
‘උතුරු නැඟෙනහිරින් යුද හමුදා කඳවුරු රැසක් ඉවතට‘
‘හමුදාවේ සේනාංක අඩු කිරීමට යයි‘
‘නන්දිකඩාල් හමුදා කඳවුර ඉවත් කර කාන්තා බළකායක් යොදවති‘
මේ පසුගිය කාලයේ පුවත්පත් සිරස්තල කිහිපයකි. යුද හමුදාවේ ශක්තිය අඩු කර, රට ආරක්ෂාව අතින් දුර්වල තත්ත්වයක පවත්නා බවට පෙන්වා දීමට ඇතැම් මාධ්‍ය මේ ලෙසින් ජනතාව වෙත පුවත් මවා තිබුණු ආකාරයක් අපට පෙනිණි. එහෙත් රටේ ජාතික ආරක්ෂාව යන විශාල පරාසය එසේ ලඝුකොට තැකීම කිසිසේත්ම නොකළ යුත්තකි. සැබැවින්ම අපේ රටේ ආරක්ෂාව අනතුරේද? ඒ ප්‍රශ්නයට නිසි පිළිතුර පසුගිය 15 වැනිදා සෙනසුරාදා දියතලාව යුද හමුදා පුහුණු පාසලේදී ජනාධිපතිතුමා විසින් ලබා දෙන ලදී.
‘රට රකින ජාතිය’ සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් පුහුණුව ලැබූ නිලධාරීන් 234ක් විසිර යෑමේ පෙළපාළියට සහභාගි වීමෙන් ජනාධිපතිතුමා විසින් ඒ බව රටටම පෙන්වා දෙන ලදී.
යුද හමුදාවේ වාර්ෂිකව විශ්‍රාම යන නිලධාරීන්ගේ අඩුපාඩුව මකා දැමීම පිණිස පාඨමාලා සාර්ථකව නිම කළ නව නිලධාරීන් 234 දෙනෙකු ජනාධිපතිවරයා අතින් අධිකාරී පත්වීම් ලැබූහ. ඔවුන් විසිර යෑමේ වර්ණවත් පෙළපාළිය පසුගිය 15 වැනිදා සෙනසුරාදා සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙහි විශේෂත්වය වූයේ රාජ්‍ය නායකයාද සමඟ ප්‍රථම වරට විදේශීය තානාපතිවරයකුද මේ උත්සවයට සහභාගි වී සිටීමයි. ඒ චීන තානාපති වැන්ග් ෂීයැන්ග් මහතාය. එමෙන්ම මෙරට සංචාරයක නිරතව සිටි පාකිස්තානු යුද හමුදා නියෝජිතයන් පිරිසක් සහ ඇතුළු තානාපති කාර්යාල නිලධාරීහු රැසක්ද මේ අවස්ථාවට එක් වූහ.
මේ විසිර යෑමේ උත්සවයේ ආරම්භය ජනාධිපතිතුමන් සනිටුහන් කෙළේ යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේ රණවිරු ස්මාරකය වෙත මල් කලඹක් තබා රට දැය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන් සිහිපත් කිරීමෙනි. හමුදා සම්ප්‍රදායානුකූලව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක සහ යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.
මේ විසිර යෑමේ පෙළපාළියේදී සරඹ භූමිය වර්ණවත් කරමින් ජාතික වැදගත්කමින් යුත් ඉතා විශිෂ්ට වර්ණ ධජ ඝණයන් පෙරටු කරගත් සම්මාන ආචාර පෙළපාළියේ අණදෙන නිලධාරි ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් බී.ජි.එම්.ටී.ඩී. වීරරත්න කටයුතු කරන ලදී.
එහිදී නව කෙඩෙට් නිලධාරීන් ප්‍රධාන ආරාධිතයා අබියස විසිර යෑමේ පෙළපාළියේ ගෞරවාචාරය පුද කළ අතර තුර්යවාදක කණ්ඩායමේ වාදනයත් සමඟ ජනාධිපතිතුමන් විසිර යන කෙඩෙට් නිලධාරීන් නව යුද්ධ හමුදා නිලධාරීන් ලෙස අධිකාරියට පත්කිරීම සනිටුහන් කරමින් අසිපත් ප්රදානය සිදු කරන ලදි.
යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 85, 86, පාඨමාලා අංක 86 බී, ස්වේච්ඡා පාඨමාලා අංක 58, නිත්‍ය කාන්තා නිලධාරී පාඨමාලා අංක 16 සහ ස්වේච්ඡා කාන්තා නිලධාරී පාඨමාලා අංක 15 යටතේ සාර්ථකව පුහුණුව අවසන් කර අධිකාරියට පත්ව රට රකින ජාතියට කැපවූ දියණියන් සහ පුතණුවන් ලෙස දිවයින පුරා රාජකාරී සිදු කිරීම සඳහා අභිමානයෙන් යුතුව විසිර යනු ලැබීය. මේ අවස්ථාවේදී විසිර යන නව කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් ඇමතූ ජනාධිපතිතුමන් පැවසුවේ “ත්‍රස්තවාදී ආක්රමණිකයන්ගේ තර්ජන නොතකා රට සහ ජාතිය ආරක්ෂා කරගැනීම සඳහා රණවිරුවන් සිය වටිනා ජීවිත පූජා කර ඇති බවත් සන්නද්ධ හමුදා , රටේ ජනතාවගේ ආරක්ෂාව සෑම විටම සුරක්ෂිත කිරීම සඳහා ඔවුන්ගේ වගකීම් ඉතා උසස් අයුරින් ඉටු කර ඇති බවයි. එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට එරෙහිව පැවැති සටනේ දී සිය ජීවිත පරිත්‍යාගයෙන් සාමකාමී රටක් නිර්මාණය කිරීම සඳහා ක්‍රියා කළ අතර වර්තමානයේ වූවද ඇති විය හැකි ආරක්ෂක තර්ජන හා අභියෝගවලට මුහුණදීම සඳහා මෙම නව නිලධාරීන් රටට අවශ්‍ය ඕනෑම කාර්යභාර්යක් ඉටු කිරීම සඳහා මෙන්ම අප රටෙහි ඉදිරි සුරක්ෂිතභාව තවදුරටත් තහවුරු කරගැනීමට හැකි වන බවට තමා විශ්වාස කරන බව පැවසීය. කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 85 හී බළඇණි භාර නිලධාරී ඒ.කේ.කේ.කේ. ද සිල්වා පාඨමාලාවේ ගෞරවනීය අසිපත හිමි කර ගන්නා ලදී. එමෙන්ම පාඨමාලාවේ හොඳම විදේශ නිලධාරියාට හිමි ගෞරවනීය යෂ්ටිය මාලදිවයින් කෙඩෙට් නිලධාරී ඒ. ශරීෆ් වෙත ප්රදානය කරනු ලැබීය.
සරඹ පිටියේ පැවැති විසිර යෑමේ පෙළපාළියෙන් අනතුරුව යුද්ධ හමුදා විද්‍යාපීඨ ගෘහස්ථ ක්රීඩාගාරයේදී නව නිලධාරීන්ගේ අධිකාරියට පත්කිරීමේ නිල ලාංඡන ඔවුන්ගේ මවුපියන් විසින් පළඳවනු ලැබීය. එම අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න ද සහභාගි විය.
එසේ නවක නිලධාරීන් 234 දෙනකු රට දැය රැකුමට යුද බිමට යද්දී එම අවස්ථාවට එක් වූ චීන තානාපතිවරයා ජනාධිපතිවරයා සමඟ එක්ව දියතලාව යුද පාඨමාලා පාසලේ චීන ආධාරයෙන් ඉදි කළ නව ශ්‍රවණාගාර සංකීර්ණය විවෘත කරන ලදී.
චීන මහජන වවිමුකිත් හමුදාවේ පරිත්‍යාගයක් ලෙස ඉදි කළ මේ ශ්‍රවණාගාරයේ ආසන 785කින් සමන්විතය. ඒ සඳහා මහජන චීන විමුක්ති හමුදාව විසින් රුපියල් බිලියන 18ක් පළමු අදියර සදහාද දෙවන හා තෙවන අදියර සදහා රුපියල් මිලියන 475ක්ද ලබා දී ඇත.
නවීන පහසුකම්වලින් සමන්විත මේ ශ්රවණාගාරයව දැනට ශ්‍රී ලංකාවේ ඇති අති නවීන ශ්‍රවණාගාරයකි.
රටේ ආරක්ෂාව උපරිම වශයෙන් තහවුරු කරගැනීම පිණිස ලබා දුන් මේ නව සම්මන්ත්රණ ශාලාවෙන්ද අපේ රටේ ආරක්ෂක අංශය නව මඟකට යොමු වනු ඇත.