රට රස්සා සිහිනය සැබෑ වෙන්න හරි පාරේ ගමන යන්න | සිළුමිණ

රට රස්සා සිහිනය සැබෑ වෙන්න හරි පාරේ ගමන යන්න

 කැනඩාවේ රස්සා දෙනවා යැයි පවසමින් පුද්ගලයන් 52කට වැඩි පිරිසකගෙන් වංචනික ලෙස රුපියල් කෝටි ගණනක් ලබාගත් කාන්තාවක් ඉකුත් 18 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු පුවතක් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි‍.

සැකකාරිය රණාල ප්‍රදේශයේ පිහිටි නි‍ෙවසක කාමරයක් කුලී පදනම මත ලබාගෙන එහි රැඳී සිටි බවත් ඇය තවත් ප්‍රදේශ කිහිපයකම මේ ආකාරයට රැඳී සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය විණි.

කනගරත්න සෙනිලා, දිලානි නමින් හඳුන්වන එම කාන්තාව අමා ජයවීර, ශ්‍රීණිමා, හංසි, පාරමී, හර්ෂදී බෝගොල්ලගම යන නම්වලින් පෙනී සිටි බව පසුව අනාවරණය කරගෙන තිබේ.

ඇය අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 72, බැංකු පොත් 50, ඒ.ටී.එම්. කාඩ්පත් 50, ජංගම දුරකථන 7, රුපියල් ලක්ෂ 26, රන්බඩු, මෝටර් රථයක් ඇතුළු තවත් බඩු භාණ්ඩ රැසක් ම රහස් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එවැනි අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම ඉකුත් මාස කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා විය.

තමන්ට විදේශ ‍රටකට යෑමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ සඳහා යන ක්‍රම වේදයන් රැසක්ම මේ වන විට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කෙරේ.

නීතියට අනුව එලෙස විදේශගත වීමට අවශ්‍ය පුද්ගලයන්ට ඒ සම්බන්ධව තොරතුරු ලබා ගැනීමට විදේශ සේවා කාර්යාංශයෙන් හැකියාව ලැබී තිබේ.

ඉතාලිය, ජර්මනිය වැනි රටවලට ද එලෙස අනවසරයෙන් පුද්ගලයන් යැවීමට උත්සාහ ගන්නා අවස්ථා පොලිස් මූලස්ථානය විසින් අනාවරණය කරගෙන ඇති අතර බෝට්ටු මගින් යුරෝපයට පැන යෑමට උත්සාහ ගත් දෙසීයකට ආසන්න පිරිසක් ඉකුත් මාස කිහිපය තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාරදී තිබේ.

මේ ආකාරයට තැරැව්කරුවන් හරහා නොයෙක් වංචනික ක්‍රමවලට විදේශගත වීමට උත්සාහ කරන පිරිසට අමතරව නීත්‍යනුකූලව විදේශ ගත වී ඇති තවත් පිරිසක් පවත්වන අපහසුතා රැසක් පිළිබඳව තොරතුරු හෙළිවෙමින් තිබේ.

විශේෂයෙන් ම නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය ඇතුළු තවත් රටවල් කිහිපයකටම ශිෂ්‍ය අවසර වීසා ලබා ගනිමින් මහා පරිමාණයෙන් තරුණ තරුණියෝ විදේශගත වෙති‍.

සිය සිහිනය සැබෑ කරගැනීමට මෙම රටකට යෑමට උත්සාහ කර තරුණ තරුණියන් රැසක්ම නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ සිය සිහිනය බොඳ කරගනිමින් ය.

ඒජන්සිකරුවන් මඟින් මෙම තරුණ තරුණියන් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වෙත ගොස් ඇත්තේ වසර තුනක පමණ කාලයක් සහ එක් වසරක පමණ කාලයක් අධ්‍යාපනය ලැබීම සඳහාය‍.

අධ්‍යාපනය ලබන කාලය තුළ ඔවුන්ට පැය 20ක් පමණ සතියට රැකියා කළ හැකි බවත් ඒ මඟින් මසකට විශාල මුදලක් උපයාගත හැකි බවත් ඒජන්සිකරුවන් පවසා තිබේ. එහි සත්‍යතාවක් ඇති බව අප කරන ලද සොයා බැලීමේදී තහවුරු විය.

එහෙත් රැකියා අඩු ප්‍රදේශවල සරසවිවලට හෝ අධ්‍යාපන ආයතනවලට යෑමට සිදු වුවහොත් මේ ආකාරයට පැය 20 ක පමණ කාලයක් සේවය කිරීමට ලැබෙන අවස්ථාව අහිමි වන අතර මසක් ගත කිරීම සඳහා රුපියල් ලක්ෂ එක හමාරකට වැඩි මුදලක් එක් පුද්ගලයකුට අවශ්‍ය වේ.

එලෙස ම තම පාඨමාලාව හෝ උපාධිය අවසාන වීමෙන් පසු වසරක් සඳහා පමණක් රැකියා වීසා බල පත්‍රය ලැබෙන අතර ඒ කාලය තුළදී රැකියාවක් සොයා ගැනීමට නොහැකි වුවහොත් නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට සිදුවෙයි.

එලෙස පැමිණෙන තරුණ තරුණියන් බොහෝ දෙනෙකුට අත්වන ඉරණම කනගාටුදායකය.

එලෙස විදේශ ගත වන තරුණ තරුරණියන් බොහෝ දෙනකු ශ්‍රී ලංකාව තුළ ඉතා උසස් මට්ටමේ එසේත් නැති නම් විධායක මට්ටමේ රැකියාවල නිරත වූවෝ වෙති. ඔවුන් බැංකු සේවකයන් මෙන් ම නොයෙක් පෞද්ගලික ආයතනවල උසස් රැකියා කළ අය බව ඔවුන්ගෙන් ලද තොරතුරුවලින් පැවසේ.

මෙම තරුණ තරුණියන් තෝරා ගන්නා පාඨමාලාව හෝ උපාධිය කෘෂි කර්මාන්තයක තාක්ෂණික හෝ රූපලාවණ්‍ය මෙන් ම බේකරි කර්මාන්තයට සම්බන්ධ ඒවා නම් ගැටලුවක් නොමැති අතර එම පාඨමාලා සඳහා මෙම රටවලදී රැකියා ඉල්ලුමක් පවතී. එහෙත් කළමනාකාර පාඨමාලාවන්, තොරතුරු තාක්ෂණය වැනි පාඨමාලා සඳහා රැකියා වෙළෙඳ පොළ සොයා ගැනීම ලෙහෙසි පහසු කරුණක් නොවේ.

විදේශ ගතවන තරුණ තරුණියන් සඳහා ඒජන්සි කරුවන් සැබෑ තොරතුරු පැවසීම වැදගත් වන අතර අප කළ විමසුමට එම ආයතන හිමියෝ අසත්‍ය තොරතුරු රැසක් අප වෙත පැවසූහ.

රැකියාවක් ලබා ගැනීම පහසු කටයුත්තක් බව පවසන ඒජන්සිකරුවෝ තවත් විශේෂ කරුණක් විදේශගත වන පුද්ගලයන්ට පවසති.

පාඨමාලාව අවසන් වීමෙන් පසු ඉතා පහසුවෙන් මෙම රටවල්වල ස්ථිර පදිංචිය (PR) ලබාගත හැකි බවයි. එහෙත් එය සත්‍ය කරුණක් නොවේ.

සත්‍ය වශයෙන් ම (PR) ලබාගත හැක්කේ ස්ථිර රැකියාවක් ලබාගැනීමෙන් පසුව වන අතර එය ද වසර කිහිපයක් ගත වීමෙන් පසුවය. සමහර රැකියාවල නිල තලයකට පත් වුවහොත් පමණක් (PR) ලබාගත හැකි බව මෙහිදී සඳහන් කළ යුතුම කරුණකි.

ඒ ඒ රටවල් ස්ථිර පදිංචිය ලබාදෙන ක්‍රමවේදයන් සහ සීමාවෙන් විවිධාකාර වේ.

ශ්‍රී ලංකාවේ සිට ඍජුව කළ හැකි රැකියා ඇති අතර එම රැකියා සඳහා අත්දැකීම් මෙන් ම ලොව පිළිගත් වෘත්තිය සහතික සලකා බැලෙයි. එවැනි රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයන්ට ඉතා පහසුවෙන් (PR) ලබාගැනීමට හැකියාවක් ඇති බව පැවසේ.

මේ අතර එලෙස විදේශගත වෙන තරුණ තරුණියන් වසරින් වසර වීසා ලබාගැනීමේදී රුපියල් මිලියන ගණනින් මුදල් බැංකුවේ තැන්පත් කර ඒ සම්බන්ධව බැංකු වාර්තා ඒ ඒ රටවල ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලබාදිය යුතු වේ.

මෙම මුදල රක්ෂණ මුදලක් හැටියට බැංකුවේ තබා ගත යුතු වන අතර එය නොමැතිව වීසා ලබා ගැනීමට කිසිදු හැකියාවක් නැත.

ශ්‍රී ලංකාවෙන් පිටත්වන මුල් අවස්ථාවේ මෙම මුදල පෙන්වීම සඳහා අදාළ පාඨමාලා හෝ උපාධිය හදාරණ තරුණයාගේ හෝ තරුණියගේ බැංකු ගිණුමට වෙනත් පුද්ගලයෙකුගේ මුදල් තැන්පත් කර මුදල් වාර්තාව ලබා ගැනීම දැනට බහුලව සිදු වන කරුණකි.

එම තරුණිය හෝ තරුණයා විදේශ ගත වී දින කිහිපයකට පසු අදාළ මුදල බැංකුවෙන් ඉවත් කරගනී. මෙය ඉතා භයානක තත්ත්වයන් බවට පත්ව තිබේ‍.

එරටින් බැංකු ගිණුමේ වාර්තාව නැවත පරීක්ෂණ කළහොත් අදාළ තරුණියට හෝ තරුණයාට මුදල් ගෙන්වා ගැනීමට නොහැකිව එරට නීතියට අනුව නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට සිදුවේ.

මේ ආකාරයට නොයෙක් කරදරවලට අපහසුතාවට ලක් වන තරුණ තරුණියන්ගේ යු‍රෝපා සිහිනය අතරමග දමා පැමිණීමට සිදු වී ඇත. සිදුවිය යුත්තේ ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කර මේ පිරිසට විදේශගත වීමට අවශ්‍ය පරිසරය සකස් කර දීමය.

දිනෙන් දින ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් මෙවැනි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වෙයි.

රට සිහිනය කෙසේ හෝ ඉටු කරගැනීමට උත්සාහ කරන බො‍හෝ දෙනකු අතරමගදී සිය මුදල් කාලය නාස්ති කර ගන්නා අතර නැවත යථා තත්ත්වයට පත්වීම සඳහා මහත් පරිශ්‍රමයක් ගැනීමට මේ පිරිසට සිදුවනු ඇත.

පුවත්පත්, රූපවාහිනි ඇතුළු මාධ්‍ය බොහොමයක මේ ආකාරයට වංචා කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණය කරන අතර යළිත් ඔවුන්ට හසුවීම කනගාටුදායක තත්ත්වයකි. මේ කනගාටුදායක තත්ත්වයෙන් කෙසේ හෝ පුද්ගලයන් බේරා ගැනීමට අදාළ අංශ නැවත නැවතත් පියවර ගත යුතුව තිබේ. 

Comments