
වර්තමානයේ ජංගම දුරකථනය බොහෝ දෙනකුගේ ජීවිතයේ අත්‍යවශ්‍ය ම මෙවලමකි. ඇතැම්හු සිය ජංගම දුරකථනයේ දුර්ලභ දුරකථන අංක පමණක් නොව ජීවිතයේ වටිනා මොහොත සිහි කැඳවන ඡායාරූප ද තැන්පත් කොට තබා ගනිති. එවැනි ජංගම දුරකථනයක් අස්ථානගත වුවහොත් එය කෙතරම් පාඩුවක්ද දන්නෙ ඔවුන් ම පමණි.
එලෙස අස්ථානගත වන ජංගම දුරකථන අපරාධකාරයන් බොහෝ අපරාධවලට ද යොදාගන්නා බව මෑත කාලයේ ඇතැම් අපරාධ සිදුවීම්වලදී වාර්තා විය. ඒ අනුව අපරාධකාරයන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට යාමේදී සිදුකරන දුරකථන විශ්ලේෂණවලදී බොහෝ විට ප්‍රථමයෙන්ම අත්අඩංගුවට පත්වන්නෙ දුරකථනයේ නියම අයිතිකරුවන් වූ නිරපරාද පුද්ගලයන් ය.
එ් නිසා තම ජංගම දුරකථනය අස්ථානගත වුවහොත් ළඟ ම තිබෙන පොලිස් ස්ථානයට පැමිණිලි කිරීම සිදුවිය යුත්තක් ම ය. එහෙත් ඇතැම් දෙනා පොලිසියට ගොස් රස්තියාදු වීමට තිබෙන මැළිකම නිසාවෙන් එලෙස පැමිණිලි කිරීමට ද අදිමදි කරයි. එහෙත් වර්තමානයේ ඒ සියලු දෙනාට ම කාර්යක්ෂම ව, කාලය, ශ්‍රමය ඉතිරි කරගනිමින් දවසේ ඕනෑම වෙලාවක ජංගම දුරකථනය අස්ථානගත වූ බවට පැමිණිල්ලක් කිරීමට අවැසි වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී අජිත් දමයන්ත මහතා උත්සුක වී තිබේ.
2012 වර්ෂය වන තෙක් මෙරට තුළ ජංගම දුරකථනයක් අස්ථානගත වුවහොත් එය සොයා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොතිබිණි. පසුව 2012 වර්ෂයේ සිට පැවැති ක්‍රමය වූයේ ජංගම දුරකථන අස්ථානගත වීම ගැන පොලිසියට ලැබෙන පැමිණිල්ල විදුලි සන්දේශ නියාමන කොමිසමට යොමු කිරීමෙන්, එම ආයතනය විසින් මෙරට ක්‍රියාත්මක වන සියලු ජංගම දුරකථන සමාගම් හරහා සොයා බැලීමයි.
එහෙත් 2014 වර්ෂයේදී පමණ ලැබෙන පැමිණිලි ඉහළ යෑම නිසා විදුලි සන්දේශ නියාමන කොමිසමේ කාර්ය මණ්ඩලයේ හිඟතාව හේතුවෙන් එම කටයුත්ත ප්‍රායෝගිකව සිදු කිරීම අපහසු බව පවසමින් හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතාට ලිපියක් මඟින් දැන්වූයේ එම සේවය නතර කරන බව සඳහන් කරමිනි.
එහෙත් මහජනයාට අත්‍යවශ්‍ය කටයුත්තක් වන එ් ක්‍රමවේදය නතර නොකරන ලෙස පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ එවකට වැඩබලන අධ්‍යක්ෂවරයා වූ සහකාර පොලිස් අධිකාරි අජිත් දමයන්ත හෙට්ටිආරච්චි මහතා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ මහජන පැමිණිල් අංශයෙන් ඉල්ලීමක් කෙරිණි. අවසානයේ ඒ වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට මිල ගණන් කැඳවීමේදී ලක්ෂ 90ක් පමණ වැය වන බව සඳහන් විය. එසේම තවත් සමාගමක් විසින් කරනු ලබන එක් පැමිණිල්ලක් වෙනුවෙන් අවම රුපියල් දහයක මුදලක් අවැසි බව සඳහන් කර තිබිණි. ඒ අනුව විශාල මුදලක් වැය වන හෙයින් මහජනයාට අත්‍යවශ්‍ය සේවාවක් නතර කිරීමට ඉඩ නොතබා තිබූ ප්‍රායෝගික ක්‍රමවේදයට වඩා පහසු සහ කාර්යක්ෂමව ජංගම දුරකථන අස්ථානගත වූ විට අදාළ පුද්ගලයාට කිසිදු පොලිස් ස්ථානයකට නොගොස් පැමිණිලි කිරීමට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට තනිවම ඉදිරිපත් වූයේ සහකාර පොලිස් අධිකාරි දමයන්ත මහතායි.
ඕනෑම මොහොතක ජංගම දුරකථන අස්ථානගත වූ විට පැමිණිලි කළ හැකි එම වෙබ් අඩවිය www.ineed.police.lk ය. එහි ක්‍රියාත්මක වීම නිල වශයෙන් පසුගියදා පොලිස් මූලස්ථානයේදී පොලිස්පති පූජිත් ජයසුන්දර සහ පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ්‍රැන්ක් ප්‍රනාන්දු, තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ අශෝක ධර්මසේන ඇතුළු විදුලි සන්දේශ නියාමන කොමිසමේ සහ මෙරට සියලු ජංගම දුරකථන සමාගම්වල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සිදු විණි.
රට තුළ සැරිසරන මිලියන 24ක් පමණ වන ජංගම දුරකථන අතුරෙන් දිනකට අස්ථානගත වීම් පිළිබඳව මහජන පැමිණිලි 800ත් 1000ත් අතර ප්‍රමාණයක් පොලිසියට ලැබෙමින් පවතී. 'මට පොලීසිය අවශ්‍යයි' යන තේමාවෙන් යුත් වෙබ් අඩවියෙන් මහජනයා සේවය ලබාගත යුත්තේ කෙසේද යන්න එහි නිර්මාණකරු සහකාර පොලිස් අධිකාරි දමයන්ත පවසන්නෙ මෙවැන්නකි.
"අන්තර්ජාලය තිබෙන දුරකථනයකින් වුවද මේ වෙබ් අඩවියට පිවිසිය හැකියි. මුලින්ම වෙබ් අඩවියට තම පෞද්ගලික නිවැරැදි දත්ත ඇතුළත්කොට ලියාපදිංචි විය යුතුයි. එහිදී දුරකථන අංකයක් සහ ඊමේල් ලිපිනයක් අත්‍යවශ්‍යයි. ඉන්පසු ලියාපදිංචි වන තැනැත්තාට නමක් (යූසර් නේම්) සහ මුරපදයක් (පාස් වර්ඩ්) ලබා දෙනවා. පසුව අස්ථානගත වූ ජංගම දුරකථනය හා සබැඳි පැමිණිල්ල යොමු කළ හැකියි. පැමිණිල්ල යුනිකෝඩ් මඟින් භාෂා තුනෙන්ම ටයිප් කරන්නත් පුළුවන්. එසේ නොමැතිනම් පැමිණිල්ල කොළයක ලියා ස්කෑන්කොට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඊමේල් ලිපිනයක් නොමැති අයකුට හිතවතකු මඟින් ලියාපදිංචි වී පැමිණිල්ල ඉදිරිපත් කළ හැකියි. පැමිණිල්ල ලියද්දී සවිස්තරාත්මකව ලිවීම අත්‍යවශ්‍යයි. වෙබ් අඩවියේ ඒ පිළිබඳව සාම්පලයක් දී තිබෙනවා. විශේෂයෙන් ම දුරකථනයේ එමි අංකය ලිවිය යුතුමයි. ඒ නිසා ජංගම දුරකථන භාවිත කරන අය එමි අංකය ගැන සැලැකිලිමත් විය යුතුයි. එමි අංකය සොයා ගැනීමට ක්‍රම තුනක් තිබෙනවා. එක, දුරකථනය බහාලු පෙට්ටිය, දෙක, දුරකථනයේ බැටරියට පසුපස; තුන, *#06# යන බොත්තම් ඔබා එමි අංකය ලබාගත හැකියි. එම අංකය සටහන්කොට තබා ගැනීම දුරකථනයක් අස්ථානගත වූ විට සොයා ගැනීමට මනා පිටිවහලක්.
පසුව පැමිණිල්ල එසැණින් අදාළ පොලිසියට යොමු කෙරෙනවා. ඔවුන් පරීක්ෂාකොට එය විදුලි සන්දේශ නියාමන කොමිසමට යොමු කරනවා. ඔවුන්ගේද පරීක්ෂාවෙන් අනතුරුව මෙරට ක්‍රියාත්මක සියලුම ජංගම දුරකථන සමාගම්වලට යොමු වෙනවා. මේ සියලු දේ පරිගණක ආධාරයෙන් ක්ෂණිකව සිදු වෙන්නෙ රටේ පවතින නීති රාමුව ඇතුළතයි. ඔබට සියලු දේ ගැන දැනුවත් කරමින් ලිපියක් එවීමටත් කටයුතු කරනවා. ඒ වගේම නුදුරේදීම එස් එම් එස් මාර්ගයෙන් විටෙන් විට දැනුම්වත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එක්වරක් ලියාපදිංචි වූ විට ඔබට ඕනෑ තරම් පැමිණිලි කළ හැකියි. එහෙත් අපි ඒ ගැන සොයා බැලීමක් කරනවා. මොකද නැතිනම් මෙමඟින් ඇතැම් දෙනා මුදල් ගැරීමක් කරන්නත් ඉඩ තිබෙන නිසා."
මෙමඟින් ජනයාට කිසිදු පොලිස් ස්ථානයකට නොගොස් කාලය, ශ්‍රමය ඉතිරිකොට අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් ක්ෂණිකව සපුරාගත හැකිය.
මේ ක්‍රමවේදයට පෙර පැවැතියේ පොලිස් ස්ථානයකට ගොස් පැමිණිල්ලක් කොට අනතුරුව නැවත දිනෙක පොලිසියට ගොස් එහි කොපියක් ගෙන විදුලි සන්දේශ නියාමන කොමිසමට යෑමයි. ඔවුන්ද පරීක්ෂා කොට දුරකථන සමාගම්වලට යොමු කෙරේ. එහිදී දුරකථන සමාගම් සියල්ලටම වෙන් වෙන්ව ලිපි මඟින් දැනුවත් කිරීමට සිදු වේ. එහෙත් වර්තමාන ක්‍රමවේදය අනුව ක්ෂණයෙන් සියලුම දුරකථන සමාගම්වලට එකවර යොමු කෙරේ. එසේම පෙර පැවැති ක්‍රමවේදය අනුව දුරකථන සමාගම් විසින් අස්ථානගත වූ දුරකථනය ගැන සොයා බලන්නේ එක්වරක් පමණි. ඒ සොයා බලන මොහොතේ දුරකථනය සිම්පතක් යොදා භාවිත කළහොත් පමණක් දුරකථන සමාගම්වලට හසු වේ. එසේ නොමැති වුවහොත් ජංගම දුරකථනය සදාකල් අන් සතු ය.
එහෙත් මේ වෙබ් අඩවිය මඟින් පැමිණිලිකරුට විටෙන් විට කලින් කලට පැමිණිල්ල යාවත්කාලීන කළ හැකිය. ඒ සෑම මොහොතකදීම දුරකථන සමාගම් සොයා බැලීම සිදු කරයි.
ඉදිරියේදී මේ වෙබ් අඩවිය මඟින් හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර සහ විදේශ ගමන් බලපත්‍ර අස්ථානගත වීම් පිළිබඳව පැමිණිලි පමණක් නොව තම දුරකථනවලට ලැබෙන අනවශ්‍ය කරදර පීඩා දෙන ඇමැතුම් අංක ගැනද පැමිණිලි කළ හැකි වේ. තවද උසාවි නියෝග මත පොලිස් නිලධාරීන් විසින් දුරකථන විස්තර වාර්තා (Detail Bill) ලබා ගැනීමට කොළඹට පැමිණ දින ගණන් රස්තියාදුව ද නතර වේ. ඔවුනට උසාවි නියෝගය අප්ලොඩ් කොට අදාළ පොලීසියේ සිටම එම කාර්යය සිදුකරගත හැකිය. එසේම මේ වෙබ් අඩවිය මඟින් හඳුන්වා දී තිබෙන තවත් අමතර වාසියකි; ඔන්ලයින් වෙළෙඳාම හෝ කිසිදු වගකීමක් නොමැති ලෙස වෙළෙඳාම් කරන දුරකථන පිළිබඳව සොයා බැලීම. එහිදී මිලදී ගන්නා අදාළ දුරකථනයේ එමි අංකය එසැණින් වෙබ් අඩවියට ඇතුළුකොට එය හොරකම් කරන ලද්දක්දැයි සොයාගත හැකිය.
මෙවන් විශාල සේවාවක් සැලැසිය හැකි වෙබ් අඩවියක් පමණක් නොව මිල ගණන් කැඳවීමේදී ලක්ෂ 140ක් පමණ වැය වෙතැයි සඳහන් වූ පොලිස් දෙපාර්තමේන්තුවේ පිරිස් පරිපාලනය වෙනුවෙන්ද වෙබ් අඩවියක් නිර්මාණය කර දෙමින් සහකාර පොලිස් අධිකාරිවරයා දිවා රෑ නොබලා පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව රටේ සමස්ත ජනයා වෙනුවෙන් ම විශිෂ්ට සේවාවක් සිදු කොට තිබේ.
ඉදිරියේදී කෙනකු අන් සතු දුරකථනයක් ලබාගෙන භාවිත කළහොත් අනිවාර්යයෙන්ම නීතියේ රැහැනට කොටු වන බව සියලු ජනයා මතක තබාගත යුතු ම ය. එම නිසා පොලිසිය ජනයාගෙන් ඉල්ලා සිටිනුයේ තම දුරකථනය අස්ථානගත වුවහොත් වෙබ් අඩවිය හරහා අනිවාර්යයෙන්ම පැමිණිලි කරන ලෙසයි. එය අන් සතු දුරකථන භාවිත කොට අපරාධ සිදු කරන අපරාධකාරයන් පහසුවෙන් ම නීතියේ රැහැනට කොටුකරගැනීමට මනා පිටිවහලක් වන බවයි.