කට පාඩම් කරගත් සියලු දේ පිළිතුරට එක් නොකළ යුතුයි.
එසේම අවධාරණයෙන් පැවැසිය යුත්තේ නිශ්චිත ප්‍රශ්න සංඛ්‍යාවට පමණක් පිළිතුරු සැපයීමයි. වැඩිපුර පිළිතුරු ලිවීමෙන් සිදු වන්නේ කාලය නිරපරාදේ විනාශ වි යෑමකි. එසේ ලිවීමෙන් සිදුවන්නේ අග ප්‍රශ්නයට කොතරම් හොඳින් ලියා තිබුණ ද වැඩි පිළිතුරු කපා දැමීමයි.
ප්‍රශ්න පත්‍රයකට මුදල් නෝට්ටු වැනි දේ ඇමිණීම නොකළ යුතු අතර එසේ කිරීමෙන් වන්නේ විභාග ප්‍රතිඵල අවලංගු වීමක් පමණි. පිළිතුරු පත්‍රයේ අසභ්‍ය දේ සටහන් කිරීමෙන් ද ලැබෙන්නේ එවැනි දඬුවමකි. එසේම යම් අයෙකුට කරදර කිරීම, කොපි කිරීම මෙන්ම ප්‍රශ්න ඇසීම් ආදිය සිදු නොකළ යුතු අතර මේ වෙනුවෙන් සෑම විභාග ශාලාවකට අතිරේක ශාලාධිපතිවරයෙක් යොදවනු ලැබ සිටී
කුමන හේතුවක් නිසාවත් විභාග ශාලාවේ පිළිතුර ලියන කොළ පිටතට ගෙන යෑම තහනම් ය. එසේම වෙනත් සටහන් ද විභාග ශාලාවට ගෙන ඒම සපුරා තහනම් ය. විභාග මධ්‍යස්ථානයේ අවසර ලබා දෙන ප්‍රශ්න පත්‍ර පමණක් පිළිතුරු ලිවීමෙන් පසුව පිටතට රැගෙන යා හැකිය. එසේම පිළිතුරු පත්‍රයක් විභාග මධ්‍යස්ථානයෙන් පිටතට අමතක වීමෙන් හෝ රැගෙන විත් නැවත බාර දීම වැරැද්දකි. එසේ රැගෙන ගොස් බාර දුන් කොළ කිසිවක් නැවත භාර ගන්නේ ද නැත.
පෞද්ගලික අයැදුම්කරුවකුට ප්‍රවේශ පත්‍රයක් මේ වන විටත් නොලැබී ඇත්නම් තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය යොදාගෙන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශ පත්‍රයක් බාගත කරගත හැකියි. පාසල් අයැදුම්කරුවන්ට ප්‍රවේශ පත්‍රයේ යම් වෙනසක් ඇති වී ඇත්නම් විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කර එය නිවැරදි කරගත හැකියි. විභාග ශාලාවට යෑමේ දී සාධාරණ හේතු මත යම් ගැටලු සහගත තත්ත්වයක් ඇති වූයේ නම් ඔහුට ඒ ආසන්නතම විභාග ශාලාවට ගොස් ආදාළ බලධාරීන් දැනුම්වත් කර විභාගයට මුහුණ දිය හැකියි. ඔහුගේ ජාතික හැඳුනුම්පත පරීක්ෂා කර බලා විභාගයට මුහුණ දීමේ අවස්ථාව ශාලාධිපතිවරුන් විසින් ලබා දෙනු ඇත. ළඟම ඇති විභාග මධ්‍යස්ථානයේ එසේ හදිසි අවස්ථාවකදි පහසුකම් සලසා දිය හැක්කේ ප්‍රධාන විෂයන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි. කෙසේ වෙතත් හදිසියේ ගැටලුවක් යමෙකුට උද්ගත වුවහොත් 1911 අංකයට ඇමැතීමෙන් සහනයක් ලබාගත හැකි වෙයි. විභාගය උදෑසන ආරම්භ වන්නේ පෙ.ව 8.30ටය. ඒ නිසා පෙ.ව 8 ට පෙර විභාග ශාලාවට පැමිණිය යුතුයි. විභාගය සවස් වරුවේ ආරම්භ වන්නේ සවස 1ට නිසා අවම වශයෙන් දහවල් 12.30ටවත් විභාග ශාලාවට පැමිණිය යුතුයි. ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියැදුරු බලපත්‍රය විභාග මධ්‍යස්ථානයේ දී වලංගු අවසර පත්‍ර ලෙස සැලකේ. විභාග ශාලාවට යෑමේදි විභාග ප්‍රවේශ පත්‍රය, ජාතික හැඳුනුම්පත්, පෑන් පැන්සල්, අවශ්‍ය නම් වතුර බෝතලයක්, අවශ්‍ය නම් සාමාන්‍ය ඔරලෝසුවක් ගෙන යා හැකියි.
එසේම වැදගත්ම දෙයක් වන්නේ තමන්ගේ විභාග කාලසටහන ගෙදර සෑම කෙනෙකුටම පෙනෙන සේ අලවා තබාගැනීමය. එසේම වෙබ් අඩවිවල කාල සටහන් භාවිතා නොකළ යුතු අතර ප්‍රවේශ පත්‍රයේ ඇති කාල සටහනම භාවිතා කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන වසරේ මාර්තු මස අග වන විට ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.
හෙට විභාගයට මුහුණ දෙන ඔබට ජයෙන් ජය!