නැව්වලින් එන සංචාරකයන්ගෙන් පිරෙන කොළඹ | Page 3 | සිළුමිණ

නැව්වලින් එන සංචාරකයන්ගෙන් පිරෙන කොළඹ

මෙරට සංචාරක ව්‍යාපාරය මෑත කාලය තුළ ශීඝ්‍ර වර්ධනයක් ඇති කර ගෙන තිබේ. විශේෂයෙන් ම දශක තුනකට ආසන්න කාලයක් මෙරට ආර්ථිකයේ කොදු නාරටිය කඩා බිඳ දමා තළා පෙළා දැමූ ම්ලේච්ඡ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට අප රට සමත් වීමත් සමඟ ඇති වුණු සාමකාමී වාතාවරණය නිසා ලොව විවිධ රටවලින් සංචාරකයෝ අප රට වෙත ඇදී ඒම ආරම්භ කළහ.

පසුගිය වසර කීපය තුළද මිලියන 02කට වැඩි සංචාරකයින් පිරිසක් එක් වර්ෂයක් තුළ මෙරට සංචාරයට ආ බව වාර්තා පොත්වල සඳහන්ව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017, 2018 හා 2019 යන වර්ෂයන් සංචාරක වසර ලෙස නම් කර ඇති අතර මේ වසර අවසානයේදී ද ලක්ෂ 25කට වැඩි සංචාරකයන් මෙරට සිරි නරඹන්නට පැමිණෙනු ඇතැයි අපේක්ෂා වී තිබේ. මෙලෙස පැමිණි හා පැමිණෙන සංචාරකයන්ගෙන් වැඩි පිරිස ගුවන් මඟින් මෙරටට සංචාරය සඳහා පැමිණෙන අතර දැන් දැන් සංචාරක මගී නෞකා මඟින්ද සංචාරකයින් පැමිණීමේ ප්‍රවණතාවක් දකින්නට ඇත. දකුණු ආසියාවේ පමණක් නොව සමස්ත ආසියානු කලාපයේ ම ප්‍රමුඛතම වරායක් ලෙස පිළිගැනෙන කොළඹ වරාය ශ්‍රී ලාංකීය සංචාරක කර්මාන්තය සුභදායී දිශාවක් වෙත යොමු කරලීම සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දෙන අතර එම වරාය වෙත පැමිණෙන සංචාරක මගී නෞකාවල කැපී පෙනෙන වර්ධනයක් මේ වන විට ඇති වී තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු තොරතුරු වලට අනුව මේ වසරේ ගෙවුණු මාස 10 තුළ පමණක් කොළඹ වරායට පැමිණ ඇති සංචාරක මගී නෞකා ප්‍රමාණය 45කි. පසුගිය වසරේ එම මාස 10 තුළ සංචාරක මගී නෞකා 35ක් පමණක් මෙරටට පැමිණ ඇති අතර ඒ අනුව වසරක් තුළ ඇති වුණු වර්ධනය සියයට 28.6ක් බව පෙනෙන්නට තිබේ. කොළඹ වරායට පමණක් නොව ගාල්ල, ත්‍රිකුණාමලය හා හම්බන්තොට පිහිටා ඇති වරායන් වෙත ද විවිධ රටවල සිට සංචාරක මගී නෞකා වැඩි වැඩියෙන් දැන් පැමිණෙන අතර එකී වරායන් වෙත පසුගිය වසරේදී මගී නෞකා 58ක් පැමිණ ඇති බවද වාර්තා වේ.

ආසියානු, අප්‍රිකානු හා ඕස්ට්‍රේලියානු මහද්වීප කේන්ද්‍ර කර ගනිමින් භූගෝලීය පිහිටීමේ සුවිශේෂී ශක්‍යතාව උපාය මාර්ගික ලෙස භාවිත කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොළඹ වරාය ඇතුළු මෙම ශ්‍රී ලාංකීය වරායන් මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතියට විශිෂ්ට දායකත්වයක් ලබාදීමට නිසැකවම සමත්කම් දක්වා තිබේ. මේ වන විට මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් නඟා සිටුවීමේ අරමුණින් ප්‍රශස්ත මට්ටමේ යටිතල පහසුකම්වලින් සපිරි නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත මගී පර්යන්තයක් කොළඹ වරාය තුළ ඉදිකිරීමට ද සැලසුම් කර ඇති අතර එඟින් මෙරටට පැමිණෙන සංචාරක මගී නෞකාවන් සඳහා වැඩි වැඩියෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි වනු ඇතැයි ද ගණන් බලා තිබේ.

සංචාරක මගී නෞකා වැඩි ප්‍රමාණයක් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා කොළඹ වරාය දැක්වූ මෙම සමත්කම පසුපස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ප්‍රමුඛ එහි කළමනාකාරිත්වය සිටින බවට විවාදයක් නැත.

පසුගිය කාලය තුළ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද සමරසිංහ මහතා ප්‍රධාන දේශපාලන නායකත්වය ද කොළඹ වරාය ඇතුළු ශ්‍රී ලාංකීය වරායන් ලැබූ සියලු ජයග්‍රහණයන් හි යෝධ සෙවණැල්ලක් වී තිබේ.

සංචාරක මගී නෞකා හැරුණු විට මෙම වසරේ පළමු මාස 10 කාලයේදී කොළඹ වරාය තුළ සිදු කෙරුණු ප්‍රතිනැව්ගත බහාලු මෙහෙයුම්වල සියයට 19.5ක වර්ධනයක් පෙන්නුම් කිරීම ද විශේෂත්වයකි.

මේ වනවිට කොළඹ වරාය වර්ධනය කිරීමේ අවබෝධතා ගිවිසුම යටතේ ICT, SAGT, CICT යන පර්යන්ත ත්‍රිත්වය සාමූහිකව කටයුතු කරන අතර කොළඹ වරාය අන්තර්ජාතික වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් හා සංවිධානයන් සමඟ නව නැව් සේවාව ආකර්ෂණය කර ගැනීම සඳහා ද විවිධ පියවර රැසක් ආරම්භ කර තිබේ.

(Aiphaliner) වාර්තාවලට අනුව කොළඹ වරාය 2018 පළමු අර්ධය තුළ ලෝකයේ ප්‍රධාන බහාලු මෙහෙයුම් වරායන් 30 අතර වර්ධන වේගයෙන් පළමු ස්ථානයට ද පත්ව තිබේ. එපමණක් නොව Drewry වරාය සම්බන්ධතා දර්ශකය අනුව කොළඹ වරාය ආසියාවේ විශිෂ්ටතම සම්බන්ධිත වරාය බවට ද පත්ව ඇත. එපමණක් නොව එම වරාය ලෝකයේ සමුද්‍රිත සිතියම තුළ ස්වකීය ස්ථානය ඉතා කදිමට තහවුරු කර ගනිමින් ග්ලෝබල් පෝට් ෆෝටේ (GPF) මඟින් පිරිනැමුණු “2018 වසරේ වරාය අධිකාරිය” සම්මානය දිනා ගැනීමට ද සමත්කම් දක්වා තිබේ.

 

 

Comments