පැය 3කට වරක් මිනිහෙක් පාරෙ මැරෙන රටක්! | සිළුමිණ

පැය 3කට වරක් මිනිහෙක් පාරෙ මැරෙන රටක්!

  • රටේ ඔළු හැදෙන තුරු වැළැක්විය නොහැකි මාරක රිය අනතුරු
  • ලෝකයේම දිනකට රිය අනතුරුවලින් 3400ක් මිය යති
  • වසරකට ලක්ෂ 13කට ජීවිතය අහිමි වේ
  • මාර්ග තදබදයත් අනතුරුවලට හේතුවක්
  • ධාවනයට නුසුදුසු වාහන බරපතළ හේතුවක්

 

රුක්මණි දේවිය මිය යන විට කුඩා දැරියකව සිටි මට එය වඩාත් හොඳින් මතකයේ නිදන්ගත වී තිබෙන්නේ රුක්මණි දේවිය එදා හෙළ නිළි රැජින සහ ගායිකාවක් වූ නිසා නම් නොවේ. අෑ මාරක රිය අනතුරකින් අකල් මරණයට පත් වූ පුවත අසා මගේ පුංචි අම්මා දෙනෙතේ කඳුළු පුරවාගෙන ‍සොටු සූරමින් හඬා වැටුණු නිසා ය. එලෙස මාරක රිය අනතුරකින් මිය ගිය සිද්ධියක් ප්‍රථම වතාවට මගේ මතකයේ තැන්පත් වූයේ රුක්මණි දේවියගේ මරණය සමග යැයි කිවහොත් එය වඩාත් නිවැරදිය. එදා කුඩා දැරියකව සිටි මම අද වන විට ජීවිතයේ අවදි ගණනාවක් පසු කර පැමිණ මැදිවියට එළඹී සිටිමි. මගේ ජීවිතයේ වර්ධනයට සමගාමීව ලංකා‍වේ මාරක රිය අනතුරු ද වර්ධනය වී තිබෙන්නේ පුදුමාකාර අන්දමිනි. එය කොයි තරම් ඉහළ ගොස් තිබේදැයි කිවහොත් එදා ඉඳහිට අසන්නට ලැබුණු මාර්ග අනතුරු අද දිනපතා අසන්නට ලැබේ. අද ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරුවලින් දිනකට අටදෙනෙක් මරණයට පත් ‍ෙවති.

ලෝකයේ මෙම තත්ත්වය සැලකිල්ලට ගතහොත් දිනකට රිය අනතුරුවලින් මරණයට පත්වන සංඛ්‍යාව 3400 කි. සෑම තත්පර 6කට වරක් ලෝකයේ කොතැනක හෝ රිය අනතුරකින් පුද්ගලයකු මිය යන අතර රිය අනතුරුවලින් වසරකට ලෝකයේ අහිමි වන ජීවිත ගණන ලක්ෂ 13 කට ආසන්න වේ. මෙහි ඇති වඩාත්ම ඛේදනීය තත්ත්වය වන්නේ රිය අනතුරු නිසා මිය යන අයගෙන් 50% ක්ම කිසිම දිනක මෝටර් රථයක් පදවා නැති හෝ වාහනයකට හිමිකම් නොපෑ අය වීමය. ජගත් රිය අනතුරු සලකා බැලීමේදී වැඩි වශයෙන් වාහන අනතුරු වාර්තා වී තිබෙන්නේ අඩු සහ මධ්‍ය ආදායම්ලාභි රටවල්වලින් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුනාගෙන ඇත. 2030 වර්ෂය වන විට රිය අනතුරුවලින් ලෝකය පුරා මරණයට පත් වන සංඛ්‍යාව ලක්ෂ 190ක් විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දක්වා තිබේ. 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාල පරාසයට අයත් දශකය, මාර්ගය සුරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරි දශකයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරනු ලබන්නේ එබැවිනි. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළ යටතේ 3.6 ඉලක්කය වශයෙන් 2020 වර්ෂයේදී රිය අනතුරු සහ රිය අනතුරුවලින් සිදු වන මරණ 50% කින් අඩු කර ගැනීම දක්වා ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

“අද හැමෝම අනතුරක් සිද්ධ වුණාම ඒ ගැන මහ ඉහළින් කතා කරනවා. රූපවාහිනියෙන් පුවත්පත්වලින් වාර්තා කරනවා. ඒත් එය වළක්වා ගන්නේ කො‍හොමද කියලා හිතන්නේ නැහැ. ජනමාධ්‍ය‍යක් හුදු වාර්තාකරණයෙන් ඔබ්බට දෙයක් කරන්නේ නැහැ. රිය අනතුරු වැළැක්වීම පොලිසියට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එය සමස්ත ජනතාවගේ වගකීමක්. ඒත් අද ‍ඩෙංගුවලට, ඒඩ්ස්වලට දක්වන බය සහ අවධානය රිය අනතුරු කෙරෙහි දක්වන්නේ නැහැ. එය කනගාටුදායකයි”. යනුවෙන් පැවසුවේ අනතුරු සහ හිංසන වැළැක්වීමේ ආයතනයේ සභාපති, කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලක ය.

මේ අනුව රිය අනතුරු වළක්වා ගැනීම මුළු මහත් සම‍ාජයේම වගකීමකි. අද රිය අනතුරුවලට භාජනය වන පිරිස වශයෙන් මෝටර් සයිකල්කරුවන්, ත්‍රීරෝද රථ රියැදුරන් සහ එහි ගමන් ගන්නා අය, පාපැදිකරුවන් සහ පදිකයන් වශයෙන් දැක්විය හැකිය. ඊට හේතුව මොවුන් වැඩි අවදානම් සහගත මාර්ග භාවිත කරන්නන් වීමය. එමෙන්ම ලංකාවේ රිය අනතුරුවලින් වැඩි වශයෙන් මරණයට පත් වන‍්නේ වයස අවුරුදු 25-45 අතර පිරිමි පක්ෂය බව මේ වන විට වාර්තා වී තිබේ. මෙයින් පෙනී යන්නේ රටේ ශ්‍රම බළකායෙන් වටිනාම පිරිසක් රටට අහිමි වන බව නොවේද?. ඉන් රටේ ආර්ථිකයට සිදු වන පාඩුව සුළු පටු නැත.

ඊට අමතරව රිය අනතුරු හේතුවෙන් කොඳු ඇට පෙළට හානි වීම, අත් පා අහිමි වීම යන කාරණා නිසා සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ අය ද සිටිති. ඔවුන් රැක බලා ගැනීමට සිදු වන්නේ පවුලේ සෙසු සාමාජිකයන්ට ය. ඇතැම් විට මෙවැනි සදාකාලික ආබාධිතයන් නිසා පවුලේ සාමාජිකයන්ට ඔවුන්ගේ වෘත්තීය කටයුතු නිසියාකාරව කරගෙන යෑම දුෂ්කර විය හැකිය. එය ඔවුන්ගේ පවුල්වල ආර්ථිකයට මාරු පහරකි. මෙයින් ඔවුන්ගේ පවුලේ මෙන්ම රටේ ආර්ථිකයට ද විශාල හානියක් සිදු වේ. මාර්ග අනතුරුවලින් මිය නොගිය ද සදාකාලික ආබාධිත වූ අය කෙරෙහි ද අවධානයක් යොමු කළ යුත්තේ එබැවිනි.

මාර්ග අනතුරු නිසා අනතුරට පත් වන අය වෙනුවෙන් රජයේ රෝහල්වල ඇඳන් කොපමණ වෙන් කර තිබේද?. ඔවුන්ගේ ප්‍රතිකාර උදෙසා රජය ජාතික ධනයෙන් කොපමණ ප්‍රමාණයක් වැය කරනු ලබයි ද?. මාර්ග අනතුරු වළකා ගතහොත් එම ධනය රටේ වෙනත් ඵලදායි කටයුත්තකට යොදා ගත හැකි නොවේද?. රථවාහන අනතුරු අවම කර ගැනීම සඳහා රටකට ක්‍රමෝපායන් අවශ්‍ය වන්නේ එම නිසාය.

අද රියදුරන්ට දැඩි නීති පනවා තිබුණත් එම නීති කඩන රියදුරන්ට දඬුවම් පැමිණවීම සිදු වන්නේ මන්දගාමි අන්දමිනි. නීති විරෝධි රියදුරන් නීත‍ියේ රැහැනට හසු කර ගනු ලැබුවද ඇතැම් ඉහළ සම්බන්ධතා සහ මිත්‍ර සම්බන්ධතා නිසා මෙම රියදුරන් දඬුවම් නොලබා නිදහස් වන බව අප කොයි කවුරුත් දන්නා ප්‍රකට කරුණකි. එවැනි බලපෑම්වලට වැට බැඳ නීතිය බලාත්මක කිරීමට පියවර ගත හැකි නම් මාර්ග අනතුරු අවම කර ගත හැකිය.

උදා:- 1. ජංගම දුරකථනය භාවිත කරන රියැදුරන්, දුම්රිය හරස් මාර්ග හරහා අපරීක්ෂාකාරි අන්දමින් රිය පදවන රියදුරන්ට දැඩි දඬුවම් පැමිණවීම.

උදා:- 2. වර්තමානයේ මහමඟ දෙපස ඉදි කර තිබෙන පදික වෙළඳුන්ගේ අට්ටාල සහ ත්‍රීරෝද රථගාල් රිය අනතුරුවලට හේතු වේ. ඒ හදිසි අවස්ථාවක රථය මාර්ගයේ අයිනට ගත නොහැකිවීමෙනි. එමෙන්ම පදිකයන්ට ගමන් කිරීමට සිදු වන්නේ මාර්ගයෙනි. එහෙත් එවැනි ස්ථාන හඳුනාගෙන ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් නගර සභා හෝ ප්‍රාදේශීය සභාවලින් සිදු වන්නේ නැත.

මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් වාහන ධාවනය කිරීමේදී රියදුරන්ට විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදු වේ. ඇතැම්විට ත්‍රීරෝද රථ, යතුරුපැදි පෙරළීමෙන් අනතුරු සිදු විය හැකිය. එමෙන්ම මාර්ගයක් නිර්මාණය කිරීමේදී වංගු සහිත මාර්ගවලදී වාහන වංගුවේ හැරවීමට ඇති ආනතිය කෙරෙහි අවධානය යොමු නොකිරීමෙන් රිය අනතුරු සිදු විය හැකිය. එබැවින් රිය අනතුරු අවම වන ආකාරයට මාර්ග නිර්මාණය කිරීම සහ යෝග්‍යතාව පරීක්ෂා කර බලා නිසි ආකාරයට සකස් කළ යුතුය.

දැනුවත් කිරීම ජනමාධ්‍ය සතු වගකීමකි. රිය අනතුරුවල ඡායාරූප සහ සංවේදි කතා පමණක් හුවා දැක්වීමෙන් රිය අනතුරු අවම කර ගත නොහැකිය. බොහෝ දෙනෙකු රිය අනතුරු කෙරෙහි දක්වන්නේ සංවර්ධනයේ අතුරු ඵලයක් වැනි ආකල්පයකි. එවැනි ආකල්ප වෙනස් කළ යුතුය. රිය අනතුරකින් අහිමි වන්නේ එක්තරා පවුලක සාමාජිකයකු හෝ සාමාජිකාවක් යැයි නොසිතා ඉන් අහිමි වන්නේ රටේ ශ්‍රම බළකාය බවක් රටක ආර්ථිකය අඩාළ වන බවක් මහජනතාවට අවබෝධ කර දීම ඉතා වැදගත් සමාජ මෙහෙවරකි.

උදා:- 2014 ජුනි මාසයේදී ඉන්දියාවේ ප්‍රසිද්ධ රාජ්‍ය නිලධාරියෙක් මෝටර් රථ අනතුරකින් මරණයට පත් විය. ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා වූ ගෝපිනාත් මුණ්ඩේ හිඳ සිටියේ පසුපස ආසනයේ ය. ඔහු ආසන පටිය පැළඳ තිබුණේ නැත. ඉන්දියාවේ මාධ්‍ය ප්‍රධාන සිරස්තල ඉලක්ක කොට තිබුණේ ඔහුගේ සමාජ තත්ත්වය හෝ රිය අනතුරේ අනෙක් තොරතුරු කෙරෙහි නොව ඔහු ආසන පටිය පැලඳ නොසිටීම කෙරෙහි ය.

රිය අනතුරු වාර්තාකරණය මාධ්‍යවේදීන් විසින් මේ ආකාරයට සිදු කරනු ලබන්නේ නම් මහජනතාවට සිය වැරදි සහ අඩුපාඩු පිළිබඳ අවබෝධයක් ලැබෙනු ඇත.

වාහනවල තිරිංග නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම, අබලන් වාහන පොදු ප්‍රවාහන සේවයට යෙදවීම වැනි කරුණු නිසා සිදු වන රිය අනතුරු බොහෝ ය. දුම්රියේ පා පුවරුව කැඩී යෑම නිසා ඇද වැටී තරුණයකු මිය යෑම වැනි ශෝකජනක පුවත් අපට අසන්නට ලැබුණේ වාහනවල යෝග්‍යතාව නොතිබුණු බැවිනි. මේ අනුව වාහනවල යෝග්‍යතාව පරික්ෂා කර බැලීමෙන් අනතුරුව ධාවනයේ යෙදවීමෙන් වාහන අනතුරු අවම කර ගත හැකිය.

මාර්ගවල ඇති බෑවුම්, වංගු, ඉදිරිපස තිබෙන රෝහල් සහ පාසල්, ඉදිරියෙන් ඇති බෝක්කු වැනි මග සලකුණු රියැදුරන්ට දැනුම් දෙනු ලබන්නේ මාර්ග සංඥා මගිනි. මෙම මග සලකුණු මාර්ගයේ දෙපස හොඳින් ප්‍රදර්ශනය විය යුතු වුවත් ඇතැම් ස්ථානවල මෙම මාර්ග සංඥා ගස් අතුවලින් වැසී ගොස් තිබේ. ඇතැම් විට එම පුවරුවල වෙනත් දැන්වීම් පෝස්ටර් අලවා ඇත. ගස් අතු වැටීමෙන් හෝ වෙනත් හේතුන් නිසා එම පුවරු විනාශ වී ඇත. එබැවින් රියැදුරන්ට මාර්ගය පිළිබඳව දැනුවත් වීමට හැකියාවක් නොලැබේ. ඉදිරියෙන් ඇති වංගු, බෑවුම්, වැව් කණ්ඩි පිළිබඳව දැනුවත් නොවීම නිසා රිය අනතුරු සිදු වන අවස්ථා ද අපට අසන්නට ලැබේ. රිය අනතුරු අවම කර ගැනීම සඳහා මාර්ග සංඥා පැහැදිලිව ප්‍රදර්ශනය කිරීමේ වැදගත්කම අවබෝධ කර ගත යුතුය.

ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරුවලට බලපාන හේතූන් අතරින් එක් හේතුවක් වන්නේ මාර්ගවල පවතින වාහන තදබදයයි. වාහන තදබදය ඇති වන්නේ මාර්ගවලට ඔරොත්තු නොදෙන තරම් රථවාහන ප්‍රමාණයක් ධාවනයට යොදවන බැවිනි. එක් පුද්ගලයකු වෙනුවෙන් එක් වාහනයක් ගමන් ගන්නා අවස්ථා කොපමණදැයි කොළඹට ඇතුළුවන වාහන පෝලිම දෙස මඳක් නැවතී බැලූ විට ඔබට අවබෝධ කර ගත හැකිය. මෙම වාහන තදබදය නැති කර ගැනීම සඳහා දිය හැකි හොඳම විසඳුම වන්නේ පෞද්ගලික වාහන භාවිතය සීමා කර පොදු ප්‍රවාහන සේවයට යොමු කිරීම ය. එයින් නගරයට ඇතුළුවන වාහන ප්‍රමාණය අඩු කර ගත හැකි වන අතර වාහන තදබදය නිසා ඇති වන අනතුරු පාලනය කර ගත හැකිය.

එහෙත් මෙය ශ්‍රී ලංකාවට කොතෙක් ‍දුරට ප්‍රායෝගිකදැයි සිතා බැලිය යුතු වන්නේ ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ පවතින දුර්වලතා නිසාය. ටින් මාළු අසුරා ඇති ආකාරයට මගීන් පටවා ගත් බස් රථ සහ දුම්රියන්ට සුඛෝපභෝගි වාහනයක ගමන් කළ අයකු පැමිණේද යන්න ගැටලුවකි. එමෙන්ම පුද්ගලික වාහනවල යන අය නියමිත වේලාවට ධාවනය නොවන පොදු ප්‍රවාහන සේවයේ පිහිට පැතීමට පෙලඹේ යැයි සිතීම ද අසීරුය. එංගලන්තය, ජපානය වැනි සංවර්ධිත රටවල්වල දියුණු පොදු ප්‍රවාහන සේවාවක් ඇති බැවින් එකී රටවලට මෙය ගැටලුවක් නොවුණද ශ්‍රී ලංකාවට ප්‍රායෝගිකව යොදා ගැනීමේ ගැටලු පවතී.

මඟ දෙපස ඇති විදුලි පහන් ක්‍රියාත්මක නොවීමෙන් මාවත් අඳුරු වීම නිසා රාත්‍රි කාලයේ රිය අනතුරු සිදු වීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වී තිබේ. මාර්ගයේ නවතා තිබෙන ලොරි අඳුරේ නොපෙනීම සහ රාත්‍රියේ හරකුන්, අලින් වැනි සතුන් මාර්ගයේ සිටින විට අඳුරේ නොපෙනීමෙන් රිය අනතුරු සිදු වීම මෙරට සුලබව දැකිය හැකිය. එබැවින් මාර්ග දෙපස ඇති විදුලි පහන් කණු නිසි පරිදි නඩත්තු කිරීමෙන් රිය අනතුරු වළක්වා ගත හැකිය.

“මෙම ක්‍රමෝපායෙන් කෙරෙහි අවධානය යොමු කරන විට පැහැදිලි වෙනවා රිය අනතුරු වැළැක්වීම පොලිසියට විතරක් කරන්න පුළුවන් දෙයක් නොවන බව මෙය පළාත් පාලන ආයතන, මාර්ග නිර්මාණ දෙපාර්තමේන්තුව වැනි ආයතන රාශියකුත් මහජනතාවත් හැමෝම එකමුතු වෙලා සිදු කළ යුතු දෙයක්. සාමාන්‍යයෙන් අපි හඳුනාගෙන තිබෙනවා අධික වේගය, අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කිරීම, මත්පැන් භාවිත කර රිය ධාවනය කිරීම වැනි කාරණා නිසා මාරක රිය අනතුරු සිදු වන බව. බොහෝ වෙලාවට තරුණ පිරිස තරුණකමත් එක්ක අධික වේගයෙන් අපරික්ෂාකාරි ලෙස රිය පැදවීමට යොමු වෙන බව. අපේ රටේ රිය අනතුරුවලින් වැඩිපුර තරුණ පිරිස මිය යන්නේ ඒ නිසයි. ඒත් රිය අනතුරු වැළැක්වීම කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක්. ඇත්තටම සිද්ධ විය යුත්තේ මහජනතාවගේ ඔළුව හදන එක.” යනුවෙන් අනතුරු සහ හිංසන වැළැක්වීමේ ආයතනයේ සභාපති, කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලක සඳහන් කළේය.

එහෙත් ජංගම දුරකථනය කනේ ගසාගෙන පාර පනින, මාර්ග සංඥා ඉදිරියේ නවතින වාහනවලින් බැස දිව යන, අතේ තිබෙන හෙල්මටය පොලිසිය සිටින විට හිස පලඳින පිරිසක් සිටින අපේ රටේ ජනතාවගේ ඔළු හැදීම නම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇත.

 

 

Comments