දෙවියන් සමඟ සිටින කවියෙක් | සිළුමිණ

දෙවියන් සමඟ සිටින කවියෙක්

සැබෑ කලාකරුවා බිහිවන්නේ ඉසියුම් නිරීක්ෂණ ශක්තිය නිසා ය. “වතුර ගේන්න යන කොටත්, දර කඩන්න යන කොටත් පලා ටිකක් නෙළාගන්න යන කොටත්, අම්මාගේ පස්සෙන් යමින් ලබාගත් සජීවී අත්දැකීම්වලින් පිවිතුරු ළමා සිත සොබාදහමට හා ජීවන පරිසරයට අවදි වෙමින් තිබිණි. පුංචි ජයකොඩි බිලිඳා උපන්නේ “අම්මා හොඳට පිරිසිදුවට ලස්සනට මල්වවල එළිපෙහෙළියට තියාගෙන හිටිය, කවුරුත් “මල්පැල” නමින් හැඳින්නුව පැල්පතක ය. සිදුහත් කුමරු උපදින්නේ තුරු මුලකය. ජේසු බිලිඳා උපදින්නේ ගව ලෙනකය. ජයකොඩි ළදරුවා බිහිවන්නේ පැල්පතකය. මහමැඳුරුවල මුනිවරු කවියෝ නුපදිති. ඉපදුනත් කවියා බිහිවන්නේ මැදුරු හැර ගිය පසුවය. ලෝක මානව ඉතිහාසය ඊට දෙස් දෙයි. තාත්තා බුලත් අතේ ගෞරවයට වෙදකම් කළ සිංහල වෙද මහතෙකි. සිංහල වෛද්‍යවරයා බහුශ්‍රැත කවියෙකි. පැරණි වෛද්‍ය ශාස්ත්‍රය පරම්පරාගත වුයේ පද්‍යයෙනි. තාත්තා නිතර කියු උත්ප්‍රාසාත්මක කවියක් පුතණුවන්ට ධාරණය වී තිබිණි.

“සාස්තරේ දැනගත් වෙද රාළලට
නේත්තරේ නිඳි නැත රෑ තුන් යමට
ගෝත්තරේ නැත කුසගිනි වෙලාවට
පාත්තරේ වැනි වෙදකම හිඟමනට”

ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන් විසින් සම්පාදිත “මල්පැලේ උපන් පන්සලේ පියතුමා” නම් අපදානයෙහි මේ කවිය සිහිපත් කිරීමෙන් පසු පියතුමා මෙසේ පවසයි.

“ඕක කියලා තාත්තා හිනා වෙනවා. එතකොට අම්මාත් හිනා වෙනවා. බලනකොට කවියෙන් කියවෙන දේත් සහතික ඇත්තයි.”

එදා පියතුමාගේ පියතුමා කී කවිය මෙදා වෛද්‍ය වෘත්තියේ සිදු වී ඇති විපරිණාමය හඳුනා ගැනීම සඳහා විවර වී ඇති කවුළුවක් වැන්න.

සහජ ප්‍රතිභාවත් නිර්මල බහුශ්‍රැතතාවත් සතතාභ්‍යාසයත් නිසා උද්දීප්තියට පත් සැබෑ කවිත්වයක් මර්සලීන් ජයකොඩි පියතුමා සතු විය. වැඩෙන තුරුලතාවලින් බිමෙහි සාරය හඳුනාගත හැකිය. එතුමා ක්ෂණිකව පහළ වූ ආකස්මික කවියෙක් නොවේ.

මීසම් කීපය ම කටයුතු කළ එතුමා “මග්ගොනට” ගිය පසුව සිය සංගීතඥානය තවදුරටත් දියුණු කර ගත්තේ ය. එතුමා සඳහන් කරන ආකාරයට තම ජනප්‍රිය ගීතිකා සියල්ල ම ලියා ඇත්තේ මග්ගොනදී ය. 1949 වර්ෂයේ දී “ඥනාර්ථ ප්‍රදීපය” පත්‍රය පළ කිරීම සඳහා කොළඹට පැමිණිම නිර්මාණකරණයෙහි ද නවෝදයක් විය. “සුබස” සමඟ සම්බන්ධ වී, රැපියල් තෙන්නකෝන්, ජයන්ත වීරසේකර, අමරසිරි ගුණවර්ධන වැනි වියතුන් ඇසුරු කිරීමෙන් හා ඔවුන්ගෙන් සිංහල ඉගෙන ගැනීමෙන් භාෂාව හා සාහිත්‍ය පිළිබඳ ලද දැනුම පියතුමාගේ නිර්මාණ කුසලතාව වර්ධනය වීමට හේතු සාධක වී ඇත. “56 අවුරුද්ද තමයි මගේ ග්‍රහයා මාරුවෙච්ච අවුරුද්ද..” යනුවෙන් එතුමා සඳහන් කරයි. ශ්‍රී ලාංකේය දේශපාලනයෙහි ද සංස්කෘතියෙහි ද භාෂා සාහිත්‍ය කලා ප්‍රකාරයන්හි ද ග්‍රහයා මාරු වූ වර්ෂයක්, නැතහොත් සංක්‍රාන්ති අවස්ථාවක් ලෙස 56 වර්ෂය හැඳින්විය හැකිය. නවකතාව, නාට්‍යය, කෙටිකතාව වැනි සෑම මාධ්‍යයක ම සාධනීය විපර්යාසයක් සිදු වූ මේ වර්ෂයේ, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “රේඛාව” නම් වූ සිනමා නිර්මාණය බිහිවීම පියතුමාගේ නිර්මාණ ක්‍රියාවලියෙහි ද සන්ධිස්ථානයක් විය. රේඛාව චිත්‍රපටයේ තේමා ගීතය ලෙස එතුමා විසින් ලියන ලද

“සුදු සඳ එළියේ නල මත පොපියන හිරිමල් කැකුළක රොන් කෙමියේ... නම් ගීතය ද, සෙසු රචනාවන් වන, “ඕළු නෙළුම් නෙරිය රඟාලා... වෙසක් කැකුළු අතු අග ඉඳ නටන විලාසේ... සීගිරි ළඳකගේ මල්වට්ටියෙ ලා...ආදරවන්තයෝ චිත්‍රපටයට ලියූ නන්දාමාලනී ගැයූ දවසක මා මුතු අඩනවා... පුංචි පුංචි මිංචි පැංචි.... වැනි ගීත අතිශය ජනප්‍රිය භාවයට පත් හෘදයංගම ගේය පද රචනාවන්ය. සංකල්පීය සුකුමාරතාව, භාෂාමය සුඛනම්‍යතාව හා ශ්‍රැතිරම්‍යතාව මෙන් ම කවියාගේ අනන්‍යතාව ද පිළිබිඹු කෙරෙන කැටපත් බඳු මේ ගීත රචනා කොට ඇත්තේ, පුංචි සරල ලස්සන වචනවලින් ඉතාම ලස්සන පණිවිඩයක් දිය හැකිය යන ආකල්පය ද සහිතව ය. මර්සලීන් ජයකොඩි පියතුමන් අමුණන වදන් ගොනු රසික සවනෙහි හා මනසෙහි අපුරු ලාවණ්‍යයක් ජනිත කරවයි. “ඕළු නෙළුම් නෙරිය” “ගඟුල් තොටිල්ල” “මල් ඇතිරිල්ල” “යමු නැළවිල‍්ලේ” “කබරගොයා උගේ සුරතලී” වැනි යෙදුම් කෙතරම් නම් සොඳුරු කාව්‍යාත්මක ප්‍රයෝගයන් ද! සාමාන්‍යයෙන් දුටුවන්ට ප්‍රිය නොවන බිය නොවන “කබරයා” සුරතලෙකු බවට පත්කිරීම සඳහා “කබරගොයා” යන පදයට “උගේ සුරතලී” යන පද සංයෝජනය කරයි. කවියා යොදන “සුරතලී” නම් යෙදුමෙහි ඇති සුරම්‍යතාව නිසා කබරගොයා ද සුරතලෙක් වෙයි. මෙබඳු ඔහුගේ සිතෙහි ම මැවෙන, ඔහුගේ මුවෙහි ම රැ‍ඳෙන ඒ අතින් ම ලියවෙන සුමියුරු කිවිවදන්වලින් පළවන්නේ පියතුමාගේ නිර්මාණ සතු වියත් බවයි.

සොබාදහම විසිතුරු වර්ණ බවට පත්කරගෙන එයින් මානව ජීවිතය චිත්‍රණය කොට, දර්ශනික තලයක පිහිටුවීමට සමත් කවිකමක උරුමය එතුමා සතු‍ වේ. එකී නිර්මාණ ප්‍රයාසය එතුමාගේ වදන්වලින් ම පවසන්නේ නම්:

“පොඩි රේඛාවෙක - රැස් රේඛාවෙක
මැණිකක මුළු ඉරණම සැතපේ

එක එක මැණිකක - එක එක රූපෙක... ස්වකීය කාව්‍යානුභූතීන් මැනවින් සංහරණය කරගැනීමේ ව්‍යුත්පත්තිඥානයක් එතුමා සතුව පවතී. එකී උචිතානුචිත විවේකී බුද්ධියෙන් අනුභූතිය මෙන් ම කාව්‍යාකෘතිය, සන්දර්භය, සංකල්පනා හා භාෂාව මැනවින් සංයෝජනය කරයි. 1988 දී ලියා ඇති “පුංචි දුවට මල් දෝතක්” නම් ළමා ගීතයෙන් වුව ද ඒ සත්‍යය පසක් කරගත හැකිය.

“විලක් ළඟින් ගියත් ඇති යි
පළිඟු වගේ දිලිසෙනවා
පට සළුවක් සුළ‍ඟෙ වගෙයි
පේළි පේළි ‍රැළි යනවා
අව්ව ඇවිත් රැළි පාගා
රැල්ල එක්ක තැවරෙනවා
මොහොතින් ඒ පළිඟු විලේ
රන් ඇතිරිලි පාවෙනවා

මර්සලීන් ජයකොඩි පියතුමාගේ ලෝකාන්වේෂණ ශක්තිය හා සමාජාන්වේෂණ ශක්තිය පෘථුල ය; සුනිශිතය. එතුමා හුදෙක් ස්වභාව සෞන්දර්ය වර්ණනා කෙරෙහි ම ලග්න වූ කවියෙක් නොවේ.

සවදේශ වාත්සල්‍යය, මානව භක්තිය මෙන් ම සමාජ අසාධරණය ද පන්ති විෂමතාව ද දරිද්‍රතාව හා මානව පීඩනය ද ස්වකීය නිර්මාණ සඳහා වස්තුවිෂය කරගෙන තිබේ. “මුතු” (1980) රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනු කාව්‍යය) තටු (1983) තරු (1987) වැනි කාව්‍ය සංග්‍රහවල ඇතුළත් නිර්මාණ පරීක්ෂා කිරීමේ දී ඒ බව ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. ආගම දහම පිළිබඳව ද එතුමාගේ අදහස් උදහස් ගතානුගතිකත්වයෙන් තොරය. නිරීක්ෂණශීලීය. මේ උන්වහන්සේගේ “ආගම” පිළිබඳ මානවවාදී සංකල්පයයි.

“කොයි හංවඩුව ඇති වුව ආගමැයි කියා
කොයි පණිවුඩය තිබිණි ද බයිබලේ ලියා
“ආදරයයි” “ආගම” යනු හිතේ තියා
මල් ගෙන පුදමු ඒ ආගම ලොවේ සොයා
(මුතු)

“තටු” පද්‍ය සංග්‍රහයෙහි ඇතුළත් “පොඩිමාලි” නම් නිර්මාණය කවියා ආදරය නමින් හඳුන්වා “මානව ප්‍රේමය” අරුත් ගන්වන්නකි. පැල්පත් වාසී දිළිඳු පවුලකට අයත් දැරියකගේ ජීවන ඛේදය නිරූපණය කරමින්, ඇගේ පැල්පතට වඩිනා ලෙසත් එක් රැයක් එම දැරිය සමඟ පැල්පතට වඩින ලෙසත් එක් රැයක් එම දැරිය සමඟ ඇය විඳින දුක විඳින ලෙසත් කවියා දෙවියන්ට ආයාචනය කරයි. දේවත්වයෙන් සංකේතවත් කරන්නේ, මානව ප්‍රේමයයි.

“පැල සැදු වඩුවා පලයන් උලට”

යන ධ්විනි පූර්ණ කාව්‍ය භාවිතයෙනි. මෙහිදී සහෘදයාගේ විශේෂ ස්මෘති අනුව බුදුන්වහන්සේගේ උදාන ගීයෙහි ඇතුළත් “ගහකාරක දිට්ඨෝසි” යන යෙදුම සිහිනයට නැඟෙන්නට ඉඩ තිබේ. එහි සසර නැමැති ගෙය කරන වඩුවා තෘෂ්ණාවයි. එහෙත් මෙහි “පැල සැදූ වඩුවා” යන්නෙන් ධ්වනි කෙරෙන්නේ පැල්පත් ජීවිතය, දරිද්‍රතාව බිහි කරන දේශපාලන තන්ත්‍රය හෝ සමාජ ක්‍රමයයි.

තටු පද්‍ය සංග්‍රහයෙහි ඇතුළත් “නඩුකාරයා කෙතට බසී” නම් නිර්මාණය කවියා ප්‍රාර්ථනා කරන සමාජයේ නිදර්ශනයකි. එහි සමස්තාර්ථය මෙම පද්‍යයෙහි සංගෘහිත ය.

“‍පොලිසියෙ පොලු ඇත දැකැති මිටට හැරී

ඇත කඩු යකඩයෙන් වෙල්යන නඟුල කෙරී
කළු කඩ මහසොහොන නිරයේ දවස් හරී
ගෙවිලිය දියට යයි ජීවන රසය පිරී

කවියා ප්‍රාර්ථනා කරන සාමකාමී සමාජයේ නිෂ්ක්‍රීය වූ පොලිසියේ බැටන් පොලුවලින් අස්වනු නෙළන දැකැති මිටවල් සෑදිය හැකිය. ඒ වැරදිකරුවන් සමාජයෙන් තුරන් වී ඇති හෙයිනි. සටන් වදින්නට සාදා ගත් කඩු යකඩයෙන් නඟුල් සෑදී ඇත. ඒ වෛරය විරෝධය ක්ෂය වී ගොස් ඇති බැවිනි. කළු කඩ මුදලාලිලා වැනි සමාජය සූරා කන්නෝ අපාගත වී සිටිති. විෂමාචාරවලින් හා අවනීතියෙන් තොර සහනශීලී සාමජයක ජීවිතාස්වාදය සහිත ගෙවිලිය දියට යයි. එබඳු සමාජයක නඩුකාරයාට ද කෙතට බැසිය හැකිය. ඉටුකර ගැනීමට හෝ ඉටු වීමට ප්‍රාර්ථනා තිබිය යුතුය. කවියා මවන සංකල්පනා ලෝකය සැබෑ කළ යුතු වන්නේ පාලකයන් සමඟ ජනතාවය.

නිදහස යනු මිනිසා සතුවිය යුතු අගනා වරප්‍රසාදයකි. එහෙත් අවිධිමත් හා අනර්ථකාරී වල්බූරු නිදහස මිනිසාගේ විනාශය ළඟා කරන්නකි. පියතුමා විසින් රචිත, පහත දැක්වෙන පද්‍යයෙන් නිදහස පිළිබඳ සිදු කරන අර්ථකථනය සහෘදයන්ගේ අවධානය යෝග්‍ය වේ.

“නිදහස නිදහසින් නැතිවනු බැරිත් නැත
හිතුවක්කාර කම කොතැනත් සරිත් නැත
නිදහස නිදහසට පිටුපා හැරිත් නැත
කඩුවට තුලාවට කිසි සෙත් පිරිත් නැත

“නිදහස” පද්‍ය නිර්මාණය ඇරඹෙන්නේ අනුචිත නිදහස විඳින්නට ගොස් මකුළු දැලක පැටලුණු සමනළයකු අමතමිනි. අප අපේක්ෂා කරන නිදහස, නොනිසි නිදහස නිසා ම නැති වීමට බැරි නැත. සමාජ හා පුද්ගල ප්‍රගතිය සඳහා විප්ලවීය ලෙස හිතුවක්කාරී වීම ද අවශ්‍ය ය. එහෙත් එය හැම තැනකට ම සුදුසු නැත. අර්ථවත් ලෙස නිදහස භාවිත කරමින්, පරමාර්ථ සාධනය කරගත යුතුය. මෙහිදී

“කඩුවට, තුලාවට කිසි සේත් පිරිත් තැන”යන යෙදුමෙන් ධ්වනිත කරන්නේ සාම්ප්‍රදායික මර්දනකාරී පාලන තන්ත්‍රයක් අතිධාවනකාරී වාණිජත්වයක් ය. මේ දෙක පාලනය කළ හැකි සෙත් පිරිතක් ද නැත. නිර්මාණය සමාප්ත කරන්නේ, ප්‍රබල ජීවිතාර්ථයක් කුළුගන්වමිනි. ඉවුරු නොමැති නම්, ගංගාවලට සයුර වෙත ළඟා විය නොහැකිය. ලජ්ජා සහ භය සමාජය සංවරව ඉදිරියට රැගෙන යන ඉවුරු දෙකක්. නීතිය හා සදාචාරය ද සමාජය නිසි මඟ ගෙන යන ඉවුරු ය. අසීමිත නිදහස වනාහී හික්මීම නැතිකම ය. එහෙයින් නිදහස භාවිත කළ යුතු වන්නේ අර්ථවත් ලෙස ය. මෙකී ජීවිතාබෝධය ලබාදීම සඳහා කවියා ස්වකීය නිර්මාණය උප‍යෝගී කර ගනියි.

කවියකු අව්‍යාජ වූ තරමට ඔහුගේ කාව්‍ය සංකල්පනා ද අව්‍යාජ වේ. දේශීය ආගම දහම හා සංස්කෘතිය පිළිබඳ එතුමා තුළ වූ අව්‍යාජ හැඟීම් අභිත ලෙස කවියට නැඟිණි. මර්සලින් ජයකොඩි පියතුමා කිසිවකුගේ හෙණ්ඩුවකින් මෙහෙයවිය නොහැකි “නිරංකුශ” කවියෙකි. වෙනත් අයුරකින් කිවහොත් එතුමා කිසිදු ප්‍රතිගාමී බලවේගයකට යටත් වූයේ නැත. තටු කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් “මා රිසි තැන” නම් නිර්මාණයෙහි මෙසේ සඳහන් වේ.

“මට හිරිකිතයි, රජයේ හිඟමනක් එපා
ඔව් මට පිනට කවදත් කිසි දෙයක් එපා”

මෙයින් පිළිබිඹු වන්නේ පියතුමාගේ නිදහමතික භාවයයි; ස්වාධීනත්වයයි. ආගමික අන්තගාමී භාවයෙන් තොර මධ්‍යස්ථ මතධාරියකු නොවේ නම් “සිවුරු පවුර” වැනි නිර්මාණයක් පියතුමාගෙන් බිහිවීමට කෙසේවත් අවකාශ නැත. මේ එහි ඇතුළත් පද්‍යයකි.

“ඇත්තක් ඇති සැටියට කිව යුත්තේ
සිවුරෙයි හෙළයේ අනුපණ ඇත්තේ
සිවුරයි පණ දී රට රැක ගත්තේ
අදත් නහින්නේ මේ රට මත්තේ

ගතානුගතික මතානුලම්බනයට වඩා විමර්ශනශීලී යථාර්ථ නිරූපණය කලාකරුවකුගේ පාරිශූද්ධ කාර්ය භාරයකි. ජයකොඩි පියතුමා විසින් රචිත “නත්තල” නම් නිර්මාණය නවීකරණය හා වාණිජ අර්ථක්‍රමය විසින් ආක්‍රමණය කරන ලද සැණකෙළියක් බවට පත් වූ වර්තමාන නත්තල පිළිබඳ කඩතුරාව ඉවත් කොට, සැබෑ නත්තලේ පරමාර්ථ ලක්ෂ්‍යය කරන්නකි. කවියා එය සිදු කරන්නේ මනා කලාත්මක සංයමකින් යුතුවය. නත්තලේ සම්ප්‍රාප්තිය පිළිබඳ කවියාගේ ආලෝචනා මෙසේය.

“දිගු මුතුවැල් වැසි අහසේ එල්ලෙනවා
බිම වැටි වැටී මොහොතක් මුතු මල්වෙනවා
කළු දිය කොට මැදි රැය තරු දල්වනවා
බොර දිය පීන පීනා නත්තල් එනවා

නත්තල් එන්නේ “බොරදිය” පීනමිනි. මෙහි ‘බොරදිය’ යනු සංකේතාත්මක යෙදුමකි. එයින් අශ්‍රද්ධාව ගම්‍ය කෙරේ. ශ්‍රද්ධාව සම්ප්‍රසාදන ලක්ෂණයෙන් යුත් විනිවිද පෙනෙන ගුණයකි. මිනිස් සමාජය පුරා පවතින අශ්‍රද්ධාව, අවිශ්වාසය තුරන් කරමින් නත්තල පැමිණෙන අයුරු සුචීතය. වර්තමානය වන විට නත්තලෙහි පවිත්‍ර සංකල්ප අපවිත්‍ර වී ඇත. එහෙයින් යළි පවිත්‍ර සංකල්ප අපවිත්‍ර වී ඇත. එහෙයින් යළි පවිත්‍ර සංකල්ප නමැති ජලය පිළිකුල සෝදමින්, හොඳ ගුණ පාදමින් බාදා බිඳ හෙළමින් තැන් තැන්වලට නව පොකුණු විල් සාදමින් පීඩිතයන් හා අසරණයන් සනසමින් නත්තල අර්ථවත් විය යුතු බව කවියාගේ ප්‍රාර්ථනාවයි.

වත්මන් නත්තල් උදාවේදී නෙත ගැටෙන්නේ දැවැත්ත නත්තල් ගස්, විදුලි බුබුළු නන් විසිතුරු සැරසිලි ය. එහෙත් කවියාගේ නෙත ගැටෙන්නේ, අනෙකකුගේ සිත නොයන, නෙත නොගැටෙන ක්ෂුද්‍ර දේවල් ගැන ය. එයින් සංකේතවත් වන්නේ නිර්ධන පන්තික පීඩිත ජන සමාජය ය. “ඉල්හතු” වෙල් ඉවුරේ තණ මල්” පන් පඳුරේ කොරවක් හඬ, බටමල් පොකුරු ළඟ බත්කූරා වැනි දේවල් ය. මේ හැම යෙදුමක ම සංකේතාර්ථ ගැබ් වී ඇත. දෙවියන් පැමිණෙන්නේ සිනිඳු පියවිලි අතුළ විසිතුරු මාවතක නොවේ. මඩ පිඩ උඩ පාද තබමිනි. මිනිසාගේ ගමන සිදු වන්නේ, තූර්ය නාද මාධ්‍යයේ ගීත ගයමිනි. එහෙත් දෙවියන් වඩින මඩ උඩ මලක් පිපේ. මිනිසාගේ මාවතේ සිටින්නේ විෂකුරු නයෙකි. නත්තලේ ඇත්තේ, සරල චාම් සුන්දරත්වයකි. දෙවියන් වැඩ ඉන්නේ මල් පැලක ය; ගව ලෙනකය. මිනිසා ලෝකයේ සි‍ඳෙන බි‍ඳෙන අනිත්‍ය ස්වභාවය නොදැන නටබුන් වන මාළිගා ඉදි කරයි. අතිශය කාමභෝගී ජිවිතයකට පිවිසෙයි. නැති බැරි අය අසරණ බවේ පතුලෙහි ම ගිලෙයි. එහෙයින් කවියා ප්‍රාර්ථනා කරන්නේ උත්සව ශ්‍රීයෙන් විරාජමාන ව්‍යාජ නත්තල් සැණකෙළි නොව අසරණයාට සරණ ලැබෙන මානව හිතශීලී සර්ව ප්‍රාණ භූත හිතානුකම්පී නත්තලකි.

“මගෙ නත්තල දුගියා බත් කන දාය
මගෙ නත්තල වැරහැලි නැතිවන දාය
මගෙ නත්තල ඔබ දුක සැනසෙන දාය
මගෙ නත්තල පව පල්ලිය යන දාය

දුගියාගේ සා පවස නිවී වැරහැලි තුරන් වී මානව ගෞරවයෙන් යුතුව ජීවත් වීමට වරම් ලැබෙන්නේ නම් එයින් දෙවියන්ගේ ද කවියාගේ ද ප්‍රාර්ථනා ඉටු වේ. මිනිසා කෙතරම් පල්ලි ගියත් ඔහු තුළ පවා පව ශේෂ වී පවතී. ඒ නිසා පල්ලි යෑමෙන් නිමා විය යුත්තේ පාපයයි. එහෙත් දිනෙන් දින පාපය සුරැකෙමින් පවතී. කවියා පව පල්ලියට යන දවස බලා සිටින්නේ ඉමහත් ‍අපේක්ෂාවෙන් යුතුවය.

සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ සභාපති පදවිය හෙබවූ, “මැග්සෙයිසයි” විශ්ව සම්මානයෙන් ද සම්මානිත, සොඳුරු කිවියර මර්සලීන් ජයකොඩි පියතුමාගේ කව්, ගීතාදී නිර්මාණ කවර කෝණයකින් හා මානයකින් විමසා බැලුවත් ඒ නිර්මාණවලින් දිස් වන්නේ ආදරය හා විශ්ව දයාවයි. එය එතුමාගේ ආගමයි. ඒ ආගම ජීව ලෝකයේත් මානව සංහතියේත් හිත සුව පිණිස පවතී. එහෙයින් එතුමා දෙවියන් සමඟ සිටින කවියෙකි. එතුමාගේ කාව්‍ය උද්‍යානයේ මල් සම්පත් හා ඵල සම්පත් සාර්වත්‍රික ආස්වාදනීය ජාතික දායාදයෝ වෙති.

Comments