මහමෙවුනා උයනේ නොපිහිටි අනුරාධපුරයේ සමාධි පිළිමය | සිළුමිණ

මහමෙවුනා උයනේ නොපිහිටි අනුරාධපුරයේ සමාධි පිළිමය

ශ්‍රී ලංකාවේ පුරාණ ශිලාමය බුදු පිළිම අතරින් චිරප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අනුරාධපුර පුරාණ අභයගිරි විහාර භූමියේ කුට්ටම් පොකුණටත් අභයගිරි මහ සෑයටත් අතර පුරාණ බෝධිඝරයක් තුළ දක්නට ලැබෙන සුප්‍රසිද්ධ හිඳි පිළිම වහන්සේ ය. වර්තමානයේ දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම පිළිම වහන්සේ දැක බලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් වැඳ පුදා ගැනීමටත් දැකගැනීමටත් පැමිණෙති.

සිංහල කලාකරුවා අතින් නිර්මාණය කළ එම පිළිමය ප්‍රසිද්ධියට පත් ව ඇත්තේ එහි ඇති අති සුන්දර කලාත්මක බව නිසා ම පමණක් නොවේ. ගොරහැඩි මහ ගලක් සුමුදු ව ඔපමට්ටම් කොට එයට අනන්ත වූ අපරිමිත වූ බුදුගුණ හා ශාන්ත වූ භාවනානුයෝගි බව ද ඇතුළත් කරමින් සැදැහැවතුන් තුළ පහන් සිත් ඇති වන පරිදි මහත් සංයමයකින් යුක්ත ව එම ප්‍රතිමාව නෙළා ඇති හෙයිනි.

මෑතකාලින පෙරදිග ලෝකයේ විශිෂ්ට චරිතයක් වන අභාවප්‍රාප්ත භාරතීය අග්‍රාමාත්‍යවරයාණන් වූ ශ්‍රී ජවහර් ලාල් නේරු තුමා අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍යයන් විසින් සිපිරිගෙයි රඳවා සිටි කාලවකවානුවේ දී තමාගේ චිත්ත ඒකාග්‍රතාව රැකගත්තේ එම බුද්ධ ප්‍රතිමාවේ ඡායාරූපයක් ගෙන්වාගෙන එය තමා ඉදිරියෙන් තබා ඒ දෙස බලාගෙන භාවනා කිරීමෙන් බව එතුමා සඳහන් කර ඇත. මෙම සමාධි බුදු පිළිමයේ විශිෂ්ටත්වය නිගමනය කිරීමෙහි ලා මෙම සාධකය පමණක් වැදැගත් යැයි දැක්වීම ප්‍රමාණවත් ය.

වීරාසන ඉරියව්වෙන් පාද පිහිටුවා දෑත් සමාධි මුද්‍රාවෙන් තබා වැඩසිටින ප්‍රතිමාව ගිරිමානන්ද සූත්‍රයේ දැක්වෙන පිරිදි ආනාපාන භාවනාවේ යෙදී සිටිතියි සැලකිය හැක්කේ දෑස්වල දෘෂ්ටිය නාසාග්‍රය ඔස්සේ දෑතෙහි අත්ල මතට යොමු කර ඇති ආකාරයත් ආනාපන භාවනාවක දී හුස්ම ඉහළ පහළ ගන්නා විට උදරය පිහිටන ආකාරයට මෙම ප්‍රතිමාව නෙළා තිබිමත් සලකන කල්හි ය.

1872 දී ප්‍රථම වතාවට මෙම බුදු පිළිමය දුටු උතුරුමැද පළාතේ එවකට බ්‍රිතාන්‍ය ඒජන්තවරයා වූ එච්.එච්.කැමරන් මහතා 1896 වර්ෂයේ සිය පාලන වාර්තාවේ මෙසේ සඳහන් කර ඇත.

“මේ පළාතෙන් යෑමට පෙර මා විසින් ඉටු කළ යුතු යැයි සිතාගෙන සිටි එක් කාර්යයක් අනුරාධපුරයේ ඇත. එය මාගේ අනුප්‍රාප්තික නිලධාරීන්ට පැවරීමට මට සිදුව තිබේ. හුදකලා බවින් ද මහ වනයේ නිහැඬියාවෙන් ද නූතන ශිෂ්ටාචාරයේ අහිතකර බලපෑම් නැති හෙයින් ද හිඳි පිළිම වහන්සේට ලැබෙන ගම්භීරත්වයට හානි නොවන පරිදි බුදු පිළිමය ඉදිරිපසින් ම දිවෙන වට රවුම් පාර යාර සියයක් පමණ එහායින් හරවා යැවීමයි. 1872 වසරේ දී මා මේ බුදු පිළිමය දුටුවේ එවැනි වාතාවරණයක ය. පසුව 1895 මුල් භාගයේ දි මේ බුදු පිළිමය දුටු විට එහි සිරි පතුළ අසලට ම බොරලු දමන ලද පාරක් වැටී තිබෙනු දැකීමෙන් මම බලවත් සේ කම්පා වීමි. උන් වහන්සේගේ ශාන්ත සමාධි සුවයට ද හුදකලාභාවයට ද රෝදවල ශබ්දයෙන් හා සංචාරකයන්ගේ අදාන්ත සිනාවෙන් ද බාධා පැමිණවීම ඇත්තෙන් ම නිගරුවකි.” මේ බෞද්ධයෙකු ද නොවන විදේශිකයෙකුගේ ප්‍රකාශයකි. එම මාර්ගය මේ ලිපියේ කතුවරයාගේ මැදිහත් වීමෙන් වසර කීපයකට පෙර වෙනස් කර බුදු පිළිමයට බොහෝ දුරින් යෑමට සැලැස්වීමෙන් කැමරන් මහතාගේ අපේක්ෂාව ඉටු කර ඇත.

එම කාලය වන විට මෙම බුදු පිළිමයේ නාසයේ කොටසක් කැඩී තිබුණේ ස්වභාවධර්මයේ අකාරුණිකත්වය නිසා විය යුතු ය.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු 1930 දශකයේ දී නාසයේ කැඩී තිබූ කොටස සාදන ලද්දේ පුරාවිද්‍යා කොමසාරිස් වී සිටි ලෝංහර්ස්ට මහතාගේ මැදිහත් වීමෙනි. අලුතින් එක් කළ කොටසින් නාසයේ දිග වැඩි වීම නිසා මුහුණට අවලස්සන පෙනුමක් එක් විය. මේ නිසා රත්මලානේ පරමධම්ම චේතිය විහාරවාසී ප්‍රතිමා ශිල්පියෙකු වූ මාපලගම විපුලසාර හිමියන් විසින් එහි දිග අවම කොට අද දක්නට ඇති තත්ත්වයට පත් කරන ලදී.

පුරාණයේ දී මේ පිළිමයේ ශරීරය වර්ණ ගන්වා තිබූ බවට ඉතා සුළු වශයෙන් සාධක තවමත් ඉතිරි වී තිබේ. ප්‍රතිමාවේ මුලින් තිබූ වර්ණ කාලයාගේ ඇවෑමෙන් අවපැහැ ගැන්වී ඇත. මෙම ප්‍රතිමාව වර්තමානයේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ඉතාම කලාත්මක බුදු පිළිමය බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ඇතුළු උගතුන් විසින් පිළිගෙන ඇත. එසේ වුව ද මෙම බුදු පිළිමය පිහිටි ස්ථානය පිළිබඳ පොදු ජනවහරේ සඳහන් වන්නේ මහමෙව්නා උයනේ බව ය.

එහෙත් පුරාණ ලේඛන පරිශීලනය කිරීමේ දී පෙනි යන්නේ මේ බුදු පිළිමය පිහිටා ඇත්තේ මහමෙව්නාවේ නොවන බව ය. මහමෙව්නා උද්‍යානය පිළිබඳ ප්‍රථමයෙන් ම දීපවංශය, මහාවංශය, සමන්තපාසාදිකාව ඇතුළු ග්‍රන්ථයන්හි ද මහා බෝධිග්‍රන්ථිපද විවරණයේ ද සඳහන් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ අනුරපුරයට වැඩම කිරීම සම්බන්ධ ව ය. එසේ අනුරපුරයට වැඩම කළ උන් වහන්සේ විසින් පසු දින ඇතුළු නුවර දකුණු දොරටුව ඉදිරිපිට වූ නන්දන උයනේ සිට හුදී ජනයාට දහම් දෙසන ලදී.

අනතුරු ව එම ස්ථානය රාත්‍රි කාලයේ පවා ඝෝෂාකාරී පෙදෙසක් වූයෙන් රාත්‍රිය ගත කිරීම සඳහා පෙරළා මිහින්තලයට වැඩම කරමින් සිටිය දි එම ගමන වැළැක්වූ රජතුමා තම පියා වූ මුටසීව රජතුමා විසින් රාජකීයයන් සඳහා කරවූ මහමෙවුනා උයන ඇති බවත් එය ඝෝෂා රහිත නගරයට නොළං නුදුරු ස්ථානයක් බව පවසා එය පූජා කර තිබේ.

එහි පිහිටීම දක්වා ඇත්තේ නන්දන උයනටත් දකුණින් වශයෙනි. එවිට පුරාණ ඇතුළු නුවරට දකුණින් නන්දන උයනත් ඊටත් දකුණින් එනම් ශ්‍රී මහා බෝධිය දෙසට මහමෙව්නා උයනත් පිහිටා තිබී ඇත. අනෙක් අතට දැක්වුව හොත් මහමෙවුනාවට උතුරින් නන්දන උයනත් ඊට උතුරින් ඇතුළු නුවරත් ඊටත් උතුරින් අභයගිරියත් පිහිටා ඇති අතර සමාධි බුදු පිළිමය තිබෙන්නේ අභයගිරි විහාර භූමියේ බව ය. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් සිරි සද්ධර්මය දේශනා කිරීමන් ආලෝකවීම නිසා හන්දන උයන ජෝතිවන යනුවෙන් ප්‍රසිද්ධියට පත් වූ බව ද වංසකථාවේ සඳහන් ය.

එහෙත් මහාවංසයේ සඳහන් වන්නා වූ මහා සීමාවක් සැලකිල්ලට ගනිමින් මෙම බුද්ධ ප්‍රතිමාව පිහිටා ඇත්තේ මහමෙවුනා උයනේ බව තවදුරටත් සමහරුන් පවසා තිබේ. මහාවංසයේ හා මහාබෝධි ග්‍රන්ථීපද විවරණයේ දෙවන පෑතිස් රජතුමා විසින් ඇතකු පිට නගුලක් බැඳ සාරා සීමාවක් ලකුණු කර මහාවිහාරයට පූජා කළ බව සඳහන් ය. එම සීමාව ඇතුළට ඇතුළු නුවරත් අභයගිරියත් වර්තමාන ජේතවන භූමියත් තවත් බොහෝ ප්‍රදේශත් අයත් ය. එය මහා සීමාව යනුවෙන් දක්වා තිබේ. මහා වංසය ඉංග්‍රිසි බසට පරිවර්තනය කළ විල්හෙල්ම් ගයිගර් පඬිවරයා මහාවංසයේ ඇති මෙම ගථා එයට පසුකාලයේ ඇතුළත් කරන ලද්දක් බව පවසා උපග්‍රන්ථයක බහා ඇත. මහාවංස ටීකාව වන වංස්ත්ථප්පකාසිනියේත් මහාසීමාවට අදාළ මහාවංස ගාථා විස්තර කිරීමෙන් වැළකී ඇත. එහෙත් මහා සීමාව ලෙසින් මහාවංසයේ දක්වා ඇත්තේ භික්ෂූන්ගේ දානය ආදී අවශ්‍යතා ලබාගත හැකි ගොදුරුගම බවත් විහාර සීමාව හා මහා සීමාව පටලවා ගැනීමක් මෙහිදී සිදුව ඇති බවත් පෙනී යයි.

මහාවිහාරය බවට පත් වූයේ මහමෙවුනාව ය. එහෙත් මෙම පටලවා ගැනීම නිසා මහාවිහාරයට අයත් නොවන භූමි පවා මහමෙවුනාවට අයත් ලෙස වරදවා හඳුනාගෙන තිබේ. මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කළ සමයේ මෙරට වාසීන්ගේ ප්‍රධාන ආගම් වූයේ ජෛන බ්‍රාහ්මණ ඇතුළු ආගම් ය. අනුරාධපුර ඇතුළු නුවර වටා මෙම ආගම්වල සිද්ධස්ථාන පිහිටි බව මහාවංසයේ පණ්ඩුකාභය පිළිබඳ විස්තර කරන හදවන පරිච්ඡේදයේ මනාව දක්වා තිබේ. ඒවායේ පිහිටීම තවදුරටත් නිශ්චිත ව දැක්වීමක් මහා බෝධිවංශ ග්‍රන්ථිපද විවරණයේ ඇත.

ඒ අනුව ඇතුළු නුවර වයඹ දෙසින් විශේෂයෙන් වර්තමාන ලංකාරාමය හා එතැන් සිට උතුරට පැරණි ගාමිණී වාපී ලෙස මහාචාර්ය පරණවිතාන හඳුනාගෙන ඇති බුලන්කුලම වැව දක්වා ජෝතිය ගිරි කුම්භාණ්ඩ ඇතුළු අබෞද්ධ පූජකයන්ගේ ආරාම පිහිටා තිබී ඇත. එපමණක් නොව ක්‍රස්තු පූර්ව 89 පමණ වළගම්බා රජතුමා දෙවන වරට රාජ්‍යයට පත්වන විටත් අභයගිරිය ඉදි කළ භූමියේ ජෛන ආගමික මධ්‍යස්ථානයක් වූ බවත් එහි ප්‍රධාන පූජකයා ද්‍රවිඩයන් හා සටනින් පැරදී පලා යන වළගම්බා රජුට නින්දා අපහාස කළ බවත් එහෙයින් තමා දෙවන වර බලයට පත් වූ විගස මෙම ජෛන ආරමය බිඳුවා එතැන අභයගිරි විහාරය ඉදි කළ බවත් වංසකථාවල සඳහන් ය.

ථූපාරාමය පිහිටි භූමියේ මහේජ නමැති යක්ෂයෙකු වෙනුවෙන් කැප කළ දේවස්ථානයක් විය. අභයගිරියට උතුරින් ශ්‍රෛවණ සඳහා කැප කළ දේවස්ථානයක් විය. එසේ මිහිඳු හිමි මෙරටට වැඩම කරන සමයේ අනුරාධපුර ඇතුළුනුවර වටා ඉහත කී වෙස්ථාන හා ආරාමවලට අමතරව තවත් අබෞද්ධ සිද්ධස්ථාන බොහොමයක් විය.

එසේ වූ කල්හි එම භුමි සියල්ල ඇතුළත්කොට බෞද්ධ ආරාමයක් සඳහා සීමා වෙන් කර දීමක් සිදු වූයේ නම් එම අබෞද්ධ ආගමික පූජකවරුන් මෙන් ම එම ආගමික භක්තිකයන් නිහඬ විය හැකිද යන ප්‍රශ්න අප හමුවේ ඇත. එහෙයින් මෙම මහා සීමාව පිළිබඳ විස්තරය මිහිඳු හිමි වැඩම කිරීමෙන් සියවස් ගණනකට පසු වංසකථා රචනා වූ සමයේ පැවැති තත්වය සැලකිල්ලට ගෙන රචනා වන්නට ඇත. ඒ වන විට ඇතුළුනුවර වටා මහාවිහාරය අභයගිරිය මිරිසවැටිය මෙන්ම ජේතවනාරාමය ලංකාරාමය ආදී විහාර ඉදි වී මහා සීමාව දැක් වූ භූමියේ බෞද්ධ ආරාමවලින් ගැවසියේ ය.

එසේ අභයගිරි විහාර භූමියේ පිහිටි සමාධි බුදු පිළිමය ද මහමෙවුනාවේ සමාධි බුදු පිළිමය යනුවෙන් වැරැදියට ව්‍යවහාරයට පත් ව ඇත. මේ නිසා ම ආචාර්ය අමරදේවයන් පවා ගායනා කරන ගීතයක පද අතර මහමෙවුනාවේ සමාධි බුදු පිළිමේ යනුවෙන් සඳහන් වී ඇත.

Comments