
“අනේ පුතේ.. මට මෙවෙලේ කවුරුත් නෑ! ඔයාවත් ඇවිත් මට උදව් කරන්න.. මාමාව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කරං යන්න නම් අමාරුවෙයි. අපි පන්සලටවත් එකතු කරගෙන යමු!” ක්රියාශීලී තරුණයෙකු වන රදීශ් තත්වය අවබෝධ කරගෙන හැකි ඉක්මණින් රත්නපුර වලව්වට ආවේ ඒ වන විට සියලු තතු පියාගෙන් දැන සිටි නිසාය.
තංගල‍්ලේ නගර සීමාවට ආසන්න වෙද්දී ශ්‍රීමාල් ෙග් හිත දෙමෝලෙන් පිටි කොටන්නාක් බඳු මානසික තත්වයක පැවතුණි. කරුණාදාස ද වාහනය පදවාගෙන ගියාට වඩා වේගයෙන් සිත දිව යාමේ අපහසුවෙන් වෙළිලාය. පසුකරගෙන යන ගස්කොලන් ගොඩනැඟිලි ගෙවල් දොරවල් සේම සතාසීපාවන් ද මිනිසුන් ද සියල්ලම හරියට දශම තිත් වගේ ශ්‍රීමාල් දැනුණි.
එකෙණෙහිම ජංගම දුරකථනය නාද වූයෙන් හිතේ කලබලයට එය අතට ගන්න යද්දී අත වෙව්ලා බිම වැටිණි. ඇමතුම ද විසන්ධි විය. යළි අතට ගෙන පරීක්ෂා කරද්දි ඒ අංකය නුපුරුදු අලුත්ම අංකයක්ය. ශ්‍රීමාල් දෙතොල් පොට තදකරගෙන හිස වැනුවේය.
“කවුද බේබි හාමු...?”
නිහඬ බව බිඳගෙන කරුණාදාස කතා කළේ තිගැස්සුණු හඬින්ය. නැවත ද ඇමතුම ආවේ ඒ ක්ෂණයෙන්මය.
“මේ ශ්‍රීමාල් අයියා නේද?”
ආපු ගැහැනු කටහඩ නුහුරුය. නුපුරුදු ය.
“ඔව්! කවුද - මේ?”
“මම මෙ.. මේ.. ජයමාල් ගෙ.. ජයමාල්ගෙ.. ම.. මාලිකා... අයියෙ..”
“මා.. මාලිකා නංගී..! කියන්න.. කෝ.. ජයමාල් මල්ලී!”
එකවරම බ්රේක් හසන ලද වාහනය ගැස්සී නැවතුණි. දැන් කරුණාදාස කට ඇරගත් ගමන් බේබි හාමු දිහා බලාගෙනය.
“එ.. එයා ඉන්නවා.. අයියේ.. ඉන්න මං දෙන්නම්..!”
දැන් ශ්‍රීමාල් දොර ඇරගෙන වාහනයෙන් බිමට බැහැලාය. ඔහු කෑ ගෑවේ කෝපයෙනි.
“මොකෝ මනුස්සයෝ මේ කරන්නෙ? අපි මෙහේ ගිනිපත්තුවෙලා තමුසෙව හොයනවා.. මේ දැන් තංගල්ලෙ ‘මිනියක්’ බලන්න යන ගමන්.. හහ්.. පිස්සුද මිනිහො තමුසෙට මෙහෙම අපිව බය කරන්න. දැන් තමුන් කොහෙද ඉන්නෙ?”
එහා පැත්තෙන් ඇහුණෙ ජයමාල්ගේ වියරු හිනාවය.
“කමෝන්.. කමෝන්! මිස්ටර් ශ්‍රීමාල් රත්නසේකර හාමු මහත්තයා...! හහ්හා.. මං අහලම නෑ අයියෙ.. ඔයා ඔච්චර ලස්..ස..ණ..ට කතා කරනවා... මේ අයියෙ.. විහිලු නෙමෙයි මගෙ මිනිය බලන්න ඕන නෑ මෙහෙ එන්න මාව බලන්න... මං.. මාලිකාව කසාද බැන්දා අයියෙ..!”
මොහොතකට ශ්‍රීමාල් ගේ කන් අගුල් වැටුණා බඳුවිය.
“ඉතිං මොන මඟුලක්ද මේ ෆෝන් ඕෆ් කරගෙන කරන්නෙ. ඔයාට තේරෙනවනේ අපි කොහොම වෙතත් අම්මාට මේවා උහුලන්න බැරි බව..!”
“කාට කාටත් අයියේ.. උහුලගන්න බැරි, වලව්වලට සිද්ධවෙන මදිපුංචිකම් විතරයි. අපිව, පෙලැන්තිය රකින ඉත්තෝ මිස එයාලට දරුවො නෙමෙයි.. මට ඕන කළේ... අයිය දන්නවනෙ අප්පච්චිලට රිද්දන්න! ඒකයි ෆෝන් ඕෆ් කරන් හිටියේ. එයා මේ මාලිකාලගෙ ගෙදරට මැරයො යවලා කරලා තියෙන පාහර පහත් වැඩේ ඔයා දන්නෙ නෑනෙ.. ගොඩලියද්ද හාමු කරපු එක ආදර්ශෙට අරගෙන එයා ඒක කරලා තියෙන්නෙ. මම කළේ අයියෙ.. ගොඩලියද්ද හාමුගෙ පුතාව ආදර්ශෙට ගත්තු එක.. හහ් හා...”
ශ්‍රීමාල් මද වේලාවක් නිහඬව සිටියේ තම හැඟීම්වල උද්වේගය මැඬගැන්මටය. මලින්ද අයියා කළ දේම ජයමාල් කරාවිදෝ යන සැකය තමා තුළ තිබුණ බව මතකය.
“මල්ලි දැන් කොහේද ඉන්නේ...?”
“මම ඔයාට පස්සෙ කෝල් එකක් දෙන්නම් අයියෙ.. දැනට කියන්න.. එයාලට, මම ‘කසාද බැන්දා’ කියලා එච්චරයි. දැන් ඔයාලා වාහනේ හරවගෙන ගෙදර යන්න!”
ශ්‍රීමාල් වාහනයට නැග දොර වසා ගත්තේ ශබ්ද නගමිනි. මේ දේ අප්පච්චිට කියන්නට තමාවම යොදාගත් එක ගැන ඔහුට ජයමාල් ගැන ඇති වුණේ අප්රමාණ කේන්තියකි. ඇත්තටම මෙය පුදුම කතන්දරයකි. මදක් අන්දමන්දව සිට ඔහු කරුණාදාසට කීවේ වාහනය හරවාගන්නා ලෙසය.
“පුදුම රස්තියාදුවක් නේ.. මේ ජයමාල් බේබි කළේ.. නැද්ද බේබි හාමු..”
කරුණාදාස කීවේ වාහනය හරවන ගමන්ය. ශ්‍රීමාල් දිගු සුසුමක් හෙලයි. එය ඉතාම බර සුසුමකි.
“එක අතකට කමක් නෑ.. අඩුම ගානෙ එයා ජීවතුන් අතරවත් ඉන්නවානේ..! උන්නු හැටියට මළා මදෑ...!”
******
රත්නපුර වලව්වට දුරකථන පණිවුඩයක් ලැබුණේ ජයමාල් හාමු ගැන සෙවීමට ශ්‍රීමාල් හාමු කරුණාදාස සමඟ තංගල්ලේ ගිය බව කියමිනි. පණිවුඩය ගත්තේ සුදු මැණිකේ ය. ඒ ආරංචියෙන් කැළඹී ගේ මැදින් එද්දී කෑගසාගෙන එන ජයතිස්ස දැකලා ඇය බිරන්තට්ටු වෙයි.
“අනේ හාමු.. හාමු මහත්තයා ඔළුව විකාරෙන් වගේ බෙරිහන් දිදී කියවනවා!”
මොහොතක් කල්පනා කළ සුදුමැණිකේ කළේ ජයසුන්දර අයියාගේ පුත්‍රයා වන රදීශ්ට කතාකොට ඔහුව ගෙන්වා ගැනීමට කටයුතු යෙදීමය.
“අනේ පුතේ.. මට මෙවෙලේ කවුරුත් නෑ! ඔයාවත් ඇවිත් මට උදව් කරන්න.. මාමාව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කරං යන්න නම් අමාරුවෙයි. අපි පන්සලටවත් එකතු කරගෙන යමු!” ක්රියාශීලී තරුණයෙකු වන රදීශ් තත්වය අවබෝධ කරගෙන හැකි ඉක්මණින් රත්නපුර වලව්වට ආවේ ඒ වන විට සියලු තතු පියාගෙන් දැන සිටි නිසාය.
මලින්දගේ පලා යාම, ජයමාල් ගේ අතුරුදහන් වීම.. මේ සියල්ලටම මූලික හේතුව වලව් දෙකේ ඇත්තන්ගේ අප්පච්චිලාගේ අදූරදර්ශී ක්රියාවල් බව ජයසුන්දර තම පුත්රයාට පහදා දී තිබුණි.
“මොනවා කරන්නද අප්පච්චි අපිට තියෙන්නෙ පුළුවන් විදියකට එයාලට උදව්වක් වෙන එක විතරනෙ..”
මහ බෝධි පන්සලේ ලොකු හාමුදුරුවෝ පන්සල් මිදුලට පාවී ආ ගාම්භීර පෙනුම ඇති වාහනය දිහා බැලුවේ කුහුලෙනි. සුදු මැණිකෙ හාමු වාහනයෙන් බසිනවා පෙනුණි. වෙනදා නම් සුදු මැණිකෙ හාමු පන්සල් ගේට්ටුව ළඟදී වාහනයෙන් බැස සෙරෙප්පු අතේ අරගෙන වැලි පාර දිගේ පන්සලට එනවා මතකය.
“හත්දෙයියනේ.. හාමු මහත්තයත් ඇවිත්..!”
ආසනයෙන් නැගිටින්නට හැදූ නායක හාමුදුරුවෝ නැවත නොනැගිට සිටියේ අසීරුවෙනි. හාමු ජෝඩුව දැකලා පන්සලේ අතවැසි බණ්ඩා ද ඉදිරියට ආවේ සිනාසෙමිනි.
“ආයුබෝං.. ආයුබෝං.. එන්න හාමු මහත්තයා එන්න මැණිකෙ හාමු.. හාමු මහත්තයා නම් සෑහෙන කාලෙකට පස්සෙ.. අෙප මැණිකෙ හාමු නම් පහුගිය ටිකේම ආවා නෙ.. පිංකම් කළා.. බෝධිපූජා කළා.. ආ.. අපේ මේ ජයසුන්දර හාමුගෙ පුත්‍ර රත්නයත් ඇවිල්ලා ඉන්නේ.. එන්න..”
ආවතේවකරු ගෙනැවිත් දුන් කුඩා පුටුවේ වාඩි වූ ගොඩලියද්ද හාමු සිටියේ අමුතුම විදියකටය. කෑගසන්නට උවමනාවක් තියාගෙන බලෙන් නිහඬ වී සිටිනවා වගේ අමුතුම සෙයියාවකය. රදීශ් හෙමිහිට නැන්දාගේ කණට කොඳුරයි. ඊළඟට සුදු මැණිකේ බණ්ඩාගේ කණට කර රහසින් කියූ දේ මෙහොතකින් බණ්ඩා නායක හාමුදුරුවන්ට දැනුම් දුන්නේ ඉඟි බාසාවෙනි.
“අපෙ හාමු මහත්තයා.. ඇයි.. හුඟාක් මාන්සිවගේ.. අපි තේ එකක් සප්පායම්වෙමුද...”
ගොඩලියද්ද හාමු මඳක් හිස වනයි. ඔහුගේ ඇස්වල බොරපාට නායක හාමුදුරුවන්ට හොඳින් ම පෙනුණි.
“මෙහෙමයි.. හාමු මහත්තයා.. කරදර කම්කටොලු.. තැවුල් අවුල් පවුල්වල ළමයින්ගෙ ප්‍රශ්න.. ගිහි ජීවිතවල කොහොමත් තියෙනවා.. ඒවායින් බේරිලා ගිහි ජීවිතයේ ජීවත්වන්න අමාරුයි...”
එහෙම කියද්දිම අසුනින් නැගී සිටිය ගොඩලියද්ද සට සට ගා තොල්මතුරමින් එහෙ මෙහෙ යයි. උගුර රැල් බුරුල් අරියි. ඇස් ඔරවයි.
“හා.. දැන් තේ එක සප්පායම් වෙලා ඉවරවෙලා.. අපි පුංචි සෙත් පිරිතක් කියලා පිරිත් නූලක් බඳිමු.. හිත කරදර සුවපත් වෙනවා ඒකාන්තයි.”
නායක හාමුදුරුවන්ගේ නිවුණු ශාන්ත කටහඬම එකම සෙත් පිරිතක් වගේ මැණිකෙ හාමුට සිතුණි. ඉතාමත් ම ශීලවන්ත දිවි පෙවෙතක් ගත කරන උන්වහන්සේ ප්රෙද්ශවාසී හැමදෙනාගේ ම ඉතාම ඉහළ ගෞරවාදරයට හිමිකම් කියන කෙනෙකි.
තේ පානයෙන් අනතුරුව මැණිකෙ හාමුගේ උපදෙස් මත ගොඩලියද්ද හාමු සමඟ ලොකු හාමුදුරුවෝ සෑහෙන වේලාවක් තනිවම කතා බහේ යෙදුනහ. නිහඬව සිටිය හාමු හයියෙන් කතා කරන්නට වගේම කුඩා දරුවෙකු සේ හඬන්නටත් පටන් ගත්තේ ඊට පස්සේය. මැණිකෙ බුදු මැඳුරට වී වන්දනා මාන කරමින් සිටියේ හිතේ චකිතයෙනි. ඔහුව පන්සලට එන්න කැමති කරවා ගත් එකත් මොනතරම් දෙයක්දැයි ඇය රදීශ්ට පුතාට ද කීවේ හිත සැහැල්ලු කරගනිමින්ය.
කතාබහෙන් පස්සේ ලොකු හාමුදුරුවෝ බෝධි පූජා පිංකමක් ද පවත්වා සෙත් පැතුවේ හාමු මහත්තයා ගැනකරුණාවෙන්මය. නිතර පන්සලට නොආවාට පන්සලේ කෙරෙන හැම කටයුත්තකදීම ආර්ථික සහනය ලබාදෙන ඔහු පන්සලේ ප්රධානතම දායකයාද වෙයි.
වාහනයට නැගී ආපසු යන ගමනේදී සුදු මැණිකෙ හාමු හිතයටින් පසුතැවුණේ තමා විසින් සැමියා වෙත පවරන ලද දෝෂාරෝපණය ඔහුට උහුලන්නට බැරිවන්නට ඇතැයි සිතාය.
ඔවුන් වලව්වට යද්දී ශ්‍රී ජය වලව්වේ අයද පැමිණ සිටියේ අලුත්ම ආරංචියෙන් වියරු වැටෙමිනි.
“බලන්න බුදු අයියේ අපට වෙච්ච දේ.. අපේ ජයමාල් පුතාත් හිතුමනාපෙට කෙල්ලක් කරේ එල්ලගෙන නේ..!
නිර්මලා මැණිකේ එසේ කියද්දි සුදු මැණිකේ මහ හඬින් විලාපයක් තිබ්බාය. නමුත් ගොඩලියද්ද මන්සිනා සිටිෙය් අමුතුම විදියකටය. රත්නසේකරට එය ප්රශ්නයකි. මහා හයියෙන් කෑගසා පළි ගසා ආවේගයෙන් ආපු රත්නසේකර පුදුම වුණේ මස්සිනා උපාසක බළලෙකු වගේ සිටිනා එකටය.
“අපෙ මහත්තයාට ටිකක් අසනීප වුණා නංගී.. ඒකයි ඔය. බලන්න මලින්ද පුතයි ජයමාල් පුතයි දෙන්නාම එකම විදියෙ කැළලක් කරලා අපේ හිත්වලට දුක්ගින්දර දීපු හැටි.”
“අයියත් හොඳට මතක තියාගන්න ඔය පැනලා ගිය එකෙකුටවත් තඹ දොයිත්තක දෙයක් එහෙම දෙනවා නෙමෙයි. ඕකුං අපේ පුතාලා නෙමෙයි අපිව කන්න ආපු මාර පුත්තු.. හහ් මාර පුත්තු!” වලව්ව දෙක වෙන්න කෑගසා මොර දෙන රත්නසේකරගේ ඇස් දිලිසුණේ යක්ෂාවේශයෙන් වගේය.
හරි නම් මේ නෙයියාඩගම්වලට පිස්සු හැදෙන්න ඕනෑ ගෑනු අපිට.. සුදු මැණිකෙ එහෙම හිතුවා විතරය.
ලබන සතියට...