දේශීය කලා සම්ප්‍ර­දා­යෙන් පෝෂ­ණය වුණු ලාංකික කිතු සමයේ ඉති­හා­සය | සිළුමිණ

දේශීය කලා සම්ප්‍ර­දා­යෙන් පෝෂ­ණය වුණු ලාංකික කිතු සමයේ ඉති­හා­සය

ත්‍රිත්ව විද්‍යාලයීය දේවස්ථානය

* යුරෝ­පීය වෙළෙ­න්දන් සමග ලංකා­වට කිතු­ද­හම පැමි­ණියේ අනු­රා­ධ­පුර යුග­යෙදි
* සිය දහම ඇද­හිය හැකි පූර්ණ ආග­මික සහ­න­ශී­ලී­ත්ව­යක් ඓති­හා­සික සමා­ජයේ තිබුණා

පුරා­වි­ද්‍යා­ත්මක විම­සු­මකි

කුසු­ම්සිරි කොඩි­තු­වක්කු
බාහිර කථි­කා­චාර්ය,
පුරා­විද්‍යා හා උරුම කළ­ම­නා­ක­රණ අධ්‍ය­ය­න­අං­ශය
ශ්‍රී ලංකා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලය - මිහි­න්තලේ.
කෞතු­කා­ගාර පාලක, ජේත­වන කෞතු­කා­ගා­රය

ශ්‍රී ලාංකේය සංස්කෘ­තිය නව මඟ­කට යොමු කිරී­මට ඉව­හල් වූයේ ක්‍රි.පු තුන්වන සිය­වසේ දී මෙට ස්ථාප­නය වූ බුදු දහම බව අවි­වා­ද­යෙන් ම පිළි­ගන්නා කරු­ණකි. ඒ වන විට ලොව ප්‍රච­ලි­තව පැවති ආගම් අතර බුදු දහම, හින්දු ආගම, ජෛන ආගම කැපී පෙනුණි. වර්ත­මා­නයේ ලොව වැඩිම පිරි­සක් අද­හන කිතු දහම ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව ජන්ම ලාභය ලැබූවේ ඊට සිය­වස් තුන­කට පමණ පසුව ය. ඒ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය­ත්වය දැරුවේ භාති­කා­භය (ක්‍රි.පු 22 ක්‍රි.ව 7) රජු ය. ඔහු භාතිය තිස්ස, භාතික තිස්ස යන නම්ව­ලින් ද හඳුන්වා ඇත.

ශ්‍රී ලාංකේය ඉති­හා­සයේ දිගු කාල­ප­රි­ච්ඡේ­ද­යක් අග­නු­වර ලෙස පැවති අනු­රා­ධ­පු­රය යුගයේ දී කිතු දහම ප්‍රච­ලි­තව පැවති රෝමය, පර්සි­යාව වැනි රට­වල් සමඟ පැවති වාණිජ සබ­ඳතා පුරා­වි­ද්‍යා­ත්මක හා සාහි­ත්‍ය­මය මුලා­ශ්‍ර­ගත තොර­තු­රු­ව­ලින් සනාථ වේ. ඒ අනුව එම සබ­ඳතා සමඟ කිතු දහම පිළි­බඳ ව අද­හස් ඒ වන විට ශ්‍රී ලංකා­වෙහි ද පැතිර තිබෙ­න්නට ඇති බවට යම් යම් සාධක පවතී. එම සාධක පිළි­බ­ඳව ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘ­තිය කිතුණු සංස්කෘ­තිය කෙරෙහි බලපා ඇති ආකා­ර­යත් මෙම ලිපි­යෙන් විමසා බැලේ.

ශ්‍රී ලංකාවේ කිතු දහමේ ඉති­හා­සය විමසා බැලීමේ දී වර්ධ­නීය තත්ත්ව­යක් හඳු­නා­ගත හැකි වනුයේ ක්‍රි.ව 1505 දී පෘතු­ගී­සින්ගේ පැමි­ණි­මත් සමඟ ය. පෘතු­ගීසි පාල­ක­යින් ධර්ම ප්‍රචා­රක කට­යුතු හා දේව­ස්ථාන ඉදි­කි­රීම කෙරෙහි ප්‍රමු­ඛ­තා­වක් ලබා දීම ඒ කෙරෙහි බලපා තිබේ. ඒ අනුව පෘතු­ගීසි පාලන සමය තුළ දී රෝම කතෝ­ලික ආග­මත්, ඉන් අන­තුරු ව ලන්දේසි හා බ්‍රිතාන්‍ය පාලන අව­ධි­වල දී පිළි­වෙ­ළින් ඕලන්ද රෙප­ර­මාදු හා අන්ග්ලි­කානු ක්‍රිස්ති­යානි ආගම් ප්‍රච­ලිත වන්නට විය.

ඒ එක් එක් පාලන අව­ධි­ව­ලට අයත් එකි­නෙ­කට වෙනස් සම්ප්‍ර­දා­ය­න්ගෙන් යුත් දේව­ස්ථාන ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේ­ශ­වල දැනුදු දැක ගත හැකි ය. යටත් විජිත පාලන අවධි තුළ දී කිතු දහම විවිධ නිකා­යන් යටතේ ප්‍රච­ලිත වූවත් ඒ කෙරෙහි ඒ ඒ පාල­ක­යින්ගේ දැඩි අනු­ග්‍ර­හ­යක් ලැබුණි.

එහෙත් අනු­රා­ධ­පුර යුගයේ දී මහා පරි­මාණ ලෙස ප්‍රච­ලිත ව නොපැ­ව­ති­යත් ශ්‍රී ලංකාව තුළ කිතු දහම පැතිර තිබූ බවට සාධක හඳු­නා­ගත හැකි ය. යටත් විජිත පාලන සමය තුළ දී මෙන් පාල­ක­යින්ගේ අනු­ග්‍ර­හ­යෙන් ප්‍රච­ලිත කරන ලද මට්ම­ට­කට වඩා විදේ­ශිය වෙළඳ සබ­ඳතා මත පැති­රුණු ස්භාව­යක් ඒ ඇසු­රෙන් පැහැ­දිලි වේ.

ක්‍රි.ව 52 දී ශාන්ත තෝමස් අපෝ­ස්ත­ලු­තු­මන් ඉන්දි­යාවේ කේර­ල­යට පැමිණි ඇති අතර ඒ අනුව ක්‍රිස්ති­යානි අද­හස් ඉන්දි­යා­වට සමී­පව පිහිටි ශ්‍රී ලංකා­වට ද වෙළඳ සබ­ඳතා මත ඒ හා සම­කා­ලී­නව ම ලැබෙ­න්නට ඇතැයි සිතිය හැකි ය.

ශ්‍රී ලංකාවේ කිතු දහම ප්‍රච­ලිත වූ වර්ෂය ලෙස ක්‍රි.ව 72 දක්වා ඇති අතර ඒ අනුව ශාන්ත තෝමස් ක්‍රිස්ති­යානි (St.Thomase Chritians) හා නෙස්ටෝ­රි­යානු ක්‍රිස්ති­යානි (Nestorian Christians) නමින් ක්‍රිස්ති­යානි ලබ්ධි­ක­යින් දෙකො­ට­සක් පිළි­බඳ ව සඳ­හන් වෙයි. (Some Christian Contribution in Sri Lanka).

අනු­රා­ධ­පුර යුගයේ දී ලංකාවේ පැවති පර්සි­යානු ක්‍රිස්ති­යානි දේව­ස්ථා­න­යක් පිළි­බඳ ව ක්‍රි.ව හය­වන සිය­ව­සයේ දී කොස්මස් ඉන්ඩි­කෝ­ප්ලෙ­ස්ටස් (Cosmas Indicopleustes) විසින් රචිත ක්‍රිස්ටි­යන් ටොපෝ­ග්‍රැෆි (Christian Topography) ග්‍රන්ථ­යෙහි ඇති විස්ත­රය ඒ පිළි­බඳ ව යම් ඉඟි­යක් සපය යි. ඔහු එම ග්‍රන්ථ­යෙහි සඳ­හන් කරන පරිදි (365 පිටුව) තැප්‍රො­බානා (Taprobana) හි (ඒ වන විට විදේ­ශීය ලේඛ­ක­යින් ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ මෙන­මිනි.

මෙය තම්බ­පණ්නි යන්නෙහි භින්න වූවකි), පර්සි­යානු ක්‍රිස්ති­යානි දේව­ස්ථා­න­යක් තිබූ බවත් එහි පර්සි­යා­වෙන් පත් කළ පුජ­කා­චා­ර්ය­ව­ර­යෙකු (Presbyter), දේව­ස්ථාන උප­ස්ථා­ය­ක­යෙකු (Beacon) සිටි බවත් වින­යා­නු­ගත පුද­පුජා සම්ප්‍ර­දා­යක් (Ecclesiastisal Rituals) පැවති බවත් සඳ­හන් කරයි.

ඔහු සඳ­හන් කරන පරිදි මෙරට සිටි රජ­වරු දෙදෙනා සහ ජන­තාව වෙනත් ආග­මි­ක­යින් ය. ඒ අනුව ක්‍රිස්ති­යානි බැති­ම­තුන් සුළු පිරි­සක් සිටි බව ඉන් තහ­වුරු වේ.

1912 දී අනු­රා­ධ­පු­ර­යෙන් හමු වූ දැනට අනු­රා­ධ­පුර පුරා­විද්‍යා කෞතු­කා­ගා­රයේ ඇති නෙස්ටෝ­රි­යානු කුරු­සය තවත් ඒ පිළි­බ­ඳව පුරා­වි­ද්‍යා­ත්මක සාධ­ක­යකි.නෙස්ටෝ­රි­යානු වාදය ක්‍රි.ව 4, 5 සිය­ව­ස්වල දී පර්සි­යාව ආශ්‍රීත කලා­පයේ ප්‍රච­ලි­තව පැවති ආග­මික මත­වා­ද­යකි.

මෙම කුරු­සය සම්බ­න්ධ­යෙන් මත­භේද කිහි­ප­යක්ම ඇති අතර මෙය අනු­රා­ධ­පුර යුග­යට අයත් වූවක් නොව පෘතු­ගීසි පාලන සම­යට අයත් වූවක් බවට ඒ.එම්. හෝර්කාට් සහ ඊ.ආර්. අය­ර්ටන් සඳ­හන් කරයි. එහෙත් කොඩ්රි­න්ටන් සඳ­හන් කර­නුයේ මෙය ක්‍රි.ව හය­වන සිය­ව­සට අයත් පර්සි­යානු නෙස්ටො­්රි­යන් කුරු­ස­යක් බවයි.

කෙසේ­වෙ­තත් පෘතු­ගීසි පාලන සමය වන විට නෙස්ටෝ­රි­යානු කිතු දහම භාවි­තයේ නොපැ­වති අතර ඔවුන්ගේ ඇද­හි­ලි­වා­දය වූයේ රෝමානු කතෝ­ලික දහ­මයි. ඒ අනුව මෙය පෘතු­ගීසි සමයේ දී නිර්මා­ණය කරන ලද නෙස්ටො­්රි­යානු කුරු­ස­යන්ය යන අද­හස සම්බ­න්ධ­යෙන් හා මෙය වෙනත් ප්‍රදේ­ශ­ය­කට අයත් නම් කුමන අර­මු­ණ­කින් රැගෙන ආවේ ද යන්න පිළි­බ­ඳ­වත් විමසා බැලිය යුතු කරුණු ය.

1984 දී මාන්තා­යි­වල කළ කැනී­ම්වල දී මෙම කුරු­ස­යට සමාන කුරු­ස­යක් සහිත මුද්‍රා­වක් හමු වී තිබේ. අනු­රා­ධ­පුර යුගය තුළ දී කිතු­ද­හම ප්‍රච­ලි­තව පැවති රෝමය, පර්සි­යාව වැනි රට­ව­ලට අයත් පුරා­වි­ද්‍යා­ත්මක සාධක සමූ­හ­යක් ම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේ­ශ­ව­ලින් හමු වී ඇති අතර එම රට­වල් සමඟ පැවති වාණිජ සබ­ඳතා එම­ඟින් සනාථ කර ගත හැකි ය. විවිධ ස්ථාන­ව­ලින් හමු­වන රෝම කාසි ඒ අත­රින් ප්‍රධාන වේ. සීගි­රි­යෙන් හමු වී ඇති කාසි අතර වැඩි ප්‍රමා­ණ­යක් රෝම කාසි ය.

එම කාසි අතර කොන්ස්ට­න්ට­යින් අධි­රා­ජ­යාගේ (ක්‍රි.ව 317) සිට මාර්සි­යන් අධි­රා­ජයා (ක්‍රි.ව 450-457) දක්වා වූ කාල­ව­ක­වා­නු­වට අයත් කාසි හමු වී තිබේ. එම කාසි­ව­ලින් පැහැ­දිලි වනුයේ ක්‍රි.ව 4 වන සිය­වසේ සිට ම රෝම කාසි භාවි­තයේ පැවති බවයි.

සිගී­රි­යට සමීප පිදු­රං­ගල විහා­රය ආශ්‍රි­තව කරන ලද කැණී­ම්වල දී ii කොන්ස්ට­න්ට­යින් (ක්‍රි.ව 357-360)ල ii වන තියෝ­ඩි­යස් (ක්‍රි.ව 420-450), ලිබි­යස් සර්වන්ස් (ක්‍රි.ව 461-465), ජුලි­යස් නෙපෝස් (ක්‍රි.ව 474-475) අධි­රාජ පාලන අව­ධි­වල ට අයත් කාසි ද හමු වී තිබේ. ඊට අම­තර ව සිගී­රියේ කරන ලද කැණී­ම්වල දී පර්සි­යාවේ සැසේ­නි­යානු රාජ­වංශ සම­යට අයත් මැටි භාජන සමු­හ­යක් ද හමු වී තිබේ.

අනු­රා­ධ­පු­රයේ නකා­වෙ­හෙර, මහා­පාලි දාන­ශා­ලාව, තිස්ස­ම­හා­රා­මයේ යටාල දාගැබ,පැල්ම­ඩුල්ල කුට්ටා­පි­ටිය යන ස්ථාන­ව­ලින් හා ජේත­වන දාගැ­බෙන් හමු වූ අගස්ති, කානේ­ලි­යන් හා පළි­ඟු­ව­ලින් කළ අව­නත මුද්‍රා (Intaglios) ද රෝම සබ­ඳතා තහ­වුරු කර ගැනීම සඳහා වැද­ගත් සාධක වේ. පූජා­වස්තු ලෙස තැන්පත් කර තිබූ මෙම මුද්‍රා ක්‍රි.ව 2- 4 සිය­ව­ස්ව­ලට අයත් වේ. විවිධ රූප සහිත මෙම මුද්‍රා අතර මානව රූප සත්ත්ව රූප රෝම අක්‍ෂර ආදිය දැක ගත හැකි ය. මෙවැනි භාණ්ඩ රෝමය, පර්සි­යාව වැනි රට­ව­ලින් පැමිණි විදේ­ශීය වෙළ­ඳුන් මාර්ග­යෙන් මෙර­ටට ලැබුණු ඒවා බව පැහැ­දිලි ය. ඒ අනුව එවැනි සබ­ඳතා පද­නම් කර­ගෙන ක්‍රිස්ති­යානි ආගම පිළි­බඳ අද­හස් ද ශ්‍රී ලංකාවේ පැති­ර­ය­න්නට ඇතැයි සිතිය හැකි ය.

පූර්වෝක්ත සබ­ඳතා මත පද­නම් බෞද්ධ නිර්මාණ සම්ප්‍ර­දා­යන් කෙරෙහි ද යම් යම් අභා­ස­යන් ලැබී ඇති බවට සාධක හමු වී තිබේ. ඉන්දි­යාවේ අශෝක රජු විසින් ආජී­ව­ක­යින් උදෙසා බරා­බර් කන්දෙහි කර­වන ලද ලෝමස් සෘෂි ගුහා­වල ඇති චෛත්‍ය කවාට ලක්‍ෂණ සහ එහි විකා­ශ­න­යක් ලෙස අජන්තා එල්ලෝරා ගුහා­වල ඇති චෛත්‍ය කවා­ට­ව­ලට සමාන මූලික ලක්‍ෂණ පර්සි­යාවේ ලයි­සි­යන් ප්‍රදේ­ශ­යෙන් හඳු­නා­ගෙන තිබේ.

මෙම චෛත්‍ය කවා­ට­ව­ලට සමාන මැටි­යෙන් කළ නිර්මාණ රැසක් ම සිගී­රි­යෙන් හමු වී තිබේ. එසේ ම වාහ­ල්කඩ කැට­යම් අත­රෙහි ද Cherub රූප­ව­ලට සමාන කුඩා මිනිස් රූප ද දැකිය හැකි ය. මෙම නිර්මාණ සඳහා පර්සි­යන් කලා සම්ප්‍ර­දා­යන්හි අභා­ස­යක් ලැබී ඇත් ද යන්න විමසා බැලිය යුතු කරු­ණකි.

ක්‍රි.ව 16 වන සිය­වසේ සිට යටත් විජිත පාලන අවධි තුළ දී විවිධ සම්ප්‍ර­දා­යන් අයත් දේව­ස්ථාන ශ්‍රී ලංකාවේ ඉදි වී ඇති අතර ඉන් බහු­ත­ර­යක ම ග්‍රීක, රෝම වාස්තු විද්‍යා­ත්මක ලක්‍ෂණ දැකිය හැකි වූවත් ක්‍රි.ව 19 වන සිය­ව­සට හා ක්‍රි.ව 20 වන සිය­වස මුල් භාග­යට අයත් ඇන්ග්ලි­කානු දේව­ස්ථාන ඇසු­රෙහි බෞද්ධ වාස්තු­වි­ද්‍යා­වට සමාන නිර්මාණ ලක්‍ෂණ එක් ව ඇති ආකා­ර­යක් ද දැක­ගත හැකි ය.

පේකඩ සහිත කුලුණු, පත්ති­රුප්පු (Octogon) හැඩයේ ගොඩ­නැ­ඟිලි චන්ද්‍ර­වංක, සූර්ය­වංක හැඩයේ දොරටු ඒ අතර කැපී පෙනේ. ගාල්ල බද්දේ­ගම ක්‍රිස්තු දේව­ස්ථා­නය, මහ­නු­වර ත්‍රිත්ව විද්‍යා­ලය, බොරැල්ල ශාන්ත ලූක් දෙව්මැ­දුර නිද­සුන් ලෙස දැක්විය හැකිය.

බද්දේ­ගම ක්‍රිස්තු­දේව දේව­ස්ථා­නයේ නිර්මාණ අතර ඇති ක්‍රි.ව 1822 දී නිර්මා­ණය කර ඇති සඳ­ක­ඩ­ප­හණ ගාල්ල දිස්ත්‍රි­ක්කයේ ඇති විසි­තුරු ම සඳ­ක­ඩ­ප­හණ යි. එය අනු­රා­ධ­පුර යුගයේ කාල සම්ප්‍ර­දා­යන් අනුව නිර්මාණ කරන ලද්දකි. තව ද මෙම දේව­ස්ථා­නයේ දැව කැට­යම් අතර ගජ­සිංහ රූප ද දැකිය හැකිය. ඒ අනුව එම දේව­ස්ථාන ආශ්‍රිත කලා සම්ප්‍ර­දාය සිංහල බෞද්ධ ඌරු­ව­කට අනු­ගත වූ බවක් හඳු­නා­ගත හැකි ය.

එසේ ම වර්ත­මාන දේව­ස්ථාන විෂ­යෙහි වූවද ශ්‍රී ලංකාවේ දකුණු බට­හිර ප්‍රදේ­ශ­වල ග්‍රීක රෝම සම්ප්‍ර­දා­යන් පද­නම් කර­ගත් වාස්තු විද්‍යා­ත්මක ලක්‍ෂණ දැක ගත හැකි වූවත් දමිල ජාතික කිතුණු බැති­ම­තුන් බහුල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේ­ශයේ ඇති දේව­ස්ථාන විශාල දැව කුළුණු සහිත ව ඉදි කර ඇති, ග්‍රීක, රෝම ලක්‍ෂණ අල්ප දකුණු ඉන්දීය වාස්තු විද්‍යා­වට සමීප ලක්‍ෂ­ණ­ව­ලින් සම­න්විත බව ද පෙන්වා දිය හැකි ය.

මේ අනුව ශ්‍රී ලංකාවේ කිතු සමය දිගු ඉති­හා­ස­යක් තුළ මෙරට ප්‍රච­ලිත ව තිබූ බවත් මුල් කාලී­නව ඒ කෙරෙහි විදේ­ශීය වෙළඳ සබ­ඳතා මුල් වන්නට ඇතැයි පුරා­වි­ද්‍යා­ත්මක සාධක අනු­සා­ර­යෙන් තහ­වුරු කර ගත හැකි අතර පසු කාලීන ව ඇතැම් දේශීය සංස්කෘ­තික ලක්‍ෂණ ද නිර්මා­ණා­ත්මක ලෙස ඒ කෙරෙහි සම්මි­ශ්‍ර­ණය වී ඇති බවක් ද හඳු­නා­ගත හැකි ය.

Comments