
- ඇපල් සමාගමට යුරෝ මිලියන දහයක දඩයකුත්, සැම්සන්ග් සමාගමට යුරෝ මිලියන පහක දඩයකුත් නියම වෙයි.
- යෙදවුම් යාවත්කාලීන කරන්නේ පාරිභෝගිකයා අපහසුතාවට පත් කිරීමට නොවෙයි
කලෙකට පෙරින් අතේ ගෙනයන්නට තබා නොපෙනෙන ලෙසින් බෑගයක හෝ දමාගෙන යන්නට බැරි තරමේ වූ ‘ජංගම දුරකථනය‘ අද කා අතත රැදෙන බැලුවත් ලස්සන ‘ස්මාර්ට් ජංගම දුරකථනය‘ වී ඇත්තේ ය. බැලූ බැල්මට ලස්සන වන්නා සේම පරිඝනකයකින් සිදු කර ගත හැකි සියලුම කටයුතු පාහේ සිදුකර ගන්නට තරම් දියුණු වී ඇති සේම කැමරාවක අවශ්‍යතාව පවා මඟ හරවන අලුත් පන්නයේ ජංගම දුරකථන ඇතෙමකුට උන්මාදයක් බඳු ය. සියලු සිරින් සපිරි මේ ජංගම දුරකථන පාවිච්චිය පහසු සේ හැඟුණ ද මේවා ගත් ලෙසම දිගින් දිගට ම භාවිත කරන්නට නම් හැකියාවක් නැත්තේ ය. ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් ඔස්සේ ක්‍රියා කෙරෙන මේ බොහෝ අලුත් ස්මාර්ට් ජංගම දුරකථන ක්‍රියාකාරීත්වය රදා පවතින්නේ මේ යැදවුම් යාවත්කාලීන කර ගැනීම මත ය. කලින් කලට සිදුකිරීම අවශ්‍ය වන මේ යෙදවුම් යාවත්කාලීන කිරීම් ඉබේ සිදු නොවන්නේය. කලින් කලට සිදු කරගත යුතු මේ යාවත්කාලීන කර ගැනීම් ගැන පණිවුඩ ජංගම දුරකථන වලට ලැබෙනා අතර මේ වෙනුවෙන් දුරකථනයේ හිමිකරුවා තම මුදල් වැය කර ගනිමින් අන්තර්ජාල පහසුකම සපයා ගත යුත්තේය. මෙය ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් ඇති ස්මාර්ට් දුරකථන වලටත් වඩා බලපෑම් ඇති කරන්නේ ඇපල් යෙදවුම් යොදා ගැනෙනා ඇපල් මාදිලියේ ජංගන දුරකථන වලට ය.
ඇප් ස්ටෝර් හරහා ඇපල් යෙදවුම් බාගත කර ගත යුත්තේ සහ යෙදවුම් යාවත්කාලීන කරගත යුත්තේ ඇපල් මාදිලියේ දුරකතන වලට ය. ලොව ඉතා මිල අධික සේම ඉහළ පහසුකම් වලින් යුතු ජංගම දුරකතන මාදිලියක් වන ඇපල් දුරකතන වල නව මාදිලි හෙවත් වඩ වඩා දියුණු කළ දුරකතන මාදිලි කලින් කලට හඳුන්වා දීම ද ඇපල් සමාගම මඟින් සිදු කරනු ලබයි. ඔවුන් සිය ඇප් ස්ටෝර් යෙදවුම් යාවත්කාලීන කරන්නේ ද ඔවුන් හඳුන්වාදෙන නව මාදිලියට ගැළපෙන ලෙස මිස පැරණි මාදිලි සියල්ලට ම එක ලෙස යාවත්කාලීන කර ගත ගැකි වන පරිද්දෙන් නොවේ. මෙය පරණ යැයි කියන්නට බැරි තරමේ අලුත්ම මාදිලි වල ඇපල් දුරකතන වල ක්‍රියාකරීත්වය පවා සෙමෙන් ක්‍රියාකරන තත්ත්වයට පත් කරන්නේ කණගාටුදායක ලෙස ය. වැඩි මුදලක් ගෙවා ලබා ගන්න ස්මාර්ට් ජංගම දුරකතනය ටික කලෙකදීම වැඩක් නැති වන්නේ ඒ නිසා ය.
ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් ඇති දුරකථන වලට ගූගල් ඇප් ස්ටොර් හරහා බාගත කර ගන්න යෙදවුම් වලට ද මෙවැනිම යාවත්කාලීන කිරීම් අවශ්‍ය වන්නේ නමුදු, ඇපල් දුරකතන භාවිත කරන්නන් තරමට ම ඔවුන් අපහසුතාවය පත් වන්නේ නැත. ඒ යෙදවුම් යාවත්කාලීන කෙරීම් ජංගම දුරකතන මාදිලිය මත රඳා පවතින්නේ, ඉතා සීමිත මාදිලි කිහිපයක පමණක් වීම එයට හේතුවයි. ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් යාවත්කාලීන වූ අලුත්ම යෙදවුම් සමඟ භාවිත කිරීමට නොහැකි තත්ත්වයට පත් වීමට ගතවන කාලය ඇපල් දුරකතන මාදිලි භාවිත කළ නොහැකි තත්ත්වයට පත්වීමට ගතවන කාලයට වඩා වැඩිය.
ලෝකය පුරාම ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන් අවුරුදු කීපයක් තිස්සේ අත්විඳින මේ ‘යෙදවුම් යාවත්කාලීන් කිරීමේ‘ ගැටලුව යළි යළිත් ඉස්මතු වී පෙනෙන්නේ ලෝකයේ තැනින් තැන ස්මාර්ට් දුරකතන පාරිභෝගිකයන් මේ දුරකතන යෙදවුම් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව අභියෝගයට ලක් කරමින් සිටින නිසා ය. යෙදවුම් යාවත්කාලීන් කිරීමට වුවමනා බවට පණිවුඩය ලැබුණු විට එ් යාවත්කාලීන කිරීම සිදු නොකිරීමෙන් ජංගම දුරකතනයේ ක්‍රියාකාරීත්වය අඩුවී යෑම නැතහොත් ‘සෙමෙන් ක්‍රියාකරන‘ තත්ත්වයට පත් වේ.
දුරකතනයෙන් වැඩක් ගන්නට බැරි තත්ත්වයට පත් වන්නේ යාවත්කාලීන වන යෙදවුම දුරකතනයේ පැරණි මාදිලි වලට රඳවා ගත නොහැකි තරම් දියුණු කර තිබෙනා විටදී ය. යුරෝපා රටවලදී අභියෝගයට ලක් වී ඇත්තේ මේ ගැටලුවයි. ඉතාලියේදී අභියෝගයට ලක් වූ මේ ගැටලුව නිසා ඇපල් සමාගමට යුරෝ මිලියන දහයක දඩයකුත්, සැම්සන්ග් සමාගමට යුරෝ මිලියන පහක දඩයකුත් නියම වී ඇත.
ඉතා ඉහළ තාක්ෂණයෙන් යුතු ජංගම දුරකතන ලොව පුරා ඉහළ අලෙවියක් ඇති ජනප්‍රිය ජංගම දුරකතන මාදිලි සමාගම් දෙකක් වන ඇපල් සහ සැම්සන්ග් සමාගම් වලට ඉතාලියේදී මේ දඩය පැනවී ඇත්තේ මාස කිහිපයක් තිස්සේ තොරතුරු රැස් කරමින් සිදු කළ සමීක්ෂණයකින් ද පසුව ය.
“ජනවාරි මාසයේ පටන් ගත්ත සමීක්ෂණයකින් අපි තොරතුරු එකතු කළා. එ් එකතු වුණු තොරතුරු සහ අපේ නිරීක්ෂණ වලින් අපට පැහැදිලි වුණා, සමහර ස්මාර්ට් ජංගම දුරකතන වල යෙදවුම් යාවත්කාලීන් කිරීම ගැන ගැටලු තියෙනවා කියලා. සමහර යාවත්කාලීන කිරීම් සමහර මාදිලි වලට ඇතුළත් කර ගන්න බැහැ.මේ නිසා ඒ ජංගම දුරකතනය සෙමෙන් ක්‍රියාකරන තත්ත්වයට පත්වෙලා, එයින් කරගන්නට බලාපොරොත්තු වන වැඩ නිසි ආකාරයට නිසි කාර්යක්ෂමතාවෙන් කරගන්නට අපහසු වෙනවා.”තොරතුරු රැස් කළ බලධාරීහු එසේ කියති. ඔවුන් පවසන්නේ අලුත් යාවත්කාලීන කිරීම් ඇතුළත් කර ගැනීමට නොහැකි වීමෙන් ක්‍රියාකාරීත්වය අඩුවී යෑම නිසා, අනියම් ආකාරයකින් එකී දුරකතන සමාගම ‘නව මාදිලියක දුරකතනයක්‘ මිලදී ගන්නට පාරිභෝගිකයා පොලඹවනා බවයි.”ඇපල් සහ සැම්සන්ග් සමාගම් දෙකම වංක චේතනාවෙන් යුතු වාණිජ වාසි ලබා ගැනීමේ කටයුත්තක නිරත වෙනවා”ඉතාලි බලධාරීන් මේ යෙදවුම් යාවත් කාලීන කිරීමේ ගැටලුව අරුත් ගන්වන්නේ එසේ ය.
සැම්සන්ග් සමාගමේ ගැලැක්සි නෝට් 4 සහ ගැලැක්සි නෝට් 7 යන මාදිලි දෙකේ යෙදවුම් යාවත්කාලීන් කිරීමක් සම්බන්ධයෙන් මේ පැමිණිලි ලැබී තිබුණු අතර ඇපල් සමාගමේ ඇපල් අයි ෆෝන් 6 මාදිලිය සම්බන්ධයෙන් කතාබහට ලක් වී තිබිණි.අලුත් යෙදවුම යාවත්කාලීන කර ගන්නට නොහැකිවීම හේතුවෙන් දුරකතන මාදිලියේ ක්‍රියාකාරීත්වය අඩුවීම ඔප්පු වීම නිසා ඇපල් සහ සැම්සන්ග් සමාගම් දෙකම යුරෝ මිලියන පහ බැගින් දඩ මුදල් නියම වූ අතර, ඇපල් සමාගමට අමතර යුරෝ මිලියන පහක දඩය නියම වූයේ ඔහුන්ගේ නව යෙදවුම යාවත්කාලීන් කර ගැනීමට නොහැකිවීමෙන් දුරකතන මාදිලියේ බැටරියේ කල්පැවැත්ම ද අඩුවී යෑම හේතුවෙනි.
සුප්‍රසිද්ධ දුරකතන මාදිලි දෙකක් මෙසේ දඩ වලට යටත් වීම ගෝලීය වශයෙන් ඔවුන්ගේ අලෙවියට යම් බලපෑමක් ඇති කරන්නට සමත්වන තරමේ වන නිසා මේ සමාගම් දෙකම මෙකී සිදුවීම සිය පාරිභෝගිකයන් වෙත පැහැදිලි කරන්නට උත්සාහ ගෙන තිබුණේ ය.”පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ අපි අපේ පාරිභෝගිකයන් ව දැනුම්වත් කළා, අලුත් යෙදවුම් යාවත්කාලීන් කිරීම බැටරියේ කල්පැවැත්මට යම් බලපෑමක් ඇති කළ හැකි බව. නමුත් අපි පසුව මඟ හරවලා පාරිභෝගිකයන්ගෙන් සමාවත් ඉල්ලුවා”ඇපල් සමාගම එසේ පවසද්දී සැම්සන්ග් සමාගම පවසා තිබුණේ ”අපි යෙදවුම් යාවත්කාලීන කරන්නේ පාරිභෝගිකයා අපහසුතාවට පත් කරවන්න නොවේ. අදාළ දුරකතන මාදිලිය භාවිත කරද්දි පාරිභෝගිකයන්ට ඇතිවන ගැටලු මඟ හරවන්න”යනුවෙනි.
කෙසේ වුවත් මෙතෙක් කිසිවකුට නොකියා තමන්ම විඳගත් අපහසුතාවක් මෙසේ ප්‍රසිද්ධියේ කතාබහට ලක්වීම ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන්ට සුබ දායක ආරංචියක් වනවාට සැක නැත.
(ද ගාඩියන් ඇසුරෙනි)