ලේක්හවුස් ඉදිරිපිට කලහකාරි සිද්ධිය හෙළා දකිමු - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය | සිළුමිණ

ලේක්හවුස් ඉදිරිපිට කලහකාරි සිද්ධිය හෙළා දකිමු - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

පසුගිය බ්‍රහස්පතින්දා (13)ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවෙන් අනතුරුව මැර පිරිසක් ලේක්හවුස් ආයතනය ඉදිරියට පැමිණියහ. එම පිරිස පොලීසියේ වැළැක්වීමද නොසලකා හැසිරුණු මුග්ධ ආකාරය රටම විද්යුත් මාධය මගින් දැනගත්තේය. මහමග කිහිලිකරුවක ආධාරයෙන් ගමන් කළ අසරණ ආබාධිත පුද්ගලයකුගේ කිහිලිකරුවක් උදුරාගත් එක් මැරයකු ලේක්හවුස් සේවකයන්ට පහරදීමට උත්සාහ කළ ආකාරයයි මේ.

ලේක්හවුස් ආයතනය ඉදිරිපිට රැස් වු කණ්ඩායමක් කලහකාරී ලෙස හැසිරෙමින් එම මාධ්‍ය ආයතනයට එරෙහිව සිදු කළ තර්ජනාත්මක හැසිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකින බව ද එකී සිදුවිම් පිළිබඳ නිසි පරික්ෂණ පවත්වා නීතිය සාධාරණව ඉටු කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.

එහි කැඳවුම්කරු සී. දොඩාවත්ත මහතාගේ අස්සනින් නිකුත් කළ නිවේදනයක ඒ බව දැක්වේ.

දෙසැම්බර් 13 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව ලබාදීමෙන් අනතුරුව එම සිද්ධිය වී තිබේ.

පසුගිය ඔක්තෝම්බර් 26 දා සිට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් පැවති දැඩි අර්බුදකාරී තත්ත්වය එම නඩු තීන්දුව ප්‍රකාශ වීමත් සමඟ අවසන් වනු ඇතැයි, සමාජයෙහි වු අපේක්ෂාවද මෙතෙක් එලෙසින්ම ඉටු වී ඇති බවත් නොපෙනේ. එවැනි පසුබිමක් තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී හැසීරිම් පිළිබදව අපේක්ෂා තවදුරටත් බිඳ වැටීමට මෙවැනි සිදුවීම් හේතු වන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි.

එබැවින් මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොතබා ලේක්හවුස් ආයතනයට එරෙහි එම තර්ජනාත්මක හැසිරීම සම්බන්ධයෙන් නිසි පරික්ෂණ පවත්වා සාධාරණ ලෙස නීතිය ඉටු කිරීමට පියවර ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.

Comments