වම දකුණ මාරු වූ ජාතික රෝහලේ සැත්කම | සිළුමිණ

වම දකුණ මාරු වූ ජාතික රෝහලේ සැත්කම

  • ඔපරේෂන් එකේදී වරදක් වුණ බව ඒ අය පිළිගත්තා
  • කකුල් දෙකම තුවාල කරගෙන මම කොහොමද හිටගන්නේ
  • කකුල් දෙකට මොනව හරි වුණොත් දරුවන්ට කන්නත් නැති වේවි

"ඇත්තට ම වම් කකුලෙ ශල්‍යකර්මයක් කළේ නැහැ. වම් කකුලෙ ආබාධයක් හඳුනා ගත් නිසා පොඩි සිදුරකින් කුඩා කැමරාවක් යවලා පරීක්ෂණයක් කිරීම පමණයි මෙහිදී සිදු කර තිබෙන්නේ රෝහල් අධ්‍යක්ෂ පවසයි"

පාණදුර නිවුඩාවේ පදිංචි අයි.පී. චමින්ද කුමාර නොවැම්බර් 29 වැනි දින කොළඹ ජාතික රෝහලේ 74 වැනි වාට්ටුවට ඇතුළත් වුයේ දකුණු දණහිසේ ආබාධයකට ප්‍රතිකාර වශයෙන් සැත්කමකට මුහුණ දීමට ය. දෙසැම්බර් 03 වැනි දින ශල්‍යකර්මය සිදු කිරීමට නියමිත බැවින් දෙසැම්බර් 02 වැනි දා රාත්‍රී 10.00 න් පසුව චමින්ද කුමාරට ආහාර පාන ලබා නොදෙන ලෙස රෝහලෙන් නියම කෙරිණි. ඉන් අනතුරුව ඔහුගේ දකුණු පාදයේ දණහිස ප්‍රදේශයේ රෝම ඉවත් කරමින් ගෝස්වලින් වසා ඔහු සැත්කමට සූදානම් කරනු ලැබීය. එහෙත් චමින්ද කුමාරගේ වාරය එළැඹුණේ හිරු බැස යන ජාමයේ ය. එනම් දෙසැම්බර් 03 වැනි දින රාත්‍රී 7.30 ට පමණ ය. එය අවසන් වී ඔහු වාට්ටුවට රැගෙන එන විට රාත්‍රී 10.00 පසු වී තිබිණි.

චමින්ද කුමාරගේ ඇඳ ඉදිරිපස සිටින රෝගියා වාට්ටුවට රැගෙන ආ ඔහුගෙන් ඇසුවේ පුදුම කතාවකි. ඒ ශල්‍යකර්මය සිදු නොකළේ මන්ද යනුවෙනි. “ඔපරේෂන් එක කළා” චමින්ද පිළිතුරු දුන්නේ නින්දත් නොනින්දත් අතර පාවෙමිනි. එකී පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ අසල්වැසි රෝගියා “එහෙනම් මොකද මේ ඔපරේෂන් එකට ලෑස්ති කරපු කකුල ඒ විදිහටම තියෙන්නේ?” යනුවෙන් විමසමින් චමින්දගේ දෙපා වසා තිබූ රෙද්ද ඉවත් කළේය. ඔහු දුටු දෙයින් ඔහුට දෙනෙත් අදහා‍ගත නොහැකි විය. චමින්දගේ සැත්කම කර තිබුණේ ඒ සඳහා සූදානම් කර තිබුණු දකුණු පාදයට නොව වම් පාදයට ය. චමින්ද දෙවියන් බුදුන් සිහි විය. සිය බිරිය සහ දරු දෙදෙනා මතකයට නැඟිණි. ඇත්තට ම ඔහුගේ දෙනෙත් කඳුළින් පිරී ගියේ ජීවිතයේ කිසිම දිනෙක මේ තරමට අසරණ නොවුණු නිසාය. සිය හැඬුම් අතරින් ඔහු සිය වැඩිමහල් සොහොයුරු නිමල් ශාන්ත ඇමතුවේ ය. රාජගියේ පදිංචි වී සිටි නිමල් ශාන්ත කඩිනමින් රෝහල වෙත දිව ආවේය. රෝහල් ආරක්ෂක නිලධාරීන් ඔහුට ඇතුළු වීමට ඉඩ නොදුන්න ද ඔහුගේ මිතුරකුගේ මාර්ගයෙන් ඔහු 74 වැනි වාට්ටුවට රිංගා ගත්තේය.

“මම වාට්ටුවට යන විට රෑ 10.30 ට විතර ඇති. මම යන විට මල්ලිගේ ඇඳ වටේට නර්ස්ලා, සිස්ටර්ලා ගොඩක් හිටියා. මම ඇහුවා මොකද වුණේ කියලා. ඔපරේෂන් එකේදී වරදක් වුණ බව ඒ අය පිළිගත්තා. එම්. මොහොන්දන් කියන ඩොක්ටර් තමයි මල්ලිගේ ඔපරේෂන් එක කළේ. ඔපරේෂන් එකට සූදානම් කරපු කකුල පේන්න තියෙද්දි අනිත් කකුල ඔපරේෂන් කරන්න ගන්නවා කියන එකෙන්ම ඩොක්ටර්ගේ නොසැලකිල්ල පේනවා. ඒ අය කොයි තරම් අපරික්ෂාකාරී විදිහට ද වැඩ කරන්නේ? මල්ලිගේ ඉණෙන් පහළ හිරි වැට්ටලා ඔපරේෂන් එක කළේ. ඒ නිසා මල්ලිට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. එයා දැක්කා නම් ඩොක්ටර්ට කියනවා. ඒත් මල්ලි දැකලා නැහැ. දැන් ඩොක්ටර් කියන්නේ වම් කකුලේ ආබාධයක් දැක්කා, ඒ නිසයි. එය ඔපරේෂන් කළේ. වම් දණහිසට වෑල් එකක් දාන්න ඕනෑ කියලා. එත් අපි ප්‍රතිකාර ගන්න ගියේ වම් කකුලට නෙමෙයිනේ, දකුණු කකුලටනේ.” යනුවෙන් නිමල් ශාන්ත සිය බාල සොහොයුරාට සිදු වූ විපත්තිය විස්තර කළේ වේදනාබර හඬකිනි.

අයි.පී.චමින්ද කුමාරගේ දකුණු පාදයේ දණහිසේ ආබාධයක් ඇති වුණේ 2001 වර්ෂයේ සිදු වූ යතුරුපැදි අනතුරත් සමඟිනි. එකී යතුරුපැදි අනතුර හේතුවෙන් එ් වස‍ෙර්දී කොළඹ ජාතික රෝහලේ 76 වැනි වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලැබීමට සිදු වූ අතර සැත්කමට ද මුහුණදීමට සිදු විය. එ් සැත්කම කරනූ ලැබුවේ වසන්ත පෙරේරා ශල්‍ය වෛද්‍යවරයා විසිනි. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී 2014 වර්ෂයේ සිට නැවතත් චමින්ද කුමාරගේ දකුණු දණහිස වේදනා දෙන්නට විය. දිනෙන් දින‍ වේදනාව උත්සන්න වුවා පමණක් නොව දණහිස පැනීම පවා සිදු වු බැවින් මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී හර්ෂ මෙන්ඩිස් වෛද්‍යවරයා චැනල් කර හමුවීමට ගියේ “ග්ලිට්ස්” ආයතනයේ වඩු කාර්මික වශයෙන් සිය ජීවන වෘත්තිය පවා හරිහැටි කර ගෙන යෑමට දණහිසේ ආබාධය බාධාවක් වූ බැවිනි.

“එහිදී හර්ෂ මෙන්ඩිස් ඩොක්ටර් කිව්වේ මල්ලිට දණහිසක් දාන්න වේවී. දණහිසක් දාලා අවුරුදු 15 ක් විතර තමයි වැඩ කරන්න පුළුවන් වෙන්නේ, ඒ නිසා දැනට දණහිසේ පටක ඉවත් කරලා මල්ලිට අවුරුදු 55 ක් විතර වුණාම දණහිසක් බද්ධ කරමු කියලා. දණහිසේ පටක ඉවත් කරන්න ජාතික රෝහලේ ඔහුගේ වාට්ටුවට ඇතුළත් වෙන්න කියලා කිව්වා. ඒ අනුව අපිට 29 වැනි දා ඇතුළු වෙන්න කියලා කැඳවීමක් ලැබුණා. ඊට පස්සේ තමයි අපි මල්ලිව 74 වාට්ටුවට ඇතුළත් කළේ.” යනුවෙන් සඳහන් කළේ චමින්දගේ සො‍යුරු නිමල් ශාන්තය.

එක් ආබාධයක් සුවපත් කර ගැනීමට ගිය චමින්ද කුමාරට සිදු වුයේ “එකක් කඩතොළු මකා ගන්නට ගොහින් මට වුණ කාරියා දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා” යැයි පැවසීමටය. චමින්ද කුමාර පවසන්නේ ඔහු සැත්කමට භාජනය කරන අතරවාරයේදී වෛද්‍යවරයා ජංගම දුරකථන සංවාදයේ යෙදුණු බවකි. ඉණෙන් පහළ හිරි වට්ටවා තිබුණු බැවින් කුමන කකුලට ශල්‍යකර්මය කළේ ද යන්න ඔහුට නොදැනුණු නමුත් වෛද්‍යවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් පැමිණි හඬ සහ ඔහු සංවාදයේ යෙදෙන හඬ ඔහුට හොඳින් ඇසුණු බව ඔහු අවධාරණය කරයි. මෙයින් පෙනෙන්නේ රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමේ නීතියක් පැන‍වූ ආකාරයට සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ගේ ජංගම දුරකථන භාවිතයට ද යම් පියවරක් ගත යුතු බව ය.

“මෙතැන වැරැද්දක් වෙලා තියෙනවා. දකුණු කකුලෙ සැත්කම කරන්න තිබෙද්දි වම් කකුලෙ කරපු එක වැරදියි. ඇත්තට ම වම් කකුලෙ ශල්‍යකර්මයක් කළේ නැහැ.

වම් කකුලෙ ආබාධයක් හඳුනා ගත් නිසා පොඩි සිදුරකින් කුඩා කැමරාවක් යවලා පරීක්ෂණයක් කිරීම පමණයි මෙහිදී සිදු කර තිබෙන්නේ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමෙන් පරීක්ෂණයක් පැවැත්වෙනවා. මරදාන පොලිසියෙනුත් මේ ගැන පරීක්ෂණයක් සිදු කරනවා.” යනුවෙන් සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ ය.

චමින්ද කුමාරට සිදු වූ ඇබැද්දිය ගැන ඔහුගේ සොයුරු නිමල් ශාන්ත මරදාන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ඉන් නොනැවතුණු ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ හමු වී මේ සම්බන්ධයෙන් දන්වා ඇත. ඉහත කී පරීක්ෂණ පැවැත්වෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. නිමල් ශාන්ත සිය සොයුරාට වෛද්‍යවරයාගෙන් සිදු වූ අසාධාරණය ගැන පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද ගොස් තිබුණි.

“ඒත් වෛද්‍ය සභාවෙන් කිව්වා පැමිණිලි ලැබෙන පිළිවෙළටයි විභාග කරන්නේ. කොහොම වුණත් මේ පැමිණිල්ල විභාග කරන්න මාස 2ක් 3ක් වත් යයි කියලා කිව්වා. ඒ නිසා මම වෛද්‍ය සභාවට පැමිණිලි කළේ නැහැ. යනුවෙන් සඳහන් කළේ චමින්ද කුමාරගේ සොහොයුරු නිමල් ශාන්ත ය.

චමින්ද වම් පාදයේ ආබාධයක් දුටු බැවින් එයට සැත්කමක් කළ බව රෝහල් බලධාරීන් නිමල් ශාන්තට ද පවසා ඇත. වම් පාදයේ ආබාධයක් දුටුවේ නම් ඒ බව රෝගියාට සහ රෝගියාගේ භාරකරුවන්ට දැනුම් නොදුන්නේ ඇයි? එසේ නම් දකුණු පාදය සැත්කම සඳහා සූදානම් කළේ ඇයි? කන්න හිතුණාම කබරගොයාත් තල‍ගොයා වෙනවා යනුවෙන් ගැමියන් පවසන්නේ මෙවැනි කතාවලටය.

“මේ සිද්ධියෙන් පස්සේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය මට කෑම බීම පවා දෙන්න සූදානම් වුණා. මම කෑම බීම නොවෙයි. ඖෂධවත් ගත්තේ නැහැ. ඇත්තටම මට මෙයාලගේ වැඩ කටයුතු ගැන සැක හිතුණා. වාට්ටුවේ වෛද්‍යවරුන්ට කියලා බේත් ලියවා ගෙන මම අයියාට කියලා පිටින් ගෙන්වා ගත්තා. 8 වැනි සෙනසුරාදා මගේ දකුණේ කකුලෙ ඔපරේෂන් එක කරන්න ඩොක්ටර්ස්ලා කැමැත්ත පළ කළා. ඒත් කකුල් දෙකම තුවාල කරගෙන මම කොහොමද හිට ගන්නේ? මම ඇවිදින්නේ කොහොමද? මම දැනටමත් කොර ගහමින් ඇවිදින්නේ. ඒ නිසා මම ඔපරේෂන් එක කරන්න කැමැති වුණේ නැහැ.” යනුවෙන් චමින්ද කුමාර සඳහන් කළේය.

ඔහුගේ සොයුරු නිමල් ශාන්ත පැවසුවේ ඊට එකඟ නොවන්නේ නම් ස්වකීය කැමැත්තෙන් ටිකට් කපාගෙන යන බව දැනුම් දුන් බවය. කෙසේ නමුත් අවසානයේදී විවිධ වෛද්‍ය පරීක්ෂණ කටයුතුවලට දින ලබා දී 6 වැනි බ්‍රහස්පතින්දා සවස චමින්ද කුමාර රෝහලෙන් මුදා හැර තිබිණි. මේ වන විට ඔහු පානදුර කුලී නිවෙසේ කල්ගත කරයි.

ඔහුගේ බිරිය රැකියාවක් නොකරන ගෘහණියකි. දියණිය 8 ශ්‍රේණියේ ‍ඉගෙනුම ලබන අතර පුතා 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. මුළු පවුලේම බර දරා සිටින්නේ චමින්ද කුමාර ය. ඔහුගේ දෙපා අප්‍රාණික වුවහොත් ඔහුට වඩු කාර්මිකයකු ලෙස ජීවනෝපාය කර ගෙන යෑමට නොහැකි වී මුළු පවුලම අසරණ තත්ත්වයට පත්වනු ඇත.

අද රටේ බොහෝ දෙනකුට වම - දකුණ මාරුවීම එතරම් පුදුම විය යුතු නැත. එහෙත් වම - දකුණ මාරුවීමෙන් බැට කන්නේ චමින්ද කුමාර වැනි අහිංසක ජනතාව බව සිහියේ තබා ගත යුතුය.

Comments