නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

අමුතු මගියා

ඔහු අමුතු ය. සරම ඇඳ ඇත්තේ කොටට බැවින් දෙපා තර­මක් නිරා­ව­ර­ණය වී ඇත. උඩු­ක­යට වඩා ලොකු කමි­සයේ බොත්තම් ද හරි­යට පියවා නැත. ඔහු ටොක් ටොක් හඬින් පොල්ලක් බිමට අනි­මින් යන්නේ උඩ පනි­න්නාක් මෙනි.

මා ඔහු මුල් වරට දැක්කේ දුම්රිය පොළේ දී ය. කවු­න්ට­ර­යෙන් ටිකට් පතක් මිල දී ගෙන ආපසු හැරෙන විට ම ඔහු ‘පුතේ‘ යි කිය­මින් මා මද­කට නවත්වා ගත්තේ ය.ඔහු මොහො­තක් මදෙස බලා සිටියේ දත් නැති කට ඇර­ගෙන නෑයෙකු හඳු­නා­ගත් කලෙක මෙනි. මේ මග­ඇරී ගිය නෑයෙකු දැයි කල්පනා කර­මින් මම ද ඔහු දෙස බලා සිටි­යෙමි.

‘අනේ පුතේ’ කිය­මින් ඔහු මා පසෙ­කට කැඳ­වූයේ ය.

‘ඇයි’ දැයි අස­මින් මම ඔහුට ළං වීමි.

‘අනේ පුතාට කියන්ඩ මගෙ පුතේ, මට මේ බේත් ටික ගන්ඩ ඕනැ පුතේ. ඒකයි පුතේ...’

ඔහු බේත් තුණ්ඩු­වක් මවෙත පෑවේ ය.

මට දුක සිතිණ. මම ඔහුට අතට අසු වූ නෝට්ටු­වක් දුනිමි.

‘බුදු සර­ණයි මයෙ පුතාට’ කිය­මින් ඔහු තමා වෙතින් නික්මෙන මගේ පිට අත ගෑවේ ය.

ඊට දින කිහි­ප­ය­කට පසු ද ඔහු අර තුණ්ඩුව පෙන්ව­මින් යම් යම් අය ළඟට යනු මම දිටිමි.

ඊළඟ සතියේ ඔහු කිට්ටු කළේ කාන්තා­වක් වෙත ය. ඔහුට අනු­ක­ම්පා­වෙන් කන්දී­ගෙන සිටි ඇය බේත් තුණ්ඩුව දෙස මොහො­තක් බලා සිට සිය මුදල් පසු­ම්බිය විවර කළා ය. එකෙ­ණෙහි ම ඇගේ නෙතු ගැටුණේ ළඟ පාත තිබූ ෆාම­සි­යකි.

‘එන්ඩකො මාමෙ’ යි කිය­මින් ඇය ඔහු කැඳවා ගෙන ෆාමසි දොර­කඩ වෙත ගියා ය.

‘මං බේත් ටික අරං දෙන්නං. කෝ දෙන්ඩකො ඔය තුණ්ඩුව!’ කිය­මින් ම ඇය ඉහළ වටි­නා­ක­මක් ඇති නෝට්ටු­වක් අතට ගත්තා ය.

‘එපා! බේත් එපා දුවේ’ ඔහු වහා ම බේත් තුණ්ඩුව පසෙ­කට කර සඟවා ගත්තේ ය.

‘ඇයි එපා? ඔයාට ඕනැ ඔය තුණ්ඩුවෙ බේත් ටික ගන්ඩනෙ. ඉතිං මං ඒක මාසෙ­කට දෙක­කට අරං දෙන්නං. එත­කොට මෙහෙම එක්කෙ­ක්කෙනා පස්සෙන් යන්නැ­තුව ගෙද­රට වෙලා බේත් ටික බොන්ඩ පුළු­වන්නෙ’

‘එපා දුවේ. මට සල්ලි ටිකක් දෙන්ඩකො. ඒ ඇති’

එත­නින් එහාට මිඩංගු කිරී­මට මට කාල­යක් නොවී ය.

ඊළඟ සතියේ ඔහු මට කිට්ටු කරද්දී මසි­තෙහි යම් තර­හක් ඇති විය.

‘ගිය සතියෙ නෝන කෙනෙක් බේත් අරන් දෙන්ඩ හද­න­කොට ඇයි එපා කිව්වෙ?’ මම ඔහු ගෙන් ඇසු­වෙමි. ඔහු ඉවත්ව යනු ඇතැයි මම සිතු­වෙමි. එහෙත් එසේ නොවීය.

‘මොන නෝනද? අනේ මේ බොරු කියන්ඩ එපා මහ­ත්තයො. බොරු කියන්ඩ එපා!’

ඔහු මා පසු කොට වෙන කෙනෙ­කෙ­කුට ළං විය.

මසි­තෙහි ඔහු කෙරෙහි හට ගත්තේ තර­හකි. මගේ ස්වරූ­පය දුටු ඔහු ද කෝප­යට පත් වූ බව පෙනිණ.

‘නෝන කෙනෙක්? නෝන කෙනෙක් බේත් අරං දෙන්ඩ ගියාලු. පට්ට­පල් බොරු කියන්ඩ එපා මහ­ත්තය!’ ඔහු ඈත තියා මවෙත රළු බැල්මක් හෙළා­ගෙන හිටියේ ය.

මම හැඟීම් පාල­නය කර­ගෙන ඉව­තට ගියෙමි.

ඉන්පසු මට ඔහු අම­තක විය.

ඉන් මසක් හෝ දෙකක් ඉක්ම ගිය පසු මා නග­රයේ සුපිරි වෙළඳ සලක කවු­න්ට­රය ළඟ සිටිද්දී ඔහු වීදුරු දොර තල්ලු කර­ගෙන ‘ ටොක් ටොක්’ හඬින් පොල්ල අනි­මින් එහි පිවි­සුණේ කැෂි­යර් කවු­න්ට­රයේ සිටි ගැහැනු ළම­යින්ට විහි­ළු­වක් ද කර­මිනි.

‘ආ සීය එනව! සිය එනව!’ ඔවුහු ඔහු ගේ දසු­නින් ම අමුතු විනෝ­ද­යක් ලබ­මින් සිනා­සු­ණහ. මට ඔහු හඳුනා ගැනී­මට හැකි වුව ද ඔහුට මා හඳුනා ගැනී­මට බැරි වීම සහ­න­යක් විය.

‘දුවේ, මට අර­කක් කඩල දෙන්ඩ. හදි­ස්සියි, හදි­ස්සියි ’ කිය­මින් ඔහු තවත් විහි­ළු­වක් කළේ ගැහැනු ළම­යින් සිනා සාග­ර­යක ගිල්ව­මිනි.

එකෙ­ණෙ­හිම සේවි­කා­වක් ශීත­ක­ර­ණ­යක් හැර ඉන් පැණි බිම බෝත­ල­යක් ගෙන මූඩිය කඩා ඔහුට දුන්නේ ය. ‘ආං හරි දුවේ’ යි කිය­මින් ඔහු ඉන් උගුරු කිහි­ප­යක් කටට හළා ගත්තේ ය.

‘දුවේ ඕං සල්ලි. ඕන­තරං ගන්ඩ!’ ඔහු සිය­තෙහි වූ නෝට්ටු­ව­ලින් පිරුණු ඉටි උරය කවු­න්ට­රය මත තැබුවේ යළිත් මුව අයා සිනා­සෙ­මිනි.

‘ඔක්කොම ගන්ඩද සීයෙ?’

‘ඔක්කොම ගත්තත් කමක් නෑ. සල්ලි කන්ඩයැ?’යළිත් මැවුණේ සිනා සාග­ර­යකි.

මිනි­සුන් විය­පත් වන විට, අස­රණ වන විට ඔවු­නට ජීවි­තය ගැට­ගසා ගැනී­මට ක්‍රම­යක් යොදා ගැනී­මට සිදු­වෙයි. අත­පය හයිය ඇති උද­විය ද මුදල් හොය­න්නට නොයෙ­කුත් ගැට ගසන සමා­ජ­යක විය­පත් මිනි­සෙකු දරන ඒ වෑයම අහිං­සක එකකි.

බීම බෝත­ල­යෙන් අඩක් හිස් කළ ඔහු මදෙස බලා කට ඇර සිනා­සුණේ ය.

‘...මට සීනිත් නෑ පිටිත් නෑ. ඉහෙං බහින රෝග­යක් නෑ මහ­ත්තයො. ඇයි මං උදේ හිට හැන්දෑ­වෙ­නකං ඇවි­දි­න­වනෙ’ ඔහු උඩ බලා තවත් උගු­රක් බිව්වේ ය.

‘පොඩි­කාලෙ ඉඳල මට රහ බීම ජාති­යක් නොබි­ව්වොත් පිස්සු වගේ’ ඔහු බෝත­ලය හිස් කළේ ය.

ඔහු ගැන මට යළිත් දුකක් ඇති විය.

රාගම, ජය­ව­ර්ධන රොඩ්‍රිගු මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.


සොඳුරු උදෑසන

සොඳුරු උදෑ­ස­නක මම එක්තරා කාර්යා­ල­ය­කට ගියෙමි.

ඒ එහි තේ වෙලාව විය. ඔවුහු තේ බොන්නට වූහ.

පිට­ස්ත­ර­ය­කුට වූයේ මා පමණි.

‘තේ ටිකක් බොමු‘ කෙනෙක් මට ද ඇර­යුම් කළේ ය. ඒ සමඟ ම මට හකුරු කෑල්ලක් සමඟ කහට කෝප්ප­ය­කුත් හුළං විස්කෝ­තු­ව­කුත් ලැබිණ.

මට පුංචි හිනා­වක් ගියේ ය. ඒ හුළං විසි­කෝ­තු­වක් දුටුවේ කල­කින් නිසා ය.

මම ද ඔවුන් සමඟ සතුට බුක්ති වින්දෙමි.

‘වස විස නැතුව කන්ඩ තියන එකම දේ තමයි මේ‘ තව කෙනෙක් කීවේ ය.

මට මේ පිරිස ගැන පැහැ­දී­මක් ඇති විය. ඔවුන් මගේ ම සොයුරු සොයු­රි­යන් ය යන හැගීම ඇති විය.

බදුල්ලේ, මාලිනී ජය­සේ­කර මහ­ත්මිය විසින් එවන ලද ලිපි­යක් ඇසු­රෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

Comments