
කිතුල් පැණිවල දියවැඩියා රෝගය වැළැක්වීමේ ගුණ තිබේ
නිරෝෂ් සමරවික්‍රම
වැලිසර ළය රෝහලේ වෛද්‍ය
දියවැඩියාව රෝගයට ගොදුරු වන අය දිනෙන් දින ඉහළ යන මොහොතක දියවැඩියාව රෝගයෙන් වැළකී සිටින්නට හැකි නම් ඒ තරම් සම්පතක් තවත් නැත. එහෙත් එය ඉබේ සිදු වන්නක් නොවේ. එය සිය ආහාර පාන සහ ඇවතුම් පැවතුම් අනුව සකස් කර ගත යුතුය. මතු දැක්වෙන උපදෙස් අනුගමනය කිරීමෙන් දියවැඩියාව රෝගයට ගොදුරු නොවී නිරෝගි පුරවැසියකු වශයෙන් ඔබට ජීවත් විය හැකිය. දියවැඩියාවට ගොදුරු වී සිටින්නකුට රෝගය පාලනය කර ගත හැකිය.
කෘෂි රසායන ද්‍රව්‍ය සංයෝග වී නොමැති ආහාර භෝග වගා කිරීම සහ පරිභෝජනය
අද වෙළෙඳපොළේ තිබෙන සහල්, එළවළු පලතුරුවලට කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු වී තිබීමෙන් ආසනික් ඇතුළු බැරලෝහ මිනිස් සිරුරට ශරීරගත වන්නේ නිරායාසයෙනි. දියවැඩියාව, පිළිකාව ඇතුළු ලෙඩ රෝග රැසකට මුල පුරන්නේ මේ ආකාරයට ශරීරගත වන විෂ සංඝටකය. එබැවින් කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර පරිභෝජනයෙන් ඈත් වීම සුදුසු ය. ඒ වෙනුවට කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත නොකර වගා කරන සහල්, එළවළු සහ පලතුරු පරිභෝජනයට යොමු විය යුතුය. අද සුළු පරිමාණයෙන් වගා කරන ඇතැම් ගොවීන් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත නොකර ගොම පොහොර, කාබනික පොහොර යොදා සිය ගොවිතැන් කටයුතු සිදු කළ ද ඊට රාජ්‍ය අනුග්‍රහයක් නොලැබීමෙන් ඒවා ප්‍රවර්ධනයට ඉඩ ප්‍රස්ථා අහිමි වී තිබේ. එහෙත් කෘෂි කර්මාන්තයේ යෙදෙන ගොවීන් මෙන්ම එම ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු දරන නිලධාරින් ද එම ගොවිතැන වැඩි දියුණු කිරීමට පියවර ගැනීම කාලෝචිත වන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය අන්තර්ගත නොවන ආහාර භෝග පරිභෝජනය කිරීමෙන් දියවැඩියාව ඇතුළු ලෙඩ රෝග 70% ක් වළක්වා ගත හැකි නිසාය. කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන ආහාර භෝග මිලදී ගැනීම ප්‍රායෝගික වශයෙන් දුෂ්කර වන බැවින් එම භෝග වගා ව්‍යාප්තිය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කළ යුතුය.
කෘත්‍රිම රසකාරක, ආහාර කල් තබා ගන්නා ද්‍රව්‍ය වෙනුවට කුළුබඩු වැනි ස්වාභාවික රසකාරක යෙදූ ආහාර භාවිතය
කෘත්‍රිම රසකාරක, කෘත්‍රිම වර්ණකාරක සහ ආහාර කල් තබා ගන්නා ද්‍රව්‍ය යෙදූ ආහාර පරිභෝජනයෙන් වැළකී ස්වාභාවික රසකාරක යොදා ආහාර පිළියෙල කර ගැනීමෙන් දියවැඩියාව ඇතුළු ලෙඩ රෝග ගණනාවකින් වැළකී සිටිය හැකිය. කොත්තමල්ලි, සූදුරු, මහදුරු, ගම්මිරිස්, උළුහාල්, කුරුඳු, කහ, කරාබුනැටි, සුදුලූනු, රතුලූනු, කරපිංචා, අබ, රම්පෙ වැනි ස්වාභාවික කුළුබඩු පමණක් සෑමවිටම ආහාර රස ගැන්වීමට යොදා ගත හැකිය. මෙම කුළුබඩුවල දියවැඩියාව මර්දන හැකියාව, පිළිකා මර්දන හැකියාව, ආහාරවල විෂ ඉවත් කිරීමේ හැකියාව කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව, හෘදය ආරක්ෂා කිරීෙම් හැකියාව වැනි ඖෂධීය වටිනාකම් රැසක් අඩංගුය.
හයිෆුක්ටෝස් කෝන් සිරප් යෙදූ පැණි බීම වෙනුවට ස්වාභාවික පාන වර්ග භාවිතය
ශරීරය තුළ සිදු වන පරිවෘත්ති ක්‍රියාවලියන් සඳහා ජලය අත්‍යවශ්‍ය වේ. එබැවින් දිනකට සාමාන්‍ය ජලය වීදුරු 6 - 8 ක් අතර ප්‍රමාණයක් පානය කිරීම සුදුසු ය. ඊට අමතරව තැඹිලි, කුරුම්බා, කොත්තමල්ලි, රණවරා, බෙලිමල්, නීරමුල්ලි, පොල්පලා වැනි ඖෂධීය පාන භාවිතයෙන් දියවැඩියාවෙන් ආරක්ෂා විය හැකිය.
කිතුල් පැණි සහ කිතුල් හකුරු භාවිතය
කිතුල් හකුරු සහ කිතුල් පැණිවල දියවැඩියාව වැළැක්වීමේ ගුණ අඩංගු ය. එබැවින් උක් සීනි සහ පොල් පැණි වෙනුවට කිතුල් හකුරු සහ කිතුල් පැණි යොදා ආහාරපාන සකස් කර ගැනීමෙන් දියවැඩියාවෙන් මිදිය හැකිය. එහෙත් මෙම කිතුල් පැණි සහ කිතුල් හකුරු, කිසිම ද්‍රව්‍යයක් කලවම් නොකර පිරිසුදු කිතුල්වලින් පමණක් නිෂ්පාදනය කළ ඒවා විය යුතුය. පිරිසිදු කිතුල් පැණි සහ පිරිසිදු කිතුල් හකුරු පරිභෝජනය නොකළහොත් මෙම ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වන්නේ නැත.
පාන් පිටි වෙනුවට පාරම්පරික සහල් පිටි සහ ධාන්‍ය වර්ග භාවිතය
දෙමුහුන්කරණයටත් රසායනික පොහොර භාවිතයටත් ලක්වන ආනයනික තිරිඟු පිටි නිස්සාරණය කළ පසුව ලැබෙන්නේ පෝෂණයෙන් අඩු තිරිඟු පිටි හෙවත් පාන් පිටිය. මෙය දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථිවල අසාමාන්‍යතා ඇතුළු රෝග ගණනාවකට හේතු වෙයි. එබැවින් පාන්පිටි සහිත ආහාර වෙනුවට පාරම්පරික සහල් කොටා ගනු ලබන පිටිවලින් ඉඳිආප්ප, රොටි, පිට්ටු වැනි කෑම පිළියෙල කර අනුභව කිරීමෙන් ලෙඩ රෝගවලින් ආරක්ෂා විය හැකිය. එමෙන්ම කුරහන්, තල, මෙනේරි, මුංඇට, කඩල, කව්පි, තල, උඳු යන ධාන්‍ය වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීම සුදුසු ය. මේ අතරින් කුරහන් දියවැඩියාව පාලනයට ඉතාමත් සුදුසු ඖෂධීය ගුණ සහිත ධාන්‍ය වර්ගයකි.
තන්තු බහුල ආහාර පරිභෝජනය කිරීම
(I) මුරුංගා කොළ, ගොටුකොළ, තම්පලා, සාරණ, මුකුණුවැන්න, කොහිල දලු, තෙබු, කෝවක්කා වැනි කොළ වර්ගවලින් පිස ගත් මැල්ලුම් වර්ග
(II) කොහිල, එළබටු, නෙළුම් අල, මුරුංගා, කරවිල, වැටකොළු, කෙහෙල් මුව වැනි එළවළු වර්ග
(III) රාජල, හිඟුරල, කිරිකොෙඩාල්, ඉන්නල, කිරි අල, කටු අල, කිරි කොඩොල්, රතඹල වැනි දේශීය අල වර්ග
(IV) කෙසෙල්, ගස්ලබු, කටු අනෝදා, දෙළුම්, පැණි කොමඩු, අලිගැට පේර, බෙලි, පැෂන්, පේර, අඹ, දිවුල්, අන්නාසි වැනි දේශීය පලතුරු වර්ග
ඉහත දැක්වූ දේශීය ආහාර, තන්තු බහුල ආහාර ලෙස සැලකේ. තන්තු ආහාර ගැනීමෙන් දියවැඩියාව පමණක් නොව කොලෙස්ටරෝල් අඩු කිරීම, පිළිකා වැළැක්වීම සහ ආහාර මාර්ගයේ ආරක්ෂාව වැනි බොහෝ වැදගත් පෝෂණීය ගුණ ලැබෙනු ඇත. වැඩිහිටියකුට දිනකට අවශ්‍ය අවම තන්තු ප්‍රමාණය ග්‍රෑම් 24 කි. වයස අවුරුදු 5 - 10 දරුවකුට අවශ්‍ය වන තන්තු ප්‍රමාණය ග්‍රෑම් 15 කි. මෙම ආහාර අතරින් මුරුංගා කොළ, තෙබු කොළ, කෝවක්කා කොළ සතියකට දින 2 ක්වත් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව පාලනය කර ගත හැකිය.
කිරිපිටි වෙනුවට දියර කිරිවලට යොමු වීම
අද ඉතා ජනප්‍රිය පානයක් වන කිරිපිටි, පූර්ණ පෝෂ්‍යදායී ආහාරයක් නොවේ. දියර කිරි, පිටිකිරි ලෙස නිෂ්පාදනය කිරීමේදී ඉහළ උෂ්ණත්වයකදී වාෂ්පීකරණය කරන විට ක්ෂුද්‍ර ප්‍රෝටීනවල අණුක වෙනස් වේ. පෝෂණ ගුණය විනාශ වූ කිරිපිටි වෙනුවට දියර කිරි පානයට යොමු වීමෙන් දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, ඇදුම වැනි රෝගාබාධ රැසක් වළක්වා ගත හැකිය. දියර කිරිවල ප්‍රතිශක්තීකරණය ඇති කරන ක්ෂුද්‍ර හෝමෝන වර්ග, ක්ෂුද්‍ර එන්සයිම අඩංගුය.
ව්‍යායාම කිරීම
දෑත් දෙපසට විහිදී යන ආකාරයට දිනකට කිලෝ මීටර් 2 ක්වත් ඇවිදීම, නිරෝගි දිවි පෙවෙතකට අවශ්‍ය හොඳ ව්‍යායාමයකි. එමෙන්ම බයිසිකල් පැදීම සහ පිහිනීම ද නිරෝගි සම්පන්න දිවියකට තුඩු දෙන ව්‍යායාම කීපයකි. මිනිස් සිරුරට අවශ්‍ය ව්‍යායාම සඳහා ශරීර සුවතා මධ්‍යස්ථාන හෙවත් ජිම්වලට යෑමට අත්‍යවශ්‍ය නැත. හොඳින් දහදිය ගලන තුරු වත්ත පිටිය ශුද්ධ කිරීම, මිරිස් ඇඹරීම, වී කෙටීම, වතුර ඇදීම වැනි එදිනෙදා කටයුතුවලින් ද අවශ්‍ය ව්‍යායාම ලැබෙනු ඇත.
මානසික ආතතියෙන් ඉවත් වීම
භාවනාව වැනි මනස සන්සුන් කරන ව්‍යායාමයක යෙදීමෙන් මානසික ආතතියෙන් මිදිය හැකිය. ඊට අමතරව පොතපත කියවීම, සංගීතයට සවන් දීම, කාල කළමනාකරණය, අවශ්‍යතාවල ප්‍රමුඛත්වය අනුව කටයුතු කිරීම තුළින් මානසික ආතතිය අවම කර ගත හැකිය.
සීනි අධික ආහාර වෙනුවට පුරාණ ආහාර වර්ග භාවිතය
බිස්කට් වර්ග, කේක් වර්ග, කෝඩියල් වර්ග, පැණි බීම වැනි ආහාර කිසිසේත් සුදුසු නැත. සීනි අධික මෙම ආහාර පරිභෝජනය කිරීම දියවැඩියාවට ඍජුවම බලපානු ලැබේ. ඒ වෙනුවට කී රොටි, දොහොයි, වෙල්ලවැහුම්, කොමළවටා, කිතුල් තලප, කුරහන් තලප, කිරිවැදෑනි වැනි පුරාණ ආහාර වර්ග පරිභෝජනය කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ළඟා කර ගත හැකිය.
ආහාර රටාව නිවැරදිව හඳුනා ගැනීම
ඔබ මිලදී ගන්නා ආහාරවල E අංකය තිබේදැයි විමසිලිමත් වීම ඉතා වටී. මන්ද රසායනික ද්‍රව්‍ය එකතු කර තිබෙන ආහාරවල E අංකයක් සටහන් කර තිබෙන බැවිනි. එවැනි ආහාර නිවැරදිව හඳුනා ගැනීම ඉතාමත් වැදගත් ය. එමෙන්ම ජානමය ආහාරවලින් ඈත් වී ස්වාභාවික ආහාරවලට සමීප වීම වැනි දෑ ඔබ නිසි අවබෝධයක් ලබා ගැනීමෙන් ඔබට ලෙඩ රෝග රැසකින් වැළකී සිටීමට අවස්ථාව ලැබෙනු ඇත.
ඖෂධීය කොළ කැඳ පානය
මුරුංගා කොළ, ගොටුකොළ, හාතවාරිය, වැල්පෙනෙල, පොල්පලා, නීරමුල්ලි වැනි ඖෂධීය ශාක වර්ග යොදා කැඳ පිළියෙල කර පානය කිරීමෙන් දියවැඩියාව ඇතුළු රෝග පාලනයකර ගත හැකිය. මෙම ඖෂධීය ශාකවලට අමතරව ඊට එකතු කරන කොත්තමල්ලි, සූදුරු, මහදුරු, ගම්මිරිස්, සුදුලූනු, කරපිංචා, උළුහාල්, අබ, රතුලූනු වැනි ඖෂධීය කුළුබඩුවලින් තවතවත් ගුණ රාශියක් ලබා ගත හැකිය.
මෙම කරුණුවලට අමතරව දියවැඩියාව වැළැක්වීමේ අරමුණින් රජය විසින් අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් ද තිබේ. ඒ ආනයනික ආහාරවල විෂ සංඝටක පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නැති වීම, මූලික පෝෂණ ගුණය වෙනස් කිරීමට හේතු වන ආහාර කවලම් කිරීම (පොල්තෙල් සහ ෆාම්තෙල් කවලම් කිරීම) පිළිබඳව සොයා බලා නීති මඟින් කටයුතු කිරීමට හැකියාවක් නැති වීම, විදෙස් ආපනශාලා ප්‍රමිතිගත කිරීමේ වැඩපිළිවෙළක් නොමැතිකම වැනි කරුණු ය. මෙම කාරණා නිසා දියවැඩියාව ඇතුළු භයානක රෝගවලින් ජනතාව මුදවා ගැනීමට නොහැකි වීම කනගාටුදායක ය.