
“මේ ළමයට පණු ගායද? කොච්චරවත් දඟලන්නේ…..”
අතීතයේ කුඩා අවධියේ අපගේ දඟකාරකම් ඉවසාගන්නට බැරිවූ තැන වැඩිහිටියන් චෝදනා කලේ එලෙසය…. එදා පමණක් නොව අද ද කුඩා දරුවන්ට පණුරෝග වැලඳේ. නමුත් ඒ වෙනුවෙන් පෙති කිහිපයක් ගිල්ලවීමට එහා ගිය දැනුවත්භාවයක් නූතන මවුපිය වරුනට නැත.
එදා දවසේදී ස්වභාවධර්මය සමඟ බද්ධව ජීවත්වූ අපේ වැඩිහිටියන් කුඩා දරුවන්ට බටකිරිල්ල අග්ගලාවක් , කුඹුරු දලු මාළුවක් ආහාරයට ලබා දීම ඉතා සුලබ කාරණයක් විය.
මේ පණු රෝග යනු මොනවාද යන්නත්, එ්වායෙහි ලක්ෂණ හඳුනාගැනීමත්, ඊට නිවසේදීම ලබාදිය හැකි ප්‍රතිකාර මොනවාද යන්නත් සාකච්ඡාකිරීම මෙම ලිපියේ අරමුණයි.
අපි ඒ වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය පවන් විජේරත්න මහතා හමුවුණෙමු.
“පණු රෝග කියන්නෙ පණුවන් හෙවත් ආයුර්වේදානුකූලව ක්‍රිමීන් නිසා හට ගන්නා රෝග සමූහයක්. ආයුර්වේදයට අනුව පණුවන් නිසා ශරීර අභ්‍යන්තරයේ හටගන්නා රෝග අභ්‍යන්තර ක්‍රිමි රෝග විදියටත්, සම ඇතුළු බාහිර ශරීරයේ හට ගන්නා පණු රෝග බාහිර ක්‍රිමි රෝග ලෙසත් වෙන් කරන්න පුළුවන්.”
“අපි එහෙම නම් මුලින්ම අභ්‍යන්තර ක්‍රිමි රෝග ගැන සාකච්ඡා කරමු”
මෙතැන් පටන් ලිපිය සැකසෙන්නේ පවන් විජේරත්න වෛද්‍යවරයාගේ සාකච්ඡාවේ තොරතුරු සමඟිනි.
ක්‍රිමි ආසාදනයකදී , උණ , විවර්ණතා (ශරීරයේ පැහැය වෙනස් වේ නම්) ,වේදනාව ,උදරයේ වේදනාව ,හෘදයේ වේදනාව ,ඇඟපත අප්‍රාණික බව ,කරකැවිල්ල ,ආහාර අරුචිය හෝ ආහාර සඳහා නොකමැත්ත , අතීසාරය – මල බුරුලින් පිටවීම වැනි ලක්‍ෂණ ඇති වන බව ආයුර්වේදයේ දක්වා තිබේ. මේවා එකක් හෝ කිහිපයක් පණු රෝගයකදී හඳුනාගන්නට පුළුවන. පණුරෝග වර්ග කිහිපයක් පවතින අතර ඒවා වෙන වෙනම සැලකූ කළ පහත පරිදි තවදුරටත් විස්තර කළ හැකිය.
කිරි පණු ආසාදනයක ලක්ෂණ
කිරිපණු රෝගය ලංකාවේ දරුවන් අතර බහුලම ආසාදන රෝග තත්ත්වයකි. දරුවාගේ අන්ත්‍රවල මෙන්ම ගුදය ආශ්‍රිතව වැඩෙන කිරි පණුවන් ආසාදනයෙන් සහ කිරි පණුවා රාත්‍රි කාලයට ගුද විවරය ආශ්‍රිතව බිත්තර දැමීම නිසා ගුදය අවට ඇති වන කැසීම , කැසීම හේතුවෙන් නින්ද අඩුවීම ,මුත්‍රා පිටකිරීමේ දී ඇති වන වේදනාව, ශරීරයේ බර අඩු වීම , ආහාර අරුචිය ,වරින් වර ඇතිව න උදරයේ වේදනා ආදිය දැක්විය හැකිය.
වට පණු ආසාදනයක ලක්ෂණ
ගැඩවිල් පණුවෙකුගේ හැඩයෙන් යුත් වට පණුවා ආසාදනයෙන්, දියර ලෙස මල පිටවීම ,මල සහ වමනය සමග වට පණුවන් පිටවීම , උණ සමග එන වියළි කැස්ස , උදර වේදනාව ,ඔක්කාරය ,ශරීරයේ බර අඩුවීම ආදී ලක්ෂණ විශේෂයෙන් මතු වේ.
කොකු පණු ආසාදනයක ලක්ෂණ
කොකු පණු බිත්තර සහිත පස් සමග ස්පර්ශ වීමෙන් ප්‍රධාන ලෙසම බෝවන කොකු පණු රෝගයේදී, කැස්ස, හතිය/හුස්ම ගැනීමේ අපහසුව, රක්තහීනතාව හෙවත් ලේ අඩුකම, නිතර දැනෙන මහන්සිය වැනි රෝග ලක්ෂණ මතු වේ. ජීවන චක්‍රයේ එක් අවස්ථාවෙක කොකු පණුවා අන්ත්‍රවල එල්ලී ජීවත් වන අතර එතැනින් රුධිරය උරා බොයි. එනිසා කොකු පණු රෝගයෙන් පෙළෙන දරුවන්ට රක්තහීනතාව ඇති වේ. එමෙන්ම, උදරයේ වේදනාව, ඔක්කාරය, මල සමඟ රුධිරය පිටවීම, ආහාර අරුචිය, කැසීම සහිත දද වැනි ලක්‍ෂණ ද ඇතිවේ.
පටි පණු ආසාදනයක ලක්ෂණ
පටියක් ආකාරයෙන් දිස්වන මේ පණුවන් ඇතැම් විට අඩි 15-30 ප්‍රමාණයට වැඩේ. පටි පණු රෝගයේදී, ඔක්කාරය හා වමනය ,ආහාර අරුචිය හෝ අධිකව ආහාර ගැනීම, බර අඩු වීම ,ඇස්වල-නිය හා සමෙහි අත්ලවල කහ පැහය හෙවත් කාමලාව,ශරීරය දුර්වල වීම, විටමින් ඌනතා, උදර වේදනා වැනි ලක්ෂණ ප්‍රධානය.
විශේෂයෙන් කුඩා දරුවන් මෙම පණු රෝගවලින් අප ආරක්ෂා කරගත යුත්තේ ඔවුන් ගැන වඩා පරීක්ෂා කිරීම හා රැකබලා ගැනීමෙන්ය. දරුවන්ගේ ක්‍රියාවන්වල යමිකිසි වෙනසක් ඇත්නම් ඒ ගැන පරීක්ෂා කළ යුතුයි. අවශ්‍ය අවස්ථාව බලා සුදුසු ප්‍රතිකාරවලට යොමු වීම වැදගත්ය.
ප්‍රතිකාරවලට යොමු වීමට වඩා පණු රෝග වළක්වාගන්නා ක්‍රමවේද අනුගමනය අත්‍යාවශ්‍යය.. දිනපතා දරුවන් නැහැවීම , අඳින ඇඳුම් ප්‍රයෝජනයට ගන්නා බඩු බාහිරාදිය පිරිසුදුව තබා ගැනීම, නියපොතු හිසකෙස් නිසි කලට කැපීම හා ඉතා පිරිසුදු ලෙස සකස් කළ ආහාරපානාදිය ලබාදීම සිදු කිරීම වැදගත්ය.
පණු රෝග සඳහා සුදුසු ආහාර
වැල් ගොටුකොළ කිරිමුල් සමඟ ලියා රතුලූනු මිශ්‍ර කර සම්බෝලය සාදා දීමත්, සතියකට දෙකකට වරක්වත් ගොටුකොළ සහ මුලින් ගෙන හොඳින් කොටා ඉස්ම මේස හැඳි තුන හතරක් පමණ ගෙන වළඟසහල් කුඩු ස්වල්පයක් දමා හිස්බඩ බොන්න ට දීමත් නිවසේදී පහසුවෙන් ලබාදිය හැකි ආහාරමය ප්‍රතිකාරයන්ය.
කවලම් කොළ මැල්ලුම, එරබදු දලු හෝ කොළ මිටක් එකතු කර මැල්ලුම සාදා කෑමට දීමෙන් අන්ත්‍රයේ ඇති පණු බිත්තර ඇත්නම් පුපුරා යයි. බටකිරිල්ල කොළ අව්වේ වේලා සුදු සහල් සමඟ කුඩු කර පොල් පැණියෙන් අග්ගලා මෙන් සාදා කෑමට දීම පණුරෝග වෙනුවෙන් අතීතයේ දී භාවිතා කළ සාර්ථක ආහාරමය ප්‍රතිකාරයකි.
මෙවැනි සරල ප්‍රතිකර්මවලින් ආරම්භක අවස්ථාවේදීම රෝගය වළක්වා ගත හැකි වුවත්, සංකීර්ණ තත්වයන්වලදී සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්යවෙරයෙකු වෙත දරුවා ගෙන යෑම වඩාත් සුදුසුය.
නමුත් මෙවැනි රෝග සහිත දරුවන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රථම යළි යළිත් රෝගය මතු වීමට බලපාන සාධක බැහැර කර දරුවාගේ නිරෝගිකමට අවශ්‍ය රැකවරණය ඇත්දැයි සොයා බැලීම වඩාත් වැදගත්ය.
ආයුර්වේද වෛද්‍ය
පවන් පූර්ණ විජේරත්න
BAMS (කොළඹ විශ්ව විද්‍යාලය)