අඟහරුට යන අයට රොකට්ටුව සූදානම් | Page 5 | සිළුමිණ

අඟහරුට යන අයට රොකට්ටුව සූදානම්

  • ගගනගාමීන් අගහරුට ගෙනයන්න සුවිශේෂ කුටීරයත් හදලා ඉවරයි
  • Insight යානයෙන් පර්යේෂණ රැසක්
  • භූගත ජලාශයකුත් හමු වෙයි

අභ්‍යවකාශ ගාමීන් හතර දෙනකු රැගත් අභ්‍යවකාශ යානයක් අඟහරු වෙත යැවීමට නාසා ආයතනය දැන් සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඊට අදාළ රොකට්ටුව දැන් සූදානම් කර ඇති බවත්, එහි යවන ගගනකගාමීන් දැන් පුහුණු කරමින් සිටින බවත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා පවසයි. අඟහරු ලෝකයේ සහ චන්ද්‍රයාගේ අභ්‍යාවකාශ පර්යේෂණවල අලුත් තොරතුරු, 2039 දී සිදු වන සුවිශේෂ අභ්‍යවකාශ ගමනේ විස්තර, අඟහරු මත ජීවය හා ජලය තිබීම මෙන් ම විශ්වයේ ජීවීන් සිටීම ආදිය පිළිබඳව ආචාර්ය සරත් ගුණපාල සිළුමිණ වෙනුවෙන් කරන සුවිශේෂ අනාවරණ අපි මෙසේ ගෙනහැර දක්වමු.

මීට සතියකට පෙර Insight යානය අගහරු ලොවට ගොඩබැස්සුවා. ඒ මගින් කළ පර්යේෂණ පිළිබඳව පැහැදිලි කළොත්?

ඒ යානය මගින් ඉතා වැදගත් ඡායාරූප රැසක් මාධ්‍යයට නිකුත් කළා. ඒත් තාම ඒකෙන් කරපු පර්යේෂණ තොරතුරු නාසා ආයතනයට ලැබී නැහැ. ඒකට අදාළ පර්යේෂණ ටික ආරම්භ කරන්න තව මාස 3 – 4 ක් යයි. එහි වටේට ගත්ත කැමරාවල ඡායාරූප අපට එවලා තිබෙනවා. ඒවත් අගහරු පෘෂ්ඨය පිළිබඳව හරි වැදගත්.

කෙසේ වුවත් පසුගිය සතියේ ගිය Insight යානයෙන් ප්‍රධාන පර්යේෂණ 3ක් කරන්න අපේක්ෂිතයි. ඒක මුලින් ම කියන්න පුළුවන් අගහරු ලෝකේ භූමි කම්පා ඇතිවෙනවාද කියලා. අනෙක් පර්යේෂණය මඟින් අගහරු ලෝකෙට උල්කාපාත කඩා වැටෙනවා නම් ඒක වැටිච්ච තැන ඉන් ඇතිවූ කම්පන පිළිබඳව කියන්න පුළුවන්.

අගහරු ලෝකයේ කම්පන පිළිබඳව අධ්‍යයනය අපට වැදගත්. අගහරු ලෝකයේ ගර්භය පිළිබඳව පර්යේෂණ කරන්නත් Insight මඟින් පුළුවන්. අගහරු ගැන වටිනා පර්යේෂණ රැසක් 2011 - 2012 කියුරියෝසිටි යානයෙන් කර තිබෙනවා.

මේ පර්යේෂණ මඟින් අඟහරුවල පෘථිවි කබොල අධ්‍යයනය කරන්න පුළුවන්. අගහරු ලෝකය ගැන අවුරුදු 20ක් තිස්සේ අප පර්යේෂණ කළා. ඒ අනුව අපි අගහරුට යානා යවල අප්‍ සොයා ගත්තා ඒකේ වායුගෝලය තුනී බව. ඒ වායුගෝලය පෘථිවිය මෙන් සියයට 1 යි තිබෙන්නේ. අගහරුවල වායුගෝලය තුනී වුණේ මොකද කියලා පර්යේෂණවලින් පැහැදිලි වුණා. අගහරුවල ඉස්සර ගලාගිය ජලය තිබී තිබෙනවා. නමුත් ඒ ජලය දැන් වියළිලා. ඒ වතුර දැන් නැහැ. දැන් තිබෙන්නේ අයිස් නැත්නම් මඩවතුර.

අගහරුවල චුම්භක ක්ෂේත්‍රයක් නැහැ. ඒ නිසා ඉරෙන් එන සූර්ය සුළඟ වැදිලා අර වායුගෝලය ගලවාගෙන ගිහින්. වායුගෝලය ඉතා තුනී නිසා වතුර දියර ලෙස තියෙන්න බැහැ. තිබ්බොත් ඒවා වාෂ්ප වෙනවා. නැත්නම් අයිස් ලෙස ඝන වෙනවා.

අඟහරු ලෝකයේ මිනිස් ජනපද ඇතිවීම සිහිනයක් වෙයිද? නාසා ආයතනය අඟහරුට මිනිසකු යවන්න තවම පර්යේෂණ කරනවාද?

ඒක සිහිනයක් නෙවෙයි. ඇත්ත වෙනවා. අපි නාසා ආයතනය 2039 දී මිනිසුන් හතර දෙනකු සහිත අභ්‍යවකාශ යානාවක් අඟහරුට යැවීමට දැන් සියල්ල සැලසුම් කර තිබෙනවා. ඊට අවශ්‍ය වන රොකට්ටුව නාසා ආයතනය සකස්කර අවසන්. ඒකේ නම S.L.S. දැන් එකේ අභ්‍යවකාශගාමීන්ට යන්න පුළුවන් සුවිශේෂ ඝන ආරක්ෂිත කුටීරයත් හදලා ඉවරයි. මේ වසරේ මුලදි එහි යන ගගනගාමීන් පුහුණු කරන්නත් ආරම්භ කළා.

අඟහරු තරණයට ඇති ලොකුම ප්‍රශ්නය ගමනට දුර වැඩිකමයි. අපට මිනිසුන් රහිත යානාවක් යැවු‍වත් අපියි අගහරුයි ළංවන්නේ අවුරුදු දෙකෙන් දෙකට. මාස 8 ක් යනවා. පෘථිවියට ළංවන පැත්තට යන්න. ගගනගාමීන් අරගෙන ගියත් මාස 7 ක් යනවා. මාස 7 ගිහිල්ලා ආපසු එනකොට අභ්‍යවකාශගාමීන් ඉන්නේ පෘථිවියට කලින්ට වඩා ඈතින්. එතකොට ඔය ගමනට යනවා අවුරුදු 1 ½ ක් 2 ක් මිනිසුන් රහිත යානාවලට යනකොට කෑම බීම අවශ්‍ය නැහැ. ඒකට බලය සූර්ය බලයෙන් චුම්භක බලයෙන් ලැබෙනවා. නමුත් ගගන ගාමීන් යවන කොට ඒ අයට වායුන් හා කෑම හා ජලය ඕන. ජලය හැර අන් ඒවා සියල්ල ගෙනියන්න පුළුවන්. ඒත් ලොකුම ගැටලුව තමයි ජලය. අපේ ජීවිතවල පැවැතීමට ජලය අවශ්‍යයි. ජලය ගැලුමක් රාත්තල් 10 ක් බරයි. ජලය පීඩනයට පත් කරන්න බැහැ. අපේ ගගන ගාමීන් හතර දෙනකුට වසර 2 කට අවශ්‍ය ජලය අපේ රොකට්වලට ගෙනියන්න බැහැ.

ඒත් ජලය අගහරුට ගෙනියන්න බැරිකමක්ම නැහැ. ඒකට ක්‍රම හා විධි තියෙනවා. විකල්ප ක්‍රම දෙකක් තිබෙනවා.‍ ඒ ඉස්සර ඉඳලා හිතපු ක්‍රමය. ඒ අනුව අපි සැලසුම් කරනවා. අගහරුට ගෙනියන ජලය උඩට අරන් ගොස් කක්ෂගත කරන්න. රොකට්වලින් ගෙනිහිල්ලා ඒ ජලය ඉර වටා යන කක්ෂවලට දමනවා' පහළින් එන අගහරු යානය නතර කර වතුර ප්‍රයෝජනයට ගන්නවා‍.

මේකට නව විකල්පයක් තමයි වල්ගා තරුවකින් වතුර ගන්න එක. අපේ සූර්යග්‍රහ පද්ධතියට නිතර වල්ගා තරු එනවා. ඒවායේ වතුර සෑහෙන්න තිබෙනවා. අපිට වතුර ලැබිල තියෙන්නෙත් කඩන් වැටෙන වල්ගා තරුවලින්. ඒ අනුව වල්ගා තරුවකින් වතුර අරගෙන ඒ වතුර අඟහරු යානයට ලබාදෙන්නයි සැලසුම් කර ඇත්තේ‍. මුලින් ම වල්ගා තරුවකට අභ්‍යවකාශ යානයක් යවනවා. ඉන් පසුව වල්ගා තරුවේ කක්ෂය ක්‍රමයෙන් වෙනස් කරලා ඉර වටා යන්න යොමු කරවනවා. පසුව එහි ජලය අරගන්න කටයුතු කරනවා. ඊට පසු අඟහරු යානය ඒ වල්ගාතරුවට යොමු කර එමගින් ජලය ලබාගන්න පුළුවන්. ඒ නිසා පොළොවේ සිට වතුර අභ්‍යවකාශයට ගෙනියන්න අවශ්‍ය නැහැ. මේක සෑහෙන ලාබ ක්‍රමයක්. 2039 දී අගහරු යානය වෙනුවෙන් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.

නාසා ආයතනයේ පර්යේෂණ අනුව පියාඹන පීරිසි හා පිටසක්වළ ජීවීන් පැමිණි අවස්ථා වාර්තා වී තිබෙනවාද? එහි විද්‍යානුකූල සත්‍යතාවක් තිබේද?

මෙතෙක් ශ්‍රී ලංකාව ඇතුළු ලොව විවිධ රටවලින් මේ වගේ සිද්ධීන් වරින් වර වාර්තා වෙනවා. ඒත් මාධ්‍යවේදීන් හෝ පර්යේෂකයන් මෙම ස්ථානයට යන විට ඒ පිළිබඳව සාක්ෂි තිබෙන්නේ බොහොම අඩුවෙන්. ඒවා විශ්වාස කරන්න පුළුවන් විද්‍යාත්මක පදනමක් නැහැ.

එසේ වුවත් විද්‍යාත්මක පදනමක් ඇතුව විශ්වාස කළ හැකි පිටසක්වළ යානයක් පිළිබඳ තොරතුරක් පසුගිය වසරේ හවායිවල තිබෙන දුරදක්නයක් මගින් අපට දැනගන්නට ලැබුණා. ප්‍රථම වතාවට විද්‍යාත්මක සාධක සහිතව සුවිශේෂ තාරකා විද්‍යාඥයකු සොයාගත් මේ ඝන වස්තුව ගමන් කළේ ඉතා අධික වේගයකින්. මේක සිලින්ඩරයක් වගේ එකක්. දිග කිලෝමීටරයක් හා පළල මීටර් 100ක් වනවා. එහෙත් මෙහි ඝනත්වය අඩුයි. මේ තරම් වේගයකින් ගමන් කරන කිසිම වස්තුවක් හෝ උල්කාපාතයක් වැනි දෙයක් අපි අභ්‍යවකාශය තුළ මීට පෙර දැක නැහැ.‍ චන්ද්‍රිකාවක් පෘථිවියෙන් පිට කර යවන්න පුළුවන් වැඩිම වේගය පැයට සැතපුම් 36000 යි. ඒත් මේ වස්තුව පැයට සැතපුම් ලක්ෂ 2ක වේගයෙන් යනව. ඒක සොයාගත් තාරකා විද්‍යාඥයන් පවසන ආකාරයට මේ වස්තුව පිටසක්වළකින් අපේ සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළුවූ බවට විද්‍යාත්මකව හඳුනාගත් ප්‍රථම වස්තුව වෙනවා. ඒකට නම දමා තිබෙන්නේ ‘පරණ කාලෙ හිටපු නෑදෑයෙක්’ ආව කියල. මේ ආගන්තුක වස්තුවට මේ වගේ වේගයක් ලැබෙන්නත් අවස්ථාව ලැබිල තියෙන්නෙ හිරුගෙන් ඉතා වේගයෙන් එන ආලෝක කිරණවල වැදී වේගය වැඩිවීම නිසයි. මේක චන්ද්‍රිකාවක පියාපතක් වෙන්නත් පුළුවන්. ඒ අනුව අපිට හිතන්න වෙලා තිබෙනවා පිටසක්වළ දියුණු ජීවීන් කොටසක් ඉන්න බවත් ඒ අය විශ්වයේ අනෙක් ප්‍රදේශ පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ කරන බවත්.

අඟහරුගේ ජලය ස්ථිර ලෙසම තිබෙනවාද? ඒ ගැන කළ අලුත් පර්යේෂණ පිළිබඳව සඳහන් කළොත්?

අපි කියුරියෝසිටි යානය පතිත කළේ ‘හේල්’ කියන ආවාටයට. ඒක කිලෝමීටර් 150ක් විතර අරය තියෙන විශාල ආවාටයක්. කන්දකුත් එතුළ තිබෙනවා. එහි තිබෙන ගල් රවුම් වෙලා. ඇළ දොළක ගල් ගත්තාහම රවුම් වෙලා තියෙ‍න්නේ. ඒ වගේ අඟහරු ලෝකේ ගලුත් රවුම් වෙලා තියෙනවා. හේල් ආවාටය වටා ප්‍රදේශයේ තියෙන වැලි කැටයක විශ්කම්භය මිමි. 0.5 සිට 1.5කි. ඒවාත් රවුම් වෙලා තිබෙන්නේ. අනෙක් පින්තූරවල තිබෙනවා කැල්සියම් සල්පේට්. මේ කැල්සියම් සල්පේට් හැදීමට මෙන් ම අර ගල් රවුම්වීමට හේතුවෙලා තිබෙන්නේ අඟහරු ලෝකයේ තිබුණු ගලා ගිය ජලය‍.

අඟහරු ලෝකේ පස් සාම්පල් ටිකක් අරන් රත් කළාම ජල වාෂ්ප පිටවෙනවා. ඒ අනුව ඉස්සර පස් එක්ක වතුර තිබිලා තිබෙනවා‍. තවත් කළ පර්යේෂණ අනුව අවුරුදු මිලියන 200 – 100 අතර කාලයේ පස්වල වතුර මීට වඩා තිබුණු බව අනාවරණය වුණා.

අගහරු වටේ ගමන් කරන මාරිස් රිකෝනේෂන් ඔබිටර් කියන චන්ද්‍රයාගේ ඡායාරූපයක්. ඒ අනුව අගහරු ‍ලෝකයේ කඳු බෑවුම්වල රස්නෙ කාලයට කළු ඉරි පේනවා. පස්සේ අපි පර්යේෂණ කරලා බැලුවා ඒ ගැන. අඟහරුවල රෑට උෂ්ණත්වය ඍන 100ක් දවල්ට සෙන්ට්‍රිගේට් 10ක් විතර. දවල්ට ඒ කඳුවල මඩ එක්ක තිබෙන වතුර උණුවෙලා අර කඳුවල බෑවුම් දිගේ බැහැලා තිබෙනවා. ඒකයි කළු ඉරි ලෙස ලයින් වගේ පේන්නේ.

අගහරු ලෝකයේ ජලය තිබෙන බවට අලුත්ම විද්‍යාත්මක සාක්ෂියක් අපට ලැබී තිබෙනවා‍. ඒක අපි සොයාගත්තේ රේඩාර් එකකින් රේඩියෝ වේව්ස් ඇතුළට ගිහිල්ලා පරාවර්තනය වෙලා ආපු සිග්නල් එකෙන් තමා සොයා ගත්තේ. ඒ අගහරු ලෝකය වටා කක්ෂගත වී ඇති චන්ද්‍රිකාව ‍රේඩාර් මඟින් ගත්ත සුවිශේෂි ඡායාරූපයක් අනුව අඟහරුගේ උතුරු පැත්තේ භූගතව මිදිච්ච අයිස් නිධියක් තිබෙනවයි කියලා හඳුනාගත්තා. ඒක තව රෝවර් එකක් ඇරලා ගවේෂණය කරලා බලන්න ඕන, අයිස් නිධියේ විශාලත්වය ගැන‍.

අපේ විශ්වයේ තවත් තැන්වල ජීවීන් ඉන්න පුළුවන්ද?

අපේ විශ්වය තුළ ජීවීන් ඉන්නවාද කියලා බලන්න ‘ස්පිට්සර්’ දුරදක්නයෙන් අපි ඡායාරූප රැසක් අරන් තිබෙනවා. අපේ කිරි සයුරේ ගොඩාක් තැන්වල තිබෙනවා කාබන් හයිඩ්‍රජන් ධන අයනය. ඒක තමා ජීවීන්ගේ ජීවිතය හැදෙන්න පුළුවන් ප්‍රථම විද්‍යාත්මක සංයෝජනය‍‍. විශ්වය ගත්තහම බිග් බැන්ඩ් තියරි එකෙන් පස්සේ වැඩියෙන්ම හැදුණෙ හයිඩ්‍රජන්. සියයට 90 – 99ක් හයිඩ්‍රජන්. ඊට පස්සේ හීලියම් හා කාබන් අලුතින් සැදුණු තරුවලින් පාරජම්බුල කිරණ විසිකරනවා.

ඒ පාරජම්බුල කිරණ හින්දා CH+ අයනය හැදිලා තිබෙනවා. අපිට මේ ස්පිට්සර් දුරදක්නය අනුව පෙන්නුම් කළා. විශ්වයේ තැන් රැසක මේ CH+ අයනය හැදිලා තිබෙනවා. මේ CH+ අයනය තිබෙන විශාල වලා පටල තිබෙනවා. මේ CH4 අයනය එකතු වෙලා හැදිලා තිබෙන සංයෝග හා නයිට්‍රජන් එකතු වී හැදුණු වලා පටල තිබෙනවා. ඒ අනුව අපට කියන්න පුළුවන් විශ්වයේ විවිධ තැන්වල ජීවීන් ඉන්න පුළුවන් කියලා. ඒ අනුව අපි විතරයි මේ විශ්වයේ ඉන්නේ කියලා හිතන්න එපා. තවත් අය ඉන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ජීවින් අප වගේ නොවෙයි හැඩ රුව වෙනස් වෙන්න පුළුවන්.

මේ වගේ විශ්වය පුරාම නාසා ආයතනය මඟින් අභ්‍යවකාශ පර්යේෂණ රැසක් අපි ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන ඒ කාල වකවානුවලදී ශ්‍රී ලංකාවටත් දැනුම් දෙන්න අපි කටයුතු කරනවා.

නාසා ආයතනය අපේ චන්ද්‍රයා පිළිබඳ පර්යේෂණ සිදුකිරීම අවසන් කර තිබේද? නව පර්යේෂණ ඉදිරියේදී සිදුකරනවාද?

ඉදිරියටත් නාසා ආයතනය අපේ චන්ද්‍රයා පිළිබඳ පර්යේෂණ රැසක් සිදු කරනවා. විශේෂයෙන් මිනිසුන් රහිත යානා හා චන්ද්‍රිකා කීපයක් ඉදිරි වසර කීපයක් ඉදිරි වසර 5 – 6 තුළ චන්ද්‍රයාට යවා එහි අලුත් තොරතුරු ලබාගන්න සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන් චන්ද්‍රයාගේ තිබෙන විශාල ආවාටවල ඇති ජලය හා අයිස් පිළිබඳව මෙන් ම චන්ද්‍රයාගේ ජීවයක් තිබිය හැකිද යන්න හා හ‍ඳේ ජනපද ඉදිකිරීම පිළිබඳව ඉදිරි පර්යේෂණ සිදු කරනවා. යළිත් වරක් වසර 3 – 4 කට පසු මිනිසුන් රහිත යානයක් චන්ද්‍රයාට යැවීමට අපේක්ෂිතයි.

2039 දී අඟහරුට යවන මිනිසුන් සහිත යානයට අවශ්‍ය ජලය හ‍ඳේ තිබෙන අයිස් නිධිවලින් ලබාගැනීමට අදහස් කරනවා. අඟහරු යානය මුලින් හඳට යවා අයිස් ලබාගෙන අඟහරුට යාමටයි සැලසුම් කර ඇත්තේ.

මීට අමතරව 2020 දී කියුරියෝසිටි වැනි තවත් අභ්‍යාවකාශ යානයක් අඟහරුට යැවීමටත් මුලින් යැවූ අභ්‍යාවකාශ යානාවල එකතු කරගත් පස් හා ගල් නාසා ආයතනයට ගෙන්වීමට 2028 දී ‘මාර්ස් සාම්පල් රිටර්න්’ යන යානය ද අඟහරුට යවන්න සැලසුම් කර තිබෙනවා.

අපේ සිසු පරපුරට අභ්‍යවකාශ විද්‍යාව හා විවිධ විද්‍යා ක්ෂේත්‍ර පිළිබඳව වැඩි අවබෝධයක් ලබාගැනීමට උපදේශනය දෙන ආයතන පිළිබඳව කථා කළොත්...

එවැනි ආයතන ඇමෙරිකාව ඇතුළු ලොව සියලු දියුණු රටවල්වල තිබෙනවා. ඒ පිළිබඳව අන්තර්ජාලය මඟින් දැනගන්නට පුළුවන්. ඊට අමතරව මෙරට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය වගේ ආයතන මගින් මේ පිළිබඳව අපේ සිසු පරපුරට ‍උදව් දෙනවා. මීට අමතරව ආතර්. සී. ක්ලාක් මධ්‍යස්ථානය හා නැනෝ ආයතනය මඟින් අභ්‍යවකාශ විද්‍යාව හා නව තාක්ෂණය පිළිබඳව සිසු පරපුරට පාඨමාලා රැසක් තිබෙනවා. ඒවාට යොමුවීමට අපේ සිසු පරපුර වැඩිපුර කටයුතු කළ යුතුයි.

ඔබතුමාට හා පිටරට සිටින අපේ විද්‍යාඥයන්ට ශ්‍රී ලංකාවේ විද්‍යා අධ්‍යාපනය දියුණු කරන්නට කළ හැකි කටයුතු පිළිබඳව කථා කළොත්?

ශ්‍රී ලංකාවේ විද්‍යා අධ්‍යාපනය දියුණු කිරීමට අපිට උදව් දෙන්න පුළුවන්. නාසා ආයතනයේ මම හිතන්නේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 35 ක් විතර ඉන්නවා. ඒ අය එකමුතුව මෙරට විද්‍යා අධ්‍යාපනය, අභ්‍යවකාශ විද්‍යාව වගේ විෂයයන් පිළිබඳව නව දැනුම ලබාදෙන්න අපි දැනටමත් පුළුවන් විදියට කටයුතු කරනවා.

පසුගිය දිනවල පැවති විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මාලාවක් කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණා. එහිදී අපි දූ දරුවන්ට එතෙර මෙතෙර විද්‍යා අධ්‍යාපන කටයුතු සම්බන්ධ කිරීම පිළිබඳව උපදෙස් දුන්නා. අපේ රටේ නව නිර්මාණවලට පිටරට ප්‍රචාරයක් දෙන්න අපි කටයුතු කරනවා. අපේ ර‍ටේ ඉන්න දක්ෂ තරුණ විද්‍යාඥ‍යන්ට නාසා ආයතනයට සම්බන්ධවීමේ ඉඩකඩ තිබෙනවා. හැබැයි ඒ එහි පවතින පර්යේෂණ කටයුතු හා පුරප්පාඩු අනුවයි.

Comments