වවුචර ක්‍රමය අසාර්ථකයි පෙබරවාරියට පෙර සෑම සිසුවකුටම නිල ඇඳුම් | සිළුමිණ

වවුචර ක්‍රමය අසාර්ථකයි පෙබරවාරියට පෙර සෑම සිසුවකුටම නිල ඇඳුම්

"පාසල් නිල ඇඳුම් රෙදි ලබා දිමේ ඉතිහාසය හා සසඳද්දි 1993 වසරේ සිට කාලයක් පුරාවට දරුවන් අතට පත්වූයේ පාසල් නිල ඇඳුම් රෙදිය. එය යම් යම් අඩුපාඩු විවේචන මැද පවත්වාගෙන ආ අතර පසුගිය රජය යටතේ එනම් 2016 වසරේදි එය නිල ඇඳුම් ලබා දීම වෙනුවට වවුචරපත් හෙවත් තිළිණ පත් ලබා දිම සිදු විය. එසේ වූයේ නිල ඇඳුම් ලබා දීමේදි වු විවිධ ගැටලු ඉස්මතු කරමිනි."

තවත් පාසල් වාරයක් නිමා විය. මතක ඇති කාලයක දෙසැම්බරයේ ලද පාසල් නිවාඩු අතරින් දිගම නිවාඩු කාලය මෙය විය. මසකුත් දින කිහිපයක් ඒ නිවාඩුව සිත් සේ ගෙවන්නට, විඳින්නට දරුවන්ට හැකියාව තිබේ. පළමු හා දෙවැනි වාර දෙකේ නිවාඩු කාල මෙන් නොව දෙසැම්බර් නිවාඩුව දරුවන්ට බොහෝ සෙයින් විශේෂිත වන්නේ නව පාසල් වාරයක් ඉන් අනතුරුව එළඹෙන නිසාය.

නව පාසල් වාරයේ අලුත් පෙළපොත් ගොන්නේ සතුට විඳින්නටත්, අලුත් පාසල් වාරයට අලුත් ඇඳුමකින් සැරසී යන්නටත් ඇවැසි අලුත් පෙළපොත් ලැබෙන්නේත්, නිල ඇදුම් ලැබෙන්නේත් මේ දෙසැම්බර් නිවාඩුවට පෙරය.

එහෙත් දෙසැම්බර් නිවාඩුව ලැබුණද මේ වන තෙක් දරුවන් අතට පාසල් නිල ඇඳුම් රෙදි හො නිල ඇඳුම් සඳහා වූ වවුචර් ලැබුණේ නැත. එය ලැබෙන්නේ එළඹෙන නව පාසල් වාරයෙන් පසුවය. කොතරම් නැති බැරි වුවත් මවුපියන් තම දරුවන් අලුත් පන්තියකට ඇතුළු වන නව පාසල් වාරයේ පරණ ඇදුම් අන්ද වන්නේ නැත. නව පාසල් වාරයට පාසලේ අලුත් පන්තියට යන දරුවෙකුගේ සිතේ අලුත්ම හැඟීම් පුබුදු වන්නට නම් අලුත් පාසල් ඇඳුමක්, අලුත් පොත් බෑගයක් මෙන්ම අලුත් සපත්තු දෙකක් ඇවැසිය. පාසල් නිල ඇඳුම් බලාපොරොත්තුවෙන් සිටි මවුපියන් මේ වසරේ කඹලෙන් ළිපට වැටී ඇත්තේ පාසල් නිල ඇදුම් රෙදි හෝ වවුචර් නිවාඩු දින තෙක්ම ලබා නොදීම නිසාය.

බොහෝ පාසල් දරුවන්ට පෙළ පොත් පවා හරිහැටි නොලැබුණු බවට විවිධ චෝදනා ඇති අතර ඔවුන් ඒ සඳහා පවසා ඇත්තේ පාසල්වලට පෙළ පොත් ලැබීමේ යම් අඩුවක් පවතින බවය.

පාසල් නිල ඇඳුම් රෙදි ලබා දිමේ ඉතිහාසය හා සසඳද්දි 1993 වසරේ සිට කාලයක් පුරාවට දරුවන් අතට පත්වූයේ පාසල් නිල ඇඳුම් රෙදිය. එය යම් යම් අඩුපාඩු විවේචන මැද පවත්වාගෙන ආ අතර පසුගිය රජය යටතේ එනම් 2016 වසරේදි එය නිල ඇඳුම් ලබා දීම වෙනුවට වවුචරපත් හෙවත් තිළිණ පත් ලබා දිම සිදු විය. එසේ වූයේ නිල ඇඳුම් ලබා දීමේදි වු විවිධ ගැටලු ඉස්මතු කරමිනි. නමුත් එයද පාසල් නිවාඩුවට පෙර දරුවන් අතට පත්විමට බලධාරීහූ වගබලා ගත්හ. නමුත් මෙවර යම් හේතු කාරණ මත පාසල් නිල ඇදුම් පාසල් දරුවන් අතට පත්වූයේ නැත. නැවතත් රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹියේ පාසල් නිල ඇඳුම් තිලිණ පත් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබා දිමටය. 2018.11.22 වැනි දින ඒ සඳහා කැබිනට් අනුමැතිය පවා ලැබිණි.

මේ තත්තවය ඇති වීමට හේතුකාරණා ගෙන හැර දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ නිල ඇදුම් රෙදි ලබා දීමට වියදම් කරන මුදලට වඩා රුපියල් මිලියන 550ක මුදලක් 2018 වසර වෙනුවෙන් වියදම් කරන්නට අධ්‍යාපන අමාත්‍යංශයට සිදුවූ බවයි. එසේම නිල ඇදුම් රෙදි ලබා දිමේදි කලින් එම රෙදි දේශීය නිෂ්පාදකයන්ගෙන් ලබාගත් නමුත් වවුචර් හේතුවෙන් ආනයනය කරන ලද නිල ඇඳුම් රෙදි ලබා දිමට රුපියල් මිලියන 1000කට අධික විදේශ විනිමය ප්‍රමාණයක් විදේශ රටවලට ගලාගිය බවයි.

තෙවැනි කරුණ වශයෙන් සඳහන් කරන්නේ දේශීය කර්මාන්ත වලින් එම රෙදි වසර 3ක් තිස්සේ මිලදි නොගැනීමෙන් දේශීය කර්මාන්තය අඬපණව ගොස් ඇති අතර එමඟින් රැකියා දහස් ගණනක් අහිමි ව ඇති බවය.

සිවු වැනි කරුණ ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම තිළිණ පත් මුද්‍රණයට රුපියල් මිලියන 10ක මුදලක් අතිරේකව වැය කරන්නට සිදුව ඇති බවය. පස් වැනි කරුණ ලෙස දක්වා ඇත්තේ මීට කලින් අමාත්‍යාංශය මඟින් ලබා දුන් නිල ඇඳුම් රෙදි තත්ත්ව පරීක්ෂණයකට ලක් කොට ප්‍රමිතිය සහතික කර ඇතත් තිළිණ පත්වලින් ලබා ගැනීමේදි බොහෝ දෙනෙකු ප්‍රමිතියෙන් තොර රෙදි සඳහා අසුවන බවයි.

අවසන් කරුණ වශයෙන් දක්වා ඇත්තේ එම තිළිණ පත්වලින් නිල ඇදුම් ලබා ගැනීමේදි මවුපියන්ට අමතර වැය බරක් හා කාලයක් ගත කරන්නට සිදුව ඇති බවයි. මේ කරුණු සියල්ල සාධාරණීකරණය කරමින් අධ්‍යාපන ඇමැතිවරයාගේ උපදෙස් ඇතිව නව පාසල් වාරයේ පෙබරවාරි මස අවසන් වීමට පෙර පාසල් නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරයි.

මේ නිසා නව පාසල් වාරයේ දරුවන් පාසල් ගතකරන්නට කුමන ක්‍රමයකට හෝ ණය වී දරුවන්ට අලුත් ඇඳුම් මසා දෙන්නට හෝ මැසූ ඇඳුම් රැගෙන දෙන්නට මවුපියන්ට සිදුවේ. මේ වන විට වෙළෙඳ පොළ මිල ගණන් යටතේ සාමාන්‍ය කුඩා දරුවෙකුගේ කමිසයක් හෝ කලිසමක් රුපියල් 500 ඉක්මවයි. ගැහැනු දරුවෙකුගේ සුදු ගවුමක් වෙනුවෙන් රුපියල් 1000කට ආසන්න මුදලක් දැරීමට සිදුවෙයි. ඒ පාසල් නිල ඇඳුම පමණක් වන අතර අනෙකුත් යට ඇඳුම් ඉන් බාහිර වියදම්ය. දරුවන් දෙතුන් දෙනෙකු සිටින පවුලකට මෙය තවත් බරකි.

මේ වසරේ දී ද පාසල් පෙළපොත් වෙනුවෙන් රජය රුපියල් මිලියන 3500ක් පමණ වැය කර තිබේ. එහෙත් පාසල් නිවාඩුවට පෙර සමහර පාසල් දරුවන්ට ඇතැම් විෂයන්හි පෙළ පොත් ලැබී තිබුණේ නැත. ඒ පිළිබඳ විවිධ ප්‍රචාර පැතිරුණු අතර එයින් ප්‍රධාන වූයේ පෙළ පොත්හි හිටපු අධ්‍යාපන ඇමැතිවරයෙකුගේ ඡායාරුපය තිබීම හේතුවෙන් නැවතත් එය ඉවත් කරමින් පොත් මුද්‍රණය කරන්නට වීම මේ ප්‍රමාදයට හේතුව බවයි.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඒ අදහස් තරයේ ප්‍රතික්ෂේප කරමින් පාසල් නිවාඩුවට පෙර පෙළපොත් බෙදාදීමේ කටයුතුවලින් සියයට 91ක පමණ අහවර කරන්නට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට හැකි වූ බව කියයි. 2019 වසර සඳහා පාසල් නිවාඩුව වන විට පෙළපොත් වර්ග 419න් 413ක මුද්‍රණ කටයුතු අවසන්ව තිබිණි. නමුත් යම් යම් ප්‍රමාදයන් තිබූ බව අධ්‍යාපන ප්‍රකාශන දෙපපාර්තමේන්තුව පිළි ගන්නා අතර මේ ප්‍රමාදයන් පැවැතියේද ලබන වසර මුලදී අවශ්‍ය වන මුලික පෙළ පොත් සඳහා නොවේ.

අමතර කියවීම් පොතක් වූ සන්නිවේදන පෙළ පොත, සමහර පෙළ පොත්හි දෙවැනි කොටස මෙන්ම පළමු වසර (පළමු වසර පන්ති ආරම්භ වන්නේ ජනවාරි මැද නිසා) පෙළ පොත් යම් ප්‍රමාදයක් වි ඇති අතර මේ වන විට ඒවාද යථා ත්ත්වයට පත් වී ඇත. ඒ සඳහා කිසිදු දේශපාලන පදනමක් නැති බව පිළිගන්නා එම දෙපාර්තමේන්තු බලධාරින් සඳහන් කරන්නේ සෑම වරසකම පාසල් නිවාඩුව ලබන විට සියයට සියයක්ම පෙළ පොත් මුද්‍රණය කිසිම වසරකවත් අවසන්ව නොතිබූ බවය.

ඒ පිළිබඳ අදහස් දක්වන එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ යම් පාසලකට මේ වන විට යම් අඩු පාඩුවක් ඇත්නම් දෙපාර්තමේන්තුවට දැනුවත් වී අඩුපාඩු පෙළ පොත් ලබාගත යුතු පවයි. එසේම සාධාරණ හේතු මත මවුපියන්ට පවා දෙපාර්තමේන්තුව දැනුවත් කර අඩුපාඩුව පවතින පොතක් හෝ දෙකක් ලබාගත හැකි බවයි.

කෙසේ වෙතත් පෙළ පොත්වල ගැටලුවක් නැතත් පාසල් නිල ඇඳුම් ගැටලුවට වහා විසැඳුම් ලබා දීමට කාලය පැමිණ ඇත. රටේ පවත්නා අස්ථාවරත්වය මත මේ කටයුතු කොතෙක් දුරට දිග්ගැස්සේද යන්න ගැටලුවකි. එහෙත් යම් යම් අඩුපාඩුවලට විසඳුම් ලබා දී හෝ පාසල් වාරය ආරම්භයේදීම දරුවන්ට නිල ඇදුම් ලබාදුනහොත් මවුපිය වියදමින් අරගත් ඇඳුමත් සමඟ මාරුවෙන් මාරුවට හෝ මේ ඇදුම් ඇඳිය හැකි වෙයි.

Comments