
ක්‍රිස්තුන්වහන්සේගේ උත්පත්තිය හා බාල කාලය පිළිබඳව තතු විස්තර කිරීමක නොයෙදෙන අනිත් සුවිශේෂ ගත්කතුවරයා වන්නේ ජුවාම් තුමන්ය. එහෙත් එතුමන් ශු. මතෙව් හා ශු. ලූක් තුමන්ගේ විස්තර කථනයන් අභිබවා ක්‍රිස්තු ආගමනය පිළිබඳව වඩාත් සංකීර්ණ වූද වඩාත් ගැඹුරු වූද විස්තර කිරීමකට ඉදිරිපත් වීමට මැලි නොවේ. එය ක්‍රිස්තෝත්පත්තිය පිළිබඳව අත්දැකීම් හා සභා විශ්වාසය එක්තැන් වීමෙන් සංස්කරණය වූ එකී සුවිශේෂකවරුන්ගේ වාර්තා විස්තරයන්ට වඩා, සම්පූර්ණ වූ විශ්වාසයේ ප්රකාශනයක් ලෙස ක්‍රිස්තු ආගමනය විස්තර කිරීමකි.
නත්තල් උත්සවය ලංවෙන විට එයට ආධ්‍යාත්මිකවත් භෞතිකවත් සූදානම් වීම අප කාගේත් පුරුද්දකි. එනමුදු එහි ආධ්‍යාත්මිකත්වය පසුගාමී කොට භෞතිකත්වය පිළිබඳව පමණක් සිත යොමු කිරීමට බහුතරයක් යොමුවීම නම් නොමද කණගාටුවට කරුණකි. අප ජීවත්වන මේ සමාජ අත්දැකීම් තුළ මායාවන්ගෙන් පිරි සොඳුරු ලොවක් අප ඇස් පනාපිට යොමු කොට ඇති මුත් එහි රජයන වාණිජමය කෙටි කාලීන ජීවිතයන් තුළ කෙනෙක් සැනහීම ලබනවාද යන්න ප්‍රශ්නාර්ථයකි. සරුව පිත්තල ලෝකයක ජීවත් වන්නට වාණිජ වෙළඳ රටාව එදාට වඩා අද අත වනන කාලය තීව්‍ර වී ඇත. දැන් දැන් ජන මාධ්‍යය අප ආධ්‍යාත්මික මංගලෝත්සවය මුල් කොට ගෙන දෘෂ්‍යමානව හුවා දක්වන මායාකාරී ලෝකයට නම් නිමාවක් නැති තරම්ය. විනෝදකාමී වාතාවරණය කෙටි කාලයකට හුවා දක්වා දිගු කාලීන වේදනාත්මක පරිසරයක් නිර්මාණය කිරීම එකී මාධ්‍යය අරභයා අරමුණ නොවූවත් එයින් ඇතිවන ප්‍රතිඵලය නම් එයම බව කිව යුතුයි.
නත්තල දිනකට සීමා විය යුතු ආගමික උත්සවයක් නොවේ. එනමුදු කිතුනු ජනතාවට සර්ව කාලීන ආධ්‍යාත්මික හැඟීමක් දනවන මේ ජය මංගලෝත්සවය කොයි කාගේත් ගැඹුරු ජීවිත තීරණයන් සිහි කැඳවන නිමිත්තක් බව අවබෝධ කොට ගත යුතුයි. එය අතීතයේත් එක් දිනකට සීමා නොවූ උත්සවයක් වූවා සේම අදටත් එය අපට සිහි කැඳවන්නේ ජීවිත කාලය පුරාම ජීවත් කළ යුතු මාංශෝත්තානයේ සැබෑ ගැඹුරු පිණිවිඩයයි. එය අතීතයේ සිදු වූ නමුත් අදත් හෙටත් දිගින් දිගටමත් කිතුනුවාගේ ජීවිතයට අභියෝගයක් එල්ල කරන නොතිත් පණිවිඩයක් ජීවිත අභ්‍යන්තරයේ රාව නංවන මහා දෝංකාරයයි.
මේ පණිවිඩය අවට ආධ්‍යාත්මික නොවන පරිසරය කුමන අන්දමකින් නිර්වචනය කරන්න පෙලඹුනත් කිතුනු හැඟීම් දනවන පරිසරයකට එය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු බව එකී ආධ්‍යාත්මය හඳුනන කවුරු කවුරුත් තේරුම් ගත යුතු වේ. නත්තල් ගස, නත්තල් සීයා, නත්තල් ගවලෙන ආදී පණිවිඩ සංකේතයන් කුඩා දරුවන් තුළ ද ඇති කරවන ගැඹුරු සූදානම් වීම පසුකලක ඔවුන්ගේ ජීවිත පවුල් බැඳීම තුළ ඔප් නංවන බව සැබෑවකි. නමුත් කණගාටුවට කරුණ වී ඇත්තේ මේ සංකේත පවා විවිධාකාරයෙන් ඔද්දල්වන තත්වයට පත්වී එහි ගැඹුරු හැඟීම් නිස්සාර බවට පත් කරන්නට වාණිජ ලෝකය ප්‍රබල වී ඇති බව දකින විටයි.
කිතුනු අධ්‍යාත්මය
මේ සියල්ල මේ ආකාරයෙන් සමාජ පද්ධතීන් හරහා විවිධාකාරයෙන් හමා යන්නට මූලික වූ කරුණුත් පිටු දැකිය යුතු නොවේ. මන්ද යත් ආගමික තලයෙන් බැහැරව පවා ජාතික උත්සවයක් සේ සමරන්නට අද මේ දේශය තුළ ආගමික භේදයකින් තොරව කවුරුත් එකට එක්කාසු වන නිසායි. ජාතික තලයේ එවන් ප්‍රතිරාවයක් හමා යද්දී පොදුවේ කාටත් සතුටු වන්නට ඒ සැනසීම ලබාදෙන අතරේ කිතුනු ආධ්‍යාත්මිකත්වය වෙසෙසින්ම හැරිය යුත්තේ ශුද්ධවූ ලියවිල්ල වෙතටමය. ශුද්ධවූ ලියවිල්ල අවබෝධකර ගනු ලබන තැනැත්තා සැබවින්ම මේ මහිමාන්විත මංගල්‍යය වසරින් වසරට ගැඹුරු පදනමක් කරා ගෙන යන්නට ඉමහත් ශක්තියක් ලබා ගනු බව නොරහසකි.
නත්තල් සිද්ධීන් පිළිබඳ විස්තර වාර්තා අප වෙත ගෙන එන සුවිශේෂකවරුන් දෙදෙනෙකි. ඒ ශු. මතෙව් තුමා හා ශු. ලූක් තුමා ය. මේ විස්තර කථනයන්හි පසුබිම ඉතා සංකීර්ණය. ඒ පිළිබඳ විග්රහයක යෙදීම මේ මොහොතේ අපගේ පරමාර්ථය නොවේ. කෙසේ වෙතත් ඒ විස්තර කතාන්දරයන් තුළින් අපට පැහැදිලි කරනු ලබන සත්‍යතාව වනුයේ ක්‍රිස්තුන් වහන්සේ මිනිස් බව ගනිමින් මෙලොවට වැඩියාය යන්නයි.
උන් වහන්සේගේ උත්පත්තිය පිළිබඳ මරියාවන්ගේ මතක සටහන් හා ජීවමාන සභා සම්ප්රදාය තුළ සොයා ගත හැකි වූ මතක සටහන් තම තමන්ගේ සුවිශේෂයන් හි පණිවිඩ රටාවට අනුව ඉදිරිපත් කිරීමට මේ සුවිශේෂකවරුන් දෙදෙනා උත්සාහ කළහ. ඒ උත්සාහයන්ගේ ප්‍රතිඵලය මේ ක්‍රිස්තෝත්පත්ති විස්තර කථනයන් වේ. එහෙත් මෙය පිළිබඳව ශු. මාක් තුමන් හා ශු. ජුවාම් තුමන් දක්වන නිහැඬියාව වටහා ගන්නට බොහෝ දෙනෙකුට අපහසු වී ඇත. මතෙව් හා ලූක් සුවිශේෂයන් තුළ පරිච්ඡේද ගණනාවකින් මේ සිද්ධීන් විස්තර වෙද්දී මාක් හා ජුවාම් තුමන්ගේ සුවිශේෂවල ඒ පිළිබඳව වචනයකුදු සඳහන් නොවීම ඇත්තෙන්ම ප්රහේලිකාවෙකි. එයින් ක්‍රිස්තෝත්පත්තිය පිළිබඳ සිද්ධීන් තුළ සඳහන් කළ හැකි විශේෂ වැදගත් කමකින් යුත් කිසිවක් නැතැයි ඔවුන් සිතූ බවට ඉඟියක්ද?. නැතහොත් ක්‍රිස්තුන් වහන්සේ මිනිස් බව ගැනීම එතුමන්ගේ දිව්‍යත්වයට මදිකමක් ලෙස සලකනු ලැබීමෙන් ඒ පිළිබඳව ගොළුවත රකින්නට මේ සුවිශේෂක වරු සිතුවා විය හැකිද? නත්තල පිළිබඳව මාක් තුමන් හා ජුවාම් තුමන් නිහඬ වන්නේ ඇයි.
ශුද්ධවූ මාක් සුවිශේෂය හා නත්තල
ශුද්ධවූ මාක් තුමන්ගේ සුවිශේෂය තුළ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය පිළිබඳව කිසිදු සටහනක් දකින්න නොලැබේ. මේ තත්වයට හේතු වන්නේ කුමන කරුණක් දැයි සොයන්නට, එම සුවිශේෂය ලියන ලද්දේ කුමන පරමාර්ථයක් මුදුන් පත් කරගැනීමටදැයි අප විසින් විග්‍රහ කර බැලිය යුතුයි.
සැබවින්ම මාක් තුමාගේ සුවිශේෂය දෙස සවිස්තරව බලන්නෙකුට එහි පරමාර්ථය වටහා ගැනීම ඒ තරම් දුෂ්කර කරුණක් නොවේ. මේ සුවිශේෂය තුළ දක්නට ලැබෙන රටාව හා ඒ ඒ පරිච්ඡේදයන් හසුරුවා ඇති ආකාරය අනුව එහි පරමාර්ථය වී ඇත්තේ ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්රයාණන්ය යන්න ඔප්පු කිරීම බව මනාව පැහැදිලි වේ. මේ සුවිශේෂයේ පළමු වගන්තිය කියවීමෙන්ම මේ තත්වය පැහැදිලිව අවබෝධ වේ. “දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුබ අස්නේ ආරම්භය මෙයය.” (මාක් 1 /1) ඒ වදන තුළ සටහන් වන දත්තය ස්වාමින් වහන්සේගේ ජීවිතය හා මරණය තුළින් මනාව පැහැදිලිවේ.
ඒ පිළිබඳව ස්ථීර පිළිගැනීමක යෙදෙන, කුරුසය පාමුල සිටි ශතාධිපතියාගේ වදනින් සුවිශේෂය කියවන්නාට පැහැදිලි කෙරේ. (මාක් 15/39) පළමුව සටහන් කරන ලද සත්‍යතාවය (1/1) කුරුසිය පාමුළ කරන ලද විශ්වාසය ප්රකාශනය හා බැඳෙන අතර ඒ පිළිබඳ සුවිශේෂය මැදදී පලවන තවත් ප්රකාශනයකින් මුළු සුවිශේෂය පුරාම දිවයන ප්‍රධාන තේමාව මෙය බව ඔප්පු වේ.
ඒ ශුද්ධවූ පේදුරු තුමාගේ විශ්වාස ප්රකාශනයයි. “ඔබ ක්රිස්තුවරයාණෝය” (8/29) සුවිශේෂවරයාගේ හැඳින්වීමේ ප්රකාශනයත් (1/1) පේදුරු තුමාගේ විශ්වාසය ප්‍රකාශ කිරීමත් (8/29) අතර දිවෙන පරිච්ඡේදයන් තුළ උන්වහන්සේ කවුදැයි අපැහැදිලිව පෙන්නුම් කිරීමක් කරන අතර (1/27, 2/12, 3/21, 4/41, 5/52, 6/51, 7/37) ඒ පිළිබඳ සත්‍යතාවය හෙළි නොකිරීමට උන්වහන්සේ උත්සාහ කළ අයුරු ද සඳහන් වේ. (1/34, 1/43, 3/12, 5/43, 7/36) පේදුරු තුමාගේ විශ්වාසයේ ප්රකාශනයත් ශතාධිපතිවරයාගේ විශ්වාසයේ ප්රකාශනයත් (15/39) අතර දිවෙන පරිච්ඡේද තුළ ක්‍රිස්තුන් වහන්සේ තමන් වහන්සේගේ විශේෂ මෙහෙය පිළිබඳව ප්‍රසිද්ධ ලෙස පැහැදිලි කර දීමට කිසිසේත් මැලි නොවූහ. (8/27, 10/52) ක්‍රමයෙන් තමන් වහන්සේ පිළිබඳව වඩාත් ගැඹුරුව අපෝස්තුළුවරුන්ට පැහැදිලි කර දෙන ස්වාමින් වහන්සේ තම දේවත්වය සනාථ වන මරණය හා උත්ථානය පිළිබඳව පෙර නිමිති පල කිරීමට ද මැලි නොවූ බව සුවිශේෂකවරයා සඳහන් කරයි. තමන් වහන්සේ පිළිබඳ හෙළිදරව්ව සම්පූර්ණ වන්නේ කුරුසිය පාමුල සිටි රෝම ශතාධිපතියා කළ විශ්වාසයේ ප්රකාශනයෙන්ය.
මාක් තුමාගේ මුළු සුවිශේෂයම පරිශීලනය කිරීමේදී මෙම සත්‍යතාවය එනම් ක්‍රිස්තුන්වහන්සේ දේව පුත්‍රයාණෝය යන්න සනාථ කිරීම බොහෝ දුරට බලපා ඇති බව පෙනේ. ඒ අනුව මෙම සුවිශේෂයේ කතුවරයා තම අවධානය යොමු කරන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයට සම්බන්ධව බලපවත්වන සිද්ධීන් වෙතය. උන්වන්සේගේ උත්පත්තිය හා බාල කාලය පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නොවන බව කතුවරයා සිතුවා විය හැකියි. ඇරත් ඒ සම්බන්ධව සම්ප්රදායේ බලපවත්වන තතු ඔහු සතුව නොතිබුනා විය හැකියි. කෙසේ වෙතත් මාක් තුමාගේ සුවිශේෂය තුළ ක්‍රිස්තෝත්පත්තිය කතා පිළිබඳව කිසිදු සටහනක් නොකරයි.
ඔවුන් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය තුළ තමන් දේව පුත්‍රයාණන් ලෙස ක්‍රිස්තුන් වහන්සේ ක්‍රමයෙන් හෙළිදරව් කළ ආකාරය විස්තර කිරීමේ මූලික පරමාර්ථයට උන්වහන්සේගේ උත්පත්තිය හා බාලකාලය පිළිබඳව විමර්ශනයක යෙදීම අත්‍යවශ්‍ය නොවන බව මේ සුවිශේෂක වරයා සිතුවා විය හැකි බව මනාව පැහැදිලි කරයි.
ශුද්ධවූ ජුවාම් සුවිශේෂය හා නත්තල
ක්‍රිස්තුන්වහන්සේගේ උත්පත්තිය හා බාල කාලය පිළිබඳව තතු විස්තර කිරීමක නොයෙදෙන අනිත් සුවිශේෂ ගත්කතුවරයා වන්නේ ජුවාම් තුමන්ය. එහෙත් එතුමන් ශු. මතෙව් හා ශු. ලූක් තුමන්ගේ විස්තර කථනයන් අභිබවා ක්‍රිස්තු ආගමනය පිළිබඳව වඩාත් සංකීර්ණ වූද වඩාත් ගැඹුරු වූද විස්තර කිරීමකට ඉදිරිපත් වීමට මැලි නොවේ. එය ක්‍රිස්තෝත්පත්තිය පිළිබඳව අත්දැකීම් හා සභා විශ්වාසය එක්තැන් වීමෙන් සංස්කරණය වූ එකී සුවිශේෂකවරුන්ගේ වාර්තා විස්තරයන්ට වඩා, සම්පූර්ණ වූ විශ්වාසයේ ප්රකාශනයක් ලෙස ක්‍රිස්තු ආගමනය විස්තර කිරීමකි. මේ විස්තර කථනය අපට හමුවන්නේ ජුවාම් (1/11-18) යන වගන්ති අතරය.
මේ වගන්ති කිහිපය තුළ ජුවාම් තුමා තමන්ගේ බලපෑම ලද කිතුනු සභා ඒකකයන් තුළ භාවිත වූ පැරණි කාව්‍යයක් සංස්කරණය කර තම සුවිශේෂයේ පෙරවදන ලෙස අපට ඉදිරිපත් කර ඇත. ඒ තුළ ක්‍රිස්තුන්වහන්සේගේ වත්මන් උපත පිළිබඳව පමණක් නොව ඔවුන් වහන්සේගේ සදාකාලික පැවැත්ම හා ක්‍රිස්තුන්වහන්සේගේ මාංශගතවීම පිළිබඳවද මනුෂ්‍යා විසින් කරනු ලබන පිළිගැනීම හා ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ද ගැඹුරු භාවනාවක් ඉදිරිපත් කරයි.
මේ කාව්‍යය සංස්කරණයේදී විශේෂ කොට ජුදා ආගමික රටාවෙන්ද ග්‍රීක දර්ශන ශ්‍රාස්ත්‍රයෙන් ද ආභාසය ලැබූ එතුමන් ඇතැම් දාර්ශනික වැරදි මක අභිබවා ක්‍රිස්තුන් වහන්සේගේ පැවැත්ම මෙලොවට වැඩීම හා උන්වහන්සේ මිනිසත් බව ගැනීම තුළින් ලොව ගැලවීම පිළිබඳව දෙවියන් වහන්සේගේ සැලැස්ම ගැන භාවනාවක යෙදේ.
මේ කාව්‍යය තුළ විශේෂ ලෙස ක්‍රිස්තු ආගමනය පිළිබඳව පවසන වගන්තියක් වේ. (ජුවාම් 1/14) ඒ පිළිබඳ විග්රහයක යෙදීමෙන් ජුවාම් තුමන්ගේ ක්‍රිස්තෝත්පත්ති දර්ශනය මනාව වටහා ගැනීමට අපට හැකිවනු ඇත. “තවද වචනය මාංශ ගත විය. අප සමඟ පදිංචි වී (කූඩාරම් ගත) විය. අපි එතුමන්ගේ මහිමය දුටිමු. මහිමය, පියාණන්ගේ ඒකජනිත පුතණුවන් ලෙස උරුම වන වරප්‍රසාදයෙන් හා සත්‍යයෙන් පිරි වචන” යනුවෙන් ජුවාම් තුමා විස්තර කරන්නේ චිරාත් කාලයක් තුළ ගැළවීමේ ඉතිහාසය මෙහෙය වූ දෙවිපියාණන්ගේ වචනය හෝ ස්වයං එළිදරව්ව නැතහොත් මිනිස් සංහතියට දැඩි ලෙස තමන් වහන්සේ ප්‍රේමකරන බව ප්‍රකාශ කරන කැමැත්තයි. මේ වචනය තුළින් ඊශ්‍රායෙල් ජනතාවට තමන් වහන්සේගේ ප්‍රේමනීය හදවත වරින් වර විවෘත කළ ආකාරයද එයට ජනතාව පිළිතුරු දුන් ආකාරය ද ශු.බයිබලයේ පුරාණ ගිවිසුම පුරා සඳහන් වේ. වරෙක ආදිපිතෘන් තුළින්ද, වරෙක දිවැස් ප්‍රසාදින් තුළින් ද, වරෙක නායක පූජකවරුන් තුළින් ද දෙවියන් වහන්සේ ජනතාවට කතා කළ අයුරු “වචනය” යන්න සඳහන් කිරීමෙන් ජුවාම් තුමා සිහියට නැගීය.
පැරණි ගිවිසුමේ දේව වචනය පිළිබඳ මේ ආකල්පය ජුවාම් තුමාගේ “වචනය” පිළිබඳ ආකල්පයට පදනම් විය. ඒ අතරම මේ වචනයේ පරිසමාප්ත පූර්ණත්වය ක්‍රිස්තුන් වහන්සේම වන බව ජුවාම් තුමා පැහැදිලිව ප්‍රකාශ කරන්නේය. කෙනෙකුගේ වචනය තුළ යම් විදියකින් ඒ තැනැත්තා සම්පිණ්ඩනය වන බව විශ්වාස කරන පැරණි ගිවිසුම් සම්ප්රදාය තුළින් දෙවියන් හා උන්වහන්සේගේ වචනය අතරත්, එම දේව වචනය හා ක්‍රිස්තුන් වහන්සේ අතරත් දැඩි සබැඳියාවක් හෝ සමානත්වයක් දකින්නට ජුවාම් තුමන්ට හැකිවේ.
එමගින් ක්‍රිස්තුන් වහන්සේගේ පැවැත්ම හා බිහිවීම යම් අයුරකින් විශ්ව ඉතිහාසයෙන් ඔබ්බට විහිදෙන බව පෙන්නුම් කිරීමට ජුවාම් තුමා මැලි නොවීය. “ආරම්භයේදී වචනය විය. එය දෙවියන් සමඟ විය. එය දෙවියන් ම විය.” යන වගන්තිය (1/1) තුළ මේ ආකල්පය දැකිය හැකිය. එසේ නම් ජුවාම් තුමන් හට ක්‍රිස්තුන් වහන්සේගේ පැවැත්ම හා බිහිවීම පිළිබඳ ඓතිහාසික කාලසීමාවක් හෝ ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවයක් නැත. එතුමන්ගේ විශ්වාසීය අත්දැකීම වනුයේ ක්‍රිස්තුන්වහන්සේ අකාලීන භාවයකට උරුමකම් කියන බවය. (1/13) ක්‍රිස්තුන්වහන්සේ, එනම් දේව වචනය, මුළු මැවිල්ල බිහිවීමේදීද හවුල් වූ බව සඳහන් කිරීමෙන් ජුවාම් තුමා මේ අදහස තවත් දුරට ස්ථීර කරයි.
එහෙත් ජුවාම් තුමා මේ අති උසස් අකාලීන දේව වචනය වන ක්‍රිස්තුන් වහන්සේ තමන් වහන්සේගේ මාංශගතවීම තුළින් මෙලොවට ඇතුලුවූ බව ප්‍රකාශ කිරීමට කිසිසේත්ම මැලි නොවේ. ක්‍රිස්තුන්වහන්සේගේ අති උසස් දේව ස්වභාවය හා මේ මාංශගතවීමේදී ආරූඪ කරගත් මිනිස් ස්වභාවය අතර පරතරය පුළුල් කර දැක්වීමෙන් පවුකාර දිළිඳු මිනිස් ස්වභාවය වෙත දක්වන ලද දෙවිපියාණන් වහන්සේගේ ඉමහත් ප්‍රේමය වඩාත් සාර්ථක ලෙස පිළිබිඹු කිරීමට ජුවාම් තුමාට හැකි වී ඇත.
එහෙත් “මාංශය” යනුවෙන් ජුවාම් තුමා හඳුන්වන්නේ පව්කාර දුර්වල මිනිස් ස්වභාවයම පමණක් නොව මුළු මැවිල්ලම බව මේ කාව්‍යයේ ඇති විශ්ව ආකල්පයෙන් පැහැදිලි වේ. දේව වචනය ක්‍රිස්තුන්වහන්සේ තුළින් මිනිස් ඉතිහාසයට ස්ථීර වශයෙන්ම ඇතුළු වූ බව මෙහි ප්‍රකාශ කෙරේ. ඒ ඇතුල් වීම පිළිබඳ අන් සුවිශේෂවරුන් විසින් ඉදිරිපත් කරන ලද කාලීන වූ විස්තර වාර්තා ආදිය අභිබවා ක්‍රිස්තුන්වහන්සේගේ විශ්ව ගැලවුම් මෙහෙය ඉස්මතු කර දැක්වීමට ජුවාම් තුමා මැලි නොවේ.
එය ක්රිස්තෝත්පත්තියේ වෘතාන්තය ඓතිහාසිකත්වයෙන් හීන කරවීමේ ප්රයත්නයක් ලෙස හැඳින්විය නොහැක. ඇත්ත වශයෙන්ම ජුවාම් තුමාගේ ආකල්පය අනුව ක්‍රිස්තුන්වහන්සේගේ ගැලවුම්කාර මෙහෙය එක් කාලයකට එක් ජනතාවකට හෝ එක් දේශයකට සීමා වූවක් නොවේ. ක්‍රිස්තුන්වහන්සේ මාංශගතවන්නේ පාපයෙන් කිළිටි වූ මුළු විශ්වයම නැවත වරක් මිනිස් ස්වභාවය තුළින් දේවත්වයට ඔසවාලීමේ පරමාර්ථය ඇතිවය. මෙය විශ්වයේ දෙවනි මැවීමයි. ඇත්ත වහයෙන්ම ජුවාම් තුමා භාවිතා කරන “මවන ලදී” (එගෙනෙටෝ) යන ග්‍රීක වචනය ග්‍රීක බයිබලයේ උත්පත්ති කථාවේ පළමු පරිච්ඡේදය තුළ ලෝකය මැවිම පිළිබඳ භාවිත වන්නකි.
ඒ අතරම “ආරම්භයේදී ” යන වචනය ද මැවිල්ල විස්තර කරන ග්‍රීක් උත්පත්ති පොතේ පළමු පරිච්ඡේදයේ සටහන් වන පළමු වචනය වේ. ක්‍රිස්තුන්වහන්සේගේ උත්පත්තිය තුළින් මිනිස් ඉතිහාසය තුළට ස්ථීර වශයෙන් ඇතුළු වන දෙවියන් වහන්සේ එමගින් මිනිස් වර්ගයාත් මුළු මැවිල්ලත් නැවත වරක් ස්ථාපිත කරන - නැවත වරක් අලුත් කරන බවට ජුවාම් තුමා ඉඟි කරයි.
නත්තලේ සැබෑ අරුත සුවිශේෂයට අනුව තේරුම් ගැන්වීමට මේ සුවිශේෂ කතුවරුන් ඉදිරිපත් කරන විග්රහයන් මෙනෙහි කිරීම වැදගත් වේ. එමගින් කිතුනුවන් විශ්වාස කරන ක්‍රිස්තුන්වහන්සේගේ දෙවන පැමිණීම පිලිබඳව ද සෑම නත්තලකින්ම විග්‍රහ කර බැලීමට අවශ්‍ය පරිසරයක් නිබඳව සකස් කරගත හැකිය.
වාණිජත්වයෙන් ඔද්දල්වන මානසිකත්වයක් නොව, එයින් ඔබ්බට යන උපතේ මංගල්‍යය ආධ්‍යාත්මික සැමරීමට කිතුනුවන් යම් පරිසරයක් නිර්මාණය කරගන්නේ නම් ජාතික තලයේ අභිමානවත් අඬහැරයක් බවට පත්වී ඇති මේ ජාතික මහෝත්සවයට ජීවිතයෙන්ම අර්ථවත්ව සාක්ෂි දැරීමට මනා පරිචයක් ලැබෙනු ඇත. එය ම නව උපතක ආරම්භයක් නොවේද? තවත් නත්තලකට පිවිසීමක් නොවේද?