
මෙම ජාවාරම සඳහා මූලිකව රුපියල් ලක්ෂ තුනත් පහත් අතර මුදලක් ලබාගන්නා ඇය සියලු ගනුදෙනු කර තිබුණේ නිවෙස් හිමියන් මාර්ගයෙනි. ඊට අමතරව රට යෑමට කැමැති අයට සෙනිලා නිවෙස් හිමියන් මඟින් දැනුම් දී තිබුණේ රුපියල් ලක්ෂයක මුදලක් නව බැංකු ගිණුමක තැන්පත්කොට එම බැංකු පොත සහ ඊට අදාළ ඒටීඑම් කාඩ්පතත්, එහි රහස්‍ය අංකය ඇතුළත් බැංකු ලිපියත් ඇයට ලබා දෙන ලෙසය.
අහිංසක ජනයා මුළා කරමින් මුදල් කොල්ල කෑමට ඇතැම් දෙනා විවිධාකාරයේ කූට උපක්‍රම යොදා ගනී.
එසේ තැනින් තැන තාවකාලිකව නවාතැන්ගෙන කැනඩාවේ රැකියා සඳහා යවන බවට පවසා මිනිසුන් මුළා කරමින් කෝටි ගාණක මුදල් කොල්ල කෑ කාන්තාවක් පසුගිය 17 වැනි දා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය. ඒ නවගමුව රණාල ප්‍රදේශයේ නිවෙසක සිටියදීය.
හිස බූ ගා හැඩරුව ද වෙනස් කොට සිටි ඇය 46 හැවිරිදි කනගරත්න සෙනිලා ඩිලානි ද සිල්වාය. එම කාන්තාව කලෙක සිටම රටේ විවිධ පෙදෙස්වලට ගොස් තාවකාලිකව නවාතැන්ගෙන සිය ගණනක් අහිංසක ජනයා මුළාවේ දමමින් සැපවත් දිවියක් ගත කළාය.
එලෙස ඇය විසින් මුළා කරන ලද පුද්ගලයන් පනස් දෙදෙනෙකු පසුගිය 14 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ තම පිරිස කැනඩාවට යවන බව පවසා සෙනිලා නමැත්තිය මුදලින් ලක්ෂ ගාණක් වංචා කර තමන් අමාරුවේ දැමු බව ද පවසමිනි. එසේම එම පිරිස වැඩිදුරටත් පොලීසියට කීවේ, ඉඩකඩම් උකස් කොට, පොලියට මුදල් ගෙන ඇයට දුන් බවය. ඇතැමෙකු නිරත වූ ස්ථිර රැකියාවලින් ද ඉවත් වී තිබුණේ සෙනිලාගේ බහට හසු වී කැනඩා සිහිනය සපථ කරගැනීමේ අටියෙනි.
එසේ රට පුරා සිය ගණනක් දෙනා මුළා කිරීමට සෙනිලා යොදාගෙන තිබුණේ කූට උපක්රමයකි. යම් ප්‍රදේශයකට ගොස් නිවෙසක කාමරයක් කුලියට ගන්නා ඇය එම නිවැසියන්ට පවසන්නෙ සමාජයේ වැදගත් අය හඳුනන බවත්, ධනවත් කාන්තාවක බවත්, තම පවුලේ ප්‍රශ්න මත නිවෙසින් බැහැරව වෙසෙන බවත්ය. ඒ අනුව නිවෙස් හිමියන් සමඟ කුළුපග වන සෙනිලා කාමරයේ කුලිය ලෙස වැඩිපුර මුදලක්ද ගෙවයි. ඉන් තමා ධනවත් බව පෙන්වයි. අනතුරුව වැඩි මිත්‍රත්වයක් ඇති කරගනී.
ඇය හොර ජාවාරමට අර අඳින්නේ මුලින්ම නිවෙස් හිමියන් ද ඊට සම්බන්ධ කරගනිමිනි. ඒ අනුව සෙනිලා නිවෙස් හිමියන්ට පවසන්නෙ පවුලේ අයට කැනඩාවේ සබඳතා තිබෙන බවත්, ඒ නිසා අවශ්‍ය නම් කෙනෙකුව රැකියාවක් සඳහා කැනඩාවට යැවීමට හැකි බවත්ය.
පසුව නිවෙස් හිමියන් මඟින් අවට ගම්වැසියන් ද රවටා මේ වංචාවට හසු කරගනී. කෙනෙකුගෙන් මූලිකව රුපියල් ලක්ෂ තුනත් පහත් අතර මුදලක් ලබාගන්නා ඇය සියලු ගනුදෙනු කර තිබුණේ නිවෙස් හිමියන් මාර්ගයෙනි. ඊට අමතරව රට යෑමට කැමැති අයට සෙනිලා නිවෙස් හිමියන් මඟින් දැනුම් දී තිබුණේ රුපියල් ලක්ෂයක මුදලක් නව බැංකු ගිණුමක තැන්පත්කොට එම බැංකු පොත සහ ඊට අදාළ ඒටීඑම් කාඩ්පතත්, එහි රහස්‍ය අංකය ඇතුළත් බැංකු ලිපියත් ඇයට ලබා දෙන ලෙසය. ඒ කැනඩා ගමනේ ඉදිරි වැඩකටයුතු ඉක්මන් කරගැනීමට බව පවසමිනි.
මේ ආකාරයෙන් අහිංසක ජනයා මුළා කළ ඇය අත්අඩංගුවට පත්වීමට පෙර නැවතී සිට තිබුණේ වීර මාවත, පැරකුම් පෙදෙස, කලල්ගොඩ, පන්නිපිටිය නමැති ලිපිනයේය. එම ලිපිනයේ සිටි සමයේ සෙනිලා මුළා කළ පිරිසේ පනස් දෙදෙනෙකු විසින් ඇය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි. ඇය විසින් එම පනස් දෙදෙනාටම පසුගිය 14 වැනි දා කැනඩා තානාපති කාර්යාලයට පැමිණෙන්නැයි පවසා තිබුණේ වීසා ලබා ගැනීමට සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමටය. එහෙත් එම පිරිස හොර ජාවාරම්කාරියකට හසුවී ඇති බවට ඒත්තු ගොස් තිබුණේ සෙනිලා පිරිස මඟ හැර පලා ගොස් ඇති බවට දැනගත් විටය.
ඒ අනුව මුලින්ම පරීක්ෂණ නිලධාරීන් විසින් පන්නිපිටියේ ඇයට නවාතැන් දුන් යුවළ පසුගිය 14 වැනි දාම අත්අඩංගුවට ගනු ලැබූහ. සෙනිලා රණාල නිවෙසේ දී අත්අඩංගුවට පත් වන විට ඇය සන්තකයේ විදේශ ගමන් බලපත්‍ර 72ක්, බැංකු පොත් 50ක්, ඒටීඑම් කාඩ්පත් 50ක් සහ ඊට අදාළ රහස්‍ය අංක ලිපි 39ක්, ජංගම දුරකථන හතක්,රුපියල් ලක්ෂ 26ක් පමණ වටිනා ග්‍රෑම් 350ක් බරැති රන් ආභරණ, මුදල් තොගයක් සහ නවීන හයිබ්‍රිඩ් මෝටර් රථයක්ද හමුවිණි.
අමා ජයවීර, පූර්ණිමා, පාරමී, හංසි, හර්ෂදි බෝගොල්ලාගම ආදි විවිධ ව්‍යාජ නම්වලින් පෙනී සිටි සෙනිලාට ගම්පහ, නුගේගොඩ ඇතුළු අධිකරණ කීපයකම නඩු පවතී. මේ ජාවාරමට සබැඳිව අත්අඩංගුවට ගැනීමට සිටින තවත් ජනප්‍රිය පුද්ගලයකු වන කලක් කායවර්ධන උපදේශකයකු සහ චිත්‍රපට සටන් නළුවකු ලෙස පෙනී සිටි අයෙකු රටින් පැන ගොස් සිටින බවට වාර්තා වේ. මාලබේ, තලාහේන පදිංචිකරුවකු වන ඔහුද නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි. එසේම මේ හොර ජාවාරම්කාර කාන්තාවට හසුවූ තවත් පුද්ගලයන් වෙත්නම් ළඟම තිබෙන පොලීසියට ඒ ගැන දන්වන්නැයි ඉල්ලීමක්ද කෙරේ.